
ස්ත්‍රීහු බොහෝ දෙනෙක් නොමේරූ වයසේ දී ලාමකය. බොළඳය. අහිංසකය. ඒ බව උසාවියකට ගිය විට පැහැදිලි වේ. සෑම උසාවියක ම පාහේ එක් දිනකට නඩත්තු නඩු පනහක් හැටක් විභාග වේ. මව එක් දරුවෙකු වඩා ගෙන සිටින සිටින අතර තව දරුවෙක් ඇගේ අතේ එල්ලී ගෙනය. මේ දුර දිග සොයා නොබලා හදිස්සි වී හිතුවක්කාර තීරණ ගැනීමේ කර්මයේ විපාකයයි. බොහෝ දුරට නිතර ම අවාසිය ගැහැනුන්ට ම ය. මේ ලෝක ස්වභාවයයි. නුවණින් කටයුතු කරන්නෝ ද නැතුවා නොවේ.
කෑගල්ලේ සුමනා හැට පස් හැවිරිදි දෙදරු මවකි. ඇගේ අත පයවල කොර ගතියක් හට ගෙන ඇත. එහෙත් හිටි හැටියේ සිහිවිකල්ව මඟ දිගේ දුවන්නට ගනී. කෑම අප්‍රිය කරයි. දිය නෑමට අකමැතිය. ඇගේ සැමියා විමල් ඇය සුවපත් කරන්නට කායික හා මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නත් සුවයක් නොවීය. වත් පිළිවෙත්වලින් ද සහනයක් නොවීය.
අන්තිමට විමල් සිය දියණිය සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත විද්‍යා ගවේෂණ මධ්‍යස්ථානය කරා සුමනා කැඳවා ගෙන ආවේය. රෝග තත්ත්වය විස්තර කොට ප්‍රතිකාර පැතූහ. ආධ්‍යාත්මීය උපදේශකවරයා ගේ මූලික රෝග පරීක්ෂාවේදී සුමනා කෙරෙන් අමනුෂ්‍ය දෝෂ ලක්ෂණ පිළිබිඹු විය. දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ඔවුන්ට උපදෙස් ලැබුණි.
බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ සුමනාගේ භූතාත්මයක් ආවිෂ්ට වී අඬන්නට වූවාය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.
“කවුද මේ ශරීරයට රිංගා ගෙන අඬන්නේ?” යි ඇසීය.
“මම තුෂාරා” යි භූතාත්මය කීවාය.
“කවුද මේ තුෂාරා කියන්නේ?”
“මම මහනුවර කෙල්ලක්. මේ ගෑනි මාව කෑවා. මගේ ජීවිතය විනාශ කළා. මම මේ ගෑනිගෙන් පළිගන්නවා.”
“ඇයි ෙම් ඇයි ඔබට මොන වරදක් කළාටද පළිගන්නේ?”
“මේ ගෑනිගෙ පුතා කුමාර. ඌ මාත් එක්ක යාළු වුණා. කාලයක් ආශ්‍රය කළා. ඒ අතරේ අපි විනෝද වෙන්න ඇවිදින්න ගියා. මම කුමාර විශ්වාස කළා. කුමාර මා විවාහ කර ගන්නා බවට පොරොන්දු වෙලයි හිටියේ. එයා අතින් මම කෙලෙසුණා. මේ මහ ගෑනිත් අපේ සම්බන්ධයට කැමති වෙලයි හිටියේ. පස්සෙ විරුද්ධ වුණා. කුමාරත් අම්මගෙ කීමට එකඟ වුණා. මම අසරණ වුණා. මම වහ බීලා මළා. මගේ ජීවිතය විනාශ කළේ මේ ගෑනි තමයි. ඒකයි මම පළිගන්නෙ.” යි භූතාත්මය කීවාය.
සුමනා ප්‍රකෘති සිහියට පත් කළ ගවේෂකවරයා මේ තුෂාරා කවුද? යි විමසුවේය.
