
වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප හා පොට්ඨබ්භ රූප යන රූපයක් පංචේන්ද්‍රියයන්ගෙන් එකක ස්පර්ශ වූ විට සුඛ, දුක්ඛ, අදුක්ඛමසුඛ යන වේදනාවක් (වින්දනයක්) හටගෙන ඒ පිළිබඳ සටහනක් සංඥාවක් සිතේ ඇඳ ගනී. මේ රූප, වේදනා, සංඥා තුනම අනිච්ච ය. අපේ කැමැත්ත අනුව පවත්වා ගත නොහැකිය. එය දුකට හේතුවෙයි.
වයස අවුරුදු 16 – 17 ලස්සන තරුණියක් දැක්කායැයි සිතන්න. ඇගේ ප්‍රිය මනාප සටහන සංඥාවක් ලෙස සිතේ ඇඳෙයි. එය අත් නොහැර සිහියට නැගෙයි. ආසාවක් ආදරයක් සිතෙයි. ඒ බව ඇයට කියා ගන්නට බැරිවිය. ඇය දන්නේ නැත. හිටි හැටියේ ඇය යළි මුණ නොගැසී ගියා යැයි සිතන්න. අර සිතේ ඇළුණු සංඥාව එලෙසම පවතී. නිතර සිහියට නැගෙයි. කෙල්ලක දුටුවිට ලස්සන අර ළමයාම යැයි මතකය අලුත් වෙමින් පවතී. තවත් අවුරුදු 60 – 70 ක් ගත වෙද්දී ඇය යළි මුණ ගැසෙයි. අනිච්චේ... දුක්ඛේ... ඇය දැන් කෙස් පැසුණු ඇඟ රැළි වැටී වැහැරී ගිය ආච්චි අම්මා කෙනෙකි. මම ඇයට ආදරය කළ බව ආසා කළ බව ඇය දන්නේ නැත. ඇයට මා මතකද නැත. රූපය අනිච්චයි. නොනිච්චයි. වින්දනය අනිච්චයි. සංඥාව අනිච්චයි. නොනිච්චයි. මේ හේතු කොට ගෙන ගොඩනැඟූ සංඛාර (ලෝභය) ද අනිච්චයි. නොනිච්චයි. එයින් හටගත් චක්ඛු විඤ්ඤාණය ද අනිච්චයි. නොනිච්චයි. දුකටම හේතුවේ.
බුලත්සිංහල ශාන්ති හරිම ලස්සනය. වරක් දුටු කෙනෙක් ඇය දෙස නැවත හැරී නොබැලුවොත් පුදුමයකි. ඒ තරම්ම ලස්සනයි. දැන් ඇය 50 හැවිරිදිය. ඒත් වයස අවුරුදු 35 ක්වත් නොපෙනේ. ඇය දැන් විවාහකය. දරු දෙදෙනෙකුගේ මවකි. දැනටත් මෙහෙම නම් මීට අවුරුදු 15 කට පෙර කොයි තරම් ලස්සනට ඉන්නට ඇත්ද?
දැනට මාස කීපයකට පෙර සිට ශාන්ති අසනීප වී සිටින්නීය. සිහි විකල්ව විකාර වැඩ කරයි. සමහර වෙලාවට ගෙදර දොරේ වැඩපළ කරගෙන සිටී. විටෙක පාරේ එහා මෙහා දුවයි. ඇඳිවත ඔසවා නිරුවත පෙන්වයි. සමහර වෙලාවට වැසිකිළියේ පෝච්චිය ලෙවකයි. පාරේ ගැහැනියක ගියොත් ඇය පසු පස දුවගොස් බදා ගනී. නිවෙසේ රාත්‍රියට අසාමාන්‍ය ශබ්ද ඇසෙන්නට විය. උයන බත් හැළියට කූඹි වහයි. බත පිළුණු වී සෙවල ගතියක් ඇති වෙයි. ආහාර නොගැනීම නිසා ශාන්ති දැන් කෙට්ටු වී ඇත. යටි බඩේ වේදනාවකින් ද පෙළෙයි. ශාන්තිට පිස්සු යැයි මුළු ගමම දනී.
පිස්සු ගතිය උග්‍ර වූ විට අංගොඩ මානසික රෝහලට ගෙන ගොස් විද්‍යුත් කිරණ ඇල්ලූ විට සුවවෙයි. ගෙදර පැමිණි විට නැවත විකාර කරයි. පවුලේ අය වෛද්‍ය ප්‍රතිකාරවලට අමතරව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වත්පිළිවෙත් කළත් එයින් ද සුවයක් හෝ වෙනසක් නොවූයෙන් ‘සිළුමිණ’ පත්‍රයේ පළවන ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගයේ සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා යෑමට තීරණය කළහ.
