
පසුගිය සතියේ නුවරඑළිය මහ රෝහල රටේ උණුසුම් පුවත් මවන මාතෘකාවක් බවට පත් විය. නුවරඑළිය මහ රෝහලේ අක්ෂි සායනයෙන් ප්‍රතිකාර ලබා ගත් රෝගින් විවිධ සංකූලතාවලට ගොදුරු වී නැවතත් රෝහල්ගත වීමෙන් මෙම උණුසුම් ප්‍රවෘත්තිය රට පුරා පැතිරිණි. අක්ෂි සායනයට පැමිණි රෝගීන්ගේ ඇස්වලට ඖෂධ එන්නත් කිරීමෙන් අනතුරුව ඇස් නොපෙනී ගිය බවත් කබ සහ කඳුළු ගලන්නට වූ බවත් හිස කරකැවිල්ල, ක්ලාන්තය, වමනය වැනි රෝග ලක්ෂණ පළ වූ බවත් වාර්තා විය.
උද්ගත වූ සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය මහ රෝහලේ බලධාරින් මාධ්‍ය මඟ හැරීමත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ අවසරයකින් තොරව මාධ්‍යයට කතා කිරීම ප්‍රතික්ෂේප කිරීමත් නිසා මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගෙන් කරුණු විමසුවෙමු.
“නුවරඑළිය මහ රෝහලේ අක්ෂි සායනයට පැමිණි රෝගින්ගෙන් 17 දෙනකුට ආසාත්මිකතා තත්වයක් ඇති වී තිබුණා. එදා සායනයේදි බෙවර් සුසිමැබ් යන ඖෂධය එන්නත් කර තිබුණ. ඔවුන්ගෙන් 17 දෙනකුට තමයි කබ කඳුළු ගැලීම, ඇස් පෙනීම නැති වීම, සොටු දියර ගැලීම වැනි සංකූලතා ඇති වී තිබුණේ. ඔවුන් නේවාසිකව ප්‍රතිකාර ලබා මේ වන විට නිවෙස්වලට ගිහින් තිබෙනවා. මෙය නුවරඑළියට විතරක් සීමා වුණ ගැටලුවක්. අපි දැනට නුවඑළිය රෝහලේ විතරක් මේ ඖෂධය නවත්වා තිබෙනවා. මෙම ඖෂධය ලංකාවේ හැම රෝහලකටම වගේ නිකුත් කර තිබෙනවා. ඒත් කිසි ම රෝහලකින් මේ වන තුරු ඖෂධය සම්බන්ධයෙන් ගැටලු මතු වුණේ නැහැ. නුවරඑළිය රෝහලේ විතරයි මේ ප්‍රශ්නය ඇති වුණේ. ආසාත්මිකතාවක් කියලා අපි අනුමාන කරන්නේ ඒ නිසයි. කොහොම වුණත් නුවරඑළිය රෝහලේ තිබෙන බෙවර් සුසිමැබ් ඖෂධය සම්බන්ධයෙන් ජාතික ඖෂධ අධිකාරිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළා. ඒ කටයුතු අවසාන වුණාට පස්සේ තමයි අපිට නිශ්චිතව ම හේතුව දැනගන්න පුළුවන් වෙන්නේ.” යනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.
පසුගිය බ්‍රහස්පතින්දා (27) පස්වරුවේ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ එසේ ප්‍රකාශ කළ ද එදින සවස් වන තුරු නුවරඑළිය මහ රෝහලේ අක්ෂි වාට්ටුවල ප්‍රතිකාර ලබන රෝගින් අපට හමු විය.
තලවකැලේ අශෝක පුෂ්පකුමාර ඉන් එක් රෝගියෙකි. තලවකැලේ සුමන මහ විදුහලේ කාර්යාල කාර්ය සහායක වශයෙන් සේවය කරන ඔහු 57 වැනි වියේ පසුවෙයි.
