දේව­කා­රි­යට පේවුණු නව­ග­මුවේ පින්වත් ගොන්නු | සිළුමිණ

දේව­කා­රි­යට පේවුණු නව­ග­මුවේ පින්වත් ගොන්නු

බඹ­සර දිවි­යක් ගෙවන පිහි­නුම් ශූර සුද්දා

“මම ත්‍රිරෝද රථ රියැ­දු­රෙක්. මට මේ හරක් දෙන්නාට කන්න බොන්න දෙන්න, අස­නීප වුණාම බේත්හේත් අරං දෙන්න විය­ද­මක් යනවා. එ්ත් මම ගොන්පිට පෙර­හර වෙනු­වෙන් හරක් හදන එක නව­ත්වන්නේ නැහැ. උදේ අවදි වුණාම සුදට සුදේ උසට මහ­තට හර­කෙක් පෙනෙන එක මොන තරම් හොඳද? කොයි තරම් වාස­නා­ව­න්තද? උදේම දකින මේ ගොනුන්ගේ දර්ශ­න­යට මම හරිම ආසයි.”

නව­ග­මුවේ පදිංචි එස්. සෝම­රත්න (චුටි) වෘත්ති­යෙන් ත්‍රිරෝද රථ රියැ­දු­රෙකි. ගොවි­තැන ජීව­නෝ­පාය කර­ගත් පර­ම්ප­රා­ව­කින් පැවත එන සෝම­රත්න ත්‍රිරෝද රථ රියැ­දුරු රැකි­යාව තෝරා ගත්තේ ගොවි­තැන් කට­යුතු සඳහා ප්‍රමා­ණ­වත් පරිදි ඉඩ­ක­ඩම් නොමැති වීම නිසාය. එහෙත් ඔහු ගව­යන් දෙදෙ­නකු ඇති කළේය. ගොවි­තැන හෝ කිරි වෙළ­ඳාම නොක­රන ඔහු ගව­යන් ඇති කිරීම සම්බ­න්ධ­යෙන් විම­ති­යක් හට ගැනුණේ ඔහු කර­ත්ත­ක­රු­වකු ද නොවන බැවිනි. පනස් පස් වියැති සෝම­රත්න ඉතා ආද­ර­යෙන් රැක බලා ගන්නා ගව­යන් දෙදෙනා කිසිම රාජ­කා­රි­කට යොදා ගන්නේ නැත. එහෙත් මෙම ගව­යන් දෙදෙනා දේව­කා­රි­ය­කට පම­ණක් යොදා ගනී. කෙටි­යෙන් සඳ­හන් කරන්නේ නම් සෝම­රත්න ගව­යන් ඇති කරීමේ ඒකා­යන අර­මුණ ගොවි­තැන් කට­යුතු, කිරි ගැනීම හෝ කරත්ත බැඳීම නොව නව­ග­මුව ශ්‍රී සිද්ධ පත්තිනි දේවා­ලයේ ගොන්පිට පෙර­හැ­රට සහ­භාගි කර­වී­මය.

ගොනුන් පිට දේවා­භ­රණ වැඩම කර­වීමේ දේව­කා­රිය සඳහා ගොනුන් ඇති කරන එකම තැනැත්තා නව­ග­මුවේ සෝම­රත්න පම­ණක් නොවේ. නව­ග­මුවේ පදිංචි හැත්තෑ­දෙ­හැ­වි­රිදි වියේ පසු­වන ඩබ්ලිව්. චන්ද්‍ර­පාල ද තවත් එවැනි තැනැ­ත්තෙකි.

