
තුලාවල විසූ ගමේ ප්‍රභූ පවුලකින් පැවත ආ විශ්රාමික මුල්ගුරු මහතා පිළිබද ගෙතුණු රස කතා බොහෝය. එතුමාගේ සුපුරුදු ඇඳුම වූයේ පලයකාට් සරම බැනියම හා කරේ දමන ලොකු ලේන්සුවයි. දිනක් මුල් ගුරුතුමා සිය සුපුරුදු ඇඳුමින් සැරසී ලේන්සුවද කරේ දමා සිය අත් ට්රැක්ටරයේ රියදුරා වූ ගුණපාල ඇමතීය.
“ගුණපාල නැගපන් ගමනක් තියෙනවා යන්න” ගුණපාල රියදුරා වුවද ට්රැක්ටරය පැදවූයේ ගුරුතුමාය. හෝරා කීපයකට පසු වාහනය ලුණුවිල සුප්රකට වෙළෙඳ ආයතනයක් ඉදිරිපිට නතරවිය. මුල් ගුරුතුමා වාහනයෙන් බැස ආයතනයට ගියද සේවකයෝ ඔහු ගැන එතරම් තැකීමක් නොකළහ.
“ලොක්කට මොනවද ඕනෑ” මද වේලාවකින් පැමිණි වෙළෙද සේවකයෙක් ගුරුතුමාගෙන් විමසීය.
“ටීවී එකක් ගන්න කියා බැලුවේ”
මේ ගොඩයට මොන ටීවීදැයි කියන්නාක් මෙන් සේවකයා ගුරුතුමා දෙස බලා සමච්චල් සිනාවක් පෑවේය. ඒ දුටු ගුරු මහතා කෙළින්ම ගියේ ආයතනයේ කළමනාකාර තැනගේ කාමරයටය. මේ රූපවාහිනී අප රටට පැමිණි මුල් යුගයයි. ආයතනයේ කළමනාකාර තැන ගුරුතුමාගේ ගමේ කෙනෙකි. ගොඩමඩ ඉඩම් හිමි ධනවතකු වූ මුල් ගුරුතුමා දුටු ගමන් නැගී සිටි ඔහු ගුරුතුමාට ආචාර කරමින් යටහත්ව පැමිණි කාරණය විමසා සිටියේය.
“මට හොඳ වර්ගයේ ජපන් ටීවී එකක් ගන්න ඕනෑ”
කළමනාකාරතැන සාප්පුවේ ඇති රූපවාහිනි වර්ග පෙන්වමින් විස්තර කළේය. සේවකයන් මේ දෙස බලා සිටියේ මේ පැමිණ සිටින්නේ කවුදැයි කුතුහලයෙන් ද යුතුවය.
මිල අධික රූපවාහිනියක් තෝරා ගත් ගුරුතුමා එය පෙන්වා මිල විමසීය.
“රුපියල් හතළිස් දහසයි.”එසේ කී කළමනාකාරතැන රූපවාහිනිය නිසි ලෙස අහුරන ලෙස සේවකයන්ට නියම කළේය. ඒ අතරේ මුල් ගුරුතුමා ගුණපාලට කතා කර “අර ට්‍රැක්ටරේ තියෙන ගෝනි මල්ල ගෙනෙන්” යැයි පැවසීය. ගුණපාල බරට බරේ ගෝනි මල්ල උස්සා ගෙන පැමිණිවිට “ඕකේ තියෙන ඒවා මේ මේසේ උඩට හලපන්”යැයි අණ කළේය.
එවිට සලාං බලාං හඬින් මේසය උඩට වැටුණේ මාරු කාසි විශාල තොගයකි.
“මෙතන හතළිස් දාහට වැඩිය තියෙනවා. ඉතිරිවා මේ මල්ලට දාපල්ලා” යනුවෙන් ගුරුතුමා පැවසුවේ ඒ දෙස පුදුමයෙන් බලා සිටි සේවක පිරිසටය. සේවක පිරිස වටවී තුන්මුණින් දහඩිය දමාගෙන කාසි ගැන ඉතිරිවා ගෝනි මල්ලට දැමූ පසු මුල්ගුරුතුමා රූපවාහිනිය ද රැගෙන නිවෙසට පැමිණියේය.
සරත් විජයරත්ත - ලුණුවිල
පඩික්කම් වෙද මහත්තයා
වැරණියගම ලොකු අප්පුහාමි වෙද මහත්තයා ගමේ සිටි ප්රභූවරයෙකි. උදර රෝග, වාතරෝග, හිසේ අමාරු සඳහා ගැමියන් පැමිණියේ ලොකු අප්පුහාමි වෙද මහතා වෙතය. ගමට පමණක් නොව අසල ගම්වල රෝගීහු වෙද මහතා සොයා පැමිණියහ.
උස මහත ගරු ගාම්භීර පෙනුමින් යුතු වෙද මහතා කුල මානයෙන් ද අනූනය. ඇතැම් විට වෙදකම සඳහා නිවෙස්වලට ගිය අවස්ථාවලදී කෑම බීමෙන් සත්කාර කිරීමට ගැමියන් සූදානම් වෙද්දී ඔහු ඒවා එකහෙළා ප්රතික්ෂේප කරන්නේ මහත් උජරුවකිනි.
දිනක් අසල ගමක ලෙඩෙකුට ප්රතිකාර සඳහා හැතැක්ම දෙක තුනක් පයින් ඇවිද ගිය වෙදමහතාට අධික පිපාසයක් හා මහන්සියක් දැනිණ. පුරුදු විදියට ලෙඩා පරීක්ෂා කර බේත් හේත් නියම කළ ඔහුගෙන් “යමක් බීමට දෙන්න දැයි” ගෙහිමියා විමසීය. වෙනදා නැති පිපාසයක් දැනුණු වෙද මහතා “හා එහෙනම් උඹල කට ගහන්නෙ නැති අලුත් පහේ භාජනයකට වතුර ටිකක් ඇරන් වරෙන්කො” යි පැවසීය.
ගෙහිමියා වෙද මහතා කිවූ පරිදි භාජනයක් සොයා බැරි තැන අවසානයේ දින කීපයකට ඉහත මිලදී ගත් පඩික්කම අලුත් නිසා එයට වතුර ටිකක් දමා දෝතින් ම අල්ලා වෙද මහතාට පිළිගැන්වීය. ඒ දුටු වෙද මහතා පිපාසය හා මහන්සිය කොහේ ගියාදැයි නොදත්තේ හුනස්නෙන් නැගිට තරහෙන් පිපිරෙමින් නිවෙසින් එළියට බැස්සේ යළි ඒ නිවෙසට තියා ඒ ගමටවත් වෙදකමේ නම් නොඑන අදහසිනි.
මේ සිද්ධියෙන් පසු ලොකු අප්පුහාමි වෙද මහතාට ගමේ ‘පඩික්කම් වෙද මහත්තයා’ යනුවෙන් නමක්ද පට බැඳිණි.
සිරිසේන හෙට්ටිගේ - උඩනිරිඇල්ල