
* බුරුතයි තේක්කයි පටවනවා
* ඉස්සරහට අලියෙක් පැන්නා
* සල්ලි නැතත් හිත සතුටින්
මහ වනයේ ඔද තෙද අණසක පතුරා සිටි ගස් බිම වැටී වේදනාවෙන් මොරදෙනු මට සිහිවේ. වසර සිය ගණනක් පුරා වනයේ යුව රජුන් විලසින් අභිමානයෙන් සිටි ගස්වැල් අතරින් බුරුත සහ තේක්ක වෘක්ෂන්ගේ මුල් කොටස් මම දුටුවේ අත්පා ගෙල සිඳී ගිය කවන්ධයන්සේය. දිනෙන් දින අම්පාර වන පෙත් පුරා මේ ආකාරයෙන් හොර රහසේ කැපී යන දැවැන්ත වෘක්ෂයන් මෙන්ම දැව ජාවාරම පිළිබඳ මම වසර ගණනාවක සිට ඉව ඇල්ලූවෙමි. නමුත් බොහෝ විට ආරක්ෂක අංශවල ඇස්වලට වැලි ගසා කිසිම අවහිරයක් නොමැතිව එම දැව කඳන් ලංකාවේ සෑම තැනකටම ප්‍රවාහනය කිරීම අපූරුවට සිදුවේ. ආරක්ෂක අංශ මේ ජාවාරම්කරුවන් ගැන විමසිල්ලෙන් සිටිය ද සියල්ලන්ගේම දෑස්වලට නොපෙනී දැව ප්‍රවාහනය කිරීම ඔවුන්ට කජු කන්නාක් වැනි වැඩකි.
අපි ඔහු සුනිල් යැයි හඳුන්වමු. ඒ ඔහුගේ නියම නම නොවේය. ඔහු සෙමෙන් හඬ අවදි කරන්නට විය.
‘‘මහත්තයෝ ඒ දවස්වල පොලිසියේ, වන සංරක්ෂණේ, වන ජිවියත් එක්ක නිතරම ගැටුණා. මම 2005 වෙනකම් කැලේ හොරෙන් කපලා විකුණුවා. අන්තිමට මට ඒ ජීවිතේ එපා වුණා. වැඩක් නැහැ මහත්තයෝ. දැන් මම හොරෙන් ගස් කපලා විකුණන්නේ නැහැ. මම දැන් වෙන රැකියාවක් කරනවා. හිතේ බයක් සැකක් නැතිව ගෙවන මේ ජීවිතේ පුදුම සැනසිල්ලක් දැනෙනවා. පොලිසිය වන සංරක්ෂණේ වනජිවි ආයතනවල ඇත්තෝ දැන් මා එක්ක හිතවත්. ඒ හිතවත්කම වෙනදා විදිහට නොවෙයි. ඒ කාලේ ලංකාව පුරාම බුරුත තේක්ක පටවනවා සමහර මාසයට එක ලොර්ඩ් එකයි. සමහර මාසවලට ලොර්ඩ් පහ පටවන අවස්ථාත් තියෙනවා. කලින් ගිහින් වාහනයක් ගන්න පුඵවන් තැනක තියෙන බුරුත ගස් බලනවා. ඊට පස්සේ කට්ටියත් එක්ක යනවා ගස් ඉරන්න. ගොඩක් වේලාවට දවසක් හරි දෙකක් කැලේ ඉන්න වෙනවා. අපි හාල් තුනපහ මිරිස් හේම අරන් ගිහින් උයන් කන්නේ. සමහර වෙලාවට එක ලොර්ඩ් එකක් කපලා පටවනවා. සාමාන්‍ය ටැංකි ලොර්ඩ් එකකට අපි කියුබික් අඩි 300ක් විතර පටවනවා. ඒ එක ලොර්ඩ් එකකට අපිට රුපියල් ලක්ෂ තුනහාමරක් විතර ලැබෙනවා. ගෝලයන්ට පඩි බේරපුවාම මට හතළිස් දාහක් පනස් දාහක් විතර ඉතිරි තියෙනවා.මොනවා වුණත් අපි ලී ඉරන්න නිකන් යන්නම්වාලේ යන්නේ නැහැ. අපි කැලේට යද්දි විශාල ගස්වල අතු එල්ලලා භාරයක් වෙලා යන්නේ. සමහර වෙලාවට දානයක් දෙන්නම් කියලා භාර වෙනවා. තවත් දවස්වලට පොල් ගහනවා කියලා භාර වෙනවා. ගස් කපලා උපද්‍රවයක් නැතිව ලොරියට පටව ගෙන ගියාට පස්සේ අපි වෙච්ච බාර ඔප්පු කරනවා. ඒ බාරවල ඇදහිලිවල අපට පිහිටක් තියෙනවා. මේ වනතුරුම කැලේ ලී ඉරද්දි වන සතුන් කොච්චර හිටියත් අපට කිසි කරදරයක් වුණේ නැහැ.”
