රුපියල ගැන කියන විද්වත් කතා | සිළුමිණ

රුපියල ගැන කියන විද්වත් කතා

රුපියල ශක්තිමත් කරන්න අපට පියවර කිහිපයක් ගත හැකියි

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි

රුපියල පිරිහීම නිසා රට ඇති ප්‍රශ්න මොනවාද?

මෙයින් අහිතකර ප්‍රශ්න කිහිපයක් නිර්මාණය වනවා. පළමුව, රටේ විදේශ ණය ගෙවීම සඳහා අවශ්‍ය රුපියල් ප්‍රමාණය ඉහළ ය‍ෑමෙන් ණය ගෙවීමේ ගැටලුවක් ඇති වනවා. දෙවනුව, සියලු ආනයන සඳහා ගෙවන රුපියල් ප්‍රමාණය ඉහළ යෑමෙන් රට තුළ ආනයනිත භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා.

ශ්‍රී ලංකාව බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන බැවින් ආනයන මිල ඉහළ යෑමෙන් රටේ පොදු මිල මට්ටම ඉහළ යෑමක් හෙවත් උද්ධමනයක් ඇති විය හැකියි. එමඟින් පොදු ජනයාගේ ජීවන මට්ටම පහළ යා හැකියි. තෙවනුව, රටේ උද්ධමනය ඉහළ යෑම නිසා අපගේ අපනයනවල තරගකාරිත්වය පහළ යා හැකියි. සිව්වනුව, විදේශආයෝජන ආපසු යෑම නිසා රට තුළ අරමුදල් හිඟයක් ඇති වීමෙන් රජයට සහ දේශීය ආයෝජකයන්ට අරමුදල් සපයාගැනීමේ දුෂ්කරතා ඇති විය හැකියි. එවිට, රට තුළ රාජ්‍ය ණය පොලී අනුපාතද ඇතුළුව පොලී අනුපාත ඉහළ යා හැකියි.

බොහෝ රටවල් සාර්ව ප්‍රතිපතියක් වන තම පොලී අනුපාතයන්ද ඉහළ දැමෙයි. ඊට හේතුව විදේශ ආයෝජන ආපසු යාම නවත්වා ගැනීමට උත්සාහ කිරීමයි. උදාහරණයක් ලෙස 2018 මැයි මස සිට මේ දක්වා තුර්කිය 10%කින්ද,ආර්ජන්ටිනාව 17.75%කින්ද, ඉන්දියාව 0.5%කින්ද, පිලිපීනය 1%කින්ද, ඉන්දුනීසියාව 1.50%කින්ද මහ බැංකු පොලී අනුපාත ඉහළ දමා තිබෙනවා. ඇමෙරිකානු මහ බැංකුව විසින් 26.09.2018 දින පොලී අනුපාතය 0.25%කින් වැඩි කළ දිනට පසු දිනම ඉන්දුනීසියා මහබැංකුව විසින් පොලී අනුපාතය 0.25%කින් වැඩි කළා. ඇමෙරිකාව පොලී අනුපාතය දැනටම 2%ක් වැඩි කොට එරට මහ බැංකුව දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිගේ විරුධත්වයද නොසලකායි. පොලී අනුපාතය අඛණ්ඩ ව වැඩි කිරීමට හේතුව ලෙස ඇමෙරිකානු මහ බැංකුව පවසනුයේ ඇමෙරිකානු ආර්ථිකය පසුගිය 2007-09 මූල්‍ය අර්බුදයෙන් පසුගිය දැනට ඉතා ශක්තිමත් මට්ටමකට පැමිණ ඇති බැවින් තවදුරටත් ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කළ හොත් උද්ධමනය 2%ට වඩා ඉහළ ගොස් මහ බැංකුවේ උද්ධමන ඉලක්කය පවත්වාගෙන යා නොහැකියි.

දැනට රුපියල මෙසේ පිරිහීමට හේතුව කුමක්ද?

