
* 71 කැරැල්ලෙදි වලපනේ ඒ.එස්.පී මගෙන් වෙඩි නොකා බේරුණේ අනූ නවයෙන්
* වතුවල මිනිස්සු මිනී කල් තියාගත්තෙ මිනියට පෙට්‍රල් පොවලා
* අපි කට්ටියක් පොලිසිය රකින්නත් ගියා
ජයන්ති මාමාට දැන් වයස අවුරුදු අනූ හතරකි. ජයන්ති මාමාගේ නම රණසිංහ ආරච්චිලාගේ පොඩිමහත්තයා ය. එහෙත් රාගල පැත්තේ ඇත්තන් උන්දෑව දන්නේ ජයන්ති මුදලාලි ලෙසය. නැති නම් ජයන්ති මාමා ලෙසය. ගම් නැති කරන මිනිස්සු සිටිති. ගම් හදන මිනිස්සුත් සිටිති. ජයන්ති මාමා ගම් හදන පන්නයේ දුර්ලභ මිනිසෙකි. මේ ප්‍රසන්න මිනිසාගේ අතීත මතක බෙහෙමින්ම රසවත්ය.
රාගල මුල්ම මල්ශාලාව ඔහුගේය. ලී බඩු සාප්පුවත් ඔහුගේය. නුවරඑළියේත් ආරම්භ වන ලී බඩු සාප්පුවේ සහ මල්ශාලාවේ නම ජයන්තිය. ජයන්ති ලී බඩු කඩේ ප්‍රසිද්ධ වන විට ඒ කඩේ මුදලාලි ජයන්ති මුදලාලි වූයේය. ජයන්ති මාමාගේ කතාව උන්දෑගේම වචනයෙන් අහගන්නට වටී. ඒ පසුගිය දශක පහක හෝ හයක කාලය තුළ මේ පළාත්වල ජීවත් වූ මිනිසුන්ගේ සමාජ ජීවිතයේ පැතිකඩක් ඒ කතාව තුළ ගැබ්වී ඇති නිසාය.
පුංචි කොච්චියේ අවසන් නැවතුම්පළ බවට එකල පත්ව තිබුණේ රාගල දුම්රිය ස්ථානය ය. අද නටඹුන් බවට පත්ව ඇති පුංචි කොච්චියේ මතකයන් ජයන්ති මාමා සතුය.
ඔහු සිය කතාව ආරම්භ කළේය.
“මම ඒ දවස්වල හිටියේ නුවර. අපේ සීයා කොරනල් කෙනෙක්. ඒ දවස්වල සීයා උසාවි යන්න නුවරඑළියට එනවා. ඒ ආපු සමහර දවස්වල මාවත් එක් කරගෙන එනවා. සමහර දවස්වල අපි නුවරඑළියේ ඉඳලා රාගලට පුංචි කොච්චියේ එනවා. මට මතක විදිහට ටිකට් එක සත දහයයි. පෙටිටි දෙකයි තියෙන්න මිනිස්සුන්ට යන්න. මිනිසුස් ගොඩාක් ඉන්නවා යන්න. දැන් අපේ කඩේ තියෙන තැනට එහායින් තමයි කොච්චිය හැරෙව්වේ.
මං රාගල එන්නෙ අහම්බෙන්. ඒ 1952 දී. මගෙ තාත්තා එක්ක. මගේ තාත්තා තමයි රාගල සිංහල ස්කොලේ බිල්ඩිම හැදුවේ. තාත්තා කළේ කොන්ත්‍රාත් වැඩ. මමත් තාත්තාත් එක්ක රාගලට ඇවිත් රාගල ලී බඩු සාප්පුවකුත් එක්ක මල් ශාලාවක් දැම්මා. ඒ දවස් වල මේ පැත්ත පළතක මල් ශලාවක් තිබුණේ නැහැ. මම ඒ එක්කම නුවරඑළියෙත් මල් ශලාවක් දැම්මා. කසාද බඳින කොට මට අවුරුදු 53 යි. මට හොඳම අත්දැකීම ලැබුණෙ මල්ශාලාව දැම්මට පස්සෙ.
