වැලිකෙළියේ සිට යුදබිම් පසු කර එකම ගමනක් යන නිවුන්නු දෙන්නෙක් | සිළුමිණ

වැලිකෙළියේ සිට යුදබිම් පසු කර එකම ගමනක් යන නිවුන්නු දෙන්නෙක්

ඉදිරි ආරක්ෂක වළල්ලේ අඩු-පාඩු ඇත්දැයි සිය කනිෂ්ඨ නිලධාරීන් සමඟ යුද හමුදා නිලධාරියකු සාකච්ඡා කරමින් සිටියේ උතුරේ යුද බිමේදීය. ඒ හා සමඟම වාහනයකින් එතැනට පැමිණි බ්‍රි‍ගේඩියර්වරයෙක් වාහනයෙන් බැස එනු දුටු හමුදා නිලධාරියාද එදෙසට හැරී ආචාර කළේය. බ්‍රි‍ගේඩියර්වරයාගෙන් දිගට හරහට ප්‍රශ්න වැළක් නිලධාරියාට ගලා ආවේය.

‘කෝ මං කලින් පවරපු වැඩ ටික හරිද? ඊළඟ ඔපරේෂන්-එක හරියට කරන්න නම් ඒ සේරම රෙඩි වෙන්න ඕනෑ.’

‘සර්... මට එහෙම දෙයක් කිව්වෙ නැහැ...’

‘මොකද නැත්තෙ! ගිය සතියෙනෙ මම කිව්වෙ!’ බ්‍රි‍ගේඩියර්වරයා තරමක කෝපයෙන් මෙන් කීවේය.

‘සර්... එහෙනම් කියන්න ඇත්තෙ මට නෙමෙයි; අපේ පුංචි අයියට...’

‘මොන කරදයක්ද ඕයි!’ සිනා මුසු මුහුණින් බ්‍රිගේඩියර්වරයා වාහනයේ නැඟී පිටත්ව ගියේය.

යුද බිමේදී මෙවන් සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වූයේ නැත. එයට හේතුව යුද්ධයේදී එසේ වැරදීම් සිදු නොවන හෙයිනි. එසේ වුවත් 1996ත්-2006ත් අතර කාලයේදී මෙවන් සිදුවීම් රැසක්ම සිදු විය. ඊට හේතුව වූයේ එකට යුද හමුදාවට බැඳුණු නිවුන් සොහොයුරන් දෙදෙනකු යුද හමුදාවේ එකම නිලයක සිටීමයි.

ඔවුහු දෙදෙන යුද හමුදාවේ අහඹුවෙන් ලද විශේෂ වාසනාවන්තකමකද හිමිකරුවෝ වූහ. ඒ ඔවුන් දෙදෙනාම පසුගිය දිනක යුද හමුදාවේ බොහෝ නිලධාරීන්ට අවසන් වශයෙන් හිමි වන නිලය වන ‘මේජර් ජනරාල්’ ධුරයට පත් වීමයි. ඒ නිලයද ඔවුන්ට හිමි වූයේ ඔවුන්ගේ උපන් දිනය යෙදුණු දිනයේදී වීම මෙහි විශේෂත්වය වේ.

ලංකාවේම පමණක් නොව ලෝකයේම සිදු වූ අහඹු සිදුවීමක් ලෙස මෙය ඉතිහාසගත වනු ඇත.

අපි ඔවුන් දෙදෙනා සොයා ගියෙමු. වැඩිමල් සොයොයුරා මේජර් ජනරාල් ජයන්ත සෙනෙවිරත්නයි. ඔහුට වඩා විනාඩි 45කින් පමණ බාල සොහොයුරා පූරක සෙනෙවිරත්නයි.

නිවුන් සොහොයුරන් සාමාන්‍යයෙන් වැඩිමල් හා බාල වන්නේ විනාඩි කිහිපයකින් වුවත් මේ දෙදෙනා මෙසේ විනාඩි 45කින් පමණ වයසින් වෙනස් වීමද පුදුම උපදවනසුලුය!

