ඒ කාලේ අනු­රා­ධ­පු­රේට මුහුදු වෙර­ළක් තිබුණා! | සිළුමිණ

ඒ කාලේ අනු­රා­ධ­පු­රේට මුහුදු වෙර­ළක් තිබුණා!

* මන්ත්‍රී කී දේ නොකළ නිසා‍ තැනින් තැනට මාරු කළා
* මා දුටු හොඳම මිනි­සුන් හිටියේ කැලෑ ගම්ව­ලයි
* රෑ දහයටත් පලංචි දිගේ අභයගිරියට නැග්ගා

ඔහුගේ පියා පහළ මධ්‍යම පන්තියේ රාජ්‍ය සේව­ක­යෙකි. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්න­න්ගර ශ්‍රීම­තා­ණන් ඇති කළ නිද­හස් අධ්‍යා­ප­න­යට පින් සි­දු­ ව­න්නට මේ රටේ මහ­ජන මුද­ලින් ඉගෙනුම ලබ­න්නට තමා වාස­නා­වන්ත වූ බව පව­ස­න්නට තරම් නිහ­තමානී වූවෙකි. ඒ බව සිත්හි තබා­ගෙන අද­ටත් මෙරට ජන­තා­වට ආදරය කර­මින් අවං­කව සේවය කර­න්නෙකි. ඒ. පී. ඒ. ගුණ­සේ­කර නම් මේ ජ්‍යෙෂ්ඨ පරි­පා­ලන නිල­ධා­රියා ‍එසේත් නොමැති නම් ගැමි සුවඳ මනාව හඳු­නා­ගත් සොඳුරු සාහි­ත්‍ය­ධ­රයා ආ ගමන් මඟ අප දිවි­යට ද එක් කරන්නේ වටි­නා­කම් රැසකි. ඔහු ආ ගමන් මඟ විමසා බැලීම අත්‍ය­වශ්‍ය වන්නේ එනිසා ය.

මුලින්ම ඔබ ගැන දැන­ග­න්නට කැමැ­තියි?

මගේ සම්පූර්ණ නම අල­ගි­යා­දුර ප්‍රේම­ලාල් අබේ­සිංහ ගුණ­සේ­කර. මා උපන්නෙ 1948 මැයි 14 වැනිදා. මගේ පියා ආතර් අබේ­සිංහ ගුණ­සේ­කර. ඔහු කොස්ගොඩ හෑගල්ලේ. අම්මා චාලට් ලිලි­යන් මැන්දිස්. ඇය අම්බ­ල­න්ගොඩ මාදම්පේ ඌරා­වත්තේ. මං පවුලේ වැඩි­මලා. මුලින්ම ගාල්ලෙ අධ්‍යා­ප­නය ලබා පසුව අම්මාගේ ගමේ පදිං­චි­යට ගියා. ඉන්පස්සේ මාදම්පේ ඌරා­වත්තේ රජයේ මිශ්‍ර පාස­ලෙ­නුත් මාදම්පා මහ විද්‍යා­ල­යෙ­නුත් අධ්‍යා­ප­නය ලබලා ශිෂ්‍ය­ත්ව­යෙන් කර­න්දෙණිය මහා විද්‍යා­ල­යට ඇතු­ළ­ත්වෙලා උසස් පෙළින් පසුව විද්‍යා­ලං­කාර විශ්ව­වි­ද්‍යා­ල­යෙන් බාහිර උපා­ධිය හැදෑ­රුවා. ශාස්ත්‍ර­වේදී උපා­ධිය ලබා­ගෙන පරි­පා­ලන සේවා විභා­ග­යෙන් සමත් වී ශ්‍රී ලංකා පරි­පා­ලන සේව­යට 1973 දී එකතු වෙනවා.

ඔබේ කුඩා කල මත­කය මොන වගේද?

අපිට හරි­යට ආ‍ර්ථික අමා­රු­කම් තිබුණා. තාත්තා රජයේ සේව­ක­යෙක් වුණත් තාත්තාගේ වැටුප පවු­ල­ටම ප්‍රමා­ණ­වත් වුණේ නැහැ. මමයි, නංගියි, මල්ලිල දෙන්නයි. ඉතින් මගේ බලා­පො­රො­ත්තුව වුණේ ඉගෙන ගෙන ඉක්ම­නින්ම රැකි­යා­ව­කට යන එකයි.

