
ජිප් රථයේ සද්දෙට ඇඳිවත දෙකෙළවරේ දෑත් පිස දමමින් ඉදිරියට ආවේ චන්ද්‍රලතාය. දැන් පුත්‍රයාගේ ගමනට බිමනට ජිප් රථයක් ද පංගාර්තු වී ඇත. සමන්ති දුවගේ වාසනාවය. ඊටත් ජයේන්ද්‍රත් හාමු මහත්තයෙක් නොවැ. මඳ සිනා පහළ කරමින් පුතාව පිළිගත්තද ඔහුගේ මුහුණේ කළු වලාකුළුය!
ඉද්ද ගැහුවා වගේ නතර වුණු ජයමාල් කෙළින්ම බැලුවේ තම අප්පච්චිගේ මූණ දිහාය. ඒ බැල්ම තුළ තිබුණු නොරිස්සුම තේරුම් ගත්තා වගේ හැඟීමකින් විල්ප්‍රඩ් හාමු බස්තම බිම ඇණ තම හාන්සි පුටුවේ ඉඳගත්තේය.
“මොකක්ද අප්පච්චි ඒ කතාවේ තේරුම....? මම පුංචි ළමයෙක් ගානටනෙ තාම හිතගෙන ඉන්නේ...මම දැන් උසස් පෙළ විභාගෙන් පාස් වෙලා ඉන්නේ මම මටය කියලා රස්සාවක් හොයාගන්න ඕනෑ...!”
“හා ..ඔව්..ඔව්.. අපි උඹලට කන්න අඳින්න දෙන්නෙ නෑනෙ..මේ.. පුතේ මේ තියෙන බිස්නස් එකක් බලාගෙන වැඩක් පළක් කරගෙන ඉන්නකෝ... මම ස්ථීර පඩියකුත් හදලා දෙන්නම් අපේ මැනේජර්ට කියලා... ඔය අතන මෙතන හිඟන පඩි වගේ නෙමේ...”
“අනේ අප්පච්චි මං අම්මටත් කියලානෙ තියෙන්නේ... මට නිදහස් රස්සාවක් කරන්න ඕනෑ. මේ වතුවලටයි බංගලාවලටයි වලව්වලටයි හිර වෙලා මට ජීවිතයක් හොයාගන්න බෑ අප්පච්චි...!”
ආලින්දයේ පඩිපෙළ ළඟ හිටගෙන ජයමාල් පුතා කතා කරන හැටි දැකලා නිර්මලා මැණිෙක් ගේ තුළ සිට ආවේ කලබලයෙන්.
“මොකෝ .... පුතේ..මේ...උදේ පාන්දර ගිරිය පුප්පාගෙන ...ඔහොමද අප්පච්චිට කතා කරන්නෙ...ආ....! යසයි...මෙහේ ෆැක්ටරිවල වැඩ බලාගන්න එක තමුන්ට මදිකමක් නේ... හා... කෑ පතේ පහරන්න එපා පුතේ...අප්පච්චි නරකක් කීවේ නෑනේ..!”
“මේ අම්මේ නිකම් බොරු කතා කියලා පටලවන්න එපා අම්මේ මම කාටවත් මදිපුංචිකමක් කළේ නෑ. මං කීවේ මගේ අධ්‍යාපන මට්ටම අනුව මම නිදහසේ රස්සාවක් හොයා ගන්නවා කියලා... ඒක මේ මහා අපරාධයක් නෙමෙයි නේ කමක් නෑ... මට මම යන්නම්...මට වාහන ඕනෑ නෑ...!”
“ඒයි ඔහොම නවතිනවා...!”
විල්ප්‍රඩ් හාමු කෑගෑවේ බස්තම් කෙළවර පොළොවේ ගහමින්...ජයමාල් බැලුවේ නැත.
එක වරම ඔහුට මතක් වුණේ ජයේන්ද්රවය. ඔහු තම අප්පච්චිගේ පුත්‍රයෙකු බව දැනගත්දා සිට සිත ඇතුලේ නළියන යක්ෂයා තවම එළියට ආවේ නැත. පීඩනය ඒකය.