වීරකමක් කළාක් මෙන් සුනිල් කැලේ ගස් කැපූ අයුරු පවසන්නේ උද්යෝගයෙනි.
කොහොමද කට්ටියගේ ඇස්වහලා ලී ලොරි වලට පටවලා ගෙනියන්නේ? මම ඔහු විමසුවෙමි.
“මහත්තයෝ අපි මේ කඳන් පටවන්නේ සම්පුර්ණයෙන් බොඩි ගහපු ලොරිවල.
ඒවා කැලයට ගෙනියන්න පුඵවන් වෙන විදිහට පාරවල් සකස් කරනවා. එහෙම නැතිනම් අපි කරන්නේ ට්රැක්ටර්වලින් කැලේ ඇතුළේ තියන ලී කොටන් ලොරිය ගන්න පුඵවන් තැනට එකතු කරන එක. කඵවර වැටෙද්දි අපි කාටත් හොරෙන් කොහොම හරි ලොරිය කැලේ ඇතුළට ගන්නවා. ඊට පස්සේ අපි එකතුවෙලා කඳන් ටික පටවනවා. එක කඳක් අඩි 07ක් දිගට තමයි අපි කපන්නේ. ලොරියට කඳන් පැටෙව්වට පස්සේ ඒ කඳන් පේන්නැති වෙන්න වී ගෝනි හාල් ගෝනි අට්ටි දෙකක් ගහනවා. කවුරු හරි මඟදි පරික්ෂා කරලා බැලූවාම තියෙන්නේ හාල් හරි වී හරි. එක අට්ටියක් අයින් කරත් අට්ටි දෙකක් ගහලා තියෙන නිසා කඳන් පේන්නේ නැහැ. මේ නිසා ලොරිය පාරට ගත්තාම කිසි කරදරයක් නැතිව ලංකවේ ඕන තැනකට ගෙනියන්න පුඵවන්. අපි ගොඩක් ලී පැටෙව්වේ කල්මුනේට. කොළඹටත් පැටෙව්වා. පාරට ලොර්ඞ් එක ගත්තාම අපට අනතුරක් තියෙනවා අද ගෙනියන්න බැරිවෙයි කියලා හිතුණොත් කරන්නේ කෙළින්ම ලොරිය අම්පාර ටවුන් එකට අරන් යනවා. ඊට පස්සේ ලොරිය ගැරෙජ් එකකට දානව. එහෙම නැතිනම් කොහේ හරි ගෙස්ට් එකකට දාලා ඉන්නවා. ඊට පස්සේ අපි ටවුන් එකේ ඉඳලා අපට යන්න හිතෙන වෙලාවට කඳන් ටිකත් අරන් යනවා. ඒහෙම යද්දි කාටවත් හොයන්න බැහැ. අපට හිතෙන වෙලාවට කැමති තැනකටම යන්න පුඵවන්.”
ලී පටවද්දි අහුවෙලා නැද්ද? මම නැවතත් ඇසුවෙමි.
‘‘මොකෝ නැත්තේ අහුවෙලා වෙලා තියෙනවා. ලී කපපු කාලේට පොලිසියටයි වන සංරක්ෂණයේ අයටයි පහළොස් වතාවක් විතර හසු වුණා. ඒ හැම විටම අපි ඔවුන්ට සල්ලි දීලා බේරුණා .”
ගොඩක් සල්ලි දෙන්න වුණාද? ඔවුන් සල්ලි ගොඩක් ඉල්ලනවද? මම සුනිල්ට බාධා කළෙමි.
