
වයස දහ අටක් වුණත් නිරෝජන්ගෙ හිත තව ම පුංචියි.
අත් කකුල්වලින් වාරු අරන් අනෙක් ළමයි පදින හැටි බලා හිටියට නිරෝජන් කවදාවත් ඔන්චිල්ලාවක් පැදලා තිබුණෙ නැහැ. අඩුම තරමේ ආබාධිත අයට පදින්න පුළුවන් ඔන්චිලි තියෙනවද කියලවත් දැනගෙන හිටියෙ නැහැ.
එක අතකට, කකුල් දෙකට ම පෝලියෝ හැදිච්ච, කතා කරන්නවත් බැරි, අම්මා අප්පා නැති ආබාධිත දරුවෙක් කවුරු හුරතල් කරන්නද... කවුරු, පිළිගන්නද... ඔවුන්ට තිබුණෙ කොන් වෙච්චි ජීවිත. හැංගිච්ච ජීවිත.
නැගෙනහිර ජීවත් වුණාට නිරෝජන්ලා වගේ සිය ගණනක් ජීවිතවලට මෙච්චර කල් ඉර නැගුණෙම නැති තරම්.
මිනිසුන් ඇති කළ යුද්ධය මදිවට සුනාමියත් ඔවුන්ගෙ ජීවිත හෙම්බත් කළා.
ඒත් හැමදේම වෙනස්වන දවසක් ආවා!
අක්කර 23 ක් පුරා ගොඩ නැඟූ, මිනිස් ජීවිත නඟා සිටුවන - බල ගන්වන MJF සෙන්ටර්, පහුගියදාක රටේ අගමැතිවරයා අතින් විවෘත වුණේ වාලච්චේනෙට කල්කුඩාවලට විතරක් නෙෙවයි, මුළු නැගෙනහිරට ම අලුත් බලාපොරොත්තු අරගෙන.
දැන්, නිරෝජන්ලා... සයුරන්ලා... දෙනූජලා.... වගේ ආබාධිත දරුවො ආදරෙන් පිළිගන්න බලා ඉන්න ඉස්කෝලයක් තියෙනවා. ස්පීච් තෙරපි, ඩාන්සින් තෙරපි, මියුසික් තෙරපි, ෆිසියො තෙරපි.... ප්‍රතිකාර සත්කාර ඔවුන්ට ලැබෙන ගමන් බඩගිනි වුණාම කෑම ටිකක් දෙන්න, ආදරයෙන් කතා කරන්න, ගුරුතුමියකුත් මේ දරුවො වෙනුවනේ බලා ඉන්නවා.
මෙච්චර කල් ගෙවල් ඇතුළෙම එහෙමත් නැතිනම් රෝද පුටුවකට සිමා වෙච්චි, ඒ පුංචිවුන්ගේ මූණුවලට හිනාව ඇවිත්. මේ ව්‍යාපෘතිවල දිග පළලවත්, හදන්න වෙච්චි බරපතළ මහන්සියවත් නොදැනුණාට, ඒ හිත්වලට දැනුණු එකම හැඟීම ‘සතුට’ විතරයි. ඒ සතුට, කල්කුඩාවේ බිම පුරාවටත් වඩා වැඩියි. වාලච්චේන නිල් අහසටත් වඩා වැඩියි.
රේන්බෝ සෙන්ටර්, හි ‘අසිරිමත් ඉස්කෝලෙ’ මේ හැම තැනකම ඉඩ පුංචි අයට වෙන් වුණේ ඒ මිලක් නැති සතුට වෙනුවෙන්. ලෝ ප්‍රකට චෙෆ් ජෙරාඩ් මෙන්ඩිස් ප්‍රමුඛ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ශිල්ප දෙන, ‘එම්පවර්’ සූපශාස්ත්‍ර සහ ආගන්තුක සත්කාර පාසලත් IT මධ්‍යස්ථානයත් තරුණ තරුණියන් වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ සූපවේදයේත් තොරතුරු තාක්ෂණයේත් ජාත්‍යන්තර දැනුම දෙමින්.