“පුතේ! කියන දේ අහන්න. ඔහොම නවතින්න...!”
නිර්මලා මැණිකේ කෑගසා කීවේ හොඳටම කළබල වෙමිනි. ජයමාල් කිසිත් නොකියා පඩිපෙළ බැස මිදුලට අවතීර්ණ වූයේ හිත දැඩි කරගෙනය.
කරුණාදාසත් ජන්තුත් ඔහුගේ පස්සෙන් ආවත් ජයමාල් නතර වූයේ නැත.
“මෙන්න මෙහෙ වරෙල්ල...! කිව්වා නාහන ගුණ ඉහළ යතත් පල පහළ යතත් පල.. කිව්වලු..”
නිර්මලා මැණිකේ අසල හාන්සි පුටුවට වී හඬන්නට පටන් ගත්තේ ඉකිගසමින් ය.
* * * *
දේශන හමාර වී ශ්‍රීමාල් සරසවියේ අතුරු පාරකදී මෙඛලා හමුවන්නේ පුරුද්දටමය. යෞවන යෞවනියෝ අත් අල්ලාගෙන පෙම් පිළිසඳරේ ඇවිදගෙන යනවා දකින එක සාමාන්‍ය දෙයකි.
‘නිවාඩුවට ගියාම තමා මට පාළුව දැනෙන්නෙ...’
ශ්‍රීමාල්ට සමීප වෙමින් මේඛලා කියන්නේ කෙඳිරිල්ලක ස්වරූපයෙනි.
“බය වෙන්න එපා මම හෙමිහිට හෙමිහිට ඒ පැත්තේ කරක් ගහන්න එන්නම්කො... මගේ කුමාරිකාව බලන්න ... හා...”
“පිස්සුද ....ඔයාට...?
මේඛලා ඇස් දල්වාගෙන උඩට හරවාගෙන ශ්‍රීමාල්ගේ දෑස දිහාම බලමින් ය. ඒ ඇස් කලාතුරකින් පිරිමියෙකුට හිමි වන දිගැටි ඇස්ය.
“ඔව් ...! ඇයි...?
ඇස් පිය නොහෙලා බලා සිටිමින් ඔහු කියද්දී මේඛලාගේ කම්මුල් විළියෙන් රතුවෙයි. ශ්‍රීමාල් මොන තරම් කඩවසම් තරුණයෙක්ද කියා ඇයට සිතෙද්දී ශ්‍රීමාල්ට හිතෙන්නේ මේඛලාගේ රූප සොබාව තමා ආකර්ෂණය කර ඇති විලාසයේ පරිමාණය ගැනය. දෙදෙනාටම සිනා යන්නේ එකවිටය.
ආදරය මොන තරම් සුන්දරද?
“හැමදාම අපිට හැංගි හොරා ඉන්න බෑනේ මේඛලා ....අපේ ප්රේමකතාවත් ප්‍රචාරය වෙන්නත් එපායැ... නැත්නම් ගතියකුත් නෑනේ...”
ශ්‍රීමාල් කියන්නේ ඇහැක් ගහමිනි.
“ඔයාට නම් විහිළු ...මම ඊයේ රෑත් අගෝරිස් කපුවා හීනෙන් දැක්කා..” මේඛලාගේ කතාවට ශ්‍රීමාල් කොක් හඩලා සිනාසෙයි.
“මේ මේ... කපුවො හීනෙන් දකින එක පැත්තකින් තියලා තමුන්ගෙ විභාගෙ ගැන හිතනවා...මතකයිනේ...!”
“මම පාඩම් අතපසු වෙන්න දෙන්නෙ නෑ. ශ්‍රීමාල් ...ඒත් මට බය අපේ ගමේ ඔය අගෝරිස් කපුවා.. අපේ සම්බන්ධෙට හෙනේට හිටිවී කියලා.”
“ඕක..ළමයෝ අස්ථාන බයක්... අස්ථාන සැකයක්...”
