රාත්රියේ අවට රජ කළ බකුසු හුම් හඬ, රැහැයි හඬ, ගෙඹි - මැඩි කයිතාලන් හඬ, අලි - ඇත් කුංචනා හඬ හා කී නොකී හඬ අතරට එක් වරම වලස් හූ හඬක් එකතු වූයේ අප කණ්ඩායම අතර විමතියක් හා භීතියක් ජනිත කරමින්. වනජීවී සංරක්ෂණයට අදාළව වනපෙතේ සිදු කරන රාජකාරීන්ට අදාළව එදින රාත්රියේ අප කඳවුරු බැඳ සිටියේ යාල වනපෙතේ දිය කෙමක් අසලය. වලස් හූ හඬ දැඩිව ඇසෙන්නට වූයේ පෙර කී දිය කෙම සමීපයෙනි. මේ කියන ගල් කෙම පිහිටා ඇත්තේ මදක් උසැති හුදෙකලා ගලකය. වැලහින්නක දිය බීමට ගල් කෙම වෙත පැමිණ ඇති බවක් දුටුවේ අඳුරේ බලන දුරදක්නයක ආධාරයෙන් ගල් කෙම අවට නිරීක්ෂණය කරද්දීය. ඒ වැලහින්නකි. ඇගේ පිටේ එල්ලීගත් කුඩා පැටවුන් දෙදෙකි. නිදහසේ වතුර බිව් උන් පසුව අම්මාගේ පිටෙන් බැස ගල් තල්ල මත්තේ දුව පැන නටන්න වූයේය.
වනයේ ගත කරන සෑම තත්පරයකදීම වනජීවි නිලධාරින් සිටිය යුත්තේ විමසිල්ලෙන්. විමසිලිමත් වූ කල වනපෙතේ හක්කලංකරනා ඕනෑම රුදුරු වන සතකු කල් තියා හඳුනා ගත හැකියි. වනසතුන් වුවද මඟහැර යා හැකි දුරක සිටි නම් මිනිසාට පහරදීමට උත්සාහ නොකර මඟ හැර යන නිසාය.
මේ වෙලාවේ අප සිටින්නේ සුළං මුවාවේ බැවින් අපේ මිනිස් කුයිල සතා වෙත ළඟා නොවුණත් උන්ගේ සත්ව ගඳ අපට හොඳින් දැනේ. උන්ගේ මේ නිදහස් හැසිරීමට හේතුව වුණේ අපේ මිනිස් ගඳ උන්ට නොදැනීමයි. අඳුර විනිවිද දකින දුරදක්නය නොවෙන්නට වලසුන් දර්ශනය වන්නේ දිය කෙම අභියසැති කළු කුට්ටියක් ලෙසයි. පැටවුන් වැඩි පුරම ඉන්න කැමැති අම්මාගේ පිට මතයි. ඒ නිසා මේ තුන් දෙනාම දිස් වෙන්නේ කළු පාට පඳුරු ගොමුවක් වගෙයි.
අම්මා වතුර බොනකම් දිය කෙමේ ඉවුරේ කෙළි සෙල්ලමින් පසු වූ වලස් පොඩිත්තන් මවගේ විදානයෙන් යළිත් ඇයගේ පිට මතට ගොඩ වුණා. ගොඩ වූ සැණින් තම දිගු නිය පොතුවලින් අම්මාගේ දිගු ලෝම කැටියක් අල්ලා ගත්තේ, අම්මා ඇවිද යද්දි පිට මතින් නොවැටෙන ලෙසටයි. ඒ සමඟම වලස් අම්මා ගල් කෙම පිහිටි ගල මත සිට අප සිටි දිසාවට හොම්බෙන් ඉව අල්ලමින් පල්ලම් බැස්සා. මොකක් නමුත් අමුත්තක් ඒ සංවේදී නාස් පුඩුවලට ඉව වැටී ඇති හැඩයි. මිනිස් කුයිලයවත් දැනිලාවත්ද?
