
එයාර් ඉන්දියා ගුවන් යානයෙන් ඒ අලුයම් වේලේ පැමිණි සංචාරක මගී පිරිසගේ ගමන් මලු පරික්ෂා කරමින් නිලධාරිහු කීප දෙනෙක් කාර්ය බහුල වී සිටියහ. එතැන සිටි ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරියා අසලින් ගමන් ගත්තේ ලෝගුවක් හැඳගත් මුස්ලිම් තරුණයෙකි. “යන්නම් සර්” ඔහු බයාදුව දෙකට - තුනට නැමී නිලධාරියාට පවසමින් ඉදිරියට ගියේය. නිලධාරියාට ගැටලුවකි. මේ මුස්ලිම් තරුණයා මීට පෙර දැක ඇති බවක් ඔහුට මතක නොමැත. එහෙනම් ඇයි මේ මිනිහා මට අමුතු කුලුපගක් පෙන්වන්නට ආවේ. ඔහු ඉක්මන් විය. තමාට පිටුපා යමින් සිටි මුස්ලිම් තරුණයාට වහා කතා කළේය. “මල්ලී පොඩ්ඩක් මෙහාට එනවා ද”. මුස්ලිම් තරුණයා කීකරු විය. ඔහු ආපසු හැරී තමා වෙත එන අයුරු නිලධාරියා බලා සිටියේ විමසුම් ඇසිනි.
“මල්ලි මට උඹ මතක නැති හින්දයි බැලුවේ. අපි කොහෙදිද බං හම්බ වුණේ ...? මට මතක නෑනේ බං..”.
“ඇයි සර් මෙතනදීම නේ සර් දවසක් හම්බ වෙලා කතා කරලා ගියේ. ඇයි සර් ඇහුවේ, ගාල්ල පැත්තේ ඉඩමක් ගන්ඩ තියෙනවද කියලා...”
නිලධාරියාගේ සැකය නිවැරදි විය. ඔහු කිසි දිනෙක ගාල්ලේ ඉඩම් ගැනීමට කා සමඟවත් කතා කළේ නැත. ඇරත් ගාල්ලේ ඉඩම්ද ඔහුට අනවශ්‍ය ය. හෙතම ඉව අල්ලන්නට පටන් ගත්තේ ය.
“ආ...ඔව් ...ඔව්... මල්ලී. මේ ඒක නොවෙයි මල්ලී උඹ කොහේද ගියේ?”
“සර්, ඉන්දියාවට ගියා මගෙ නංගි බඳින්න යනවා. රෙදි ටිකක් ගේන්න”...
ළඟ තිබූ අත් බෑගයෙන් සාරි කීපයක් ඇද පෙන්වමින් ඔහු තම ප්‍රකාශයට සාක්ෂි සැපයීය.
“හරි හරි එව්වා තමයි අයියලගෙ වැඩ. ඒ කියන්නේ ඉන්දියාවේ ගිහිල්ලා පුරුදුයි.”
“ඔව් සර්, සති දෙකකට වතාවක් රෙදි ගේන්න යනවා”..
නිලධාරියා එළන දැලට මුස්ලිම් තරුණයා දැන් දැන් ඇතුළු වෙමින් සිටියි. ඔහු මුස්ලිම් තරුණයාගේ දෑසට එබී බැලීය. එහි බියකරු සේයා දැක්වෙයි. එසේ වුව ද තරුණයා සිනාසෙමින් ඔහු සමඟ ඕනෑවටත් වඩා දොඩමලු වෙයි.
“ඒක නොවෙයි මල්ලී මට උඹ එහෙ ගිහිල්ලා සාරි ගන්න හැටි අහන්න ඕනි... මටත් අපේ ගෑනිට සාරි ටිකක් අරන් දෙන්න ඕනෑ. එහෙ සාරි ලාබයිනෙ. අන්න, අතන තියෙන පුටුව අරන් වරෙන් මල්ලී ඉඳගෙනම කතා කරමු”.
“අනේ සර් මට ගාල්ලේ යන්න පාන්දර බස් එක ගන්න තියෙනවා.”
“හරි, හරි බං .මට ඔය විස්තර ටිකක් කියලා පලයං මල්ලී. විනාඩියෙන් යමු. මටත් වැඩ තියෙනවා.”
