
කුඹුක් ගසේ තිබෙන්නා වූ මිල කළ නොහැකි හැකියාව වන්නේ ජලය පිරිසුදු කිරීමයි. නිසි විද්‍යාත්මක පර්යේෂණයක් කෙරෙන්නේ නම් වර්තමානයේ රජරට වෙළාගත් වකුගඩු රෝගයෙන් මිදීමට කුඹුක් ගස ප්‍රයෝජනයට ගත හැකි ආකාරය හඳුනාගත හැකි වනු ඇත.
යළි උදාවූ අරුණැල්ලක අපි නැවැතත් යෝධ ඇළේ සොරොව්ව අසලට පැමිණියේ පෙරදා යෝධ ඇළ ඇරඹුමෙන් අවසන් කළ අපේ චාරිකාවේ දිගු ගමන ඇරඹීමටය.
ඒ උදෑසනේ දකින කලාවැව ගම්මානය කඩිසරය. ගම්මු උදෑසනම සිය ජල අවශ්‍යතා සඳහා යෝධ ඇළට පැමිණ සිටිති. කුරුලු කූජනය සැමතින් ඇසේ. ඒ හඬ පරයා ඇසෙන හඬක් වේ නම් වරින් වර උස්ව නැඟෙන යාබද සහල් මෝලක යන්ත්‍ර ක්‍රියාකරවන හඬය.
යෝධ ඇළ වේල්ල දිගේ සමාන පරතරයකින් විශාල ව වැඩුණු තල්, බෝ, ඇහැටු, නුග සහ කුඹුක් ගස් හඳුනාගත හැකිය. මේ නිසා කෙතරම් දැඩි හිරු රැසක් පතිත වන දහවලකදී පවා යෝධ ඇළට ලැබෙන්නේ මනා සෙවණකි. ඇළේ ඉහත්තාවෙන් වැඩි පුරම හඳුනාගත හැක්කේ කුඹුක් ගස්ය.
වකුගඩු රෝගයට පිළියමක්
ටර්මිනලියා අර්ජුනා (Terminalia Arjuna) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කුඹුක් ශාකය ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ සශ්‍රීකව වැඩෙන වටිනා ශාකයකි. පැරැන්නන් වියළි කලාපයේ සෑම ජල මූලාශ්‍රයක් ආශ්‍රිතවම බහුලව කුඹුක් ගස් වවා ඇත්තේ එහි ඇති වටිනාකම හඳුනාගෙනය. කුඹුක් ගසේ තිබෙන්නා වූ මිල කළ නොහැකි හැකියාව වන්නේ ජලය පිරිසිදු කිරීමයි. මෙහිදී වැව් ජලය මෘදු කිරීම (ජලයේ කිවුල ගතිය අඩු කිරීම) හා පිරිපහදුකරණයද සිදුවන අතර ජලයේ පවතින විෂ සංඝටකද උරාගනී. නිසි විද්‍යාත්මක පර්යේෂණයක් කෙරෙන්නේ නම් වර්තමානයේ රජරට වෙළාගත් වකුගඩු රෝගයෙන් මිදීමට කුඹුක් ගස ප්‍රයෝජනයට ගත හැකි ආකාරය හඳුනාගත හැකි වනු ඇත.
කුඹුක් ගස අඩි 40-50 ක් උසට වැවෙන මහත කඳක් සහිත ඉතා විශාල ගසකි. මෙහි අතු හරස් අතට විහිදී යයි. පොත්ත ඉතා ඝනය, සිනිඳුය, ළා රෝස පාටය. මෙම පොත්තේ පහසුවෙන් පතුරු ගැලවී යයි. අප්‍රේල්, මැයි මාසවල පිපෙන කුඹුක් මල් මී මැස්සන්ගේ ප්‍රියතම මල් විශේෂයකි.
යෝධ ඇළ දිගේ පහළට යන අපට ඊළඟට හමුවන්නේ යෝධ ඇළට ඉහළින් ඇදෙන ත්‍රිකුණාමල- මඩකළපු දුම්රිය මාර්ගයයි. වැව් බැම්මට සමාන්තරව මීටර පන්සියයක පමණ දුරකින් ඇදී යන දුම්රිය මාර්ගයේ කලාවැව දුම්රිය ස්ථානය පිහිටියේ යෝධ ඇළ ඉස්මත්තේය. කොළඹ සිට සැතැපුම් 110ක්දුරින් පිහිටි කලාවැව දුම්රිය පොළ පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 380ක උසකිනි.
පළමුව ධාතුසේන යුගයේද, පසුව ඉංග්‍රිසි සමයේද, අවසානයට නිදහසින් පසුද ජනාවාසකරණය වූ යෝධ ඇළ නිම්නයේ කලාවැව යනු සාමකාමී ප්රදේශයකි.
