ඔයාගෙ වැඩ ගැන කෝටියක් කම්ප්ලේන් මල්ලි | සිළුමිණ

ඔයාගෙ වැඩ ගැන කෝටියක් කම්ප්ලේන් මල්ලි

සමන්ති අක්කාගේ විවා­හ­යත් ඇය ලද ජය­ග්‍ර­හ­ණ­යත් තම දෙමා­පි­යන්ගේ හීන­මා­න­යට හේතු­වක් වෙලා ඇත... එහෙත් ඒවාට තුඩු­දුන් කාරණාකාරණ දැන් තමා දන්න­වාය. තමා විත­රක් නොවේ, ශ්‍රීමාල් සහ ජය­මාල් මල්ලි­ලාත් දනී. හිනා­වට කාර­ණය වන්නේ ඒ ගැන තවම සමන්ති අක්කා­වත් ජයේන්ද්‍ර අයි­යා­වත් දන්නේ නැති එක­මය!

ඉස්සර තරම් හිතට ඉස්පා­සු­වක් සර­සවි නිවා­ඩු­වට ගෙදර ආවාම දැන් දැනෙන්නේ නැති බව දැනිලා ශ්‍රීමාල්ට හිතට දුකය. ඒ සතුට තමා­ගෙන් ගිලිහී ගියේ ඇයි?

ඒ කාලය තුළ මේඛලා දකි­න්නට නොලැ­බී­මට වඩා ගෙදර වාතා­ව­ර­ණයේ වෙනස තම හිතට බල­පාන බව ඔහු දනියි. පාසල් යන කාලයේ දී නිවාඩු කාල­යට තමුන් කොත­රම් ඇලුම් කළාද... මල්ලිත් සමඟ එක්වී මහ මිදුලේ කෙළ­ව­රක අඹ ගසේ බැඳ ඇති ඔන්චි­ල්ලාව පැද්දේ මොන තරම් සතු­ටින්ද? ඊට අම­ත­රව දුර බැහැර ගමන්... දළදා මාලි­ගා­වට වගේ ම ජයශ්‍රී මහා බෝධිය වඳින්න වගේම කත­ර­ගම ගිය ගම­න්වල සතුට තවම අම­තක නැත.

විශ්ව­වි­ද්‍යා­ල­යට ගිය මුළු කාල­යේදී ලැබෙන නිවා­ඩු­වත් ඒ තරම්ම නැතත් හිතට සුව­දා­යක එකක් විය.

“මොකක්ද පුතා කාමරේ අස්ස­ටම වැදිලා ඉන්නේ. එන්නකො ටිකක් එළි­යට අපිත් එක්ක කතා කරන්න...” අම්මාගේ කිය­විල්ල හරි­යට නැවක වාද­න­යක් වගේය.

“අයි­ය­ගෙයි මල්ලි­ගෙයි දෙන්නා­ගෙම වැඩේ කාමර අස්සට වැදිලා ඉන්න එක‍... ටිකක් එළි­ප­හ­ළි­යට ඇවිත් ආගිය තොර­තුරු කතා කර­න්න­වත් බැරි හැටි මේ ළම­යින්ට අනේ ඇත්තට...”

නිර්මලා මැණිකේ සිරියා දිහා බල­මින් ආඩ­පාලි කියයි. සිරියා ඊට අනු­බල කතා­වක් කිය­න්නට යන්නේ නැත්තේ බේබි­ලාගේ හිත රිදෙයි කියලා හිතිලා වගේ ය. ඒ නිසා ඇය ස්වාමි­දු­වගේ කතා­ව­ලට එක­ඟතා පළ කරන්නේ හිස හෙල්ලී­මෙන් හෝ ඇස්ව­ලින් කරන ඉඟි­යෙන්. නිර්මලා මැණිකේ ද එතෙ­කින් සෑහී­මට පත්වෙන නිසා ඈට සතු­ටුය.

එක­ව­රම ජය­මාල් තම අයි­යාගේ කාම­ර­යට එබෙයි.

“අයියේ, ගුහා­වෙන් එළි­යට එන්න කියලා ආරා­ධ­නා­වක් ලැබුණේ නැද්ද හා!”