පල්ලමට ආපු වැලහින්න ගල් තැල්ල පාමුලට වෙන්න ඉව අල්ලනවා. භූමියේ සතර කොනම ඉව කරලා අනතුරුව බිම හාරන්න පටන් ගත්තේ පිස්සුවෙන් වගෙයි. ඒ ඇසිල්ලේ පැටව් දෙන්නත් අම්මාගේ පිටෙන් බිමට පැන්නේ අම්මාට සහාය වෙන්න වගෙයි. සොබාදහම විසින් වලසුන්ට ලබා දී ඇති යකඩ කොකු හා සමාන දිගු නිය නිසා මේ විදිහට පොළොව හෑරීම මේ අයට හරිම පහසුයි. වලස් මවගේ මේ හෑරීමේ අරමුණ මොකක්ද?
නිය ආධාරයෙන් හෑරූ වළ දෙස ටික වේලාවක් බලා සිටි ඇය අනතුරුව එක් වරම තමන්ගේ දිගු හොම්බ තබා සූස් .... සූස් .... හඬින් සිදු කළ ඇදිල්ලට අනුව නම් ඒකාන්තයෙන්ම මේ නම් වේයන් බීමක් බවයි මට හැඟුණේ. දෙතුන් වරක් වේයන් උරා බිව් ඇය අනතුරුව නොඉවසිල්ලේ පසු වන පැටව් දෙන්නාටත් ඒ සඳහා අවස්ථාව ලබා දුන්නා. හැබැයි අම්මා වගේ නම් නෙමේ පැටවවුන්ට මේ වේයන් උරාබීම තවමත් හුරු නැති බවයි පෙනුණේ. ඒත් දෙන්නා අතරේ ඒ වැඩේට තිබුණේ තරගයක්. එක් පැටියෙක් වැඩියෙන් වේයන් උරන දෙස මද වේලාවක් බලා සිටි වලස් මව කලින් හෑරූ ගුල සමීපයෙන් තවත් ගුලක් හෑරුවා. ඉන් පස්සේ ඒ හෑරූ ගුලෙන් වේයන් උඩට එනකම් මද වේලාවක් බලා හිටියා. වේයන් සෑහෙන්න උඩට ආවාට පසු තමයි උන් උරා බොන්න පැටවුන්ට ඉඩ දෙන්නේ. වැලහින්න ඒ අතරේ ඒ ආසන්නයේම තවත් ස්ථාන කිහිපයකින්ම පොළොව හාරා ගුල් හැදුවා. ඒ එම ගුල්වලින් එළියට එන වේයන්ද ගොදුරු කර ගන්නයි. පැටවුනුත් මේ දෙස බලමින් පුංචි වුණත් අම්මා අනුකරණය කරමින් තමන්ගේ නිය ආධාරයෙන් ගුල් හාරන්නයි උත්සාහය.
කැලේ ජීවත් වන සතුන්ගේ විශේෂයෙන්ම කිරිබී වැඩෙන්නන්ගේ පළමු ගුරු වෙන්නේ තම මවයි. කුඩා වේයන් කියන්නේ වලසුන්ගේ ප්රියතම ගොදුරක්. මේ කිරි වේයන් උරා බීමෙන් වලසුන් කිසියම් කිරි රසයක් විඳිනවාය යන්න මගේ අදහසයි. වලසුන් පමණක් නොව ලේන්නුද කිරි වේයන් ආහාරයට ගැනීම සුලභව කරනවා. මේ රසට වලසුන් කොතරම් ලොල්ද කියනවා නම් වේ තුඹසක ඉවක් දැනුණොත් නම් වේ ජනපදයම කෙසේ හෝ උරා බීලාමයි ඒ තැනින් පිටව යන්නේ.
ඒක් වරම වනපෙත සිසාර ඇහුණේ මුවෙකුගේ කෝව් ගෑමක්. බය වුණු මුවෙක් කෑ මොර දෙන්න පටන් ගත්තේ මොකක් නමුත් අනතුරක ඉවක් දැනිලයි. ඒ අනතුරු සංඥාව කන වැකෙත්ම වලස් මව උගුරෙන් කෙටි හඬක් නංවමින් පුංචි වුන් තමන් ළඟට අඬ ගහ ගෙන උඩු සුළඟ ඉව කරන්න වුණා. අනතුරුව තමන් සිටින භූමිය ආරක්ෂා රහිත බව වටහා ගත් ඇය ඒ ආසන්නයේ වන වදුළු අතරට වැදුණේ පැටවුන් දෙන්නත් කර පින්නා ගෙනයි. පැටවුන්ව කර මතින් බිමට බැස්ස වීමෙන් අනතුරුව බිම වැතිරෙත්ම පුංචි වුන් හණික මවගේ තණ බුරුලුවල එල්ලුණේ ලද අවස්ථාවෙන් ප්රයෝජන ගන්නාක් වගෙයි.