යෝධ ඇළ ඉහත්තාවේ සිංහල ජනතාවද, බැම්මෙන් පහළ කොටසේ මුස්ලිම් ජනතාවද බහුලව වාසය කරන කලාවැව ගම්මානයේ පාරම්පරික දෙමළ වැසියන් සුළුතරයක් හඳුනාගත හැකිය.
නිදහසින් පසු අතීතයේ ප්‍රදේශයේ සාමකාමී බව බිඳී ගිය අවස්ථා ලෙස මෙහි මිනිසුන්ට මතක ඇත්තේ 1971 කැරැල්ලත්, 1983 කළු ජූලියත්, 1987-89 භීෂණ සමයත්ය. තවමත් පොලීසියක් පවා නොමැති කලාවැව 1975 දී පමණ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරින් විසින් දෙවනත් කළ’යුරු මෙහි වෙසෙන පැරැන්නන්ට තවම අමතකව නැත.
පසුකාලීනව කැරලිකරුවන් අතින්ම ඝාතනය වූ නන්දන මාරසිංහ යනු ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයවූ 1971 කැරැල්ලේ ප්‍රබල ක්රියාකාරිකයෙකි. ඒ නිසාම ඔහු පොලිස් අත්අඩංගුවට පත්වන අතර අදාළ නඩු කටයුතු වෙනුවෙන් යාපනය බන්ධනාගාරයේ රඳවා තිබේ. එහිදී මුහුදෙන් පිහිනා පැන යන්නට උත්සහ දරණ අතර ඉන්පසුව ඔහුව මඩකළපුව බන්ධනාගාරයට මාරු කර යවා ඇත. ඒ 1975දීය. සෑම නඩු දිනයකම දුම්රියෙන් යාපනයට ගෙන යන නන්දන මාරසිංහ පැහැර ගැනීමට හොඳම ස්ථානය ලෙස ජවිපෙ සාමාජිකයින් විශ්වාස කරන්නේ හුෙදකලා කලාවැව දුම්රිය ස්ථානයයි.
බලධාරීන් ප්‍රාණ ඇපයට
රාත්‍රී තැපැල් දුම්රිය කලාවැවට පැමිණි අවස්ථාවේ, ආරක්ෂාවට සිටින බන්ධනාගාර නිලධාරීන් නොසිතූ නිමේෂයක යටත් කොට, දුම්රිය ස්ථාන බලධාරීන්ද ප්‍රාණ ඇපයට ගෙන සිය අරමුණ සඵල කරගන්නා කැරලිකරුවන් එදා සිදුකළ මෙහෙයුම බටහිර චිත්‍රපටයක දර්ශන මෙන් කලාවැව වැසියන්ට තවමත් මතකයේ ඇති බව වැඩිහිටියන් කිහිප දෙනෙකු සමඟ කළ කතාවේදි අපට අවබෝධ විය.
යෝධ ඇළ බැම්ම හරස් කරමින් විහිදුණු දුම්රිය මඟ පසුකළ අපි නැවැත ඇළ බැම්ම දිගේ ගමන් කළෙමු. ඇළ ඉවුරේ කඩා වැටුණු ගස් කඳක කොකුන් සහ දියකාවුන් කිහිප දෙනෙකු ගිමන් හරිනු පෙනේ. අපේ කැමරාව යුමුහු කර (Zoom)ඔවුන්ගේ දසුන හසු කරගන්නට පෙරම ආගන්තුකයින්ගේ පැමිණීම ඉව වැටුණු පක්ෂිහු පියඹා විසිර ගියහ.
තවත් මීටර දෙසීයක පමණ පාගමනකින් පසු හමුවන්නට නියමිතව ඇත්තේ කලාවැව මංසන්ධියයි. එහෙත් ඊට පෙර යෝධ ඇළෙන් පහළට විහිදෙන වාරි ඇළක් හමුවේ. එහි සුවිශේෂත්වය වනුයේ කැපූ ගලෙන් සැකසූ පැරණි පන්නයේ වාරි ඇළ සොරොව්වක් එහි පිහිටා තිබීමය.
“දැනට මේ ඇළේ වතුර පාලනය කරන්නේ මහවැලියෙන්. ඒත් ඉස්සර වෙල් විදානෙලා තමයි වතුර බෙදා හැරියේ… මහවැලියෙන් හදපු කෙත් ඇළවල්, වාරි ඇළවල් තියෙන්නේ සිමෙන්තියෙන්. මේ ඇළවල් රජ කාලේ හදපු ඒවා… ඉංග්රිසින්ගේ කාලේ ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා….මේ ඇළ හුංගාවිලටම ගලාගෙන යනවා...” අපට මඟ පෙන්වන්නට ආ සෝමු යෝධ ඇළෙන් විහිදෙන අලුත් සහ පැරණි අතුරු ඇළ මාර්ග ගැන පැහැදිලි කළේ එලෙසිනි.