ශාන්තිගේ සැමියා ඇය කැඳවා ගෙන ගොස් ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණගැසී ප්‍රතිකාර පැතීය.
ගවේෂකවරයා ඇගේ රෝග පරීක්ෂා කරන විට ඇය ගැහෙන්නට ගත්තාය. ඇඳුම් ඉරා දමා නිරුවත්වන්නට උත්සාහ කරන විට ඇය වේවැල ඉදිරියේ පාලනය වූවාය. ඇයට ආධ්‍යාත්මීය ආරක්ෂාවක් යෙදූ ගවේෂකවරයා ඔවුන්ට දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි නියම කළේය.
බෝධි පූජා පිළිවෙත් නිමා කොට ඔවුහු නැවත පැමිණියහ. එදින ශාන්තිට ආවිෂ්ට වූ භූතාත්මය කතා කරන්නට විය. ගවේෂකවරයා ප්‍රශ්න කළේ ය.
“මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නේ කවුදැ?” යි ගවේෂකවරයා ඇසීය.
“මම සමරසිංහ” භූතයා උත්තර දුන්නේය.
“කවුද සමරසිංහ කියන්නේ?”
“බුලත්සිංහල හිටපු ග්‍රාම නිලධාරි”
“ඇයි මෙයාට කරදර කරන්නේ?”
“මෙයා හරි ආඩම්බරකාරි, ඒත් මම මෙයාට ආසයි. මම කරදර කරන්නේ නැහැ. ඇඟට වෙලා ඉන්නවා විතරයි.”
ශාන්ති පියවි සිහියට පත් කළ ගවේෂකවරයා බුලත්සිංහල හිටපු ග්‍රාම නිලධාරි සමරසිංහ කවුදැයි විමසීය.
“මහත්තයා ඔය සමරසිංහ රාලහාමි මැරිලා දැන් අවුරුදු 15 ක් විතර වෙනවා. හරිම මනමාලයා. ගමේ පිරිමින්ට නැති ලෙඩ දාලා කරදර කරනවා. එහෙම කරලා ඒ ගෙදර ඇහැට කනට පෙනෙන ගෑනියෙක් හිටියොත් පිරිමියාට උදව් කරලා ගෑනිව යාළු කර ගන්නවා. ඒ මිනිහගෙන් ගෑනුන්ට බේරෙන්න හරිම අමාරුයි. නැත්නම් පිරිමියාට නැති ලෙඩ දානවා. ඉඩම්වලට හොර ඔප්පු හදලා ආණ්ඩුවේ කැලේ ගස් කපලා විකුණා ගත්තා. රෑට රැට ගමේ ඉන්න හරක් පැටෙව්වා. මේවාට ගෝල බාලයොත් හිටියා. උන්ගෙ ගෑනුත් යාළු කරගත්තා. කසිප්පු කාරයන්ගෙන් අල්ලස් ගත්තා. ජීවත්වෙන්න හොරෙන් වැලි ටිකක් ගොඩදා ගත්ත දුප්පත් මිනිස්සුන්ට කරදර කළා. පිරිමි නැති වෙලාවට ඒ ගෙවල්වලටත් රිංගුවා. ඔය මිනිහා මටත් ඇල්ම බැල්ම දැම්මා. මම අහුවුණේ නෑ. උපායෙන් බේරිලා හිටියා. මිනිස්සුන්ට නිතර කරදර හිරිහැර කරලා අයුතු ලාභ ප්‍රයෝජනමයි ගත්තේ. මෙහෙම යනකොට මිනිහෙක් මේ ග්‍රාම සේවකයා වෙඩි තියලා මැරුවා”යි ඇය කීවාය.
ගවේෂකවරයා නැවතත් ඇයට භූතාත්මය ආවිෂ්ට කර ප්‍රශ්න කළේ ය.
“තමුන් ජීවත්ව ඉන්දැද්දි රාජකාරි බලය වැරදියට පාවිච්චි කරපු හේතුවේ ඵලය දැන් විඳිනවා ප්‍රේතයෙක් වෙලා. සාධාරණ මිනිස්සුන්ට හිරිහැර කරලා තවත් පවු සිද්ධ කරගන්නවා නේද?”