“ලැබුණා... ලැබුණා... හා ආරා­ධනා නෙමෙයි... ඒවා නිකම් ආඩ­පාලි අභි­යා­චනා හහ්... ඊයෙ ආපු වෙලේ ඉඳන්ම අහලා අහලා ඇති­වෙලා... ඔයාගෙ වැඩ ගැන එහෙම කෝටි­යක් කම්ප්ලේන්... මොකද මල්ලි.... ඔයා මේ තරම්ම නෝටි වැඩ කර­න­වාද ආ...” අයියා මලෝ දෙන්නාම සාල­යට එන්නේ මද සිනා ඇති­වය.

“ඔන්න... ඔයාගෙ උපා­ධි­යක් එක්කම... මන­මා­ලි­යෙ­කුත් දැන් ඉඳන්ම සෙට් කරන විදි­යට... කට්ටිය ලහි ලහියේ වැඩ... අගෝ­රිස් කපු­වාට දැන් ශ්‍රී ජය වලව්ව... හරි­යට තමුන්ගෙ ගෙදර වගේ... හා... හා...!” ජය­මාල් අයි­යාගේ කනට කර රහ­සින් කියයි.

“හහ්... මං දෙන්නම්කො කපු­වට... දෙපි­ටින් යන්න... මට මන­මා­ලියො සෙට් කරන්න එන්නෙ...”

“කට... කට... ඔන්න ජන්තුවා එනවා... ඔත්තුකාරයා... එයා තමා...!”

“හප්පේ බේබි හාමුලා... මෙහෙම නිවාඩු පාඩුවේ ඉන්නවා දකි­න්නත් ආසයි නෙවැ... දැන් ඉතිං... ඉස්සර වගේ අපි එක්ක කතා බතා නෑනේ... පාඩම් වැඩම නේ...!”

“කොහො­මද ජන්තු කුමාර...?”

“ආනේ... කොල්ලා හොඳට එයැ­යිගේ පාඩං වැඩ තෝරා­ගෙන යනවා... බේබි හාමු... පිං සිද්ධ වෙනවා ඒකාගෙ ඇස් පෑදෙ­ව්වට... විභාගෙ පාස් වෙච්ච ගමං... පැක්ට­රියෙ ඔපි­සියෙ රස්සා­ව­කුත් දෙන්න අපෙ ලොකු හාමු පංගාර්තු කොර­ලයි තීන්නෙ...”

ශ්‍රීමාල්ට ජන්තු ගේ මුහුණ බැලු­වාම සතු­ටුය. ක්‍රම­යෙන් විය­පත් වන ලකුණු තිබුණ ද ඒවා අත­රෙහි වැතිරී ඇති සතුටේ රේඛා ඔහුගේ මුහු­ණට දිලි­සු­මක් එක්කර ඇත. පර­ම්ප­රා­වෙන් පර­ම්ප­රා­වට වල­ව්වට කඹු­රන ජන්තු ගැන වගේම සිරියා ගැනත් ඔහුට දුකය. ඒත් ඔවුන්ගේ හිතේ­ෂි­ව­න්ත­භා­ව­යට ඒ තර­මි­න්වත් උප­කා­ර­යක් කරන්ට අඩි­තා­ල­මක් දමන්ට තමා සම­ත්වීම ගැන හීනි­යට සතු­ට­කුත් ඇත. ආලි­න්දය පැත්තට යන­වි­ටම ඇසෙන අප්ප­ච්චිගේ හඬින් පුත්‍ර­යන් දෙදෙ­නාම මූණට මූණ බලා­ගන්නේ ඉඟි­යක් ද සම­ඟිනි.

“හා... හා... මෙහාට ඇවිත් ඈඳිගත්තා නං... පුත් කුමා­ර­වරු දෙන්නා... හග්... අපෙ මැණි­කෙත් මෙහාට එමු. වැද­ගත් දෙයක් තියෙ­නවා අද කතා කොර­ගන්න...!”

* * * * *

මලින්ද කීප වතා­වක්ම ශ්‍රීමාල් මල්ලිට ඇම­තු­මක් ගත්තද ක්‍රියා­වි­ර­හිත කර තිබීම ඔහු‍ගේ කුතු­හ­ල­යට හේතු­වෙයි. මලි­න්දට දැනෙන්නේ මහා තනි­ක­මකි. අප්ප­ච්චිත් අම්මාත් තමා සමඟ වැඩි කතා නැති­වීම එත­රම් දුකට හේතු­වක් නොවේ. කතා නැති­වී­මට වඩා කතා වැඩි­වීම දුකට හේතු­වන මහාම කාර­ණා­වක් වන හෙයිනි.