ළාබාල වය­සෙන්ම ඔබට රාජ්‍ය පරි­පා­ලන සේව­යට යොමු­ව­න්නට හැකි වෙනවා?

ඒ වන­ විට මට අවු­රුදු 24 යි. මාස නව­යක පමණ පුහු­ණු­ව­කින් පසුව තමයි අපට පරි­පා­ලන සේවයේ ප්‍රාදේ­ශීය ආදා­යම් නිල­ධාරි පත්වීම් ලබා­දෙන්නේ. ඒ පුහු­ණු­වට රජයේ සිය­ලුම දෙපා­ර්ත­මේන්තු පිළි­බඳ දැනුම, ඒවාහි ක්‍රියා­ව­ලිය රාජ­කාරි කට­යුතු ගැන අනි­වා­ර්ය­යෙන් දැනුම ලබා දෙනවා. උසාවි කට­යුතු පවා එයට ඇතු­ළත්. මේ විදි­හට මම කුරු­ණෑ­ගල, වාරි­ය­පොළ, ගෝම­ර­න්ක­ඩ­වල වැනි කච්චේ­රි­වල පුහු­ණුව ලබ­නවා. තිස්ස දේවේන්ද්‍ර, චන්ද්‍රා නන්ද ද සිල්වා වැනි දිසා­ප­ති­ව­රුන් යටතේ පුහුණු වෙනවා. ඒ පුහු­ණු­වෙන් අන­තු­රුව මට හොරො­ව්ප­තානේ DRO ලෙස පත්වීම ලැබෙ­නවා.

ඇයි ඔබ දුෂ්කර ප්‍රදේ­ශ­යක් තෝරා­ගත්තේ?

අපි කච්චේ­රි­වල පුහු­ණු­වට යොමු කරන විට අහ­නවා මොන මොන ප්‍රදේ­ශ­ව­ලට ද යන්න කැමැති කියලා‍. මම තෝරා­ගත්තේ අන්තිම දුෂ්කර දිස්ත්‍රි­ක්කයි. මට හිතුණා ලංකාවේ දුෂ්කර ප්‍රදේ­ශ­ව­ලට ගිහිල්ලා ඒ මිනි­ස්සුන්ට සේවය කර­මින් ජීවි­තය අත්වි­ඳි­න්නට. ඒ දිස්ත්‍රික්ක ඉල්ලන්න හේතුව වශ­යෙන් ලිව්වේ, දුෂ්කර ප්‍රදේ­ශ­වල සේව­යට ඇති ළැදි­යාව කියන වචන හත­රම විත­රයි.

හොරො­ව්පොතානේ පළමු වැනි DRO ඔබයි?