“අපි පර­ම්ප­රා­වෙන්ම ගොවියො. ඒ නිසා අපේ ගෙව­ල්වල හරක් ඇති කළා. මම පොඩි­ක‍ා­ලෙ­දිත් හරක් 15 ක් විතර හිටියා. ගොවි­තැන් කට­යු­තු­ව­ලට අම­ත­රව කිරි විකි­ණුවා. දැන් හරක් හදලා ගැට ගහන්න ඉඩම් නැහැ. ඉඩම් කට්ටි කරලා. ගොවි­තැ­නට වුණත් අද ඉස්සර වගේ හරක් යොදා ගන්නේ නැහැනේ. ඒ නිසා මා ළඟ දැන් හරක් හය­දෙ­නයි ඉන්නේ. පස්දෙ­නෙක් කිරි වැස්සියෝ. එක වස්සයි ඉන්නේ. කිරි වැස්සි­යන්ගේ කිරි අරං මම තව­මත් විකු­ණ­නවා. වස්සා තියා­ගෙන ඉන්නේ දේවාලේ ගොන්පිට පෙර­හරේ යන්න. අපි වස්සාට නම දාලා තියෙන්නේ සුද්දා කියලා. දැන් අවු­රුදු 7 ක් වෙනවා.” යනු­වෙන් පව­ස­මින් අප සමඟ කතා­බ­හට එකතු වූයේ ඩබ්ලිව්. චන්ද්‍ර­පාල ය.

චන්ද්‍ර­පා­ලගේ “සුද්දා” ට උප්පැන්න සහ­ති­ක­යක් තිබේ. ඒ ඔහු මෙම ගව­යාව වැලි­කන්ද ගොවි­ප­ළෙන් මිල දී ගත් නිසාය. නව­ග­මුවේ දේවා­ලයේ ගොන්පිට පෙර­හ­රට සහ­භාගි කිරීම උදෙසා චන්ද්‍ර­පාල සහ තවත් සිව්දෙ­නකු විසින් වැලි­ක­න්දෙන් ගව­යන් මිල දී ගෙන තිබේ. චන්ද්‍ර­පා­ලගේ “සුද්දා” මිල දී ගෙන තිබෙන්නේ රුපි­යල් 40,000 කටය. කින්නියා වර්ග­යට අයත් “සුද්දා” නව­ග­මු­වට රැගෙන එන විට නාහෙට නාහන වස්සෙකි.

“මම සුද්දාව මිල දී ගන්නා විට ඌට අවු­රු­ද්දයි මාස තුනයි. කිසිම දව­සක කරට ලණු­වක් දාලා ගැට­ග­හලා තියලා නැහැ. ඊට පස්සේ මට මේච්චල් කර­ගන්න ගොඩක් අමාරු වුණා. ලණුව දාන­කොට පයින් ගහ­නවා. මම බොහොම අමා­රු­වෙන් හීලෑ කර ගත්තේ. දැන් නම් ‍පොඩි ළමයා වගෙයි. හරිම හොඳයි. හරිම කීක­රුයි. අපි කියන දේවල් හොඳට තේරෙ­නවා. කතා කරන්න බැරි ටික විත­රයි.” ඩබ්ලිව්.චන්ද්‍ර­පාල සුද්දා ගැන වර්ණනා කළේ එසේය.

මෙම සුද්දා සතු තවත් අපුරු කුස­ල­තා­වක් ඇත. ඒ ඌ පිහි­නුම් ශුර­යකු වීමය. නැහැ­වීම සඳහා කැලණි ගඟට බැස්ස වූ විට ලණුවේ දිගේ තර­මට පිහිනා යන්නේ කිසිදු බියක් සැක­යක් නැති­වය. ලණු­වෙන් මිදුණහොත් එගොඩ මෙගොඩ පිහි­නීම සුද්දාට කජු කනවා තරම් පහසු කට­යු­ත්තකි.

“එගොඩ ගොඩේ නා කණුවේ බැන්ද ගොනා
මෙගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද ගොනා
දෙගොඩ තලා එන වතු­රට පැන්න ගොනා
අපොයි මගේ රන් මුතු වල්ලියා ගොනා”

යන‍ු­වෙන් එදා ජන කවි ගැයු­වද “සුද්දා” වැනි පිහි­නුම් ශුර­යන් අතී­තයේ සිටියේ නම් මෙවැනි ජන­කවි බිහි නොවී­මට ද ඉඩ තිබිණි.