මේජර් ජනරාල් ජයන්ත සෙනෙවිරත්න මේ වන විට මාදුරු ඔය පුහුණු පාසලේ සේනා විධායක ලෙස කටයුතු කරයි. බාල සොහොයුරු මේජර් ජනරාල් පූරක සෙනෙවිරත්න තත්ත්ව පාලන හා පිරික්සුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරයි. අප දැන් කියන්නේ ඔවුන්ගේ කතාවයි.

දෙවන ලෝක යුද්ධ සමයේ රාජකීය ඇකඩමියේ හමුදා නිලධරයකු වූ ජනසීහ සෙනෙවිරත්න මහතා හමුදාවේ සේවය නිම වීමෙන් පසුව ලීලා සෙනවිරත්න මහත්මිය සමඟ විවාහ පත් විය. රත්නපුර පදිංචිව සිටි මේ දෙදෙනාට පළමුව උපන් පුතාට ‘පියසමර’ නම තැබිණි. එයින් වසර දෙකකට පසුව මේ දෙදෙනාට නිවුන් පුතුන් දෙදෙනකුගේ මුහුණු බලන්නට වාසනාව හිමි විය. එයින් වැඩිමහල් පුතුට ජයන්ත යැයිද බාලයාට පූරක යැයිද නම් තැබුණි. ඒ 1965 වසරේ සැප්තැම්බර් මස 6 වැනිදාය.

අයියා සමඟ එක්ව සෙල්ලම් කරනවාට වඩා මේ දෙදෙනා සිදු කෙළේ ඔවුන් දෙදෙනාට උරුම වූ නිවුන් සහෝදරත්වයේම සෙල්ලම් කිරීමයි. ඔවුන් ළදරුපාසල් ගියේත් එකටමය. ඒ එකම වර්ගයේ ඇඳුම් ඇදගෙනය; එකම වර්ගයේ බෑග් කරේ එල්ලා ගෙනය. අයියා මේ දෙදෙනා දෙස බලා හිනැහුණේය. මල්ලිලාගේ සම-වයස ඔහුට සතුටක් ගෙන දෙන්නට ඇත.

ජයන්තත්, පූරකත් පාසල් ගියේත් එකටමය. ඒ රත්නපුරයේ සීවලී ප්‍රාථමික විද්‍යාලයටයි. පසුව හිදැල්ලන මහා විද්‍යාලයට ඇතුළත් වූ මේ දෙදෙන කුඩා කල සිටම අධ්‍යාපනික කටයුතුවලට මෙන්ම ක්‍රීඩාවටලද එක සේ දක්කම් දැක්වූහ. විශේෂයෙන්ම ශිෂ්‍යභට කණ්ඩායමේ දැක්වූ දස්කම් මෙන්ම අනෙකුත් පාසල් ක්‍රියාකාරකම් හා අධ්‍යාපනය සම්බන්ධව දැක්වූ දස්කම් ඔස්සේ මේ දෙදෙනාටම පන්ති නායකකම් හා පසුව ශිෂ්‍ය නායකකම්ද හිමි විය.

අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් ප්‍රතිඵල ලත් මේ දෙදෙනාම උසස් පෙළ ගණිත විද්‍යා අංශයෙන් හදාරන්නට යොමු වූහ.

ප්‍රධාන ශිෂ්‍ය නායක ධුරය හිමි වූ නිසා බාල සොහොයුරු පූරක ශිෂ්‍ය භට කණ්ඩායමෙන් ඉවත් වූ අතර, ජයන්ත ශිෂ්‍ය නායක ධුරයද හොබවමින්ම ශිෂ්‍ය භට කණ්ඩායමේ රෙජිමේන්තු සැරයන් දක්වාම ඉහළට ගියේය.

ඒ අතර උසස් පෙළද ඉහළින් සමත් වූ මේ දෙදෙන සිය කැඩෙට් දිවිය ඉදිරියට ගෙන යෑමට සිතූහ. ඒ 1984 වසරේදීය. යුද හමුදාවට බැඳීමේ ඒ යෝජනාව ඔවුහු දෙමාපියන්ට යොමු කළහ.