මම පත්වීම අර­ගෙන හොරො­ව්පොතා­නට යන්න හරි­යට පාර­වත් දැන­ගෙන උන්නෙ නැහැ. ලංකාවෙ සිති­ය­මක් අර­ගෙන බලලා තමයි මම හොරො­ව්පො­තාන හොයා­ගත්තේ. පුත්ත­ලම, අනු­රා­ධ­පු­රය ඉඳලා ත්‍රිකු­ණා­මල පාරේ මැද්දෙ තමයි හොරො­ව්පොතාන තියෙන්නේ. මම කෝච්චි­යෙන් තමයි වැඩ බාර­ගන්න ගියේ. අනු­රා­ධ­පු­රේට ගිහින් දිසා­පති හමු­වු­ණාම, “අයි­සෙට කන්තෝ­රු­වක් නැහැ හොරො­ව්පොතානෙ. ඒක අලුත් කොට්ඨා­ස­යක්. අයිසෙ ගිහිල්ලා කහ­ට­ග­ස්දි­ගිලි කච්චේ­රියෙ ඉඳ­ගෙන හොරො­ව්ප­තානෙ වැඩ­බ­ල­නවා” කියලා කිව්වා. පසුව මම කහ­ට­ග­ස්දි­ගි­ලියෙ උප දිසා­පති නිල නිවා­සයේ වසා දමා තිබූ කාම­ර‍යක් සුද්ද කර­ගෙන බිමට පත්තර පිටු එළලා සුමාන දෙකක්ම බිම නිදා­ගත්තා. DRO වුණාට මට ඇඳ­ක්වත් තිබුණෙ නැහැ. පස්සේ තමයි ඇඳක් තනවා ගත්තේ. අපි ඒ කාලෙ එහෙ­මයි දුක් වින්දේ. දැන් කාලෙ නිල­ධා­රීන්ට තිබෙන සැප බල­පු­ව­හම අපි මොන දුකක් ද විඳල තියෙන්නේ කියා හිතෙ­නවා. ඒත් ඒ සම­ඟම අපි ඒ වින්ද දුක හරි රසයි, හරි සුන්ද­රයි නේද කියලා හිතෙ­නවා. මං යද්දී ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යක් ලෙස නීති­යෙන් වෙන්කර තිබුණා පම­ණයි. 1975 දී තමයි හොරො­ව්පොතාන DRO කන්තෝ­රුව විවෘත කරන්නේ. මේ විදි­හට හොරො­ව්පොතානේ රාජ­කාරි කර­ගෙන ඉන්න කොට මාව මාරු කර­නවා හොරො­ව්පො­තා­නෙන් පද­වි­යට. අනු­රා­ධ­පුර කච්චේ­රියේ ඉඳල කිලෝ­මී­ටර් හැත්තෑ දෙකක දුරක් මම යා යුතුයි. මගේ කන්තෝ­රුව තිබුණේ පද­විය ගල්කු­ලමේ. හේතුව මන්ත්‍රී­තුමා කියන වැඩ නොකි­රීම සහ අවං­කව, කෙළින් රාජ­කාරි කිරීම. ඒත් දැන් කාලෙත් එක්ක සන්ස­න්ද­නය කරල බැලු­වම ඒ මිනිස්සු බොහොම බර­ප­තළ වැරදි කරල නැහැ. 1976 දී මට තන­තුරු කීප­යක් එක­වර ලැබුණා. කොහොම හරි පද­වියේ වසර තුනක් පමණ මම රාජ­කාරි කළා.

එදාට සාපේ­ක්ෂව ඒ පළා­ත්වල අද තත්ත්වය බොහෝ වෙනස්. ලංකාවෙ හොඳම මිනිස්සු මට හමු­වුණේ හොරො­ව්පො­තානෙ කැලෑ ගම්ව­ලදී. ඒ මිනිස්සු පුදු­මා­කාර විදි­හට අපේ පැරැණි බෞද්ධ සංස්කෘ­ති­යට අනු­ගත වෙච්ච හොඳ ගුණ යහ­පත් අය. දේශ­පා­ල­නය නිසා තමයි ටිකක් කුරු­වල් වෙලා තිබුණේ. මම මීට අවු­රුදු පහ හය­කට උඩදී එහෙ ගියා. පරණ අය කීප දෙනෙක් ජීව­තුන් අතර හිටියා. ඔවුන් මාව බදා­ගෙන ඇඬුවා.

ඔවුන්ගේ සමා­ජ­යට ඔබ අනු­ගත වුණේ කොහොමද?

මම දකුණු පළාතෙ මුහු­දු­කරේ මනු­ස්ස­යෙක්නේ. මට ඔවුන්ගේ භාෂාව නුපු­රු­දුයි. එහෙ තනි­ක­රම කෘෂි­කා­ර්මික සමා­ජ­යක්. ඒත් ඒ භාෂාව මාස දෙක තුන යන­විට මට හුරු­වුණා. ඒ වාග් විලා­ස­යෙන් එහෙ ගැමි­යන් එක්ක ඒ වචන දාලා කතා කරන විට මිනිස්සු හද­ව­තින් ම බැඳෙ­නවා.

