තුලාවල ගමේ විසූ ගමේ පැරැණි ප්රභූ පවුලකින් පැවත ආ මුල් ගුරු මහතා විශ්රාමිකය. ධනවත් එසේම ආරෝහ පරිනාහ දේහයකින් යුතු හෙතෙම ගමේ සියලු කටයුතුවල මූලික තැන ගත්තේය. එහෙත් ඉතා සරල චාම් ගති පැවතුමින් යුතුවිය. ඔහු සතු ඉඩ කඩම්වල මහා පරිමාණයෙන් වගා කටයුතු සිදුවිය. කලක් යද්දී ඔහු සිය කෘෂි කර්මාන්ත වැඩ කටයුතු සඳහා ‘ෆර්ගියුසන් ’වර්ගයේ අත් ට්රැක්ටරයක් මිලට ගත්තේය. ගුණපාල ට්රැක්ටර් රියැදුරාය. වැඩි දිනක් ගතවීමට මත්තෙන් මුල් ගුරුතුමාද ට්රැක්ටරය පැදවීමට ඉගෙන ගත්තේය. ගුරුතුමාගේ ට්රැක්ටර් පැදවීමේ ගුරුවරයා වූයේ ගුණපාලය. ඉන්පසු ගුරුතුමා යන සැම තැනම තමාම ට්රැක්ටරය පදවා ගෙන ගියේය.
එතුමා යන සැම තැනදීම ගැමියෝ “ලොකු මහත්තයාගේ ගුරුතුමා ගුණපාල නේදැ”යි ඇසීමට හුරුව සිටියහ. සැවොම නිතරම කියන මේ කතාව කලක් යද්දී ගුරුතුමාට මහා හිසරදයක් විය. පසුව ගැමියන් එය නැවත අසද්දී, “ඔව්, බොලව් ගුණපාල තමයි” යනුවෙන් සිනාසෙමින් පිළිතුරු දෙන්නේ එකිනෙකා වරින්වර අසන මේ පැනය කරදරයක් වුවත් කේන්ති නොගනිමිනි.
දිනක් ගමේ පොදු රැස්වීමක සියලු දෙනා රැස්ව සිටියදී මුලසුනෙන් නැඟී සිටි මුල් ගුරුමහතා,“ගුණපාල මෙහෙ වරෙන්” පවසමින් පසුපස සිටි ගුණපාල ඉදිරියට කැඳෙව්වේය. ඉදිරියට පැමිණි ගුණපාල තුෂ්ණිම්භූතව බලා සිටිද්දී ඔහුට බුලත් අතක් පිරිනැමූ ගුරුමහතා සිය කරේ වූ ලේන්සුව බිම එළා ඔහුට වැන්දේය. ගුණපාල දහඩිය දමා ඇද වැටෙන්න යද්දී ඔහු වත්තන් කරගත් ගුරුතුමා ලේන්සුව ගසා කරේ දමා ගෙන සභාව ඇමතීය.
“උඹල ඔක්කොම මතක තියා ගනිල්ලා මින් පස්සේ ගුණපාල මගේ ගුරුතුමාද කියා මගෙන් අහන්න එපා” යනුවෙන් පැවසූවේ මීයට පිම්බාක් මෙන් සභාව නිහඬ කරවමිනි. ඉන්පසු ගමේ කිසිවෙක්වත් යළි ඒ පැනය ඇසීමට ඉදිරිපත් නොවූහ.
සරත් විජයරත්න
ලුණුවිල