යෝධ ඇළේ සෑම මීටර සියයක දුර පරතරයකින් පහළට විහිදෙන හරස් ඇළවල් හඳුනාගත හැක.එම ඇළවල්වලින් සරුසාර වන වගා බිම් ප්‍රමාණය මත ඒවා ප්‍රමාණයෙන් කුඩා, මධ්‍යම හෝ විශාල ඒවා වන අතර එකිනෙක ඇළවලින් ගෙවතු සහ කෙත්වතු සරු කරන එම දිය කඳ අවසානයේ “වෙල් පහු වතුර” ලෙස එක් වන්නේ කලාඔයටය. රාජාංගනය තඹුත්තේගම අවට කෙත්වතු සහ වගාබිම්ද සරු කරමින් ගලන කලා ඔයේ දියකඳ මුහුදට වැටෙන්නේ පුත්තලමට උතුරෙන් විල්පත්තුවේ දකුණු මායිමෙනි.
පැරැණි නම් තවමත්
කලාවැව හන්දිය ආසන්නයේම වූ අතුරු ඇළකට යෝධ ඇළේ සොරොව්වෙන් වතුර විවෘත කරන මහවැලි ජල පාලක නිලධාරියෙකු අපට දැකගන්නට ලැබිණි.
“මේ ඇළේ වතුර දවස් දෙකකට තුනකට සැරයක් අරිනවා… ආපහු වහනවා… ඒක තීරණය කරන්නේ ගොවි සමිතිත්, මහවැලි නිලධාරිනුත් එකට සාකච්ඡා කරලා…ඒ වතුර දෙන්න පොරොන්දු වෙන පිළිවෙළ අනුව අපිට තියෙන්නේ වතුර අරින වහන එක….වැඩි විස්තර දන්නේ මහඉලුප්පල්ලමේ ඉංජිනේරු මහත්තුරු තමයි….”
යෝධ ඇළ පමණක් නොව මේ අවට මහවැලි ‘එච්’ ප්‍රදේශයන්හි ජල කළමණාකරණය සිදු කරන්නේ මහඉලුප්පල්ලම මහවැලි අධිකාරි කාර්යාලයෙනි. යෝධ ඇළ දිගේ යන ඉදිරි දිනකදී නිල තොරතුරු ලබාගැනීමේ අරමුණෙන් එම කාර්යාලයට පිවිසීමට අප බලාපොරොත්තු වන අතර එතෙක් ජල පාලක නිලධාරියාට සමුදුන් අපි ඔහුගේ ඡායාරූපයක් පමණක් ගත්තෙමු.
කලාවැව හන්දිය වෙළඳසල් කිහිපයක් පිහිටි ජනාකිර්ණ ස්ථානයකි. ගලේවෙල කැකිරාව ප්‍රධාන මාර්ගයේ විජිතපුර හන්දියෙන් වමට විහිදෙන ගල්නෑවට යන මාර්ගයේ කලාවැව හන්දිය පිහිටා තිබේ. බහුතරය මුස්ලිම් ජනතාවක් ජිවත්වන මේ ප්‍රදේශයේ ප්‍රධාන ආගමික ස්ථානය වන්නේ කලාවැව ජුම්මා මස්ජිඩ් පල්ලියයි.
“මේවා පාරම්පරික මුස්ලිම් ගම්. රජකාලෙන් පස්සේ සුද්දා වැව අලුත්වැඩියා කරන්න කලින් මේ මුස්ලිම් මිනිස්සු හිටියේ වැවේ උඩහ. අපේ මිනිස්සු මාළු අල්ලලා, වගාකරලා තමා ජිවත් වුණේ... එක්දහස් අටසිය ගණන්වල වැව අලුත්වැඩියා කරලා වතුර පුරවන කොට ඒ ගම් යටවෙන නිසා මිනිස්සුන්ව වැව් බැම්මෙන් පහළ ඇළ අයිනේ පදිංචි කළා… ඉස්සර අපේ ගම් ඒ නමින්ම තාමත් හඳුන්වනවා… “තෙලියාවැව”, “හුංගාවිල”, “කුසලානගම” කියන්නේ පරණ ගමේ නම්… ඒවා දැන් කලාවැව ග්‍රාමසේවා වසමේ උප ගම් විදියට තියෙනවා….”
