
ගැහැනියකගේ සම මත පච්ච කෙටීම ආරම්භ කරන්නේ ඈ අවුරුදු 8ත් 10ත් අතර වයසට පිවිසි විටයි. පිරිමින්ගේ දේහ මත පච්චා කෙටීම ඇරඹෙන්නේ ඔවුන්ට වයස අවුරුදු 13ක් 15ක් පමණ වන විටය.
විවිධ සිරිත් විරිත්, සම්ප්‍රදායන් මෙන්ම එකකට එකක් වෙනස් සංස්කෘතීන් තුළ ජීවත් වන ජන කොටස් ඉන්දියාවේ වෙසෙති. ඒ අය අතර කෙන්යක් ගෝත්‍රිකයන්ට හිමි වන්නේ සුවිශේෂ තැනෙකි. දෙලක්ෂ තිස් දහසකට ආසන්න පිරිසක් වන කෙන්යක්වරුන් අපට හමුවන්නේ ඉන්දියාවේ නාගලන්ත ප්‍රාන්තයෙහි කඳුකර පෙදෙස්වලදීය. නාගලන්තය, ගෝත්‍රික සමාජ 16ක පමණ නිජබිම හැටියට සලකන්නට පුළුවන. එහි හුදකලා කඳුකර පරිසරයන්ගෙන් විචිත්‍රවත් වුණු ගම්මාන, කෙන්යක් ගෝත්‍රික ජනයාගේ දෛනික ජන ජීවිතය පවත්වාගෙන යෑමට දෙවියන් දුන් ත්‍යාගයක් බඳු ය.
කෙන්යක් ගෝත්‍රිකයන් කෘෂිකාර්මික ජන ජීවිතයක් ගත කරන පිරිසකි. මේ කෘෂිකාර්මික ජන ජීවිතයට බද්ධ වුණු ඔවුන්ගේ ඇතැම් සම්ප්‍රදායන්, සිරිත් විරිත්, යාතු කර්ම සහ ද්වාර කර්ම විධි සාමාන්‍ය ජනයා පුදුමයෙනුත් පුදුමයට පත් කරවන සුලුය. මුහුණු සහ දේහ පච්චවලින් අලංකාර කර ගැනීම එහිලා කැපී පෙනෙනම අංගයකි.
පච්ච කෙටීම සඳහා පාවිච්චි කරන්නේ ඔවුන්ම සකසාගත් ඊට සරිලන අන්දමේ “පනාවකි”. මේ පනාව නිමවා තිබෙන්නේ මා වේවැල් කටු එකට තබා ශාක කෙඳිවලින් බැඳ ගැනීමෙනි. පච්චා කෙටීමේ කාරියට අවශ්‍ය තීන්ත නිපදවා ගැනෙන්නේ ශාක රෙසීන හෙවත් ගස්වල ලාටුවලිනි. පනාව මෙන්ම තීන්ත සකසා ගැනීමත් පහසු නැත. ගෝත්‍රික පච්චා කලාකරුවන්ට කැන්වසයක් බවට පත්වන්නේ රැහේ සෙස්සන්ගේ සමය. කෙනෙකුගේ සම මත පළමුවෙන්ම පච්චයක් යෙදීම, ඔවුන්ට අනුව සමරන්නට තරම් අගනා දෙයකි. හරකකු හෝ ඌරකු හෝ මරා ඔවුහූ ඒ අවස්ථාව සමරති. ඊට සහභාගී වන පිරිසට සංග්‍රහ කිරීමට රතු හාලේ බෙරි බත් ද සහල්වලින් තැනූ බීර ද ගැනේ.
පච්ච ගැසීම ආරම්භ වනවිට, ඊට භාජනය වන අයගේ දෙමවුපියෝ ද, මිතුරෝ ද, ඔහු වටා උක්කුටිකයෙන් වාඩි වෙති. පච්චය කොටන තුරු ඔහුගේ අත් පා කෙළින් කර අල්ලා ගැනීම ඒ අයගේ රාජකාරියකි. තවත් සමහර අවස්ථාවලදී ඔවුහූ ඔහුගේ මුඛයට රෙදි කඩමාලු හිර කරමින් ඔහුගේ කෑගෑම සහ කෙඳිරිය නවත්වන්නට උත්සාහ කරන්නෝය. පච්චයක් කොටන අතරතුරදී ඊට භාජනය වන්නා වේදනාව, කෑගෑමකින් හෝ කෙඳිරියකින් හෝ පිට කිරීම කොන්යක්වරුන් සලකන්නේ නිවටකමක් හැටියට ය.