චන්ද්‍ර­පාල සතු “සුද්දා” බ්‍රහ්ම­චාරි ජීවි­ත­යක් ගත කරන්නේ දේව­කා­රි­යට කැප වී සිටින නිසාය. ඒ සඳහා චන්ද්‍ර­පාල පශූ වෛද්‍ය­ව­රුන්ගේ සහාය ලබා ගනියි. එහෙත් ගොන්පිට පෙර­හරේ දේවා­භරණ වඩ­ම­වනු ලබන අශෝක පොල්පි­ටිය සතු ගවයා තනි­කඩ ජීවි­ත­යක් ගත කරන්නේ වෙනත් හේතු­වක් නිසා ය. ඌට බලපා තිබෙන්නේ කුල­ගොත් ප්‍රශ්න­යකි. එනම් අශෝක පොල්පි­ටිය සතු ගවයා හරි­යානා වර්ග­යට අයත් සතකු වීමය. ඌ‍ට හරි­යානා වර්ගයේ එළ­දෙ­නක් හමු නොවී­මෙන් තනි­ක­ඩව වාසය කිරී­මට සිදු වී තිබේ.

“හරි­යානා වර්ග­යට අයිති ගව­යන් ප්‍රමා­ණ­යෙන් විශා­ලයි. අනික මේ වර්ගය හරිම හිඟයි. මම මිල දී ගත්තේ වෙන්න­ප්පු­වෙන්. එත­කොට උගේ වයස අවු­රුදු 2 ක් විතර ඇති. ඒ කාලේ මම මිල දී ගත්තේ රුපි­යල් ලක්ෂ 4 කට. දැන් නම් ඊට වැඩියි. උ‍ගේ වයස දැන් අවු­රුදු 8ක් වෙනවා. මේ තරම් විශාල හර­කෙක් මම බස්නා­හිර පළා­තෙ­වත් දැකලා නැහැ.” අශෝක පොල්පි­ටිය උසස් කුල­යට අයත් සිය ගවයා ගැන විස්තර කළේය. ඔහු නව­ග­මුවේ විෂ්ණු දේවා­ලයේ කපු මහතා ය.

හරි­යානා ගවයා හැර තවත් ගව­යන් දෙදෙ­නකු ඔහු සතු ය. එහෙත් ඒ කිසිම ගව­යකු කිසිම රාජ­කා­රි­යක යෙදෙන්නේ නැත. මෙම හර­කුන් තිදෙ­නාගේ එකම රාජ­කා­රිය දේව­කා­රිය ඉටු කිරී­මය. මෙම තිදෙ­නා­ගෙන් එක් ගව­යෙක් හරි­යානා ගව­යාගේ වය­සට සමා­නය. අනෙ­කාට අවු­රුදු 4 කි. පෙර­හැර නොමැති කාලයේ ගව­යන් තිදෙනා වත්තේ පිටියේ නික­රුණේ කල් ගෙවති. එහෙත් නිදැල්ලේ ඇවිද යෑමට ඉඩක් නැත. ගව­යන් තිදෙනා එකම අයි­ති­ක­රු­ව­කුට අයත් වුවද එකම නිව­හ­නක දිවි ගෙවු­වද එකම කාර්ය­යක යෙදී සිටි­යද තිදෙනා අතර කිසිදු ඇඟෑ­ලු­ම්ක­මක් දක්නට ලැබෙන්නේ නැත. හරි­යානා වර්ග­යට අයත් ගවයා අනෙක් ගව­යන් දෙදෙනා පයි­සෙ­කට මායිම් නොක­රයි. ඒ, ඌ උසස් කුල­ය­කට අයත් බැවිනි. අනෙක් දෙදෙ­නාද හරි­යානා වර්ගයේ ගව­යාට ළංවී­මට බිය වෙති. ඌ ප්‍රමා­ණ­යෙන් විශාල වීම ඊට හේතු­වයි.