ඒ ගැමියො අපිට කතා කරන්නේ, ‘හාන්දු­රු­වනේ’ කියලා. “අනේ! ආයු­බෝ­වන්ඩ හාන්දු­රු­වනේ, තමු­න්නාන්සෙ, මයෙ අප්ප, අප්පච්චි, මයෙ අම්මා, බොලං, වරෙං, පලයං. ඕං ඉතින් මයෙ අප්පච්චි කිව්වා” ඔවුන් කතා කරන්නේ එහෙ­මයි.

ඒ ගැමි­යන්ට දැවෙන ප්‍රශ්න විදි­හට ආර්ථික ප්‍රශ්න, ඉඩම් ප්‍රශ්න, කෘෂි­කා­ර්මික ප්‍රශ්න තමයි බහු­ල­වම තිබුණේ. මට පෙනුණු දැනුණු හැටි­යට ඒ ගැමි­යන්ගේ මුළු ජීවි­තේම තිබුණේ ප්‍රශ්න තමයි.

ගැමි­යන් පිළි­බඳ ඔබ මුහු­ණ­දුන් සංවේදී අත්දැ­කීම් කොතෙ­කුත් ඇති?

අන­න්ත­වත් තිබෙ­නවා. ඒවා අති­සං­වේදී මානු­ෂික ප්‍රශ්න. විශේ­ෂ­යෙන්ම, මම රාජ­කාරි කරන සමයේ හැත්තෑ ගණ­න්වල රටේම ආහාර හිඟයි. මිනිස්සු පාන් ගෙඩි­යක් ගන්න පැය ගණ­නක් පෝලිමේ ඉන්න ඕන. දව­සක් මනු­ස්ස­යෙක් අපේ නිල නිවා­සෙට ඇවිත් අඬා වැටෙන්න වුණා. දරු­වන් හත් දෙනයි. කන්න දෙයක් නැහැ කියලා. ඒ වෙන­කොට අපේ චම­රියෙ කෑම උයලා දුම් දම­නවා‍‍. මම ඒ මනු­ස්ස­යට ඒ සේරම කෑම ටික අර­ගෙන යන්න දුන්නා. මේ වගේ සිදු­වීම් නම් අන­න්තව මම අත්විඳ තිබුණා. මිනිස්සු කන්න නැතිව අනන්ත දුක් වින්දා. මං ඒ ජන­තා­වට කළ සේවය ගැන හද­ව­තින්ම සතුටු වෙනවා. මම ඒ ගැමි­යන් වෙනු­වෙන් විශාල සේව­යක් කළා. ගැමි­යන්ගේ ඉඩම් ප්‍රශ්න විස­ඳන අතරේ නියං සහ­නා­ධාර ක්‍රමය යටතේ වැව් හැත්තෑ­ව­කට වැඩි ප්‍රමා­ණ­යක් පිළි­ස­කර කළා. ඇළ­වල් දහ­යක් කැපුවා. පාර­වල් තිස් ගණ­නක් කැපුවා. අද ඒ පාර­ව­ල්වල බස් දුව­නවා.

එදා අනු­රා­ධ­පුර හා පද­විය අද වෙනස්ද?

මම රාජ­කාරි කරන සමයේ අනු­රා­ධ­පු­රය දිස්ත්‍රි­ක්ක­යට මුහුදු වෙර­ළක් තිබුණා. ඒ ගැන හුඟක් අය දන්නෙ නැහැ. කෝකි­ලායි කල­පුවෙ ඉඳලා ඒ කියන්නෙ උතුරු පළාතේ මායිමේ ඉඳලා ත්‍රිකු­ණා­මල දිස්ත්‍රි­ක්කයේ මායි­මට එනකං යාන් ඔය මුහු­දට වැටෙන තැනයි කෝකි­ලායි කල­පුව මැද අත­රෙයි තමයි මූදු වෙරළ තිබුණේ. අද ඒ කොටස ත්‍රිකු­ණා­ම­ල­යට අයත් වෙලා. මම ඒ ප්‍රදේ­ශ­ව­ලත් සේවය කළා.