මල් ශාලාව
ඒ දවස් වල අද වගේ මිනි පෙට්ටි ගණන් නැහැ. පෙට්ටියක් රුපියල් පනහයි. ගොඩාක් වේලාවට කවුරු හරි ආවාම පෙටිටියක් හදලා තමයි දෙන්නේ. පස්සේ රුපියල් පනස් පහටත් පෙටිටි දුන්නා මතකයි. ඒ දවස් වල අද වගේ මිනිය මල් ශාලාවට ගේන්නේ නැහැ. මම මල්ශාලාවක් කළාට කවදාවත් මිනියක් දැකලා නැහැ. මැරුණු ගමන්ම ඒ අය ඇවිත් පෙට්ටි අරන් යනවා. හැත්තෑ ගණන් වල දියනිල්ලේ නාය ගිහින් දහතුන් දෙනෙක් විතර මැරුණා. ඒ අයට පෙට්ටි දුන්නෙත් රුපියල් පනහට. පෙට්ටි දහතුනක් එක දවසෙන් හැදුවා.
පෙට්‍රල් මී පැණි එම්බාම්
රාගල වතු කම්කරු ජනතාවගෙන් පිරුණු ප්‍රදේශයක්. ඉස්සර මේ පළාතෙ මිනී මල් ශලාවල එම්බාම් කරන්නේ නැහැ. වතු වල තිබුණෙ වෙනස් සංස්කෘතියක්. මේ දෙමළ අය කරන්නේ මැරුණ ගමන් මිනිය ටිකක් ඉන්දවලා තියනවා. ඊට පස්සෙ පෙට්ට්‍රල් කාලක් විතර මිනියට පොවනවා. තව සමහර ගම්වල අය කෙනෙක් මැරුණ ගමන් මිනිය කෙළින් කරලා මී පැණි කාලක් විතර පොවනවා. මේ වැඩේට පළපුරුදු කට්ටිය ගම්වල හිටියා. දැන් තමයි මල් ශාලාවට ගෙනත් මිනී එම්බාම් කරන්නේ. ඇත්තටම මට මල් ශාලා දෙකක් තියෙනවා තමයි. මේ වෙනකම් මමත් මිනියක් එම්බාම් කරනවා දැකලා නෑ.
ශ්‍රී කොලොප්පම
මගෙ මතකය හැටියට ඒ 1958 අවුරුද්ද. ඒ කාලෙ ශ්‍රී කොලොප්පම කියලා උද්ඝෝෂණයක් ආවා. මෙහෙයෙව්වෙ රාජරත්නම් මහත්තයලා. ඒ කියන්නේ ශ්‍රී අකුරට විරුද්ධව දෙමළ මිනිස්සු වැඩ කරන්න පටන් ගත්තා. මේ අවුල ආවේ යාපනේ අයගෙන්. ඒ උද්ඝෝෂණය වතුවලට ඉන්න අයටත් පැතිරුණා.