යුද වැන්දඹුවන්ගේ ජීවිතය ආර්ථිකය නඟා සිටුවා වෘත්තීය වැඩසටහන්, ඉහළ ඉල්ලුමක් ඇති ‘ඕගනික් ෆුඩ්ස්’ නිපැයුම්, ගොවීන් ඒ සඳහා යොමු කරලීම්, නවීන තාක්ෂණය හරහා ‘සුපර්මාකට් චේන්’ වෙත සිය අස්වනු විකිණීමට ඔවුන් ජාලගත කිරීම් සහ ආදර්ශ ගොවිපළවල් ඇති කිරීම, නියඟයට ඔරොත්තු දෙන බෝග සිටුවීම, කුඩා ව්‍යවසායකයින් බිහි කිරීම, කජු පැළ මිලියනයක් වවා සාර්ථක අස්වනු ලබමින් ආර්ථිකය ඉහළ නංවා ගන්නා අතර, ඒ ඔස්සේ මඩකලපුවේ මේ කාස්ටක බිම් හරිත කලාපයක් කිරීම... MJF සෙන්ටර් වෙතින් ක්‍රියාත්මක සේවාවන් කිහිපයක්.
ජීවිතේ කෙළවරක් නැතිව, විසඳුමක් පේන මානකවත් නැතිව ගැට ගැහෙන ප්‍රශ්න කොළඹ අපිට වඩා මේ මිනිස්සුන්ට දැනෙනවා වැඩියි. සමහර වෙලාවට ජීවිතේ නැති කර ගන්න හිතෙන තරමට ඒ පීඩාව වැඩියි.
‘යන්තම් හරි එහෙම සිතිවිල්ලක් එනවා නම් ඔබ මොහොතකට හෝ MJF සෙන්ටර් එකට ගොඩ වදින්න ඕනේ. මොකද, ඔබ ආපහු පිට වෙන්නේ ඔබේ ජීවිතේ වටිනාකම ගැන විතරක් නෙවෙයි, ඔබට කරන්න පුළුවන් හුඟක් දේ දැනගෙන.’ නැගෙනහිර පළාතට ඔවුන් පණිවිඩයක් දෙනවා.
අවුරුදු දොළහක් පුරා නැගෙනහිර පළාතේ සිදු කරන ලද ක්‍රියාකාරකම්වල අග්‍රඵලය ලෙස MJF සෙන්ටර් නිමැවුණේ, රුපියල් බිලියන 1.2 වියදමින්. වස්තුව දේපළ බූදලය තර කරගන්නට ම හිතන ව්‍යාපාරිකයන් අතෙර්, 88 හැවිරිදි ඩිල්මා සභාපති මෙරිල් ජේ. ෆර්නෑන්ඩු මහත්මයා, වෙනස් චරිතයක්.
‘මං පල්ලන්සේන ගමේ ඉපදුණු, මධ්‍යම පාන්තික කතෝලික පවුලක දරුවෙක්. දුප්පතුන් හා බෙදා හදා ගැනීමේ පාඩම මට ඉගැන්නුවේ මගේ අම්මා. මං මේ රටේ අවුරුදු 56 ක් ව්‍යාපාර කළා. ඩිල්මා නම ලෝකෙට ගියේ ‘සිලෝන් ටී’ නිසා. එහෙනම් මමත් රටට යමක් කළ යුතුයි. මේ රටේ ඇති නැති පරතරය මහා විශාලයි. තියෙන කෙනාට ඕනෑවටත් වැඩියි. නැති මිනිහට එදා වේලත් නැහැ. බැංකුවල ගොඩගැහුවත් දවසක ඒවා දාලා යන්නෙ. ඒ මුදලින් සියයට එකක්වත් දුප්පතුන්ගෙ ජීවිත නඟා සිටුවන්න වැය කළාට පොහොසතා වැටෙන්නෙ නැහැ...’
එහෙම හිතන ඔහු, අවුරුදු ගණනාවක පටන්, රටපුරා මධ්‍යස්ථාන 16 කදී හැම වසරක් තුළ ම මිනිසුන් ලක්ෂයකගේ ජීවිත, පරිවර්තනයකට ලක් කරනවා. තම සමාගමේ වතු කම්කරු හා දලු නෙළන අයගේ දරුවන් අතරේ උගතුන්, වෛද්‍යවරුන් බිහිවුණේ ඒ අත දීමෙන්.
මොරටුව කටුබැද්දේ වෙලෝනා පරිශ්‍රයේ පිහිටි MJF සෙන්ටර් හරහාත් මේ සියලු සේවාවන් සිදුවන නමුත් මේ සා විසල් මධ්‍යස්ථානක් ඉදි වූයේ පළමු වතාවට.