තරුණයා තමා ට පිටුපා ගොස් පුටුව ගන්නා ආකාරය ද, ආපසු එන කරන ආකාරය ද ඔහු හොඳින් නිරීක්ෂණය කළේය. ඔහු මේ සිදු කරමින් සිටින්නේ මිනිසකුගේ බාහිර හැසිරීම්, ක්‍රියාකාරකම් විමසීමකි. ඔහු අපේක්ෂා කරන දෙය ඔහුට ලැබෙමින් පවතී.
“ඉඳ ගනින් බං ඉඳ ගනින් බං”.
“අනේ සර් මං සර් ඉස්සරහා ඉඳ ගන්නේ කොහොමද ... නෑ. මං හිට ගෙන ඉන්නම්”.
නිලධාරියා තවත් ප්‍රශ්න කීපයක් විමසමින් කල් මැරීය. මුස්ලිම් තරුණයා නොඉවසිලිවන්තව කලබලව හැසිරෙන අයුරු ඔහුට හොඳින් පෙනේ.
“හරි මල්ලී උඹට බස් එක අල්ලන්න තියෙනවා කිව්වා නේ. උඹට දැන් යන්න පුළුවන්”.
මුස්ලිම් තරුණයාගේ දෑස් දීප්තිමත් විය. කුරුල්ලෙකු කූඩුවෙන් මුදා හැරියාක් මෙන් මුස්ලිම් තරුණයා කඩිනමින් අත් බෑගය කරේ දමාගෙන “යන්නම් සර්” කියමින් යෑමට හැරුණා පමණි. නිලධාරියා යළි ඔහුට කතා කළේය.
“උඹ මම හින්දා රස්තියාදු වුණා නේ. යමු බං මගේ ගානේ උණු තේ එකක් බොන්ඩ උඩ කැන්ටිමට. උඹට ඕනැ තේ ද. ? කෝපි ද..?
“අනේ සර්, මට තේ කෝපි එපා. නෑ සර් මං පොඩි කාලේ ඉඳලම බොන්නේ නෑ.”
“ආ...ඒකත් එහෙමද ....?” නිලධාරිතැන යටි හිතින් සිනාසේ. ඔහුගේ දැලට මාළුවා ඇතුළු වූ බව ඔහුට අවබෝධ විය. “ආ...යන් මල්ලී...උඹට මාත් එක්කම කොළඹ යන්න පුළුවන්. මං උඹ රස්තියාදු කෙරෙව්වනේ. අහිංසකයා.”
“නෑ ..සර් මම බස් එකේ යන්නම්.”
“නෑ බං, මාත් යනවනේ මාත් එක්කම යන්”..
“මල්ලී, උඹත් ගෙදර යනවා කිව්වා නේද.. යං මාත් එක්කම. මේ මුස්ලිම් මල්ලිත් ගාල්ලේ යනවලු”. ඔහු තවත් රේගු නිලධාරියෙකුට කතා කළේය. ඔහු ද වහා ලෑස්ති වී මුස්ලිම් තරුණයා ළඟම දැවටෙමින් එළියේ තිබූ රේගු වාහනයකට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ගොඩ වැදුණි. යන අතරමඟදී ජ්‍යෙෂ්ඨ නිලධාරී තෙමේ මුස්ලිම් තරුණයා ඇමතීය.
“මල්ලී අපි මේ හෝටලෙන් බත් ටිකක් කාලා යමු. උඹටත් බඩගිනි ඇති. අපිටත් බඩගිනියි. නැද්ද විමල්”. ඔහු සිය කනිෂ්ඨ නිලධාරියාගෙන් විමසීය.
“අනේ සර් මං යන්නම් .. මට බත් එපා. මට බස් එක අල්ල ගන්න ඕනි”.මුස්ලිම් තරුණයා වෙලාව බලමින් පින්සෙණ්ඩු වෙයි.
කොතෙක් කීවද බත් කෑමට ඔහු නම්මා ගත නොහැකි විය.
අවසානයේ ඔහු කීවේ “සර් මගේ බඩේ අමාරුවක් තිබෙනවා. බත් කන්න බෑ” යනුවෙනි.
“හරි මල්ලී එහෙනම් බඩේ අමාරුවට බේත් ටිකක් අරන් යමු. මල්ලී හරවන්නකෝ මීගමු හොස්පිටල් එකට.”
“ඇයි සර් හොස්පිටල් ...? මට එහෙමට බඩේ අමාරුවක් නෑ. මම බොරුවක් කිව්වේ. මට ඉක්මනට යන්නට ඕනි හින්දා”.