වැඩේ කොච්චර ලොකුවට ඇවිළුණා ද කියනවා නම් ඇඳිරිනීතිය දැම්මා. කාටවත් ගෙවල්වලින් එළියට එන්න එපා කිව්වා. අවොත් වෙඩි තියනවා කිව්වා. ඒ දවස් වල මම රාගල උඩටවුමේ කඩේ තමයි කරන්නේ. මම හිතුවා කවුද වෙඩි තියන්නේ කියලා බලන්න. මම රෑත් කඩේ ඇරගෙන ගෝලයො දාලා වැඩ කළා. රෑ දොළහට විතර නුවරඑළිය පොලිසියෙන් මහත්වරු කට්ටියක් ආවා. ඇවිත් කිව්වා අපි හින්දා හොඳයි. වෙන කවුරු හරි ආවොත් වෙඩි තියයි. එක නිසා කඩේ වහන්න කියලා. පස්සේ මම කඩේ වැහැව්වා
පොලිස් රාජකාරි
ඊට පස්සෙ රටේ මිනිසුන්ට දැනුණ අමතක නොවන සිද්ධියක් තමයි 1971 කැරැල්ල. ඒ කාලෙ මං හොඳට හයිය හත්තිය තියන මිනිහා. කැරලිකාරයෝ පොලිසිවලට ගහලා අල්ලන්න එනවා කියන ආරංචිය අපිට ආවා. එතකොට පොලිසිවල අද වගේ ගොඩාක් කට්ටිය හිටියේ නැහැ. පොලිසියෙ මහත්තුරු අපිට ඇවිත් කිව්වා මේ අවස්ථාවට එකතු වෙන්න කියලා. ඊට පස්සෙ ඒ අය අපිවත් ගත්තා රෑට පොලිසිය ආරක්ෂා කරන්න. අපි රාගලින් තිස් දෙනෙක් හැමදාම ගියා පොලිසිය රකින්න. මම තමයි ඒ කණ්ඩායම භාරව හිටියේ. අපිට තුවක්කුත් දුන්නා. මට කොහොමත් වෙඩි තියන්න පුළුවන්. ගෙදර ලයිසන් තුවක්කු දෙකක් තිබුණා මට. අපි හවස හයේ ඉඳලා උදේ හය වෙනකම් පොලිසිය ආරක්ෂා කරනවා. පොලිසිය එක්කෙනෙකුට බිත්තර රොටී දෙක ගානෙ දුන්නා.
අනූ නවයෙන් බේරුණු ඒ. එස්. පී.
ඒ දවස්වල අපිට උපදෙස් ලැබිලා තිබුණේ රෑට කවුරු ආවත් වෙඩි තියන්න. එක දවසක් රෑ අපි පොලිසිය වට කරගෙන ඉන්නවා. ලයිට් නෑ. ඔය අතරෙ අපිට පේනවා කෙනෙක් හොරෙන් හොරෙන් පොලිසියට ඇතුළු වෙනවා. දැන් මං ඉලක්කෙ අරගෙන. අනෙක් කට්ටියත් තුවක්කු මානගෙන. එක්කෙනෙක් මහ හයියෙන් කෑ ගැහුවා එක අඩියක් තව තිබ්බොත් වෙඩි තියනවා කියලා. ඒ එක්කම උත්තර ලැබුණා කලබල වෙන්න එපා. මම ඩිවිෂන් ඒ.එස්.පී. කියලා. බලන කොට වලපනේ ඒ. එස්. පි මහත්තයා හොරෙන් ඇවිත් පොලිසිය බලන්න. එදා එයා අනුනවයෙන් බෙරුණේ. පස්සේ පොලිසියේ ඕ. අයි. සි මහත්තයා ඇවිත් බැන්නා ඒ එස් පි මහත්තයාට. සර් මෙහෙම මෝඩ වැඩ කරන්න එපා. මේ අය ට්‍රෙනින් කරලාත් නැහැ. වෙඩි තිබ්බා නම් මොකද කරන්නේ කියලා.
ගම්මාන ඇති කිරිම
මම ගම්මාන තුනක් ඇති කරපු මනුස්සයෙක් පුතේ. ඒ දවස් වල ටී.බී.එම්. හෙරත් මහත්තයාත් එක්ක එකතු වෙලා මං ගොඩාක් වැඩ කළා. එතුමා ඒ දවස්වල නියෝජ්‍ය ප්‍රවාහන ඇමති. මමත් එතුමා හදපු ජනතා කමිටුවේ සමාජිකයෙක්. ඒ වගේම මම ගොවි කාරක සභාවේ සභාපති. දවසක් මට හේරත් මහත්තයා කිව්වා දැන් රාගල පටන් ගන්න තැන පල්ලිය ළඟින් ඉඩම් තේ ඉඩම් අක්කර දහයක්, මැදවත්තෙන් අක්කර දහයක්, රත්නායක පතනෙන් ඉඩම් අක්කර විස්සක් ඉල්ලන්න කියලා. පස්සෙ මම ලියුම් දාලා එවා ගත්තා. ඊට පස්සේ හේරත් ඇමතිතුමා මාත් එක්ක එකතු වෙලා ඒ ඉඩම් ටික බෙදලා දීලා ගම්මාන ඇති කළා. ඒ කාලේ දේශපාලකයො කියන්නෙ එහෙම පිරුණු මිනිස්සු. දැන් ඒ ගම්මාන හරි දියුණුයි. මට පුදුම සතුටක් තියෙන්නේ ඒ ගැන හිතෙන කොට.