‘ගිය අවුරුද්දෙ කොළඹ වෙච්ච කළු ජූලියේ දේවල්වලට යාපනේ මිනිස්සු තරහින් ඇත්තෙ. කොටි කලබලත් එහේ. දැන් බස් කෝච්චිත් වවුනියාවෙන් එහාට යන්නෙ නැහැ. ඔයාල තව ටිකක් ඉගෙනගෙන වෙන රස්සාවකට යන්න...’ මව එකහෙළාම විරුද්ධ වූවාය.

එහෙත් ජයන්තත් පූරකත් තම අදහස අත් නොහැරියහ.

‘තාත්තෙ, තාත්ත වෙනත් රටවල් රැකගන්න යුද්දෙට ගියා... අපි යන්නෙ අපේ රට රැකගන්නයි, ලොකු අයියත් රට යන්නනෙ ඉන්නෙ...’

පියාගේ අකැමැත්තක් ඒ කෙරෙහි නොවූයේ ඔහු රාජකීය හමුදාවේ සේවය කළ අයකු නිසා වන්නට ඇත. වැඩිමහල් සොහොයුරාද මල්ලිලා දෙදෙනා හමුදාවට බැදෙනවාට විරුද්ධ වූයේ නැත. අවසන දෙදෙනාම යුද හමුදාවේ කැඩෙට් නිලධාරීන් ලෙසට ඉල්ලුම් පත් යැවූහ.

‘අපි දෙන්නටම සම්මුඛ පරීක්ෂණයට ලියුම් ආවා. ලියුම් ආවෙ එකම දවසෙ වුණාට සම්මුඛ පරීක්ෂණ තිබුණෙ දවස් දෙකක. අපිට ලොකු සතුටක් දැනුණා. මම ජයන්ත අයියට කියන්නෙ පුංචි අයියා කියලා, සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වෙච්ච අපි දෙන්නා 1985 අවුරුද්දෙ නොවැම්බර් මාසේ ආධුනික කැඩෙට් නිලධාරීන් ලෙස යුද හමුදාවට බැඳුණා. කොතලාවල ඉංග්‍රීසි පාඨමාලාවෙන් පසුව දියතලාවෙත්, ඊට පස්සෙ පාකිස්තානයේත් පුහුණුවට අපි දෙන්නාම එකටමයි සහභාගි වුණේ.’ පූරක තම වසර තිස් ගණනක අතීතය සිහි පත් කරන්නේය. ඒ අතර වැඩිමල් සොහොයුරු පියසමර ප්‍රංශය බලා ගියේය.

ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට ගිය ඒ කණ්ඩායමේ සිටි පිරිස පාකිස්තානයේදී කණ්ඩායම් තුනකට වෙන් කර, වෙන් වශයෙන් පුහුණු කළද මේ දෙදෙනාම එක් කණ්ඩායමට අයත් විය.

එතැනදීද පුහුණුකරුවන්ට මුහුණ පාන්නට සිදු වූ අකරතැබ්බයන් අපමණය. සැම විටම ඔවුන්ට පූරක හා ජයන්ත මාරු විය. පූරකට කිව යුතු දේ ජයන්තටත් ජයන්තට කිව යුතු සේ පූරකටත් පැවසූ අවස්ථා තිබිණි. එහිදී පුහුණුකරුවන් පමණක් නොව, පුහුණුවට ගිය අපේ රටේ බොහෝ අයද රැවටුණු අවස්ථා එමටය.

මේ පුහුණුවෙන් අනතුරුව 1986 වසරේදී දෙදෙනාම වනගත සටන් පුහුණුවට මාදුරුඔයට පැමිණියහ. එහිදී වෙන් කළ කණ්ඩායම් අතුරින්ද මේ දෙදෙනාම එකම කණ්ඩායමකට ඇතුළත් වන්නේය.