“ඔයා දන්නේ නෑනෙ ගං ගොඩේ විස්තර... මාව කැම්පස් සිලෙක්ට් වෙච්ච එකට අගෝරිස් ඉරිසියා වුණේ එයාගේ දුව පාස් වුණේ නැති නිසා... ඒ අතරෙ... එයා කොහෙන් හරි දැනගෙන... අපි දෙන්නා කැම්පස් එකේදී කතා කරනවා කියලත්..”
“හහ්... ඇයි දෙයියනේ අපි දෙන්නට කටවල් දෙකක් තියෙන්නෙ කතා කරන්න නෙමෙයි ද? අගෝරිස් කපුවාට තියෙන අයිතිය මොකක්ද ඒවාට යතුරු දාන්න...හහ් හා..!”
“අනේ ශ්‍රීමාල් ප්ලීස් මේවා විහිළුවට ගන්න එපා...මං විතරයි දන්නෙ මේ ප්‍රශ්නෙන් මං කොච්චර දැවෙනවද කියලා...” ඒ වාක්‍යයේ අග කොටසක් එක්කම එතැනට එන්නේ සිරිනාතය. ඔහුගේ අතේ එල්ලී ගීතාය.
“හ්ම් ඔය එන්නේ සුළගිල්ලේ එල්ලී...හහ්හා..”
ඒ එක්කම උදාරත් සමීරා ගේ කරට අතදාගෙන එද්දී ...එතැන එකම විහිළු ඝෝෂාවකි. කාටවත් ප්‍රශ්නයක් සිත් තැවුලක් නැත. සිත් නිදහසේ ඉගිල්ලෙයි.
“මචං ඉතිං ලබන අවුරුද්දේ ඉතිං අපි විසිරෙනවනේ... දුකයි නේද..”
“ඒත් ඉතිං අපිට උඹලා මඟුල් කියනවනේ...එතකොට එකතු වෙමු”
“මඟුලක් කතා කරනවා! මුංට පිස්සු...!”
ආයෙමත් හිනා ඝෝෂාවය.
ශ්‍රීමාල්ගේ දුරකතනය නාද වන්නේ ඒ අතරේදීය.
* * * *
සමන්ති, දරුවාත් වඩාගෙන මිදුලට වී සිටියේ ජයෙන්ද්‍ර මේ තරම් ප්‍රමාද ඇයි කියා සිතමින්ය. ජයෙන්ද්‍ර රැගත් ජිප් රථය ගේට්ටුවෙන් ඇතුල් වෙද්දී දරුවා අත් පා ගසමින් සිනාසෙන්නේ තම පියා අඳුනාගෙන වගේය..
ජිප් රථයේ සද්දෙට ඇඳිවත දෙකෙළවරේ දෑත් පිස දමමින් ඉදිරියට ආවේ චන්ද්‍රලතාය. දැන් පුත්‍රයාගේ ගමනට බිමනට ජිප් රථයක් ද පංගාර්තු වී ඇත. සමන්ති දුවගේ වාසනාවය. ඊටත් ජයේන්ද්‍රත් හාමු මහත්තයෙක් නොවැ. මඳ සිනා පහළ කරමින් පුතාව පිළිගත්තද ඔහුගේ මුහුණේ කළු වලාකුළුය!.
“මොකෝ පුතේ මූණ නරක් කොරගෙන..?”
“ෆැට්ටරියේ හරි ප්‍රශ්න අම්මේ...මිනිස්සු ස්ට්‍රයික් එකටමයි අර අදින්නේ. හහ්... ඒව්වා කොහේද මාත් එක්ක...මං.... ඇඹරුවා හොඳ ඇඹරිල්ලක්...”
“මොකක්ද ජයේ වුණේ.... කියන්නකො..!”
සමන්ති ඇසුවේ නොඉවසිල්ලෙනි. ෆැක්ටරිවල ඇතිවෙන ආරාවුල් ගැන ඇය කුඩා කළ පටන්ම අසා පුරුදුය. ඒත් දැන් ජයේන්ද්‍ර ඒවාට උරදීගෙන යන්නේ පුදුම ධෛර්යයකින්ය.