මෙය සිදු වන්නේ ඇමෙරිකානු ඩොලරය සම්බන්ධවයි. එනම්, ඩොලරයේ අගය ලොව පුරා ඉහළ යෑමයි. මීට හේතුව 2007-09 ඇමෙරිකාවේ පැවති මූල්‍ය හා ආර්ථික අර්බුදය දැන් නිමා වී ආර්ථිකය ශක්තිමත් වීම නිසා 2015 දෙසැම්බර් මස සිට ඇමෙරිකානු මහ බැංකුව විසින් දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. ඒඅනුව, පොලී අනුපාතය 2015දී 0.25% සිට 2.00% දක්වා වරකට 0.25% බැගින් අට වතාවක් මේ දක්වා ඉහළ නංවා තිබෙනවා. එය තවදුරටත් 3%-3.25% පමණ දක්වා 2019-2020 වන විට ක්‍රමානුකූලව වැඩි කෙරෙනු ඇතැයි බලාපොරොත්තු වනවා. මෙසේ පොලී අනුපාතය වැඩි වන විට විදේශ ආයෝජනය ඇමෙරිකාවට ඇදී යෑමට පටන් ගන්නවා. ඇමෙරිකානු ආයෝජන අප රටවල ආයෝජනයන්ට වඩා සුරක්ෂිත බවයි පිළිගැනීම මේ විදිහට අප රටවල පවතින කෙටිකාලීන විදේශ ආයෝජන ඉක්මනින් ආපසු යෑම නිසා රට තුළ විදේශ විනිමය හිඟ වීමෙන් දේශීය මුදල පිරිහෙනවා.

එසේම, 2007 සිට අධික ලෙස ඇමෙරිකාව මුද්‍රණය කළ අතිරේක මුදල් ආපසු ආර්ථිකයෙන් ඉවත් කරගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමටද ඇමෙරිකානු මහබැංකුව පටන් අරන්. එමඟින්, ලෝකයේ ඩොලර් සැපයුම අඩු වනු ඇති. එබැවින්, ඩොලරයෙහි සැපයුම අඩු වී, ඩොලරයට ඇති ඉල්ලුම වැඩි බැවින් ඩොලරයේ අගය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ලෝකය පුරා දියුණු වන රටවල් රාශියකට මෙය බලපා තිබෙනවා. විදේශ සම්පත් අඩු, දැඩි ගෙවුම් ශේෂ හිඟයන් පවතින රටවලට මෙය තදින් බලපා තිබෙනවා. රටවල ආර්ථික සහ මූල්‍ය ශක්තිය අනුව මුදල් අවප්‍රමාණය අඩු-වැඩි වශයෙන් බලපා තිබෙනවා. බොහෝ විට රටක් කෙටි කාලීන විදේශ ණය සහ ආයෝජන මත දැඩි වශයෙන් රැඳෙන විට රට පිළිබඳ ආයෝජන විශ්වාසය පහළ යන අවස්ථාවල එම ණය සහ ආයෝජන ආපසු යෑම නිසා මෙසේ මුදල් අර්බුද ඇති වෙයි.

රටේ විනිමය අනුපාතය පිළිබඳව නීතිමය වගකීම ඇත්තේ කාටද?

මීට ගත හැකි පිළියම් මොනවාද? වගකීම ඇත්තේ මහ බැංකුවටයි. අවසාන වගකීම ඇත්තේ මුදල් ඇමැතිතුමාටයි. මේවා මුදල් නීති පනතෙහි දැක්වෙයි. තවද, රටට යෝග්‍ය ලෙස විදේශ මුදල් ගනුදෙනු විධිමත්කරණයට බලතල විදේශ විනිමය පනත සහ මුදල් නීතිපනත මගින් මහ බැංකුවට බලතල පැවරී ඇත. මුදලේ විදේශීය අගය ස්ථායීකරණය කිරීම 1950 සිටම මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තියේ අත්‍යවශ්‍ය අංගයකි. මේ මුදල් පිරිහීම වැළැක්වීමට දැනට ගත හැක්කේ තාවකාලික පියවරයි. මෙහිදී රට තුළ ඩොලර් සැපයුම ආරක්ෂා කරගැනීමටත් ඉහළ යන ඩොලර් ඉල්ලුම පාලනය කරගැනීමටත් පියවර ගත යුතුයි. ඒ සඳහා සාර්ව සහ ක්ෂුද්‍ර ප්‍රතිපත්ති රාශියක් ගත යුතුයි.