වලහා කියන්නේ කැලේ ඉන්න නපුරු සතෙක්. අලියාටත් වඩා නපුරුයි. මොකද මෙයා පහර දෙන්නේ හැංගිලයි. නොසිතූ විටෙකයි මිනිසා මතට කඩා පනින්නේ. වලසාට මිනිසා ජන්ම හතුරෙක්. ඒ බව ඔප්පු කරන්න හැකි නිදර්ශන වනාන්තර මායිමේ පිහිටි ගම්මානවලින් නිතර අහන්න දකින්න පුළුවන්. වලහාගේ පහර දීම හරිම ක්රෑරයි. භයානකයි. දරුණුයි.
වනපෙතේ රැව් දුන් මුවාගේ කෝව් ගෑම එක්වරම නතර වුණා. පරිසරයේ පැවැතියේ දැඩි නිහඬ බවක්. වලස් මව මෙතෙක් කිරි උරා බොමින් සිටි පුංචි උන් පිටට නංව ගත්තේ ආයමෙත් ලොකු අනතුරක ඉවක් දැනිලයි. එක් වරම කිරලෙක් හඬන්න ගත්තේ එවිටයි. ඒ ගල් කෙමට ආසන්න ස්ථානයක බිම ලැගහුන් කිරලෙක් විය යුතුයි.
මම දිය කෙම ඇති ඉසව්ව හොදින් නිරීක්ෂණය කළා. යම් සෙලවීමක් එක් වරම ඇහැ ගැහුණා. ඒ සෙලවීම කළේ දිලිසෙන දෙනෙතක් සහ නිරන්තරවම සෙලවෙන දිගු නගුටක් ඇති සතෙක්. බිම් මට්ටමට සමාන්තරව ලැග ඉන්න වගයි පේන්නෙ. වැලහින්න බිය වද්දවමින් වනපෙතේ භයංකාරත්වය පැතිර වූ මේ සතා මොකාද?
වනවැසි කවුරුන් හෝ හඩක් පිට කළොත් ඒ මරණයට අතවැනීමක් හා සමානයි. දිය කෙම ආසන්නයේ බිම වැතිර සිටින්නේ බිළාල ගෝත්රය නියෝජනය කරන අපේ රටේ දැවැන්තයායි. ඒ කොටියෙක්. විසල් සිරුරක් හිමි කොටි රජෙක්. සුදු කළු වර්ණයෙන් දිස්වන කොටි දසුන හරිම මනරම්. ලතාවට ඉහළ පහළ සොලවන නගුටේ අග්ගිස්ස විනා කොටියාගේ සිරුරේ සෙසු අංග සෙලවෙන පාටක් නෑ. එසේ වුවත් කොටි කන් කෙටි එල්ලය ගන්නේ එක් දිසාවක් වෙතයි. ඒ වලස් මව සහ ඇගේ පැටවුන් රැඳී සිටින ඉසව්වටයි.
ලැග හුන් ඉරියව්වේ යම් වෙනසක් සිදු කළ කොටියා පසු පස ගාත් මත හිඳ ගත්තේ ඉදිරි පස ගාත් යුගල කෙළින් කර ගනිමින්. අනතුරුව දිය කෙම දෙසත්, අවට පරිසරය දෙසත් බැලුම් හෙළුවේ හරිම සෝමාරිකමක් පෙන්නුම් කරමින්. දිග ඈනුමක් හරිමින් ඇඟමැලි කඩා ගැනීමට ඉදිරියට සහ පසු පසට දිගෑදුණේ සිරුරේ හැඩ තල මොනවට විදහා පාමින්.