ආර්. ප්‍රේම­දාස මහ­තාගේ මව්ගම, පිය­ගම නිවාස වැඩ­ස­ට­හන යටතේ මම කළු­තර දී මිනි­සුන්ට ගෙවල් තුන් දාහ­ක් ගො­ඩ­නැ­ඟුවා. ඒ ව්‍යාපෘති දෙකම කළේ මම.

වන­ජීවී අධ්‍ය­ක්ෂ ලෙසත් කලක් ඔබ කට­යුතු කළා නේද?

මම පරි­ස­ර­යට ආද­රෙයි. එය ඇත්ත­ටම ආස්වා­ද­ජ­නක තන­තු­රක්. මං ක්‍රියා­ත්මක ක‍ළ දේ දිග­ටම කළා නම් අද ලංකාවෙ අලි මිනිස් ගැටු­මක් නැහැ. එය ඉර­හඳ වගේ විශ්වා­සයි. ඒත් මං කරන්න හදපු දේ කරන්න මට ඉඩ ලැබුණේ නැහැ. මං අලි මිනිස් ගැටු­මට ප්‍රති­පත්ති මාලා­වක් හැදුවා. අලියා කියන්නේ සංචා­රය කරන සතෙක්. එක තැන තියන්න බැහැ. අනෙක අලියා හිතෙන හිතෙන තැන්ව­ලින් යන්නෙ නැහැ. අලි මංක­ඩ­ව­ලින් යන්නේ. ලංකාව පුරාම අලි­යට ආවේ­ණික වූ මාර්ග තිබෙ­නවා. අලියා යන ඒ මාර්ග ටික ඌට බේරලා දෙන්න ඕන. මම ලංකා­වෙම තිබෙන අලි මංකඩ ටික හඳු­න­ගෙන සිති­යම්ගත කළා‍. අපි ගත්තොත් බුන්දල අලි ඉන්නවා. එතැ­නින් උන් යාලට යනවා. යළිත් ලුණු­ග­ම්වෙ­හෙ­රට යනවා. එතැ­නින් උඩ­ව­ලව, මඳු­නා­ගල, නිම­ලව ආදී ප්‍රදේ­ශ­ව­ලට අලි යනවා. ඒ එකි­නෙ­කට සම්බන්ධ වන අලි මංක­ඩ­ව­ලින්. මොන­රා­ග­ලට හඳ­පා­නා­ග­ලට එතැ­නින් අම්පා­රට එතැ­නින් මඩ­ක­ල­පු­වට ආදී වශ­යෙන් එකින් එකට සම්බන්ධ වෙනවා. මේ සියල්ල මම සිති­යම් ගත කරලා අලි මංක­ඩ­ව­ලින් මිනිස් ජනා­වාස ඉවත් කළා. එයින් අලියා යන පාර­වල් ටික බේරල දීලා අලියා සහ මිනිසා වෙන් කිරීම සිදු­කළා.‍ අලි­යයි මිනි­සයි වෙන් කරන්න තිබෙන්නේ විදුලි වැටයි ජෛව වැටයි පම­ණයි. ජෛව වැට කියන්නේ උල් ඇති ගෝනි ගස්. මේ ගස් සිග් සැග් විදි­හට පේළි තුනක් ගහන්න ඕන. විදුලි වැටට පිටින්. ඒක මැදින් අලි කව­දා­වත් යන්නෙ නැහැ.

හැම­දාම තිබුණු විදු­ලි­වැට වෙනු­වට ප්‍රජා සහ­භා­ගිත්ව විදුලි වැට සංක­ල්පය මම ඇති කළා‍‍. එය අති සාර්ථක වුණා. ඒ වගේ ම මිනිස්සු කැලේ ගස් ටික කප­නවා. අලි මර­නවා, දළ ගල­ව­නවා, මැණික් පතල් කප­නවා, වැලි හාර­නවා, බුන්දල පැත්තෙ සිප්පි නිධි හාර­නවා. මේ වගේ නොයෙක් නීති විරෝධී වැඩ සිදු­වෙ­නවා. දඩ­මස් බිස්නස් කර­නවා. මේවා නීති­යෙන් තහ­නම් කළත් කර­නවා. මේ නිසා ජන­තාව දැනු­ම්වත් කරන්න වැඩ­පි­ළි­වෙ­ළක් සැක­සුවා. මේ කට­යුතු මොන­ත­රම් සාර්ථක වුණා ද කිය­නවා ආසි­යානු සංව­ර්ධන බැංකු­වෙන් මට ප්‍රශංසා කරලා ලිපි­යක් එව්වා.