සියයට සියයක් හරිත මධ්‍යස්ථානයක් ලෙස නිම කළ මේ බිම සකසා ඇති ආකාරය පවා ආදර්ශයක් කියලයි ඩිල්මා, ප්‍රධාන විධායක නිලධාරි, ඩිල්හාන් ෆර්නෑන්ඩු මහතා පවසන්නේ.
“අක්කර 23 ක බිමක් වුණාට මෙහි ප්‍රධාන ගොඩැනැඟිලි 24 ක් ඉදිකළේ සියයට දොළහක බිම් කොටසක. අපි මේ ඉඩම ගනිද්දි කාස්ටක කාන්තාරයක්. අවුරුද්දෙන් මාස එකොළහක් ම තද පෑවිල්ල. ඉඳහිට පොඩිවැහි ආවට හරියට වහින්නෙ ජනවාරියෙ විතරයි. මාස 11 ක ඒ මුළු කාලයම නියං සමයක් වගේ. අපි, මහපොළොවෙන් වැලි තට්ටුවක් අයින් කරලා, එළු කුකුළු, ගොම පොහොර සහ දිරාපත් වූ තල් මුල් කඳන් වෙනත් ශාඛ රොඩු බොඩු ඇතුළත් ‘බයෝ චා’ කාබනික ස්තරයක් පසට මිශ්‍ර කළා. පසට පෝෂණය දුන්නට පස්සෙයි, පළාතට ආවේණික ස්පයිඩර් ලිලී, ඔලියෙන්ඩර්, ඇමීලියා, ඇලමැන්ඩර් සහ දම්, සුදු මිනීමල් පඳුරු හිටෙව්වේ.
අපි එතැනින් නැවතුණේ නැහැ. අඹ, සූරිය, මාදං, කරඳ, විතරක් නෙවෙයි, කහ පාටින් පොකුරු කඩා හැලෙන ඇහැළ, සිසිල ගෙනෙන කොහොඹ, කුඹුක්, මී, මයිල සහ ගංසූරිය ඇතුළු ගස් 5400ක් හිටෙව්වෙ හොඳින් වැඩී මේ බිම වියනක් වෙන්න. ජල ප්‍රශ්නය උග්‍ර වුණත් ගැඹුරට හෑරූ නළ ලිං ජලය අපිට ප්‍රමාණවත්. මොකද ඒ ජලය ප්රතිචක්රීයකරණය කරන නිසා එක බිඳුවක් හෝ අපතේ යන්නෑ. වැලි කියන්නෙ හොඳම ජල පෙරනයක්. අහස උසට නැඟුණු ජල ටැංකි රඳවනය සම්පූර්ණයෙන්ම කොළ පැහැයෙන් වියනක් සේ උඩ සිට පහළට වැල් වවා ආවරණය කර තිබෙන්නේ සිසිල රැඳෙන අයුරින්. ගොඩනැඟිලි 24 න් 21 ක්ම ‘ග්‍රීන් රූෆ්’ හෙවත් හරිත වහලයන්ගෙන් සමන්විතයි.
තණකොළ වවා ඇති ඒ සෑම වහලක් ම අහසට පෙනෙන්නෙ කොළ පැහැ කුඩා පිට්ටනි ලෙසින්. වහින එකම මාසෙදි ජලය ලීටර් අසූදාහක් රැස්කළ හැකි ජල ටැංකි පද්ධතිය තිබෙන්නේ පොළොව යට.
ප්‍රධානම දේ තමයි, මේ සියලු ගොඩනැඟිලි ඉදිකෙරුණේත් බිම් සකස් කෙරුණේත් සියයට අසූපහකට වඩා මේ පළාතේ මිනිස්සු අතින්. ගල් වැලි බ්ලොක් ගල් පවා අපි මිලදී ගත්තෙ මේ පළාතේ ව්‍යවසායකයන්ගෙන්.”
ඩිල්ෂාන් කියන්නේ, මේ සෑම තැනෙකම ඇති අපූර්වත්වය ගැන. පූර්වාදර්ශය ගැන. ඕනෑ තරම් දීප්තිමත් වර්ණ තිබියදී කහ, සුදු, අළු පැහැයෙන් ඔවුන් ගොඩනැඟිලි වර්ණවත් කළේ විශේෂයෙන් හේතුවක් ඇතිව. එනම් කාස්ටක අව්වේදී ඇසට අපහසු නොවන අයුරින්, වැල්ල සහ අහස අතර ගැළපූ වර්ණ සංකලනයක් ලෙසින්.