රුපියල රැකගැනීම සඳහා අනුගමනය කළ හැකි ක්ෂුද්‍ර ප්‍රතිපත්තිද කිහිපයක්ම තිබෙනවා. ඒවා රටේ පුරවැසියන්ගේ විදේශ විනිමය ගනුදෙනුවල ස්වභාවය අධ්‍යයනය කොට, රටේ විදේශ විනිමය සැපයුම වැඩි වන ලෙස පාලනය කිරීමට එය යොදාගත යුතුය. බැංකු තබාගන්නා ඩොලර් ප්‍රමාණය අඩු කළ යුතුයි. සියලු අපනයන ණය ගෙවීම ප්‍රමාදයන් සඳහා අය කරන දඩ පොලිය දෙගුණ කළ යුතුය. රටේ සමාගම් සහ පුද්ගලයන් විසින් විදේශ ආයෝජන සඳහා ගෙන යන මුදල් තාවකාලිකව අත්හිටුවිය යුතුය. ආනයන, අපනයන අත්තිකාරම් සහ වෙනත් විදේශ ගෙවුම් සඳහා පෙර විදේශ ගෙවුම් කිරීම අත්හිටවිය යුතුයි. දේශීය බැංකුවල ඇති විදේශ මුදල් ගිණුම්වලට ලැබෙන මුදල් දිරිගැන්වීම සදහා පොලී අනුපාත වැඩි කළ යුතුයි. පුද්ගලයන් අත ඇති විදේශ මුදල් බැංකුවල තැන්පත් කිරීම සඳහා දිරි ගැන්විය යුතුය. විදේශ ආයෝජන තව තවත් ආපසු යයි නම් මුදල් හිඟය බැංකු සහ සමාගම් අංශයන්ට පැතිරිය හැකි බැවින් බැංකුවල අරමුදල් තත්ත්වය දිනපතා පරික්ෂා කොට ඊට විසඳුම් කඩිනමින් දිය යුතුය. මුදල් පිරිහීමක් මූල්‍ය අර්බුදයක් බවට පත්වනුයේ මෙවැනි අරමුදල් හිඟතාව නිසායි.

කෙසේ වුවත් විදේශ ආයෝජන ආපසු යෑමෙන් රට තුළ අරමුදල් හිඟයක් ඇති වන විට රට තුළ මූල්‍ය වෙළෙඳපො‍ළේ පොලී අනුපාත ඉහළ යනු ඇති. එය පාලනය කිරීමට නම් මහ බැංකුව නව මුදල් වෙළෙඳපොළට නිකුත් කළ යුතුයි. මෙසේ පොලී අනුපාත අඩුව පවත්වාගත හොත් අඩු පොලියට ණය ගෙන විදේශ ආයෝජන සහ ආනයන සඳහා යෙදීමෙන් විදේශ විනිමය හිගය තවත් වැඩි වී, රුපියල පිරිහීම අධික විය හැකිය.

මහ බැංකුවේ විදේශ සංචිතයද විනිමය අනුපාතය ආරක්ෂා කිරීම සඳහා මුදල් නීති පනතින් මුදල් මණ්ඩලය වෙත පනවා ඇති වගකීමක්. මහ බැංකුව අතීතයේ සිටම මේ සඳහා විදේශ සංචිතයද හාවිත කොට ඇත. අපහසු කාලවල සංචිතය එසේ පහළ යන විට, හොඳ කාලයේදී එය නැවත ගොඩනගා ගැනීම සාමාන්‍ය පිළිවෙතයි.

ඉහත විසඳුම් ප්‍රමාණවත් නොවේ නම් විදේශ විනිමය හිඟය පියවීම සඳහා ඉක්මන් විදේශ ණයක් නොගෙන වෙනත් විකල්පයක් නැත. එසේ රජයේ මැදිහත් වීමක් නැතිව මේ ගැටලුව පාලනය කළ නොහැකිය. එය හැම රටකටම පොදු කරුණකි. මෙය මහ බැංකුවේ කාර්යයක් බැවින් අප මැදිහත් වෙන්නේ නැතැයි කියා පැත්තකට වෙලා සිටීමට රජයට නොහැකිය.