රණාලේ ඒ. සී. ගුණ­සේ­ක­රගේ (සුනිල්) කින්නියා වර්ග­යට අයත් ගවයා ද ඔහු යටතේ සිටින අනෙක් ගව­යන් සමඟ පයි­රු­පා­සා­නම් පව­ත්වන්නේ නැති මුරණ්ඩු සතෙකි. ගුණ­සේ­ක­රට පම­ණක් හීලෑ වුවද කිසිදු විශ්වා­ස­යක් නැත. වරක් ඒ.සී. ගුණ­සේ­ක­රට ඇන අත කැඩුණු නිසා මාස ගණ­නක් බෙහෙත් කර­න්නට සිදු විය.

“අපේ පර­ම්ප­රා­වම ගොවියෝ. මමත් කුඹුරු ගොවි­තැන් කරන ගොවි­යෙක් ඉස්සර ඉඳලා අපිට හරක් හිටියා. දැන් මට ගව­යන් පස් දෙනෙක් ඉන්නවා. එළ­දෙන්නු දෙන්නයි මී හර­කෙ­කුයි එළ හර­කෙ­කුයි පෙර­හැරේ යන කින්නියා හර­කයි මා ළඟ ඉන්න පස්දෙනා. කින්නියා හර­කාට දැන් අවු­රුදු 7 ක් 8ක් විතර වය­සයි. මම ගත්තේ අවු­රුදු හත­රෙන් . අපේ ගමේ කෙනෙ­කු­ගෙන් මම මිල දී ගත්තේ ඒ කාලේ ඌ ලක්ෂ 1 ½ ක් වුණා. අපේ පර­ම්ප­රා­වම නව­ග­මුව පත්තිනි දේවා­ලයේ ගොන්පිට පෙර­හැ­රට ගව­යන් රැගෙන ගියා. ඒ පෙර­හැර වෙනු­වෙ­න්මයි මම මේ ගොනා ගත්තේ. මට ඉස්සෙල්ලා හිටපු අයි­ති­කා­ර­ය­නුත් මේ සතාව ගොන්පිට පෙර­හ­රට ගෙනි­හිනි තියෙ­නවා. දැන් මමත් අවු­රුදු 4 ම ගෙනිච්චා. අපිට නම් හරි­යට පිහිට තිබෙ­නවා. ගව­යන් රෝග ආප­දා­ව­ලින් ආරක්ෂා වෙන්නේ පෙර­හ­රට සහ­භාගි කර­වන නිසයි.” යන්න ඒ.සී. ගුණ­සේ­ක­රගේ (සුනිල්) අද­හස ය.

එහෙත් එස්. සෝම­රත්න (චුටි) ඊට හාත්ප­සින් වෙනස් අත්දැ­කී­ම­කට මුහු­ණදී සිටියි. දේවා­ලයේ ආභ­රණ වැඩම කර­වීම උදෙසා රු. 85,000/-කට මිල දී ගත් කින්නියා හරකා මහා දවාලේ සොරුන් රැගෙන යෑම එකී අත්දැ­කී­මයි. එහෙත් ඔහු තව­මත් පෙර­හර වෙනු­වෙන් ගව­යන් දෙදෙ­නෙකු ඇති කරයි. ඉන් එක් හර­කෙක් සෝම­ර­ත්නගේ ගව පට්ටි­යෙන් බෝවුණු සතෙකි. අනෙක් හරකා ලැබුණේ මස් කඩ­ය­කින් අභ­ය­දා­නය ලබා දේවා­ල­යට පූජා කළ පින්ව­ත­කු­ගෙනි. කිසිම වැඩක ‍නොයෙදෙන මේ ගව­යෝ දේව­කා­රිය වෙනු­වෙන් පේවී සිටිති.