“අපේ ලොක්කො ගහන ගැහිලි විඳින සැප දැක්කාම අපිත් ඒවාට පෙලඹුණා මහත්තයා...”
“ඉතින් මේ නෝනාට කරදර කරන්නේ මොකද?”
“මෙයා දැක්ක දවසෙ ඉඳලා මට ආදරේ හිතුණා. ආසාවක් හිතුණා. මට අල්ලා ගන්න බැරිවුණා. ඒත් මගේ හිතේ ඇඳුණු ආසාව වැඩි වුණා මිසක් අඩුවුණේ නෑ. මෙයා හරි ආඩම්බරකාර ගෑනි. ඒ නිසා ආසාව තවත් වැඩි වුණා. කොයි තරම් හිතට තදින් කාවැදී හිටියාද කිව්වොත් වෙඩි වැදිලා මැරෙන වෙලාවෙත් මෙයාවමයි මතකයට ආවේ” යි කී ප්‍රේතයා අඬන්නට විය.
“ඇයි අඬන්නේ?”
“මහත්තයා මට කන්න බොන්න නෑ. කුස ගින්නෙන් පිපාසයෙන්මයි දුක් විඳින්නේ.”
“මෙච්චර කල් කොහොමද ආහාර ගත්තේ?”
“මම ජීවත්වුණේ මෙයාගෙ ශ්‍රාවය ආහාර අරගෙන. දැන් ඒකත් නෑ. ඒ නිසා ඇඟ ඇතුළට රිංගුවා. මෙයාගෙ ඇඟේ ඉන්න එකත් මගේ හිතට සතුටක්.”
“ඒක සතුටක් වෙන්නේ කොහොමද?”
“ඉස්සර ගණන් උස්සපු ආඩම්බරකාරී මගෙයි කියලා සිතෙන කොට ඒකත් මට සතුටක්.”
“මිනිස්සු තරුණ වෙලා මහලු වෙලා වැහැරිලා යනවා. මගේය හිතාගෙන ඉන්න ශරීරය මගේ කැමැත්තට තියා ගන්න බැහැ.” “අත්තාභි අත්ත නො නාථෝ” තමන්ට තමන්වත් නැතිකොට අනුන්ගෙ ශරීර මගේය හිතන්නේ කොහොමද? අවිද්‍යාව. මිත්‍යාව. මෝහය. මෝඩකම. තමුන් දැන් මේ ශරීරයෙන් ඉවත් වෙලා යන්න ඕනෑ.”
“අනේ මහත්තයා. මම අසරණයි” ප්‍රේතයා අඬන්නට විය.
“තමුන් රාලහාමි කාලෙ තමුන් නිසා කී දෙනෙක් අඬන්න ඇද්ද? දුක් විඳින්න ඇද්ද? එදා කළ පාප කර්මවල හේතුවේ ඵලය තමයි දැන් විඳින්නේ. වහාම ඉවත්වෙලා යන්න.”
“අනේ බැහැ... බැහැ... මම මෙයාට ආසයි. මෙයාව දාලා යන්න නම් බැහැ. මම යන්නේ නෑ.... නෑ... නෑමයි”
ගවේෂකවරයා භූතයා ආවිෂ්ටව සිටි ශාන්තිගේ ශරීරයට ආධ්‍යාත්මීය ශක්ති කිරණ එල්ල කරන්නට විය.
“දැවිල්ලයි... දැවිල්ලයි... පිච්චෙනවා... පිච්චෙනවා. අනේ මාව පුච්චන්න එපා... අනේ මට මෙතන ඉන්න බෑ.... මාව යවන්න... මාව යවන්න.... කොහේට හරි යවන්න.... දැන් නම් මෙතන ඉන්න බැහැ...” යි ප්‍රේතයා අඬන්නට විය.
ප්‍රේතයාගේ ශක්තිය බින්දුවට බහින තුරු පුච්චා ඒ වේදනාවට කාම රාග අමතක වන තුරුම දවා දුර්වල කොට කැවුම් පෙත්තකට සම්බන්ධ කර සොහොනකට විසිකර දමන්නැයි ශාන්තිගේ සැමියාට දුන්නේය.
සුබ අරමුණ අත්හැරීම නාථයි. සුබ අරමුණේ නොඇලීම නාථයි. සුබ අරමුණෙන් මිදීම නාථයි. ඉන් මිදී නිදහස්වීම නාථයි. (අසුබ භාවනාව)