අත්‍යවශ්‍ය නොවන ආනයන අඩු කරන්න

ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක වින්සන් මර්වින් ප්‍රනාන්දු

විදේශ විනිමය අනුපාතය කියන්නේ මොකක්ද? එය අඩු වැඩි වෙන්නේ කොහොමද? එහි ප්‍රතිවිපාක මොනවාද? ඒ නිසා ප්‍රවීණ ආර්ථික ලේඛකයකු වශයෙන් ඔබ ආර්ථික විද්‍යාත්මක අර්ථයන් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?

විදේශ විනිමය අනුපාතයක් කියන්නේ එක්තරා විදියක මිලක්. අපි කඩේට පාන් ගෙඩියක් ගන්න ගියොත්, ඒ පාන් ගෙඩියට අපි ගෙවන්නේ ‍රුපියල්. ඒ වාගේ කෙනෙක් පිටරට යන්න ඕනැ නම්, ඔහුට මිලදී ගන්න ‍වෙන්නේ විදේශ මුදල්. මේ විදේශ මුදල් ගත්තේ දේශීය මුදල් වියදම් කරලා. ඒ වාගේ ම සංචාරකයෙක් ලංකාවට ආපුහාම ඔහු අ‍ෙත් එන්නේ විදේශ මුදල්. ඔහු එයාර්පෝට් එකේදි ලංකාවේ බැංකුවලින්, ඉල්ලන්නේ රුපියල්. දේශීය මුදල්. මේ අනුව සෑම භාණ්ඩයක ම මිල තීරණය ‍වනවා වාගේ මේ ඩොලරයේ අගය තීරණය වෙන්නේ විදේශ විනිමය ඉල්ලුම හා සැපයුම අනුවයි.

එසේම ඉල්ලුම - සැපයුම අනුව තීරණය වන විට මිල ගණන් වැඩි වෙනවා. අඩු වෙනවා. ඒ කියන්නේ ඉල්ලුම සැපයුමට වඩා වැඩි වුණොත් ඩොලරයට ගෙවන රුපියල් ගණන වැඩි වෙනවා. ඉල්ලුමට වඩා සැපයුම අඩු වුණොත් ඩොලරයට ගෙවන රුපියල් ගණන අඩු වෙනවා.

ජනතාව මොකටද මේ ඩොලර් ඉල්ලන්නේ ?

කොහොමද? මේ ඩොලර් සපයන්නේ ඕක තේරුම් ගන්න බැරිව තමයි අද මේ ප්‍රශ්නයට එක එක්කෙනා උත්තර දෙන්නේ. දැන් ශ්‍රී ලංකාවේ කෙනෙක් ඩොලර් ඉල්ලන්නේ ඇයි? එයට හේතු පහක් කියන්න පුළුවන්.

කෙනෙක් පිටරටකින් භාණ්ඩයක් ගෙනෙනවා නම්, ඔහුට විදේශ විනිමය ඕනෑ. උදාහරණයක් වශයෙන් තෙල් සංස්ථාව තෙල් ගෙනෙනවා නම් පිටරටින් ගෙවන්නේ විදේශ මුදල්වලින්. මේ දිනවල ලෝක තෙල් මිල වැඩි ‍වෙනවා. එතකොට අපිට ඒ සඳහා වැඩි මිලක් ගෙවන්න රුපියල් වියදම් වෙනවා.

පවුලක දරුවෙකුව පිටරට උගන්වන්න යවනවා නම්, ඒ අම්මාට තාත්තාට දරුවන්ට විදේශ මුදල් හොයලා දෙන්න වෙනවා. අද වන විට ලංකාවේ ගොඩාක් ළමයි ඉගෙන ගන්න පිටරට යනවා. ඒ සඳහා අපිට ගොඩාක් පිටරට මුදල් ඕනෑ වෙනවා. රටක් විදේශ ණය ගත් විට ඒවා බේරුම් කිරීමට ණය හා පොලී ගෙවන්න විදේශ මුදල් ඕනෑ වෙනවා. ලංකාව සෑම ආණ්ඩුවක් යටතේ ම විදේශ ණය බර වැඩි කරගත්තු රටක්. ඒවා ආපහු ගෙවන්න නැවතත් ණය ගන්න වෙනවා.