ඔබ මධ්‍යම සංස්කෘ­තික අර­මු­ද­ලෙන් සැල­කිය යුතු කාර්ය­භා­ර­යක් ඉටු කළා?

නිර්භ­යව රාජ­කාරි කිරීම නිසා වන­ජී­වි­යෙන් මට ඉවත් වෙන්න සිදු­වෙ­නවා. ඉන්ප­සුව සංස්කෘ­තික අමා­ත්‍ය­ව­රයා වුණු මොන්ටි ගොප­ල්ලව අමා­ත්‍ය­ව­රයා මට සංස්කෘ­තික අමා­ත්‍යං­ශයේ රාජ­කාරි සඳහා කතා කර­නවා‍. ඒ අනුව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ලේකම් ධූර­යත් මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ රාජ­කාරි කට­යුතු කර­න්නත් මට පව­ර­නවා. එව­කට හිටි අමාත්‍ය කරු­ණා­සේන කොඩි­තු­වක්කු මහතා මට මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ අධ්‍යක්ෂ ජන­රාල් ධූරය භාර­දුන්නේ, “ගුණ­සේ­කර ඔයා ජාතික වග­කී­මක් ඉටු කරන්න“ කිය­ලයි. ඒ අනුව මම සවස හතර වෙන­කල් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ රාජ­කාරි කරලා හතරේ ඉඳන් අට වෙන­තුරු සංස්කෘ­තික අර­මු­දලේ රාජ­කාරි කට­යුතු කර­නවා. ඒ අනුව මට විශාල වැඩ කොට­සක් රටට ජාති­යට කර­න්නට හැකි වෙනවා.

මම බාර­ගන්න කොට මධ්‍යම සංස්කෘ­තික අර­මු­ද­ලත් පාඩු ලබ­නවා. එහි සේව­කයෝ ගෙදර අරින්න සූදා­නම් කර තිබුණේ. මං එයට විරුද්ධ වුණා. මම සේව­ක­ය­න්ගෙන් වැඩ ගත්තා. ඒ අය ස්ථිර කළා. ඒක ඒ මිනි­ස්සුන්ට මොන තරම් දැනු­ණද කිව්වොත් මම විශ්‍රාම ගිහින් අභ­ය­ගි­රි­යට ගිය වෙලා­වක උඩ පලං­චි­වල වැඩ කළ මිනි­සුන්ට මගේ කට­හඬ අැහිලා බැහැල දුව­ගෙන ඇවිත් මට දණ ගහලා වැන්දා. ඔබ තුමා නිසා තමයි අපි අද එක වේලක් හරි කාලා ඉන්නේ කියලා.

මේ කාලෙදි ඔබ කළ සංව­ර්ධන කට­යුතු මොන­වාද?