“හරි හරි උඹට නොවෙයි. මට බඩේ අමාරුවක් තිබෙනවා. බේත් ටිකක් අරන් යමු.” වාහනය රෝහල පැත්තට හැරවිණ. මුස්ලිම් තරුණයා නොඉවසිලිවත්තව හැසිරෙන බව එහෙට මෙහෙට ඇඹරෙන බව බව නිලධාරියා නිරීක්ෂණය කළේය. නිලධාරිහු දෙපළ තම සාක්කුවල රුවා තිබූ පිස්තෝල මත සුරත රඳවා සිටිය හ.
“මල්ලී, උඹ කියපන්කෝ, දැන් ඉන්දියාවේ ඉඳලා එන කොට ගෙනාවේ මොනවද කියලා.
“මේ සාරි තමයි .. සර්”. ඔහු සාරි මල්ල ඔසොවා පෙන්නුවේය.
“ඔය දෙතුන් දාහේ සාරි ගන්නට නම් ඉන්දියා යන්න ඕනෑ යි. ගාල්ලෙත් තියෙනවා නේ.. උඹ ඇත්ත කියපන්”.
“නෑ සර් ඇත්තමයි”.
“හරි, ඇත්ත නම් අල්ලා දෙවියන් පල්ලා කියලා දිවුරපං”.
“අම්මෝ.. සර්... දෙයියෝ ගාවන්ට එපා”..
“හරි එහෙනම් අම්මපල්ල කියලා දිවුරපන්”.
“අනේ සර් මට බැහැ. මං එයාලට ගරු කරනවා”.
“ඒකත් එහෙමද ..” මේ අතරේ වාහනය රෝහලට ළඟා විය.
“මල්ලි මටයි, උඹටයි බේත් ටිකක් ගමු නේද?”
“අනේ සර් මට බේත් එපා. සර් බේත් ගන්න . මං මෙතනින් බස් එකක් අරගෙන කොළඹ යන්නම්.
“එහෙම බෑ. මාත් එක්ක වරෙන් යන්න.”
නිලධාරියා තරමක් සැරෙන් කීය.
“උඹ හොඳ මුස්ලිම්කාරයෙක් නේ.. මම ඒකට ගරු කරනවා. ඒත් මල්ලි උඹ ඉන්දියාවේ ඉඳලා මොනවද ගෙනාවේ...?
“මොකුත් නෑ සර්”.
“මල්ලී , උඹේ බඩේ අමාරුවට බේත් දෙන්න උඹේ බඩේ අමාරුව ඇත්තේ කොහෙද කියලා බලන්න ස්කෑන් එකක් කරන්නයි හදන්නේ”..
“අනේ එපා සර්.. සර්ලා වියදම් කරන්නෙපා මං හින්දා.. මං ගාල්ලෙන් ස්කෑන් කරලා බලා ගන්නම්”..
“නෑ..ආපු එකේ බලල ම යමු”..
වෛද්‍යවරයා ස්කෑන් පරීක්ෂාවට තරුණයා යොමු කිරීමට ආසන්න ය. ඔහු දැන් හොඳටම බියපත් වී සිටී.
“මල්ලී උඹ බයවෙන්න එපා අල්ලා දෙයියෝ උඹට පිහිටට එනවා”.
“අයියෝ සර් දෙවියෝ මතක් කරන්න එපා”.
“එහෙනම් අම්මව?”
“ඒත් එපා . මං ඒ දෙන්නට ගරු කරනවා.”
“එහෙනම් කියපන් උඹට ඉන්දියාවෙදි මොනව හරි ජරාවක් කැවුණා ද.?”
“නෑ සර්.. නෑ..නෑ.”
“උඹට කවුරු හරි මොනවත් කැව්ව ද?”
තරුණයා ඊට නිහඬ ය. වෛද්‍යවරයා තරුණයා ස්කෑන් පරික්ෂාවට ඔන්න මෙන්න ය.
“සර්”. මං ඇත්ත කියන්නම්. සර් මගේ පිටි පස්සේ ඇති රත්තරන් බිස්කට් එකක්”.
“උඹ බොරු කියන්නේ බිස්කට් එකයි කියලා. හරි උඹ ගිල්ලේ මොනවද?. බඩේ තියෙන්නේ මොනවද”. රේගු නිලධාරියා සැර - වැර විය. මුස්ලිම් තරුණයා දැලෙහි පැටළුණු මාළුවෙක් මෙන් ය.
“සර්, එක්කෙනෙක් මට මොනවදෝ ගුලි වගයක් ගිලින්න කිව්වා”.