ලංකාවේ කෙනෙක් පිටරට රැකියාවකට යනවා නම්, ඔහු යන්න වෙන්නේ විදේශ මුදල් අරගෙන. ලංකාවේ කෙනෙක් පිට රටක ආයෝජනය කරනවා නම්, ඔහු රැගෙන යන්නේ විදේශ මුදල්. දැන් අපි බලමු විදේශ මුදල් සපයනවා කියන්නේ මොනවාද කියලා. එයටත් හේතු පහක් තියෙනවා.

විදේශ මුදල් ලැබෙන ප්‍රධාන මාර්ගය අපනයනයි. දෙවැනි මාර්ගය සංචාරක ව්‍යාපාරයයි. තුන්වැන්න මැදපෙරදිග හා වෙනත් රටවල වැඩ කරන මෙරට අය මේ රටට එවන විදේශ ප්‍රේෂණ. හතර වැනි එක විදේශ රටවල් අපට ලබා දෙන ණය හා ප්‍රදානයි. පස්වැනි එක, විදේශ ආයෝජකයන් මෙරට සිදු කරන ආයෝජනයි. ඉල්ලුම හා සැපයුම කියන මේ කරුණු දෙක මත ප්‍රශ්නය ඇති වෙන්නේ.

ඇයි මෙච්චර වේගයෙන් ඩොලරය වැඩි වෙන්නේ?

එයට මුලින් ම බලපාන්නේ අපේ අපනයන ආදායම වාගේ දෙගුණයක් ආනයන වියදම් සඳහා කරන්න සිදුවීමයි. එහේම නම් අපිට මේ ප්‍රශ්නයට විසඳුම් දෙන්න පුළුවන් ක්‍රමවේදයකට මේ ප්‍රශ්නය විසඳන්න වෙන්නේ එක්කෝ අපනයන වැඩි කිරීමෙන්. එහේම නැත්නම් ආනයන අඩු කිරීමෙන්. අපනයන වැඩි කරන එක දිගුකාලීන වැඩක්. ඒක දවසින් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. එය දිගුකාලීන වැඩක්.

ඒ සඳහා රජය අපනයන ජාතික සැලැස්මක් ද හදලා තියෙනවා. නමුත් එහි ප්‍රතිඵලය එන්න කල් යනවා. අපට ටිකක් හරි අපනයන ආදායම වැඩි වුණේ 2017 - 2018 වසරවල ජී.එස්.පි. සහනය ලැබුණු නිසයි. ඒ අතරට මත්ස්‍ය අපනයන තහනමත් ඉවත්වීම වූ නිසයි. එහේම වෙලාත් අපේ අපනයන වැඩි වුණේ ඩොලර් බිලියන 10 ඉඳලා ඩොලර් බිලියන 11 දක්වා පමණයි. එහෙත් ආනයන ඩොලර් බිලියන 20 ක්. ඒකට ගොඩාක් හේතු වුණේ තෙල් මිල වැඩිවීම. ඒ අනුව අපේ ‍වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 09 ක්. ඒක මේ අවුරුද්දේ අගවනවිට ඩොලර් බිලියන 10 ක් වෙන්න ඉඩ තියෙනවා. මේ දිනවල ‍ෙඩාලරයට ගෙවන රුපියල් ගණන වැඩි වීමට එය එක හේතුවක්.

එයට අපට ඇති පිළියම මොකක්ද?

ඒ සඳහා වහාම මහබැංකුව ගත යුතු පිළියම තමයි, වාහන ගෙන්වීම අඩු කිරීමට ණයවර ලිපි මත සියයට සියයක කාසි ආන්තිකයක් නියම කරලා තිබීම. අනෙක් අතට අත්‍යවශ්‍ය නොවන ආනයන අඩු කරන්න. වැඩියෙන් බදු පැනවීම. එය එක පැත්තකින් ආණ්ඩුවට වාසියි. මොකද ආනයන තීරු බදු ආදායම වැඩි වෙනවා. නමුත්! සාමාන්‍ය ජනතාවට අමාරුයි. කාර් ගෙන්වන්න හිටපු අයට, කාර් ගේන එක කල් දාල්න වෙනවා. බොහෝ භාණ්ඩවල ආනයන මිල ඉහළ යෑම නිසා මිනිස්සුන්ගේ ජීවන වියදම වැඩි වෙනවා. ඒත් වෙලාවේ හැටියට ක්ෂණික පිළියම වෙන්නේ මේකයි.