ලොකුම දේ තමයි මට ජේත­ව­නයේ අභ­ය­ගි­රියේ වැඩ කට­යුතු බොහෝ දුරට අව­සන් කිරී­මට හැකි­වීම. ‍ඒ සඳහා ලොකු ගඩොළු නිෂ්පා­ද­නය කර­න්නට අවශ්‍ය දර, මැටි තිබුණේ නැහැ. ගම්ව­ලින් මේ දේවල් උපයා ගත්තා. ගැමි­යාට ඒවා­යින් මුදල් ලැබුණා. කොන්ත්‍රා­ත්ක­රු­වන් අත­ර­මැ­දියො හිටියෙ නැහැ. අභ­ය­ගි­රිය බඳි­න්නට බදාම ලෙස ගත්තේ හුඹස් මැටි, දහය්යා අළු, අළු­හුනු, උළු කුඩු. මේවා ලංකාව වටින්ම අපි හෙව්වා. මම රෑ දහ­යට විතර ගිහින් පලංචි දිගේ අභ­ය­ගි­රි­යට නැඟලා එහි ඉදි­කි­රීම් කට­යුතු සොයා බැලුවා. කවු­රු­වත් දන්නේ නැහැ. පහු­වෙ­නිදා ‍ප්‍රගති සමා­ලෝ­චන රැස්වී­මට යන­විට මම එහි ප්‍රග­තිය ඇහැට දැකලා තමයි යන්නේ. මම අභ­ය­ගි­රිය, ජේත­ව­නය මුදු­න­ටම නැඟලා තිබෙ­නවා. එක දව­සක් මහින්ද රාජ­පක්ෂ අග­මැති තුමා මගෙන් අහ­නවා ගුණ­සේ­කර තමුන් මහ­රෑට අභ­ය­ගි­රිය, ජේත­ව­නය පලංචි දිගේ නගි­න­වද කියලා. මම ඔව් කිව්වා. ‘තමුසෙ පුදුම මිනි­හෙක්නේ!’ කියලා එතුමා හිනා­වුණා. සුනා­මි­යත් එක්ක මධ්‍යම සංස්කෘ­තික අර­මු­ද­ලට මුදල් නැතිව ගියා‍. මොකද සංචා­ර­ක­යින් ගෙන් ලැබෙන මුදල් නැති­වුණ නිසා. සේවක පඩි ගෙව­න්න­වත් මුදල් නැතිව ගියා. අභ­ය­ගි­රියේත් ජේත­ව­නයේ වැඩ නැව­තුණා. ඒ වෙනු­වෙන් පසුව ‘ශ්‍රම ශක්ති පූජා’ වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කළා. මුළු රටේම ජන­තා­වගේ, ආගම් භේද­ය­කින් තොරව සහ­යෝ­ගය නිර්ලෝ­භීව ලබා­දුන්නා. එක අම්ම කෙනෙක් අත දරු­වව ගහක් යටින් තියලා එයාගෙ ශ්‍රමය ජේත­ව­නේට ගඩොළු අදින්ට ලබා දුන්නා මත­කයි. ඒ වගේම සීගි­රිය කෞතු­කා­ගා­රය ගැනත් යමක් කිව යුතුයි. එයත් එව­කට හිටි නිල­ධා­රීන් වූ අපේ වැඩක්.

ඔබ සාහි­ත්‍ය­ධ­ර­යෙක්?

මම පාසල් යන කාලයේ සිටම කලා­වට දක්ෂයි. ‘හොරොව්පතානේ පළ‍වෙනි DRO’ කෘතිය මම රචනා කළේ 2003 දීයි. මම ලැබූ අත්දැ­කීම් රචනා කර තැබීමේ අද­හ­සක් තිබුණා.‍ වන­ජීවී දෙපා­ර්ත­මේ­න්තුවේ සිටිද්දී මට සර­ත්චන්ද්‍ර රාජ­ක­රුණා මහතා හඳු­නා­ග­න්නට ලැබුණා. ඒ වන­ජීවී දෙපා­ර්ත­මේ­න්තු­වෙන් සිදු­කළ කැසට් පට­යක ගීත රච­නය සම්බ­න්ධව කට­යුතු කිරී­මේදී. ඔහු මගේ කුලු­පග මිතු­රෙකු බවට පත්වුණා. ඔහු තමයි මේ කෘතිය රචනා කර­න්න මා උනන්දු කළේ. මෙයට පාදක වුණේ අතී­තය ගැන මගේ මත­කය හා මගේ දින පොත් සට­හන්.

අද රටේ රාජ්‍ය සේවය ගැන මොකද හිතෙන්නේ?

අද ‍රටේ රාජ්‍ය සේවයේ විශාල පරි­හා­නි­යක් තිබෙන බව නම් පෙනෙ­නවා. ඒකට රටේ දේශ­පා­ල­න­ඥයො වග­කි­යන්න ඕනෑ. ඒ වගේම නිල­ධා­රින්, මහ­ජ­න­තා­වත් වග­කි­යන්න ඕන.

ඡායා­රූප - තුෂාර ප්‍රනාන්දු

Comments