අපත් සමඟ අදහස් දක්වන්නට එක් වූයේ කලාවැව මංසන්ධියේ කුඩා තේ කඩයක් පවත්වාගෙන යන ජානිස් මොහොමඩ් ආබ්දීන්ය. කෘෂිකාර්මික කටයුතු වලට අමතරව කුඩා තේ කඩය පවත්වාගෙන යන තිස් පස් හැවිරිදි ඔහු යෝධ ඇළ ආශ්‍රිත ගොවියන්ගේ වත්මන් පරපුරේ පුරුකකි. “පාරම්පරික ගම්වල පදිංචි අය නිසා, අපිට මහවැලි ඉඩම් ලැබුණේ නෑ.. සුද්දාගේ කාලේ ලැබුණු ඉඩම්වල තමයි අපි තාමත් ඉන්නේ…. පරම්පරා පහකට පස්සේ දැන් ජනගහනයේ හැටියට ඉඩම් නෑ… ඉඩම බෙදිලා ගිහින් පොඩි ඉඩමක වගා කරද්දි ලාභ ගන්න බෑ… ඒ නිසා තරුණ පරම්පරාවේ අය ගොවිතැනින් අත හැරිලා වෙන රස්සාවලට යනවා….අපේ ළමයින්ගේ කාලේ වෙනකොට වගා කරන පුරුද්ද අතඇරිලා යාවි….” වෙළදසලේ කටයුතු කරන අතරතුර පෙර පාසල් යන සිය පුත්‍රයාද ළං කොට ගත් ජානිස් අපට කීවේ යෝධ ඇළේ ගොවි බිම්වල අවිනිශ්චිත අනාගතය ගැනය.
මහවැලියත්, කඩිනම් මහවැලියත් යටතේ ඇතිකළ ගොවි ජනපද ව්‍යාපාරයත් සමඟ යෝධ සංවර්ධන සංග්‍රාමයක් මහවැලි කලාපයන්හී ඇරඹුණද, පරම්පරා ගණනාවක් තිස්සේ කලාවැව පාරම්පරික ජනයා ගතකළ නිදහස් ජිවිතයට වැට බැඳීමද මහවැලි ව්‍යාපාරය නිසා සිදුවිය. “අපේ වැව” “අපේ ඇළ” වැනි සාමුහික හැඟීමකින් වැවට බට, ඇළට බට ජනයාට නීති රීති පද්ධතියක් යටතේ ජීවත් වීම තවමත් නුහුරුය.
එකල පහේ අඹරා හොද්ද ළිප තබන්නට ඇඹේණියට කියා, බිලී පිත්තත් රැගෙන ඇළට බට ගොවියා හොද්ද නටන්නට පෙර කොරළි දෙන්නෙක් තුන්දෙනෙක් බිලී බාගෙන ආ අතීතයට තවමත් මේ වැසියන් කැමැතිය. එයට සිංහල හෝ මුස්ලිම් කියා ජාති බේදයක් නැත. මහවැලියෙන් ගව පාලනයට වැට බැඳීමද මේ ජනයා එකඟ කාරණාවක් නොවේ… එහෙත් බෝවතැන්න ජලාය ඔස්සේ කලාවැවට එන ජලයෙන් යෝධ ඇළ නිම්නයටද අඩුවකින් තොරව දියවර ලැබේ. ඒනිසා මුළු රජරටම නියඟයෙන් පිඩා වින්දද, මහවැලි ජලයෙන් පෝෂණය වන බොහෝ ඉඩම් සශ්‍රීකව වගාකෙරේ.
ජානිස්ගේ තේ කඩයෙන් පරිප්පු හොදි සමඟ පරාටද, පොල් රොටිද කෑ අප පදමට කහට දැමූ ප්ලේන්ටියක්ද බී කෙටි විරාමයක් ගත්තේ යෝධ ඇළේ සිරි අසිරි තවදුරටත් සොයා බලන අටියෙනි.
යෝධ ඇළ දිගේ ගමන තව බොහෝ දුරය… එහි ඇරඹුමේ සිට අවසානය දක්වා තවත් අසන්නටද, දකින්නට ද දෑ බොහෝය. ඉදිරි ලිපියකින් ඒ ගැන තවදුරටත් තොරතුරු ගෙන එන අරමුණෙන් අදට සමුගත යුතුව තිබේ. ඔබටත් පැරණි යෝධ ඇළ ගැන කියන්නට යමක් වේ නම් [email protected] ලිපිනයට දන්වන්න.
යෝධ ඇළ ඉස්මත්තේදී මහාවංශය ලියූ මහානාම හිමියන්ගේ සොහොන් කොත හමුවූ හැටි මීළඟ ලිපියෙන්
(නවාතැන් පහසුකම් සැපයූ ගාමිණී එදිරිසිංහ මහතාටත්, සංචාරය සඳහා අවශ්‍ය පාපැදි සම්බන්ධීකරණය කළ වජිර ප්‍රසන්න ඉලංගසිංහ මහතාටත්, තොරතුරු සහ අදහස් දැක්වූ නලීන් මිණිපුර මහතා ඇතුළු ගම්වැසියන්ටත් ස්තූතියි!)
ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