“මට අධි රුධිර පීඩනය තියෙනවා. ඇහැටත් ප්‍රෙෂර් ඇවිත් ඇහේ ලේ බැහැලා තිබුණා. මම නුවරඑළිය රෝහලෙන් බෙහෙත් ගන්නේ. රෝහලෙන් තමයි මාව අක්ෂි සායනයට යොමු කළේ. මීට පෙර දෙපාරක් ඇහැට බෙහෙත් විද්දා. ඒ කිසිම වතාවක ප්‍රශ්නයක් වුණේ නැහැ. මේ පාර තමයි මෙහෙම වුණේ. සැප්තැම්බර් 17 වෙනිදා අක්ෂි සායනයට ආවාම මා ඇතුළු තවත් රෝගින් වාට්ටුවලට ඇතුළත් කරලා බෙහෙත් විද්දා. මගේ එක ඇහැකට බෙහෙත් විද්දේ. ඊට පස්සේ ටිකට් කැපුවා. ගෙදර ගියාම ඇහෙන් කබ, කඳුළු ගලන්න පටන් ගත්තා. සොටු ගලන්න පටන් ගත්තා. ඉවසන්න බැරි ඔළුව කැක්කුමක් හැදුණා. ඊට පස්සේ ඇහැ අරින්න බැරිව ගියා. සැප්: 18 වැනිදා නැවතත් රෝහලට ආවාම අපිව නවත්තා ගත්තා. 18 ඉඳලා අද (27) වන තුරු වාට්ටුවේ. අපිට මෙහෙන් ප්‍රතිකාර කරනවා. දැන් නම් යාන්තම් පේනවා. ඇහැ අරින්න පුළුවන්. ඒත් පැහැදිලිව අඳුරාගන්න බැහැ.” යනුවෙන් අශෝක පුෂ්පකුමාර සඳහන් කළේය.
ඔහු දියවැඩියාව රෝගයට ගොදුරු වී සිටින නිසා ඔහුගේ අනෙක් ඇසේ පෙනීම ද නැත. පෙනීම ලබා දුන් ඇසට දුන් එන්නත නිසා එහි පෙනීමේ මට්ටම ද ඉතා දුර්වලය. ඔහුට අන්ධයෙකු සේ ජීවත් විය නොහැකිය. පෙනීම යථා තත්වයට පත් වන තුරු රැකියා කටයුතු කරගන්නේ කෙසේදැයි සිතමින් ඔහු කනස්සල්ලෙන් පසුවෙයි.
27 වැනි බ්‍රහස්පතින්දා සවස තෙක් නේවාසික ප්‍රතිකාර ලැබූ ගාමිණි විජේරත්නගේ තත්වය ඊටත් වඩා ශෝචනීය ය. නුවරඑළියෙ ටොප්පාස් ප්‍රදේශයේ පදිංචි 59 වැනි වියැති ගාමිණි විජේරත්න ත්‍රිරෝද රථ රියැදුරෙකි. ඊට අමතරව එළවළු වගාවේ ද ඔහු නිරත වී සිටියි. අවිවාහකයකු වූ ගාමිණි ජීවත් වන්නේ 86 වියැති මව සමඟ ය. දෑතේ වීරියෙන් හරි හම්බ කර ගන්නා ඔහුගේ ඇස්වල පෙනීම යථා තත්වයට පත් නොවුණහොත් ඔහු ජීවත් වන්නේ කෙසේද? ඔහුට විශ්‍රාම වැටුපක් නැත. රැක බලා ගැනීමට වයෝවෘද්ධ මව ඇත. ගාමිණි අසනීප වූ විට බෙහෙත් උගුරක් දීමටවත් වයෝවෘද්ධ මවට හැකියාවක් නැත. ගාමිණිගේ සුවදුක් බැලීමට බාල සහෝදරයකුගේ බිරිය වන කල්‍යාණි සහ ලාල් සේනාරත්න පුත්‍රයා මහනුවර මඩවල සිට නුවරඑළිය රෝහලට පැමිණ සිටියේ එබැවිනි.
“මට ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, දියවැඩියාව සේරම ලෙඩ එකට ආවා. එක පාරට හෘදයාබාධයක් ආවා. ඒ ලෙඩවලට බේත් කරන විට සායනයෙන් කිව්වා ඇහේ ග්ලූකෝමා තත්වයක් ඇති වෙන ඉඩකඩක් තියෙනවා කියලා. ඉස්පිරිතාලේ සායනයෙන් ම මාව අක්ෂි සායනයට යොමු කළා. පහුගිය මාසේ මගේ ඇස් දෙකටම බේත් විද්දා. කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. ඒත් සැප්තැම්බර් 17 වැනිදා බෙහෙත් විදලා ටිකට් කැපුවාට පස්සේ දවල් ගදෙර ගිය වෙලේ ඉඳන් එක එක අමාරු ආවා.
මුලින් ම හිරු එළිය බලන්න බැරි වුණා. ඊට පස්සේ ලයිට් එක බලන්න බැරි වුණා. ඔළුව පුපුරන්න තරම් කැක්කුම. ඇස් අරින්න බැරිව ගියා. ඊට පස්සේ ආයෙමත් ඉස්පිරිතාලේ ආවා. 19, 20, 21 දවස් තුනේ ම ආයෙමත් බෙහෙත් විද්දා. ඉස්පිරිතාලේ ආපු ගමන් ඔළුව කැක්කුමට බෙහෙත් දුන්නා ම අඩු වෙලා ගියා. ඒත් පෙනීම නැති වුණා. දැන් නම් යාන්තමට පෙනෙනවා. අකුරු කියවන්න අමාරුයි. කෙනෙකුව අඳුරාගන්න නම් ළඟට එනකම් ඉන්න ඕනෑ. දුර ඉන්න අය අඳුරාගන්න බැහැ. කෝල් එකක් ගන්නෙ ෆෝන් එකේ නොම්මර පෙනිලා නොවෙයි. නොම්බර මතකයෙන් ගහලා කතා කරනවා.” යනුවෙන් විස්තර පැවසුවේ ගාමිණි විෙජ්රත්න ය.