පුහුණුව නිම කිරීමෙන් පසු ඒකක වෙන් කිරීම සිදු විය. එකට ළදරුපාසල් ගිය, එකට පාසල් ගිය, එකට විභාග කළ, එකම ශිෂ්‍ය භට පුහුණුව සිදු කළ, එක්ව යුද හමුදාවට බැඳුණු, එකම පාඨමාලාවේ සිටි, එක්ව විදේශීය පාඨමාලාවට ගිය, එක්ව වනගත පාඨමාලා සිදු කළ මේ දෙදෙනා වෙන් වන්නේ එතැනදීය. ඒ අනුව ජයන්ත සිංහ රෙජිමේන්තුවටත් පූරක සංඥා බළකායටත් අනුයුක්ත වන්නේය.

දෛවයේ පතා ආ සැටියෙන්දෝ ඒ සියල්ල එලෙසින්ම එසේ සිදු විය. මේ දෙදෙනාම හමුදාවට අනුයුක්ත වන්නේ යුද්ධය රට පුරා පැතිරෙමින් තිබුණු කාලයකය. කොයි මොහොතක කොළඹ හෝ වෙනත් ස්ථානයක බෝම්බයක් පුපුරා යයිදෝ යන සැකය පැතිර තිබිණි.

ඒකකවලට උප-ලුතිනන්වරුන් ලෙස අනුයුක්ත වන ඔවුහු වෙන් වශයෙන් යුද්ධයට සහභාගි වන්නාහ.

එසේ යමින් වසර විසි ගණනාවක් තම දිවියම කැප කළ මේ විරුවන්ගේ පියා මිය යන්නේ 1987 වසරේ අප්‍රේල් මස 17 වැනිදාය. ඒ හෘදයාබාධයකිනි. ඒ අවස්ථාවේදී නිවාඩු ලබා පැමිණි පූරක පුතු පියා ළඟින්ම හිටියේය. එහෙත් ජයන්ත මාන්කුලම් මෙහෙයුමේය.

වර්තමානයේ මාදුරුඔය සිට රට රැකුමට එන්නන්ගේ පුහුණුවේ උපරිමයට දායකත්වය ලබා දෙන ජයන්ත සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු බළ ඇණි දෙකකට වසර 2000 හා 2005 අතර අණ දුන්නේය. ඒ 9 වන සිංහ රෙජිමේන්තුවට හා 12 වන සිංහ රෙජිමේන්තුවටයි. එසේම ඔහු බළ සේනා 3ක අණ දෙන නිලධාරියා වශයෙන්ද කටයුතු කළේය. ඒ 514, 622, හා 616 යන බළ සේනාවන්ටය. එමෙන්ම හේ සේනාංකාධිපති ලෙස 53, 54, 56, 57, හා 62 සේනාංකවල කටයුතු කර ඇත.

99 වසරේ ජය සිකුරු මෙහෙයුමේ ගුවන් සංක්‍රමණික සේනාංකයක් ක්‍රියාත්මක කිරීමේදී ඔහු මුල් තැනක් ගෙන කටයුතු කෙළේය.

‘අපිට ලැබුණු ලොකුම අභියෝගයක් වුණේ වසර 2000දී දිනක් ඇතුළතදී මඩු පල්ලිය අයත් ප්‍රදේශය අපේ භාරයට ගැනීමයි. අපි පැය 20ක් යන්නටත් කලින් ඒ කාර්යය සාර්ථක ලෙසින් නිම කළා.

අලිමංකඩ කඳවුරු බිම යළි ස්ථාපිත කරගැන්මටත් මම සහභාගි වුණා. ඒ වගේම බලවේග 1 සහ බලවේග 2 මෙහෙයුම් මෙන්ම ජය සිකුරු මෙහෙයුම්වලටත් සහභාගි වුණා. මෙහිදී වැදගත්ම වුණේ මමත් මල්ලීත් දෙන්නාම එකට බලවේග මෙහෙයුම්වලට සහභාගි වීමයි. උතුර මුදාගැන්මට තිබුණු සියලු මෙහෙයුම්වලට මම සහභාගි වෙලා තියෙනවා. අපි දෙන්නා එක්ව සටන් බිමේ ඉන්න වෙලාවලදී හුඟක් අයට අපි දෙන්නව මාරු වුණා. මට කියපු දේ මල්ලිගෙන් අහනවා. එයාට කියපු දේ මගෙන් අහනවා. යුද්ධයේ පීඩාව මැද තත්ත්පර ගණනකට හෝ සිත පිනවූ අවස්ථාවක් හැටියට එය හඳුන්වා දෙන්න පුළුවන්.’ ජයන්ත තම යුද බිමේ අතීතය සිහිපත් කරන්නේ එලෙසිනි.යුද්ධයේදී පෑ වීරකම් වෙනුවෙන් ‘රණ වික්‍රම’ හා ‘රණ ශූර’ පදක්කම් හිමි කරගැන්මට ජයන්තට හැකි විය.