“උඹ තොත්ත බබා. උඹ ඒවා ගිල්ලා. කීයක් ද කියපන්”. නිලධාරියා ගිගිරී ය.
“සර් දහයක් විතර ඇති”.
“හරි බලමු ගණන් හරි ද කියලා”. වෛද්‍යවරයා තරුණයා ස්කෑන් යන්ත්‍රයට යොමු කළේ ය. ආමාශයේ කළු පැහැයෙන් ගුලි වැලක් ද ගුදයේ රන් බිස්කට් හැඩයට කළු සලකුණු තුනක් ද ස්කෑන් තිරයේ දිස් වුණි.
“සර් ගුලි තිහක් විතර ඇති. බිස්කටුත් දෙකක් ඇති”. තරුණයා බයාදුව කීය.
“කට වහපන්. දැන් අපි බලා ගන්නම් නියම ප්‍රමාණය”.
වෛද්‍යවරයා, බඩේ ගුලි විරේක වීමට සුදුසු බෙහෙතක් පෙව්වේ ය.
ආරක්ෂාව සහිතව තරුණයා විශේෂ කුටියකට යැවුවේ මළ පහ කිරීමට ය. මුලින්ම රන් බිස්කට් හතරක් එළියට ආවේය.
“යකෝ මේක ඉස්ටොරුවක් ද”?. ඊළඟට ටිකින් ටික වැටුණේ ගුලි පනස් හතරකි. උපත් පාලන කොපු කීපයක දවටා ඒවායෙහි තිබුණේ බ්‍රවුන් ෂුගර් වර්ගයේ මත්කුඩු ග්රැම් හත්සීයයකට ආසන්න ප්රමාණයකි. සියල්ලේ වටිනාකම රුපියල් කෝටිය ඉක්මවා තිබුණි.
“දැන් ඇත්ත කියපන්” . ප්‍රධාන නිලධාරියා සෙමෙන් ඇසීය.
“සර් අපි තමයි බඩු අරගෙන එන්නේ. මගෙ පාට් එක තමයි ට්‍රාන්ස්පෝර්ට්. ඒකට මට පහළොස් දාහක් හම්බ වෙනවා”.
“යකෝ පහළොස්දාහට ද තෝ මැරෙන්න හදන්නේ..?
“මොනව කරන්නද සර්. ළමයයි ගෑනි ජීවත් කරවන්නත් එපා යැ”.
“එතකොට රටේ අනික් දරුවෝ, ගෑනු වළ පල්ලට දාන්න ද යකෝ තොපි කුඩු ගේන්නේ”. මම දැන් උඹේ අම්මාගෙන් කෝල් කරලා අහනවා ඒක ඇත්තද කියලා.
“අනේ සර් අම්මට නම් කියන්න එපා. වඳින්නම්. සර් ඉන්දියාවෙන් ප්ලේන් එක පිටත් වෙන්න පැය බාගයකට කලින් මේවා ගිලිනවා. පැය දෙක තුනක් ගත වෙන්ට කලින් මේවා ගෙනත් බාර දෙනවා. පරක්කු වුණොත් බඩේ දී මෙව්වා පුපුරනවා. එතකොට සර් මං ඉවරයි”.
“උඹ හිතනවාද, උඹලගේ මේ වැඩ අපි දන්නැහැ කියලා. උඹ රස්තියාදු කෙරුවේ, උණු තේ දෙන්න හැදුවේ, බත් කවන්න හැදුවේ අපිට අමාරුවට ද?. උඹලගෙ ගමන - බිමන, හැසිරෙන විදිය කතා කරන විදිය, උඹලගේ ඇස් දිහා අපි බලනවා. රේගුව කියන්නේ ඒ වගේ තැනක්”.
“රුපියල් පහළොස් දාහක් හොයන්න ගිහිල්ලා දැන් පලයන් සදහට ම හිරේට. මිනිස්සු මරන්න උඹලා කුඩු ගේනවා. දැන් උඹලටම වළ කැපුණා. නේද?.
තමන් කුඩු නොබී අනුනට කුඩු පෙවීමට කුඩු ජාවාරම් කළ ඒ පුද්ගලයා මීගමුව පොලිසියට බාර දුන් රේගු නිලධාරී දෙපළ තම රටට, දරුවනට මෙහෙවරක් ඉටු කළා යයි ජයග්‍රාහී සිතින් යුතුවම වාහනයට නැගුණහ.
ටෙරන්ස් වනිගසිංහ