අක්ෂි සායන වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ රෝගීන් අතර බණ්ඩාරවෙල පෞද්ගලික චැනල් මධ්‍යස්ථානයකින් අක්ෂි විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වා ප්‍රතිකාර සඳහා නුවරඑළියෙ රෝහලේ අක්ෂි වාට්ටුවට ඇතුළත් වූ රෝගිහු ද සිටිති. බණ්ඩාරවෙල ධර්මකීර්ති විජේසුන්දර සහ කේ.ආර්.එම්. සුදත් එවැනි රෝගින් දෙදෙනෙකි.
“මම රියැදුරු බලපත්‍රය ගන්න ගියා ම එක් ඇසක දුර්වලතාවක් තියෙනවා කියලා දැනුම් දුන්නා. සමබර නැති ගතියක් තියෙනවා කියලා තමයි කිව්වෙ. ඊට පස්සෙ බණ්ඩාරවෙල චැනල් සෙන්ටර් එකකින් අක්ෂි වෛද්‍යවරයෙක් මුණගැහුණා. එතනදි වෛද්‍යවරයා කිව්වා ඇස් දෙකට බෙහෙතක් විදින්න තියෙනවා කියලා නුවරඑළිය ඉස්පිරිතාලෙට ඇතුළු වෙන්න කියලා. මම මීට කලින් එක පාරක් බෙහෙත් විද්දා. මේ දෙවැනි වතාව. සැප්: 17 වාට්ටුවට ඇතුළත් වෙලා බෙහෙත් විදලා හවස ගෙදර එව්වා. රෑ 12 ට විතර මට ඇහැරුණා. දරුණු විදිහට හිස කකියනවා. වමනෙ යනවා. ඇස්වලින් කඳුළු එනවා. ඇස් අරින්න ම බැහැ. පැනඩෝල් බීලා නිදා ගන්න ගියා. ඒත් හරිම අමාරුයි.18 උදේ මම ආයෙමත් රෝහලට ආවා. එහිදි අපිව වාට්ටුවට ඇතුළත් කරලා ප්‍රතිකාර කළා. ඇතුළත් වුණාට පස්සෙ ආයෙමත් 4 පාරක් ඇස්වලට බෙහෙත් විද්දා. දැන් ඇස් අරින්න පුළුවන්. ඒත් පොඩි අකුරු කියවන්න බැහැ. කෙනකුව එකපාරට අඳුරාගන්න අමාරුයි. 26 වැනිදා මාව ගෙදර එව්වා. පැයෙන් පැයට බෙහෙත් දාන්න දුන්නා. යථා තත්වයට පත්වෙන්න ටික දවසක් යයි කියලා දොස්තරලා කියනවා.” ඒ ධර්මකීර්ති විජේසුන්දරගේ කතාව ය.
බණ්ඩාරවෙල විවිධ සේවා සමූපකාර සමිතියේ අභ්‍යන්තර විගණන නිලධාරි ලෙස සේවය කරන ධර්මකීර්ති ඉලක්කම් සමඟ රැකියාව කරන්නෙකි. මේ වන විට ඔහුගේ සිතේ හොල්මන් කරන එකම ගැටලුව වන්නේ පෙනීමේ දුර්වලතාව සමඟ ඔහු රැකියාව කරන්නේ කෙසේද යන්නයි.
බණ්ඩාරවෙල විවිධ සේවා සමූපකාර සමිතියේ ලිපිකරුවකු ලෙස කටයුතු කරන 49 වියැති කේ.ආර්.එම්. සුදත් චැනල් මධ්‍යස්ථානයට ගොස් අක්ෂි විශේෂඥ වෛද්‍යවරයා මුණ ගැසුණේ එක් ඇසක පෙනීමේ අඩුවක් තිබෙන නිසා ය. ඔහු ස්නායු දුර්වලතාවකින් පෙළෙන බැවින් ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහලට ඇතුළත් වන ලෙස උපදෙස් ලැබිණි. සැප්: 17 වැනිදා ඔහු රෝහලට ඇතුළත් වූයේ එම නිසා ය. ස්නායු දුර්වලතාව ඇති ඇසට පමණක් ඖෂධ එන්නත් කිරීමෙන් අනතුරුව ඔහුට නිවසට පැමිණීමට හැකි විය. එහෙත් ඔහු ප්‍රාර්ථනා කළ සුවය වෙනුවට ඔහුට විඳින්නට සිදු වූයේ අසනීප රැසකටය. 18 රෝහලට ඇතුළත් වූ සුදත්ට දින හතරක් පුරා ඇසට යළි ඖෂධ එන්නත් කළ පසුව 25 වැනිදා ඔහුට නිවස වෙත පැමිණීමට හැකි විය.