ඇමෙරිකාව ගත් තීරණය ආනයන අපනයනවලට බලපාන්නේ නැද්ද?

මීට පෙර ඇමෙරිකාවේ ආයෝජකයන් ඇමෙරිකාවෙන් පිට ගියා. ඒ රටවල ආයෝජනය කරන්න. ට්‍රම්ප් බලයට එන්න පෙර එහි පොලිය අඩුයි. ට්‍රම්ප් ආවාට පස්සේ පොලිය අට පාරක් වැඩි කළා. ඒ දින සියයට 0.25 පොලිය අද සියයට 2.0 ඉක්මවා යනවා. ඉතින් ඒ නිසා බොහෝ දෙනෙක් දැන් ඇමෙරිකාවේ ආයෝජනය කරන්න පෙලඹෙනවා. පසුගිය අවුරුදු දෙකේ ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළේ හා රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කළ අය දැන් ආයෝජනය කිරීමට ඇමෙරිකාව තෝරාගෙන තිබෙනවා. එයත් රුපියල බාල්දුවීම වැඩි වීමට බලපෑවා.

මේ තත්ත්වයට අපේ විනිමය අනුපාත ප්‍රතිපත්තිය හේතු වන්නේ නැද්ද?

ශ්‍රී ලංකාවේ විනිමය අනුපාත ප්‍රතිපත්ති තුනක් තිබුණා. 70 - 77 කාලේ අපේ තිබුණේ එක තැන පල් වෙන විනිමය අනුපාත ප්‍රතිපත්තියක්. ඒකෙදි ඩොලර් එකක් රුපියල් 8% ගාණේ වෙනස් නොවී තිබුණා. ඒ කාලෙත් මිනිස්සු විනිමය ප්‍රතිපත්තියට බැන්නා.

ඊට පස්සේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ඒ ප්‍රතිපත්තිය කණපිට හැරෙව්වා. එක වරම රුපියල පාවෙන්න ඉඩ හැරියා. එනම් ‍‍ඩොලරයක් රුපියල් 16 ක් කළා.

එදා ඉඳලා අද වනතුරු මේ ආකාරයට ‍ෙඩාලරයට ගෙවන රුපියල් ගණන වෙනස් වෙවි එනවා. උදාහරණයක් 1980 ඩොලර් එකක් රුපියල් 20යි. අවුරුදු 10කට පස්සේ ඩොලරයක් රුපියල් 40යි. තවත් අවුරුදු 10කට පස්සේ වසර 2000 දී 80 වුණා. 2018 වන විට 80, 160ත් පැනලා. මේක විනිමය අනුපාත ප්‍රතිපත්තිමය ගැටලුවක්. මේකට විසඳුම් දෙකක් තිබෙනවා. එකක් තමයි මහ බැංකුව මැදිහත් වෙලා විදේශ සංචිත වෙළඳපොළට දැමීමෙන් මේ වැඩි වන එක අඩු කරගන්න පුළුවන්.


වියදම් අඩු කරගනිමු

මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන

මුදුනින් පටන් ගෙන පහළට ගලා එන ආදර්ශවත් ආර්ථික පිළිවෙත් ජාතියට හුරු කිරීමෙන් හැර, සටන්පාඨවලින් පමණක් රුපියලේ අගය පිරිහීමේ අර්බුදයට විසඳුම් සොයාගත නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. වි‍ජේවර්ධන මහතා අවධාරණය කරයි.