‘‘සමහර වෙලාවට රුපියල් පනස් දාහේ ඉඳන් රුපියල් ලක්ෂයක් වගේ ගාණක් දෙන්න වෙනවා. එක පාරක් පොලිසියේ නිලධාරින් පස් දෙනෙකුට රුපියල් ලක්ෂයක් දුන්නා. වන ජිවි නිලධාරින්ටත් රුපියල් හතළිස්දාහ පනස්දාහ වගේ ගණන් දීලා තියෙනවා. කොහොම වුණත් ඒ වෙලේ කථා කරලා එකඟතාවකට එන ගාණන දෙනවා. ඒ වෙලේ දෙන්න නැතිනම් අපි ඊට පහුවදා ගිහින් දෙනවා. අහුවුණු වෙලාවට සල්ලි දීලා හරි බේරෙන්න තමයි බලන්නේ. සමහර වෙලාවට එහෙම බේරෙන්න බැරිවෙන තැන් තියෙනවා.”
කැලේදී භයානක අත්දැකිම්වලට මුහුණ දීලා තියෙනව ද?
‘‘මගෙ අම්මෝ... එකපාරක් වෙච්ච දෙයක් මතක් වෙද්දි තාමත් හීගඩු පිපෙනවා. මම කිලෝ මීටර් හත අටක් මහ කැලේ ඇතුළට ගියා. ඒ ගියේ බුරුත ගස් තියෙන තැන් හොයන්න මම ගියේ වන අලින් ගිය අඩිපාරක් දිගේ. මම ඉස්සරහාට එකපාරටම යද්දි කැලේ මැදින් එකපාරටම මහා ස්දදන්ත අලියෙක් ආවා. හිතපු නැති වෙලාවට ආවාම අලියත් කලබල වෙලා නැවතුණා. මට මහා හයියෙන් කෑ ගැසුණා. අලියත් එහෙමම ගල් ගැහිලා වගේ බයවෙලා හිටියා. ටික වේලාවක් එහෙමම හිටියා. අලියා හිමිහිට ආපස්සට හැරුණා. මමත් එහෙම ආයේ පස්සට ආවා. එදානම් මම හිතුවේ ඉවරයි කියලා. අලියා ගැහුව නම් මගේ මිනියවත් කාටවත් හොයාගන්න ලැබෙන්නේ නැහැ. මොකද මිනිසුන් යන්නේ නැති මහා කැලෙයි මම හිටියේ.
තව දවසක් (ඔහු මට ඉතා සුන්දර වැවක නමක් කිවේය) හරි වැඩක් වුණා. අපි වැව ඉස්මත්තේ බුරුත ගස් වගයක් කැපුවා. ලොරි ලෝර්ඞ් එකකට අපිට කඳන් 30ක් විතර කපනවා. වැවේ සැහෙන දුරක් ගේන්නත්. තියෙනවා. ඔරුවෙන් තමයි අපි ගේන්නේ ඔරුවෙන් දැව කඳන් ගෙනෙද්දි ඔරුව දෙපත්තේ කඳන් දෙක තියලා ඉස්සරහින් කඳ පොඞ්ඩක් ඉස්සෙන විදිහට ගැට ගහනවා. එතකොට කඳ ඉස්සිලා තියෙන නිසා වතුර වැඩිය බදන්නේ නැහැ. එහෙම තමයි කඳන් ගොඩට ගේන්නේ. එදාට පටවන්න බැරිනම් අපි කරන්නේ අඩි කිහිපයක් ගැඹුරේ වතුර යට කඳන් හංගනවා. ඊළග දවසෙ ඇදලා ඒවා ලොරියට පටවනවා. මේ විදිහට අපි වැවෙන් මෙගොඩට ගෙනල්ලා පටවද්දි වනජිවි එකෙන් ආවනේ. අපේ දෙන්නෙක් අහුවුණා. ඉතිරි කට්ටිය දුවලා එක එක පැතිවලට පැන ගත්තා. යන්න තැනක් නොතිබුණු මම වැවට පැන්නා. මම වෙන විකල්පයක් තිබුණේ නැහැ. මම වැවේ එගොඩට විශාල දුරක් පිහිනුවා. ඒ වැවේ කිඹුල්ලූත් ඉන්නවා. කොහොම හරි එගොඩට පීනලා ගල් තලාවකට වෙලා ඉඳලා