තමා මුරණ්ඩු වෙලා යයි නිර්මලා නැන්ද­ලාට ද ඇම­තුම් දී ඇති බව ඔහුට තේරී තිබුණි. ඒ අප්ප­ච්චි­ලාගේ හැටිය. එසේ කිරී­මෙන් මුර­ණ්ඩු­කම් සහ හිතු­ව­ක්කා­ර­ක­ම්ව­ලට තවත් උල්ප­න්දම් ලැබෙන බව ඔවුන් දන්නේ නැත.

සමන්ති අක්කාගේ විවා­හ­යත්... ඇය ලද ජය­ග්‍ර­හ­ණ­යත් තම දෙමා­පි­යන්ගේ හීන­මා­න­යට හේතු­වක් වෙලා ඇත... එහෙත් ඒවාට තුඩු­දුන් කාරණාකාරණ දැන් තමා දන්න­වාය. තමා විත­රක් නොවේ, ශ්‍රීමාල් සහ ජය­මාල් මල්ලි­ලාත් දනී. හිනා­වට කාර­ණය වන්නේ ඒ ගැන තවම සමන්ති අක්කා­වත් ජයේන්ද්‍ර අයි­යා­වත් දන්නේ නැති එක­මය! ඇත්ත­ටම සමන්ති අක්කා ජයේන්ද්‍ර අයි­යාගේ උත්පත්ති කතාව දන්නේ නැද්ද? එත­කොට ජයේන්ද්‍ර දන්නෙත් නැද්ද තමුන්ගේ උත්පත්ති රහස...? මේක නම් හරිම පුදුම වැඩක්... වතු­වල මිනිස්සු නම් සාමා­න්‍ය­යෙන් හැම දෙයක් ගැනම විම­සි­ල්ලෙන් ඉන්නා අයය. ඕපා­දූප කත­න්දර ඔවුන්ට හරි­යට බුලත් විටක් හරි කහට කෝප්ප­යක් ගානට වටි­න­වාය.

කොහොම වුණත් තම තමන්ගේ පැටි­කි­රි­වල කොළේ වහ­ගෙන ඉන්න හැකි­වීම හාමු­ලාට තියෙන බල­පු­ළු­ව­න්කා­ර­කම පුදු­මා­කාර එකක්.

වෙලා­වක ජය­මාල් ශ්‍රීමාල් වගේ ම රදීශ් ද මේ කතා­බ­හට හවුල් කර‍ගත යුතු­මය. ඒ එක්කම තම පෙම්ව­තිය වන ‍තරංගාට ජය­මාල්ගේ මාලි­කාත් ශ්‍රීමාල්ගේ මේඛ­ලාත් මුණ ගැස්විය යුතු ය. තමාට මේ දේවල් මෙහෙම හිතෙන්නේ දැන් තමා වල­ව්වෙන් ඈත්වෙලා ඇති නිසාද? මේ මාන­සික පෙරැ­ලිය මොකක්ද? දැන් වලව් දෙක­ටම අලුත්ම ව්‍යාධි­යක් ඇවිත් ඇත. ඒ අර අගෝ­රිස් පාර­ම්ප­රික කපු උන්නැ­හේය. අගෝ­රිස්ගේ තාත්තාත් කළේ වල­ව්ව­ලට ඒ කපු­කම් කළ එකය. අගෝ­රිස්ට ඉන්නේ දුවක් නිසා හොඳ වෙලා­වට ඒ කපු පර­ම්ප­රාව ගෙන­යන්ට කෙනෙක් නැත.

“පුතා... මෙහෙට ආව­නම් ටික­කට... මයෙ පුතා දැන් හරි­යට ඇදිලා පැදිලා ගිහිල්ලා... ඔය ඔෆී­සි­වල වැඩ කෙළ­ව­රක් නෑනේ... ඊට වඩා නාකද දෙයි­යනේ කියලා තමුන්ගෙ දේපළ බලා කියා­ගන්න එක කියලා මං කිව්වට කෝ පුතා අහන්නෙ නෑනෙ...”