“මම එයාලට පහදලා දුන්නා අයන්නේ ඉදන්ම මොකෝ වෙන තැනවල වගේ සේවකයන්ට නොසලකා අරිනවද අපි.. නෑනේ...? ආදායම් වැඩිවෙන හැම අවස්ථාවකදීම අපේ හාමු මහත්තයලා වත්තෙ අයට බෝනස් දෙනවා වැඩිපුර..මං ඒවා මතක් කරලා දුන්නා මුල හිටං...!”
“බොහොම හරි බොහොම හරි පුතේ...!”
චන්ද්‍රලතා තැඹිලි ගෙඩියක් කපාගෙන ඇවිත් පුතාට දෙන්නේ ආඩම්බර සෙයියාවෙනි.
“ඔක්කොමත් හරි අම්මේ...ඒත් එක්කෙනෙක්ගෙ මහා කට කැඩිච්ච කතාවකට මගේ ඔලුව ඔක්කෝම අවුල් වුණා.”
“ඒ මොකක්ද පුතේ ඒ...?”
දැන් චන්ද්‍රලතාගේ හිත කලබලය... එවිටම දරුවා කෑ ගසන්ට පටන්ගත් නිසා හැම දෙනාගේම අවධානය දරුවා කෙරේ යොමු වුණේ ක්ෂණයකිනි.
“මං යනවා ඇඟපත සෝදාගන්න...” ජයේන්ද්‍ර වහා නැගී සිටියේ කලබලයෙනි.
* * * *
රත්නපුර වලව්වේ දුරකතනය නාද වෙද්දී ඒ කුමක්දැයි බලන්නවත් කාටවත් ඉස්පහසුවක් තිබුණේ නැත. ඒ මහ ආලින්දයේ මහා ප්‍රශ්නයක් දිග ඇරිලා නිසාය.
“අප්පච්චිලාට මම එකක් කියනම්... ඔය එක එකාගේ කේළාම් අහලා මාව වෙන් කරන්න එන්න එපා. හරිද ? මම මේ වලව්වේ පුතෙක් වුණාට... මම නිදහස් මිනිහෙක්...”
මලින්ද කෑගසමින් එහාට මෙහාට යන්නේ අමුතුම විදියකටය. “ඒකෙන් කමක් නෑ... මම අගෝරිස් කපුවාට කියලා තියෙන්නේ පණිවිඩේ... දැන් තමුන්ගෙ කල වයසත් හරි. රස්සාවකුත් කරනවා නෙ...”
“පිස්සු කතා කරන්න එපා අම්මේ... මම තවම දියුණු වුණේ නෑ. මම මේ අවුරුද්දෙ අග කාර් එකක් ගන්නවා. මම මටය කියලා ඉන්න හිටින්න තැනක් හදාගන්න එපෑ...!”
පුත්‍රයාගේ කතාවට සුදු මැණිකෙ හාමු පරලවෙන්නේ හරියට දුම්මල වරම අතට ගත්තු කපුවෙක් ගානටය.
“එතකොට... මේ.... වලව්ව... කාටද... ආ... මෝඩයො... මේක අයිති තමුන්ට... තමුන්ට... ඇත්තට... තියෙන දේක අගයක් නැති හැටි...! වෙන එවුන් තමුන්ට අයිති දේපළ රැක ගන්නවා... අපේ උන් ඒවා තඹේකට ගණන් ගන්නේ නෑ...!”
සුදු මැණිකේ හති අරිමින් පපුව අල්ලාගෙන කවිච්චියේ ඇදී ගනිද්දී කලබල වෙන්නේ මැගියා...
“හාමු මහත්තයා... හාමු මහත්තයා... මෙහෙ එන්න...!”
නාන කාමරයේ සිට ඩග්ලස් හාමු දුවගෙන එන්නේ විදුලියක් වගේය. මූණ වෙස් මූණක් දාපු ගානටය.
“කාලකණ්ණි දරුවෝ... තමුන්ගෙ අම්මාව මරාගෙන පංචානන්තරිය පාපකර්මෙට අහුවෙන්නද හදන්නේ...මෝඩයෝ !”
ඔහු කෝපයෙන් ගුගුරයි.
ලබන සතියට...