සුදත් සහ ධර්මකීර්ති වැනි රෝගින් නුවරඑළිය මහ රෝහලේ අක්ෂි වාට්ටුවේ ප්‍රතිකාර ලැබීමත් සමඟම මෙම සිදුවීම වෙනත් දිශාවකට යොමු කිරීමේ ආරංචි කීපයක් අප වෙත වාර්තා විය. ඒ බණ්ඩාරවෙල චැනල් මධ්‍යස්ථානයක පරීක්ෂා කළ රෝගීන් පිරිසක් නුවරඑළිය රෝහලේ අක්ෂි වාට්ටුවට ඇතුළත් කර ඖෂධ එන්නත් කළ පසුව මෙම සංකූලතා තත්වය උද්ගත වූ බවයි. ඇස්වලට ඖෂධ එන්නත් කිරීමෙන් රෝගී වූ පිරිසගෙන් බහුතරයක් බණ්ඩාරවෙල අය බවත් නුවරඑළිය ප්‍රදේශයේ රෝගින් සිටින්නේ ඉතා සුළු පිරිසක් බවත් මේ පිටුපස වෙනත් මාෆියාවක් ඇති බවත් අපට පුන පුනා පැවසූ අය සිටියහ. එහෙත් ඒ පිළිබඳව තොරතුරු සොයා යෑමේදි එවැන්නක් සිදු වූ බවට කිසි ම සාක්ෂියක් නැත. එය පදනම් විරහිත කතාවක් බව අප කළ විමර්ශනයේදී හෙළි විය. විජේසුන්දර, සුදත් වැනි රෝගීන් පස්, හයදෙනකු සිටිය ද බහුතරයක් බණ්ඩාරවෙල රෝගින් නොවේ.
“අනේ, ඒ කතාව බොරුවක්. මම වගේ ඉස්පිරිතාලේ සායනයෙන් අක්ෂි සායනයට යොමු කරපු නුවරඑළිය, තලවකැලේ හැටන් පැතිවල රෝගින් ඕනෑ තරම් හිටියා. ඒ දොස්තර මහත්තයා හරි හොඳයි. මේ දවස්වල ඉස්පිරිතාලේ බෙහෙත් සීල් කරලා නිසා දොස්තර මහත්තයා එයාගේ සල්ලිවලින් බෙහෙත් ගෙනත් අපිට ප්‍රතිකාර කරන්නේ. දොස්තර මහත්තයාගේ වැරැද්දක් නැහැ. අපිට නම් හිතෙන්නේ අපිට ගහපු බෙහෙතෙ තමයි මොකක් හරි අඩුපාඩුවක් තිබුණේ.” යනුවෙන් ගාමිණි විජේරත්න පැවසීය.
අක්ෂි වෛද්‍යවරයාගේ හෝ කාර්ය මණ්ඩලයේ ගැටලුවක් ඇති බව දැනගන්න නොලැබුණ ද රෝගින්ගේ ඇඳ ඉහපත් ඇඳේ නොතිබීම නම් ගැටලුවකි. මෙම රෝගින්ගේ ප්‍රතිකාර තොරතුරු සඳහන් කරන ඇඳ ඉහපත් වාට්ටුවේ හෙදියන් භාරයේ තිබෙන බව අප සමඟ සඳහන් කළේ රෝගින් ම ය.
එමෙන් ම නුවරඑළිය මහ රෝහලේ අක්ෂි සායනයෙන් ප්‍රතිකාර ලබා ගත් රෝගීන්ගෙන් 17 දෙනකු විවිධ සංකූලතා ඇති වීමෙන් නැවතත් රෝහල්ගත වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ විවිධ මාධ්‍ය ප්‍රකාශ කර තිබුණ ද ඇත්ත වශයෙන්ම රෝගින් 32 දෙනකු යළි ඇතුළත් කර තිබූ බව අපට අනාවරණය විය. පසුගිය බ්‍රහස්පතින්දා සවස් වන තුරු ද ඔවුන්ගෙන් කීපදෙනෙක් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියහ.
ඉදින්, අපි බලා සිටිමු. ඒ ඔවුන් සුවපත් වී යළි පියවි තත්වයෙන් ලෝකය දකින තුරු පමණක් නොවේ. මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් අපි බලා සිටිමු.
ඡායාරූපය - චන්දන තිලක් ද සිල්වා