“මගේ පුතා කුමාරත් තුෂාරාත් විශ්වවිද්‍යාලයෙ එකට ඉගෙන ගත්ත අය. එහෙදි දෙන්නා යාළු වෙලා තියෙනවා. ඊට පස්සෙ දෙන්න ම රස්සාවල් කළෙත් කොළඹ. නිතරමුණ ගැහෙනවලු. මේ සම්බන්ධයට අපි විරුද්ධ වුණේ නැහැ. ඒත් තුෂාරාගෙ ගෙදර අය විරුද්ධයි. එයාගෙ තාත්තා බොහෝ ම තද පුද්ගලයෙක්. දවසක් තුෂාරාගෙ අම්මා මට ටෙලිපෝන් කළා. එයා කිවුවා ඒ අය බොහොම වැදගත් වලව්කාර පවුලක්ය. මේ සම්බන්ධයට තදින් ම විරුද්ධයි. මේකට අනුබල දෙන්න නම් එපා කියලා තදින් ම කිව්වා. මට හිතුණා මේ අය මෙග් පුතාට කරදරයක් කරයි කියලා. ඉතින් මේ ගැන මමත් කල්පනා කරලා උපායක් වශයෙන් පුතාට කිවුවා දෙන්නාගෙ හඳහන් ගැළපෙන්නේ නැහැ. තුෂාරා කොයි තරම් හොඳ වුණත් හඳහනේ නොගැළපීම් නිසා විවාහ ජීවිතයටත්, දෙන්නගෙ ජීවිතවලටත් ඉතා ම අපලයි. ඒ නිසා ඔය සම්බන්ධය නතර කරන්න කියලා. පුතා ඒක පිළිගත්තා. තුෂාරාගෙ අම්මා මට කතා කළ බව මම පුතා එක්ක කිවුවෙ නැහැ. පුතා හඳහන් නොගැළපීම නිසා අම්මත් අකමැතියි අපි සම්බන්ධය නතර කරමුයි තුෂාරාට යෝජනා කරලා තියෙනවා. ඊට පස්සෙ දවසක් තුෂාරා හිටි හැටියේ අපේ ගෙදර ඇවිත් මම ආවේ නතර වෙන්නය කියලා කිවුවා. අපි තුෂාරාට හොඳින් කිවුවා ආපහු යන්න කියලා. තුෂාරා අපේ කීම පිළිගත්තේ නෑ. එදා පුතා ගෙදර හිටියෙ නැහැ. ඒ පාර අපි පොලීසියට මේ ගැන පැමිණිලි කළා. පොලිසියෙන් ඇවිත් තුෂාරා යැව්වා. තුෂාරා ගෙනාපු ඇඳුම් බෑග් එකත් දාලා අඬ අඬා මට සාප කර කර යන්න ගියා.”
“පුතා ගෙදර ආවා ම අපි පුතා එක්ක මේ සිද්ධ වෙච්ච දේ කිව්වා. ‘ඕනැ බම්බුවක්’ කියලා පුතා කිවුවා. තුෂාරා ගෙදර ගිහින් වහ බීලා තියෙනවා” යි කුමාර ගෙ මව කීවාය.
භූතාත්මය ආවිෂ්ට වී කී දේවලුත්, සුමනා කී දේවලුත් සුමනාගේ ස්වාමි පුරුෂයා සහ දියණිය බිම බලාගෙන අසා සිටියහ.
“ගැහැනු ළමයෙකුට තමන්ගෙ චරිත පාරිශුද්ධිය ඉතා වටිනා දෙයක්. මේ ඔබේ දුවට ඔය දේ සිද්ධ වුණා නම් මොකද වෙන්නේ?” යි ගවේෂකවරයා ඇසීය.
මවත් පියාත් දුවත් තුන් දෙනා ම ඒ ප්‍රශ්නයෙන් අන්දමන්දව නිරුත්තර වූහ.
“තරුණ ගැහැනු ළමයි පිරිමි ළමයි යාළු වෙනවා. ආදරය කරනවා. ආදරය කියන්නේ මත්වීමක්. අන්‍යොන්‍යව ආදරය කරන කොට විශ්වාසයක් ගොඩ නැගෙනවා. ඔබේ පුතාගෙ අතින් තුෂාරාට බලවත් හානියක් සිද්ධ වෙලා. ඒ ළමයා අනාථ වෙලා. අසරණ වෙලා. එහෙම තත්ත්වයක් තියෙද්දිත් “ඕනැ බම්බුවක්” කියන්න තරම් පුතාත් අමානුෂික වෙලා. මේ විශ්වය හරිම සාධාරණයි. පුතාටත් ඒ වරදට වන්දි ගෙවන්න වේවි. කොයි දේ වුණත් ඔබ අසනීපයට ප්‍රතිකාර ගන්නයි මා ළඟට ආවේ. මම මගේ යුතුකම ඉටු කරනවා” යි ගවේෂකවරයා කීවේය.
ඔවුන්ට තවත් සතියක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන් ගවේෂකවරයා සුමනාගෙන් තුෂාරාගේ ගෙදර දුරකතන අංකය ඉල්ලා ගත්තේය.
ගවේෂකවරයා තුෂාරා ගේ මවට දුරකතනයෙන් ඇමතුවේය. “අපේ ගවේෂණ මධ්‍යස්ථානයේ දී ඔබේ මිය ගිය දුව තුෂාරාගේ භූතාත්මය ඉදිරිපත් වුණා. ඒ ඔබේ දුව බව අපේ පිළිගැනීමයි කරුණු කාරණා අනුව. ඒ දුව දැන් ඉන්නේ ඉතා ම දුක්ඛ දායක ආත්මයක. බුදු දහමට අනුවත් ඒ දුව දැන් ඉන්න තත්ත්වය අනුව පින් දුන්නාට වැඩක් නැහැ. පින් ගන්න බැහැ. ඒත් එයා ක්‍රමයෙන් පිනට දහමට යොමු කරන්න පුළුවන්. ඔබ ඔබේ දුවගේ ආත්මය සුවපත් කරන්න කැමති නම් ලබන සතියේ ඉරිදා පැමිණෙන්නැයි කීවේය.