හැම දේම හැමෝටම නොලැබෙන එක ලෝක සොබාව. ඒත් මේ ලෝකෙ අතළොස්සක් හරි දෙනා ඒ සියල්ලෙන් සම්පූර්ණ, සැපවත් ජීවිත බුක්ති විඳිනවා.
එහෙම බුක්ති විඳින ගමන් නැති බැරි අය වෙනුවෙනුත් ඉන් ටිකක් හෝ දෙන්න හිතෙන එක, සිය පාරම්පරික උරුමයක් ලෙසයි ඩිල්ෂාන් දකින්නේ.
“2006 අවුරුද්දේ අපි පොඩි පොඩි ව්‍යාපෘති කරන්න මෙහෙ ආපු වෙලාවෙ එක පොලිසියක් පහුකරලා අනෙක් පොලිස් පොයින්ට් එකට ගියේ පුදුම වේගෙකින්. ඒ, ස්නයිපර් තුවක්කුකරුවන්ගෙන් බේරිලා යන්න ඕන නිසා. මේ පළාතෙ මිනිස්සු ගෙවන දුෂ්කර දරිද්‍ර ජීවිත ගැන අපි ඇස් දෙකෙන් දැක්කා. මෙහෙම තැනක් හදන්න ඒ අතීත මතකයනුත් හුඟක් බලපෑවා.
කොහොම වුණත්, අපේ තාත්තා තේ වෙළෙඳාමෙන් ජාත්‍යන්තරය දිනුවේ ‘High value added’ හෙවත් ‘ඉහළ අගයක් එකතු කළ’ සංකල්පය නිසා. වර්ල්ඩ් විෂන් එකෙන් පුහුණු කරපු ඕගනික් ෆාමර්ස්ලා දාහක් මෙහෙ ඉන්නවා. කාබනික ගොවිතැන ගැන දැනගෙන හිටියට, ඔවුන්ට හරි වෙළෙඳපොළක් හොයා ගැනීමේ මඟක් තිබුණෙ නැහැ. අපි මේ දැනුවත් කිරීම් හරහා ගොවීන්ගේ කාබනික අස්වනු, ‘High value added’ මට්ටමට ගේන අතරම කොළඹ ඉහළ ම වෙළෙඳපොළට සහ මාලදිවයිනට යවන්න පුළුවන් ‘මාකට් ලින්ක්’ එක හදලා දෙනවා. සල්ලි ටිකක්, ද්‍රව්‍යමය ආධාර ටිකක් දෙනවට වඩා වටින්නෙ මනුස්සයකුට උත්සාහයෙන් දියුණු වෙන්න මඟ හදලා දෙන එකයි.
යටිතල පහසුකම් සහ ගුරුවරු අපෙන් වුණාට, වර්ල්ඩ් විෂන්, රෝටරි ක්ලබ් සහ නැගෙනහිර විශ්වවිද්‍යාලය වැනි බොහෝ ආයතන අපි එක්ක එකතුවෙලා දුෂ්කර ගම්වලට ගිහින් යම් යම් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න කැමැතියි.
එහෙම උදව් කරන්න කැමැති ඕනෑ කෙනකුට අපිත් සහය දෙනවා. මොකද, අවසානයේ නැඟී හිඳින්න ඕෙන් බලගැන්වෙන්න ඕනෙ මේ දුෂ්කර ජන ජීවිත නිසයි.”
මෙරිල් ජේ ෆර්නෑන්ඩු මහතාගේ ඩිල්හාන්, මලික් පුතුන්ට, දුප්පතුන් හා බෙදා හදා ගැනීමේ මේ පුරුද්ද, පවුලේ උරුමයක් තරමට වටියි.
“අපිට තාත්තා උරුම කර දුන් බෙදා හදා ගැනීමේ ඒ යහපත් ගුණය අපේ දරුවොත් දවසක ඉදිරියට ගෙන යා යුතුයි. ඒ තමයි, ඩිල්මා වෙතින් ඔවුන්ට ලැබෙන උරුමය.”
ඉදින්, හෙට දවසේ නැගෙනහිරට තවත් ඉරක් පායාවි. MJF සෙන්ටර් වෙතින්, මිනිසුන් බලගැන්වේවි. කාටවත් අත නොපාන දිරියෙන් නැඟිටින මිනිසුන් බිහිවේවි.
සියල්ලට වඩා කාටවත් නොපෙනී හැමදාමත් ගේ ඇතුළේ හැංගුණු ආබාධිත - කිරි දරුවන් හිනැහේවි.