කොන්යක්වරුන්ගේ පච්චා මෝස්තර ඔවුන්ගේ ජන සමාජයටම ආවේණික වූ ඒවාය. ඇතැම් විට ඒවායෙන් ඔවුන්ගේ තත්ත්වය, ජීවිතයේ විවිධ අවධි, ජයග්‍රහණ ආදිය පවා පිළිබිඹු කෙරේ. සමාජයේ වංශවතුන් ලෙස පිළිගැනෙන අයගේ, රණ බිම දස්කම් පෑ අයගේ වගේම විවාහක සහ අවිවාහක ස්ත්‍රීන්ගේ ශරීර මත කොටනු ලබන පච්චා එකිනෙකට වෙනස් ය. මේ නිසා කොන්යක්වරුන්ගේ පච්ච, ඒ එක් එක් පුද්ගලයා පිළිබඳ හොඳ අර්ථ කතනයක් ලබාදෙන සන්නිවේදන මාධ්‍යක් හැටියට සලකන්නට පුළුවන. කෙසේ වුවත් ගැහැනියකගේ සම මත පච්ච කෙටීම ආරම්භ කරන්නේ ඈ අවුරුදු 8ත් 10ත් අතර වයසට පිවිසි විටයි. පිරිමින්ගේ දේහ මත පච්චා කෙටීම ඇරඹෙන්නේ ඔවුන්ට වයස අවුරුදු 13ක් 15ක් පමණ වන විටය. කොන්යක්වරුන්ගේ පච්චා කලාව වඩාත් හොඳ ප්‍රකාශන මෙවලමක් වන්නේ කොන්යක්වරයකු අතින් සතුරකු ඝාතනය කෙරුණු අවස්ථාවකයි.
කොන්යක්වරු රණකාමීහු ය. ඔවුන් ප්‍රතිවාදියකු මට්ටු කරන්නේ ප්‍රතිවාදියාගේ හිස සිරුරෙන් සිඳ අතට ගැනීමෙනි. ඒ විනාශය කරන තුරු කොන්යක්වරයකු සටන් කරන්නේ වැඩිපුරම හිස භාවිතයට ගනිමිනි. පිළිමල්ලවයාගේ හිස දෑතින් දරාගෙන තම සමාජයට පැමිණෙන කොන්යක්වරයකු සම්මානිත රණ ශූරයෙකි. ප්‍රතිවාදියාගේ හිසෙන් වෑහෙන රුධිරය සෞභාග්‍යයත්, බව බෝග වඩා ගැනීමේ වාසියත් ළඟා කරතැයි කියා ඔවුහු සලකති.
ප්රතිමල්ලවයන්ගේ හිස් රැගෙන කෙන්යක් සමාජයට වදින සාමාජිකයන් වෙනුවෙන් වෙනම යාතු කර්ම, සම්ප්‍රදායන් සහ චාරිත්‍ර වාරිත්‍ර පැවැත් වේ. එහිලා මුල් වන එක් අංගයක් වන්නේද යට කී පච්ච කලාවයි. එවැනි අවස්ථාවකදී කෙන්යක් විරුවකුගේ සිරුර මත දියමන්තිවල හෝ ලොසින්ජරවල හෝ හැඩයන් පච්චයට නැඟේ. පළමුවෙන්ම පච්ච සඳහා භාජනය කෙරෙන්නේ රණ විරුවාගේ මුහුණයි. අනතුරුව බෙල්ල සහ අවශේෂ ශරීරාංග පච්ච සඳහා විවරණය වේ.
කොන්යක්වරුන්ගේ දික් ගෙවල් බලන්න ලස්සනය. ඒවායෙහි ඇතුළත අඳුරු මුත් බිත්ති මත පවුලේ ‘රණ විරු සම්මාන’දක්නට ලැබේ. කොහොම වුණත් ඔවුන් අතින් ඝාතනයට ලක්වුණු සතුරන්ගේ හිස් කබල ඒ නිවෙස්වල බිත්ති මත අද දක්නට ලැබෙන්නේ නැත. එසේ වුවත් උණ ලීවලින් කරන ලද අලංකෘත සැරසිලි මෙන්ම සත්ත්ව හිස් කබල නම් ඒ නිවෙස්වල සුලභ ය.
කෙන්යක් ගෝත්‍රික සමාජයෙහි එදා සිටම දැකිය හැකි වුණු මේ රණ ශූරත්වය සහ පච්ච කලාව අද නිලීනව යමින් පවතී. එයට ප්‍රධානම හේතුව ඔවුන් බාහිර ලෝකයේ බලපෑම්වලට යටත්වීම ය. ආපසු හැරවිය නොහැකි තරමේ ප්‍රබල බලපෑමක් එල්ලවුණේ එක්දහස් අටසිය ගණන්වලදී එහි ළඟාවුණු මිෂනාරීවරුන්ගෙනි. ඔවුහු නාගලන්තයේ කෙන්යක්වරුන්ගේ නිජබිම්වලට සමීප ප්‍රදේශවල පාසල් ආරම්භ කළහ. ක්‍රිස්තියානි දහම ව්‍යාප්ත කිරීමට යුහුසුලු වූවෝය. ඉන්දියාව, බ්‍රිතාන්‍යයයේ යටත් විජිතයක්ව පැවැතියෙන් 1935 පමණ වනවිට කොන්යක් සමාජයට බලපාන පරිදි හිස් දඩයම හෙවත් සතුරන්ට හිසෙන් පහරදීම සහ සතුරාගේ හිස සිඳීම තහනම් කරන ලදී. වත්මන් කොන්යක් ගෝත්‍රික සමාජයෙන් සියයට අනූ අටක පිරිසක් ක්‍රිස්තියානි ආගම අදහති. කොන්යක් සමාජයේ සංස්කෘතික අනන්‍යතාවන් තවමත් ඉතිරිව පවතින්නේ අද ජීවත් වන වියපත්ම පිරිස අත පමණකි. ඔවුන්, සිය සංස්කෘතික අනන්‍යතාව දරණ ඒ සමාජයේ අවසන් පුරුක් බව මානව විද්‍යාඥයෝ පෙන්වා දෙති.