සුදු මැණිකෙ තමා අසල කවි­ච්චියේ වාඩි වූ මලින්ද පුතාගේ හිසකේ අතර ඇඟිලි තුඩු යවා මෘදු ස්වර­යෙන් කියයි. මලි­න්දට ඇති­වන්නේ අම්මා ගැන ආද­ර­යකි. නමුත් ඉස්සර වගේ ඇගේ උකු­ලට හිස තියා­ගෙන ඇස් පියා­ගෙන ඉන්නට දැන් හිතෙන්නේ නැත.

තමා දෑස මෙන් වූ පිරි­මි­යෙක් බව වැට­හුණේ තරංගා හමුවූ පසු­වය... තමා තව­දු­ර­ටත් අම්මාගේ හුර­තල් බඩ පිස්සා නොවේ. මලින්ද, අම්මා දිහා ඇස් පුරාම බලයි. තම අම්මාගේ ඇස්ව­ලට කඳුළු පදා­ස­යක්ම එක­තුවී එක කඳු­ළක් කම්මුල දිගේ පල්ලම් බහින හැටි මලි­න්දට පෙනෙයි.

“මොකෝ මේ අම්මයි පුතයි මූණට මූණ බලා­ගෙන... ඉන්නේ... සුදු මැණිකෙ අපි තේ ඩිංගක් බොමුද...!

එහෙම කියා­ගෙන එත­නට ආවේ ගොඩ­ලි­ය­ද්දය. පුතාව මෙල්ල කර­ගන්ට තියෙන එකම මාර්ගය ආදරේ පෑම බව තම බිරිඳ පෙරදා මතක් කළ හැටි ඔහුට මත­කය.

“කොහො­මද පුතා... මූණ ඇදිලා ගිහින් තියෙන්නෙ ඇයි... අස­නී­ප­යක් නෑනේ...”

අප්පච්චි කවි­ච්චි­යට එහා­යින් වාඩිවී එසේ කියද්දි මලි­න්දට මතක් වුණේ පසු­ගිය දව­ස්වල තමා සහ දෙමා­පි­යන් අත‍ෙර් තිබුණු මත බේද හා සංවා­දය...

“අපෝ නෑ අප්පච්චි... මේ ටිකත් ඉස­ර­ද­යක්...”

“ඕක ඔයා­ල­ගෙම වර­දනේ... අර මැගී දව­සක් ඇර දව­සක් හැම­දාම උදේට කොළ කැඳ හද­නවා. ඒවා බොන්න... ඇඟට හරිම හොඳා... කෝ කිව්වට අහන එකක්යැ...”

අම්මා තේ එක රැගෙන එද්දිම මලින්ද එතැ­නින් මාරු වුණේ ශ්‍රීමාල්ට ඇම­තු­මක් ගන්න හිතා­ගෙ­නය.

* * * * *

ශ්‍රීමාල්ගේ බෝඩිමේ සග­යන් කීප දෙනා නිවාඩු පාඩුවේ එක­තුවී කතා කරන්නේ ශ්‍රීමාල්ගේ වල­ව්වට යෑම ගැනය. ශ්‍රීමාල්ට දැන් මේඛලා හමු­ව­න්නට හොඳ­ටම වුව­ම­නාව ඇතත් ගෙද­රින් එළි­යට පැන­ගැ­නීම අසීරු කාර­ණා­වකි.

පාඩම් කිරීම සඳහා පුස්ත­කා­ල­යට යන මුවා­වෙන් ශ්‍රී ජය වල­ව්වට ගොස් ඔහුව එළි­යට ගන්නට වැඩ­පි­ළි­වෙ­ළක් කතිකා කර ගෙන ඇතත් හැමෝම ඊට පසු­බාති.

“මොකක්ද බං සංජය... උඹ නාට්‍ය­කා­ර­යෙක් වෙලත් නෑනෙ මේ කිසිම ගටක්... ආ...” චතුර කියයි.

“ඇයි... මට විත­රද ගට තියෙන්න ඕන... ඇයි මේ උදාර ඉන්නේ ඕනෑම දේකට පපුව දීලා ඉස්ස­ර­හට යන එකා... හා ......!”

“ දැන් මුං ඔක්කො­ටම ලව්සික් ගහලා හෝන්දු මාන්දු වෙලා ඉන්නේ...” එහෙම කියා­ගෙන ආවේ සුමාල්ය.

“ඕං... මට ශ්‍රිමා­ලයා කෝල් එකක් දුන්නා... නිවේ­ද­න­යක්...!”

හැමෝම දැන් කට­වල් ඇර­ගෙ­නය.

ලබන සතියට‍...

 

Comments