විදේශ විනිමය පිළිබඳ අර්බුද ශ්‍රී ලංකාවට අද පමණක් ඇති වූවක් නොවේ. එය ඉතිහාසයේ අවස්ථා කිහිපයකදීම අප රටට බලපා තිබේ. වසර 1977දී හටගත් අර්බුදයට විසඳුම් ලෙස රුපියල පාවෙන්නට හරිනු ලැබීය. වසර 2001, වසර 2009 වසර 2016 හා මේ වසරේදීද ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අඛණ්ඩව දැඩි ලෙස අවප්‍රමාණය වීම සිදු විය. අද වන විට ශ්‍රී ලංකා රුපියල නිරන්තරයෙන්ම ඩොලරයට සාපේක්ෂව අඛණ්ඩව අවප්‍රමාණය වීම ඇරඹී තිබේ.

මේ අර්බුදයෙන් මිදීමට මේ මොහොතේ සියලු ශ්‍රී ලාංකිකයන් එකට එක්ව පිළිවෙත් පිරිය යුතුයි. ශ්‍රී ලාංකිකයන් ලෙස අපි ඔබ කවුරුත් උපයන ආදායමට වඩා වැඩි වියදමක් දැරීමට කලක් තිස්සේ හුරු වී සිටිමු. මේ අන්දමට උපයන ආදායමට වඩා වැඩි වියදමක් දරන්නට සිදු වුවහොත් අනිවාර්යෙන් ම ණය ගත යුතුයි. මේ ණය ආපසු ගෙවීමේදී වාරික හා පොලී ගෙවීමට සිදු වේ.

ශ්‍රී ලංකාව වසර 70ක් පුරා ජාතියක් ලෙස තට්ටු මාරු ක්‍රමයට ආණ්ඩු පිහිටුවා, විවිධ ශුබසාධන ප්‍රතිලාභ, සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නංවා ඇති රටකි. මේ අන්දමට ජනතා ශුභසාධනයට, සංවර්ධනයට රටක් ලෙස ලබාගත් ණය කන්ද මේ වන විට මීතොටමුල්ල කුණු කන්දටත් වඩා උසට ඉහළට නැඟ ඇතැයි වරක මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කොට තිබිණි.

මේ අර්බුදයට හේතුව ඇමෙරිකානු ඩොලරයට ගෙවීමට සිදු වී තිබෙන ශ්‍රී ලංකා රුපියල් ගණන දිනෙන් දින ඉහළ යෑමයි. එසේ නම් අප ඩොලර්වලට අධික ඉල්ලුමක් පවතින අත්‍යවශ්‍ය නොවන භාවිතයන් සීමා කරගැනීමට මේ අවස්ථාවේ ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුය. එය රටවැසි ජනතාව ගත යුතු අතර, ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කිරීම දේශපාලන, රාජ්‍ය නිලධාරි පිරිසගෙන් ඉටු විය යුතුයි.

මේ රටේ මුදුනින් ආදර්ශවත් ප්‍රතිපත්ති ආරම්භ කොට පහළට ගලා එන ලෙස ඒවා රටට, රට වැසියන්ට හුරු කළ යුතුයි.

අප අනවශ්‍ය ඩොලර් වියදම්වලට නොයා, රටට අලුතින් ‍ඩොලර් ලැබෙන වැඩපිළිවෙළක් වෙත යා යුතුය. මේ විසඳුම ඩොලරයට සාපේක්ෂව රුපියල දැඩිව අවප්‍රමාණය වීම වැළැක්වීමට ඇති එකම මඟයි.

අප තමතමන්ගේ ආදායමට වඩා වියදම්වලට ගොස් අමාරුවේ වැටී ඇත. ඒ නිසා ණය වෙමින් කා බී සතුටු වීමේ පිළිවෙතින් මිදී, අප අපට හැකි වියදම් රටාවකට හුරු විය යුතුයි.

රට, ජාතිය ගොඩනැංවීමට වචනවලින්, සටන්පාඨවලින් තොරව සැබෑ ලෙසම ඇපකැප වී සියලු දෙනා ක්‍රියා කළ යුතුය. එසේ නොවුණ හොත් මතු දිනෙක ආනයන සීමා කර, 1977ට පෙර රටේ පැවැතියා වූ පෝලිම් යුගයක් කරා යළි රට තල්ලු වී යෑම වැළැක්වීමට නොහැකි වනු ඇත.

 

Comments