“මම ත්‍රිරෝද රථ රියැ­දු­රෙක්. මට මේ හරක් දෙන්නාට කන්න බොන්න දෙන්න, අස­නීප වුණාම බේත්හේත් අරං දෙන්න විය­ද­මක් යනවා. එ්ත් මම ගොන්පිට පෙර­හර වෙනු­වෙන් හරක් හදන එක නව­ත්වන්නේ නැහැ. අනික උදේ අවදි වුණාම සුදට සුදේ උසට මහ­තට හර­කෙක් පෙනෙන එක මොන තරම් හොඳද? කොයි තරම් වාස­නා­ව­න්තද ? උදේම දකින මේ ගොනුන්ගේ දර්ශ­න­යට මම හරිම ආසයි.”

ඒ කොහොම වුණත් සෝම­රත්න සතු ගව­යන් දෙදෙනා ගැට ගැසී­මට හැකි වී තිබෙන්නේ ඔහු­ටත් ඔහුගේ පුතා­ටත් පමණි. ඒ. සී. ගුණ­සේ­ක­රගේ ගොනා ද එසේ­මය. අශෝක පොල්පි­ටි­යගේ හරි­යානා ගව­යාට විශේෂ සැල­කිලි ලැබෙන්නේ ඔහු නව­ග­මුවේ විෂ්ණු දේවා­ලයේ කපු මහතා නිසා ය. මන්ද සුවි­ශාල ප්‍රමා­ණයේ හරි­යානා ගවයා ගැට ගැසී­මට දේවා­ලයේ සේව­ක­ය­කුගේ සහාය ලැබේ. එහෙත් ඒ කොයි සත්ව­යාත් දේවාල පෙර­හරේ චණ්ඩි­කම් ප්‍රද­ර්ශ­නය කරන්නේ නැත. පෙර­හරේ ගමන් කරන සෙසු ගව­යන් සමඟ රණ්ඩු කරන්නේ නැත. දේවා­භා­රණ පිට මත තබා ගෙන සුවච කීක­රුව ගමන් කරන්නේ කව­දා­වත් දඟ වැඩ , දඩ­බ්බ­ර­කම් නොකළ උන් මෙනි.

“අපේ සුද්දා නම් හැම­දාම කීක­රුයි. පෙර­හරේ යන­දා­ටත් නොය­න­දා­ටත් හැම­දාම එක වගේ. ඌ හරිම අහිං­ස­කයි. පොඩි ළමයි කෙසෙල්, පාන් එහෙම ගෙනල්ලා කටට ඔබ­නවා. ඒ තර­ම­ටම හීලෑ සතෙක්.” ඩබ්ලිව්.චන්ද්‍ර­පාල පව­සන්නේ එසේය. ඔහුට ගවයා සම්ප­තකි.

ඔහුට පම­ණක් නොව ඈත අතී­තයේ පටන් සිංහ­ල­යාට ගවයා සම්ප­තකි. හින්දු ජන­තා­වට ගවයා පූජ­නීය වස්තු­වකි. ගොන්පිට පෙර­හරේ දේවා­භා­රණ වැඩම කර­වීම උදෙසා පේවී සිටින මෙම ගව­යන් නම් සැබෑ­ව­ටම වාස­නා­වන්ත ගව කොට්ඨා­ස­යකි. අප ‍එසේ පව­සන්නේ මෙම ගොනුන් දේවා­භ­රණ වැඩ­ම­වීමේ මහඟු පුණ්‍ය­ක­ර්ම­යට දායක වීම නිසා පම­ණක් නොවේ. කෙවිට පහර කමින්, බර අදි­මින්, කුර ගෙවෙන තුරු ඇවි­දි­මින් සිදු කරන මෙහෙ­වර අව­සා­නයේ මසට සිය ජීවිත පූජා කරන ගව­යන්ගේ ශෝච­නීය ඉර­ණම මෙම ගොනුන්ට අයත් නොවන නිසා ය.

හර්ෂා සුගතදාස
ඡායා­රූප - චමින්ද නිරෝ­ෂන්

Comments