ඉන්පස්සේ කොටියා පුලුන් කොට්ට අත් පා තබමින් දිය කෙම වෙතට පැමිණ හීන් සීරුවේ තග්... තග්... තග් ... හඬින් වතුර බී යළිත් පෙර සිටි ස්ථානයටම පැමිණ හිඳ ගත්තා. අනතුරුව ඉදිරි වම් පාදය ලෙව කමින් සහ ඒ පාදයෙන්ම මුහුණ පිරිමදිමින් පිරිසුදු වුණේ නිදිබර ගතිය පහකර ගන්නයි. නැගී සිටි කොටියා දිය කෙම අසල පලු ගසට නගුට ඔසවමින් මුත්රා පහරක් එල්ල කළේ මේ මගේ සීමාව කියන්නාක් වගෙයි. මේ ආකාරයට දිය කෙම හා ඒ ආසන්නයේ කොටියා විසින් තබන නිය, මුත්රා සහ වසුරු සලකුණු තමයි කොටියාගේ වසමේ මායිම් පෙන්වන ලකුණු වෙන්නේ.
එක් වරම වලස් මව සිටි දිසාවෙන් නැඟී ආ ගොරොද්දයට කොටියාගේ ප්රතිචාරය වුණේ අපි කවුරුවත් නොසිතූවක්. පලු ගස මුලට වී ගහේ කඳට මූත්රා පාරක් විද එය ඉව කරමින් රජෙකුගේ වෙස් ගෙන සිටි කොටියා එක්වරම පලු ගස දිගේ බඩ ගා යමින් ගසේ ඉහළ දෙබලකට වැදුණේ භය පක්ෂපාතිවයි. ගොරොද්දය නගමින්ම දිය කෙම වෙත දුව ගෙන ආ වැලහින්න පලු ගස පාමුල නතර වුණා. ගස දෙස විපරම් බැලුම් හෙළුවා. ගසේ ඉහළ අතු අතරේ රැඳී සිටි කොටියා ගැන ඉවක් දැනුණු නිසා තමයි මේ විදිහට වලස් මව හැසිරෙන්නේ. මොකද ප්රධාන වෙන්නේ පුංචිවුන්ගේ ආරක්ෂාවයි. ඒ හින්දා කොටියාට පෙර තමන්ගේ බල පරාක්රමය විදහා පෙන්නා කොටියා බිය වැද්දීම තමයි වලස් මවගේ අරමුණ. පලු ගහේ කඳ පහුරු ගාමින්, මහ හඬින් හූ තබමින්, ගොරවමින් ටික වේලාවක් හිටපු වලස් අම්මා ආයේමත් කැලේට යන්න තීරණය කළා. කොටියා කළේ වලස් ගෝරණාඩුව දිහා පලු ගහ මුදුනට වෙලා බලාගෙන සිටීමයි. ගස් නගින්න දක්ෂ වලස් මවත් පලු ගස යටට වෙලා කොටියා දිහා බලාගෙන ගොරවමින් පලු ගස පහුරුගෑම විනා ගසට නගින්න නම් කොහෙත්ම උත්සාහ කළේ නෑ. ඒ කියන්නේ ගැටුමක් ඇති කර ගන්න මේ දෙපාර්ශ්වයටම කැමැත්තක් නෑ.
පුංචි වලස් පැටවුන් ගේ ආරක්ෂාව ගැන හිතපු වලස් අම්මා කොටියාත් එක්ක නොගැටී කැලේ දිහාවට ඇදුණා. ඇය පිටත් වෙලා ටික වේලාවක් යනකල්ම කොටියා නෙමෙයි පලු ගහෙන් බිමට බැස්සේ. පස්සේ අඩියට දෙකට බිමට පැන ගත්තු කොටියා හණිකට කැලේට වැදුණේ ගත වු ප්රමාදය ගැන කනස්සල්ලෙන් වගෙයි.
කැලේ හැටි ඔයාකාරයි. බලවතා දුබලයාට යටත්. බලන බලන හැම තැනම ඇත්තේ ඒ කියමන සනාථ කරන නිදසුන්. අනපේක්ෂිත වලස් - කොටි හමුව මෙබඳු නම් වනයේ ගත කිරීමට නියමිත ඉදිරි දින දෙක තුනේ අපට කුමක් අත්විඳීමට ලැබේද?
සඳමල් රශ්මී ශ්රී බුද්ධික