පසුවදා වැවේ මාළු අල්ලන අයත් එක්ක මෙගොඩට ආවා. එදා නම් මට ජිවිතේට අමතක වෙන්නේ නැහැ. වනජිවි එකෙනුයි කිඹුලන්ගෙනුයි බේරුණු එක මටත් පුදුමයි. හොරෙන් ගස් කපලා කොච්චර සල්ලි හෙව්වත් කිසි වගතුවක් නැහැ. කිසි ඉතිරියක් නැහැ. ඒ දවස්වල මම රුපියල් ලක්ෂ පහක් එකතු කරන් හිටියා ට්‍රැක්ටරයක් ගන්න කියලා. ඒ දවස්වල ට්‍රැක්ටරයක් ලක්ෂ පහකට හයකට ගන්න තිබ්බා. ඒත් කොට ලොරියක් අහුවෙලා එකතුකරගෙන හිටිය මුදල උසාවියට වියදම් කරන්න වුණා. එකතු කරපු මුදල වාෂ්ප වුණා වගේ වියදම් වුණා. කැලේ විනාශ කරලා ගන්න සල්ලි කිසිම වගතුවක් නැහැ. මේ සත්තයි ඒවා යා දෙන්නේ නැහැ. අපි සමහර වෙලාවට ගෙවල්වලට ලෑලි පරාල ඉරනවා. ඒ දවස්වලට නම් සතිය දෙක කැලේ ඉන්නවා. ගොඩක් වෙලාවට ගෙයක් හදාගන්න මිනිහෙකුට දැව සංස්ථාවෙන් හරි කොහෙන් හරි වැඩි මිලට ලෑලි, පරාල ගන්න බැරි නිසා අපි ලී ඉරලා දෙනවා. ඒවා අයිතිකාරයෝ ඇදගන්නවා. එහෙම නැතිනම් අපි ගෙනැත් දෙනවා. ඒවා කළේ උදව්වක් විදිහට.”
ඔහු කියවාගෙන යයි.
දැන් ඔහු කරන්නේ වෙනත් රැකියාවකි. ඒ වසර කිහිපයක සිටය. දැන් කොහොමද ජිවිතේ ඉස්සර වගේ ගොඩක් සල්ලි හොයනවාද? මගෙන් නැවතත් පැනයකි.
‘‘අනේ නැහැ මහත්තයෝ ලී ඉරන කාලේ මාසෙට ලක්ෂ දෙක තුන හම්බ කරන අවස්ථාත් තිබ්බා. ඒත් කිසිම වැඩක් කරගන්න බැරි වුණා. නමුත් දැන් මේ ජොබ් එකෙන් ලැබෙන්නේ අඩු පඩියක් වුණත් හිතේ පුදුම සතුටක් තියෙන්නේ. එදාට වඩා අපි යමක් කරගෙන තියෙන්නේ මේ රැකියාව නිසා. ඒ දවස්වල අපි කොච්චර බයෙන්ද සැකෙන්ද ජිවත් වුණේ. අමුතුම බයක් හිතේ තිබුණේ. කොහේ ගියත් කවුරු හරි අපි දිහා බලන් ඉන්නවාද කියලා, ඔත්තු බලනවාද කියලා සැකෙන් ජීවත් වුණේ.
තවත් දෙයක් කියන්න බැරි වුණා. ඒ දවස්වල දැන් වගේ ජංගම දුරකථන නැහැනේ. ඒ නිසා අපි මඟ දිගට ඔත්තුකාරයෝ දානවා. පොලිසියෙන් වනජීවියෙන් අප අල්ලන්න එනව නම් ඔත්තුකාරයෝ රතිඤ්ඤා පත්තු කරලා සංඥාවක් දෙනවා. නැතිනම් එන කොහෙන් හරි ළඟ පාරකින් ඇවිල්ලා කියනවා. අපි එතකොට පැනලා යනවා. එහෙම මර බයකින් තමයි ලී ඉරන රස්සාව කළේ. දැන් තේරෙනවා මම කළේ කොයිතරම් පාප කර්මයක් ද කියලා.” සුනිල් පැවැසුවේ දිගු සුසුමක් හෙළමිනි.
එලෙස පෙළ ගැසුණේ වසර ගාණක් තිස්සේ ලී ජාවාරමේ යෙදුණු මිනිසෙකුගේ හදවතේ ඇතිවූ සන්තාපයේ හඬයි.
සුසන්ත අමර බන්දු