ටී.බී.එම් හේරත් මහත්තයා තමයි මේ වලපනේ ගොඩනැඟුවේ. එක දවසක් එතුමා මට කිව්වා “ ජයන්ති මට මහතුඩුගල ගෙදර හදලා ඕනේ” කියලා. පස්සේ මාව කාර් එකේ දාගෙන ගිහිල්ලා තැනත් පෙන්නුවා. ඉතින් මම ඒ ගේ හදා දුන්නා. වැදගත්ම දේ ඔහු මට ඒ සඳහා ගිය හැම සතයක්ම ඔහුගේ මුදල්වලින් බේරුවා. කිසිම වෙලාවක මිනිස්සුන්ව අයථා වැඩවලට පෙලඹෙව්වෙ නෑ. කන්න බොන්න දිලා පෙට්ටි දුන්නා
89 කාලේ කියන්නෙ මරණය හැමෝගෙම ගෙවල්වලට තට්ටු කරගෙන ගිය කාලයක්. රටේ හැම තැනම වගේ භිෂණය තිබුණා. සමහර අයට මිනී පෙට්ටි ගෙනියන්න දුන්නේ නැහැ. ගොඩාක් වේලාවට තුණ්ඩු කෑල්ලෙන් ඇඳිරි නිතිය දානවා. කාටවත් ඇවිදින්න බැහැ. ඒ දවස් වල මිනිස්සු මිනී පෙට්ටි ගන්න ආපුවාම ගෙදර ඇතුළේ කාමරේ ඒ අය හංගගෙන පෙට්ටියත් ගෙදරදීම හදනවා. ඒ අයට කන්න බොන්න දිලා කළුවර වැටෙන තුරු ගේ ඇතුළේ තියාගෙන ඉන්නවා. මට තවම මතකයි පුතේ. ඒ අය පෙටිටිය කරේ තියාගෙන තේ වතු මැදින් දුවගෙන තමයි යන්නෙ.
අභිමානය
මං මේ කියන වකවානුව පුරාම අද වගේ මේ නගර දියුණු නැහැ. මම හේරත් මහත්තයාත් එක්ක මේ ගොඩාක් ගම්මාන ඇති කරන්න වැඩ කළා. මිනිස්සුන් පදිංචි කළා. ඒ අතරෙ මං මගේ උත්සාහයෙන්ම ව්‍යාපාරත් දියුණු කරගත්තා. මට ඇත්තටම දැන් සතුටුයි. ”
ජයන්ති මාමා සිනාසෙයි. ඔහු සතුටිනි. ජීවිතයේ සැඳෑ කාලය මේ තරම් සැහැල්ලුවෙන් සතුටින් ගත කරන වැඩිහිටියන් අපේ රටේ හිඟය. මොන තරම් ප්රසාදජනක පරිසරයක වුවත් ඔවුන්ට කුමක් හෝ තැවුලක් තිබේ. ජයන්ති මාමා වෙනස් වන්නේ ඒ නිසාය. අද රාගල නගරය තරම්ම ජයන්ති මාමා ඇති කළ රත්නායක පතන ගම්මානයත්, මැදවත්ත ගම්මානයත් දියුණුය. ජයන්ති මාමා මෙම ගම්මාන ඇති කළ බව නම් දන්නේ අතළොස්සකි. අද ඔහු දරුවන් නව දෙනෙකුගේ පියෙකි. දරු මුනුපුරන් විශාල පිරිසකගේ ආදරය ලබන්නෙකි. ජීවිතය තෘප්තිමත් ලෙස ගත කරන්නෙකි.
චන්දන තිලක් ද සිල්වා