ඊළඟ ප්‍රතිකාර දිනයේ තුෂාරාගේ මවු පිය දෙදෙනා ද පැමිණියහ. සුමනාගේ පවුලේ අය සමඟ කතාවට නොගිය ඔවුහු පැත්තකට වී නිහඬව බලා සිටියහ. කුමාර ද එදා පැමිණ සිටියේය.
එදින ද භූතාත්මය සුමනාට ආවිෂ්ට වූවාය.
“අම්මේ.... මට සමාවෙන්න අම්මේ...” යි අඬන්නට වූවාය.
“හොඳයි දැන් මේ අයට කරදර නොකර ඉවත්ව යන්න සූදානම් වෙන්නැ” යි ගවේෂකවරයා භූතාත්මයට කීවේය.
“බැහැ.... බැහැ... මේ ගෑනිගෙන් පළිගන්න ඕනෑ”
“මම කියන දේ හොඳින් අවබෝධ කර ගන්න. අනුන්ට දොස් පවරන්න කලින් තමන්ගේ වරද, නොදන්නාකම, මෝහය ගැන හිතන්න. කුමාර මවු පියන්ට කීකරු වුණා. ඔබ මවුපියන්ට අකීකරු වුණා. ඔබ විවාහයට පෙර පෙම්වතා සමඟ අනවශ්‍ය ගමන් බිමන් ගියා. චරිතය කිලිටි කර ගත්තා. අනවශ්‍ය ගමන් නොගියා නම් එහෙම වෙන්නේ නෑ. අන්තිමට වටිනා ජීවිතය නැති කර ගත්තා. ඔබ පත්ව සිටින ඇත්ත තත්ත්වය මවුපියන්ට කියන්න තිබුණා.”
“බැහැ මහත්මයා. මම ඇත්ත කිව්වා නම් අපේ අප්පච්චි අම්මව වෙඩි තියලා මරනවා. අප්පච්චි අම්මාට කිව්වා මාව කොළඹ රස්සාවලට යවන්න එපා කියලා. අම්මයි කොළඹ යැව්වේ. මම ඇත්ත කිව්වා නම් අප්පච්චි අම්මාව මරනවා. ඒකයි නොකිව්වේ.” යි භූතාත්මය කීවාය.
“ඔබේ මව ඔබට ආදරය නිසයි මේ විවාහයට විරුද්ධ වුණේ. කුමාරගේ මව කුමාරට ආදරය නිසයි මේ විවාහය වැළැක්වූයේ. ඔබ ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු නොකළ නිසා අමාරුවේ වැටුණා. දැන් මේ සියල්ල හිතින් අත හරින්න. ඔබ දැන් ලස්සන තුෂාරා නොවෙයි. වෛරයෙන් දැවෙන ප්‍රේතියක්. ඔය දුක්ඛ දායක තත්ත්වයෙන් මිදෙන්න. මවුපියන් පින් දේවි. ඒ ගැන හිතලා හොඳ සිද්ධස්ථානයකට ගිහින් පිනට දහමට හිත යොමු කරන්න.”
“මෙග් අඩුපාඩුව මෝඩකම දැන් මට වැටහුණා මහත්මයා. හොඳ තැනකට යන්න මට උදව් කරන්නැ” යි ප්‍රේතිය ඉල්ලා සිටියාය.
සිය දියණියට අනුකම්පා කොට මහනුවර නිවෙසේ සාංඝික දානයක් පිරිනමා ඇගේ ආත්මයට ආශිර්වාද කොට තුෂාරාගේ නම කියා පැන්වඩා පින් දී සතියකින් නැවත එන්නැ” යි තුෂාරාගේ මවුපියන්ට උපදෙස් දුන් ගවේෂකවරයා මේ කිසි ම පින්කමකට සහභාගි නොවන්නැයි කුමාරගේ පවුලේ අයට නියම කළේය.
දානය පිරි නමා තුෂාරාගේ මවුපියෝ නැවත පැමිණියහ. ගවේෂකවරයා භූතාත්මය මල් වට්ටියකට සම්බන්ධ කොට ඔවුන් අත ම කැලණියට යැව්වේය. මේ වන විට කුමාරගේ මව සුවපත්ව තිබුණි. මේවා තරුණ පරපුරට හොඳ පාඩම් ය. හැඟීම්වලට වහල් නොවී ජීවිතය, දියුණුව හා ගෞරවය රැක ගැනීමට මෙවැනි “සිළුමිණ” ලිපි තරුණ දරුවන් අතට පත් කිරීම මවුපිය වගකීමකි.