පූරකද එසේමය. ඔහු යාපනය කොටුව මුදාගැන්ම සඳහා ක්‍රියාත්මක කළ ‘ත්‍රිවිධ බලය’ මෙහෙයුමට මේජර් ජනරාල් ජානක පෙරේරා සමඟද සහභාගි වූ අතර, රිවිරැස 1, රිවිරැස 2, රිවිරැස 3, බලවේග 1, බලවේග 2, වන්නි වික්‍රම ඇතුළු උතුරේ මෙහෙයුම් රැසකටම සහභාගි විය. මේ සටන්වලදී පෑ දස්කම් වෙනුවෙන් ‘උත්තම සේවා’ පදක්කමද දිනාගැන්මට සමත් වූ පූරක පාසල් අවධියේ මිහිරි මතකයන් ආවර්ජනය කළේ මෙලෙසිනි:

‘පාසල් කාලයේත් හරි අපූරු දේ සිද්ධ වුණා. මම කැන්ටිමේදි කාල පස්සෙ සල්ලි දෙන්නම් කියල ගියාට පස්සෙ පුංචි අයියගෙන් සල්ලි ඉල්ලනවා, එයා කාල ගිය දවස්වල මගෙන් සල්ලි ඉල්ලනවා. පන්තියේ යාළුවන්ටත් හුඟක් වෙලාවට වරදිනවා. මටත් පුංචි අයියටත් දෙන්නටම ඉන්නෙ පුතෙක් හා දුවෙක්. දෙන්නගේම වැඩිමලා පුතා, බාලයා දුව.’

අපට පෙනෙන්නේ මේ සියල්ල පෙර භවයක සිට මතු වූ පුනරුත්පත්තියක් හෝ වෙනත් දෛවෝපගත සිදුවීමක් බවය.

ජයන්ත, පූරක - මේ නිවුන් සොහොයුරන් දෙදෙනාගේ හමුදා දිවිය පුදුමාකාරය. අදටත් නොසැලෙන සේ සොහොයුරු දමින් වෙළී සිටින මේ දෙදෙනා වරක් දෙවරක් දුටු අයකුට වෙන් කර අඳුනා ගැනීම ලෙහෙසි පහසු නැත. පන්ති කාමරයේදීත්, පාසලේ ආපන ශාලාවේදීත්, පාකිස්තානයේදීත්, උතුරු-නැඟෙනහිර යුද බිමේත් මේ දෙදෙනා මාරු වී රැවටෙන්නට අන් අයට සිදු වූයේ ඒ නිසාය. ඒ නිවුන් සොහොයුරන් දෙදෙනාට යුද හමුදාවේ ඉහළම තනතුරක් වන ‘මේජර් ජනරාල්’ නිලය හිමි වූයේ තම උපන් දිනයේදී වීම දෛවයේ තවත් පුදුමාකාරම සිදුවීමකි. ඔවුන්ගේ යුද හමුදා සේවා කාලය තවත් වසර කිහිපයකින් හමාර වනු ඇත‍. එහෙත් ඔවුන් විසින් ලක් දෙරණ මුදාගැන්මට දුන් දිරිය, සවිය කිසිදිනක නොමැකෙනු ඇත.

රට-දැය වෙනුවෙන් තරුණ කාලයේ සිටම යුද බිමට නායකත්වය දුන් ජයන්ත, පූරක! ඔබ දෙදෙනාම යුද බිමේ මෙන්ම දෛවයේ විශේෂිත වාසනාවන්තයන්ම ලෙස අපි දකිමු.

Comments