
නැඟ එන හිරු රැසින් නැහැවෙමින් කලා වැව ඉහත්තාව දෙසට ඇදෙන ධීවර බෝට්ටු රැසකි. පෙරදා සවස එලූ දැල්වල පැටළුණු මාළු යළි නොඑන ගමනට සුදානමින් සිටිති. කෙනෙකුගේ ජීවිතය සරි කර ගැනීම වෙනුවෙන් තවත් කෙනෙකුගේ ජීවිතය උදුරාගන්නා ලෝකය රුදුරුද, සොඳුරු ද යන්න විමසීමට සිත ඉඩ නොදෙයි. එහෙත් ප්‍රබලයා විසින් දුබලයා ගොදුරු කර ගන්නා සොබාදහමේ නීතිය අකුරක් නෑරම පිළිගැනීමට අපට සිදුවේ. ඊළඟ නිමේෂයේ අවිනිශ්චිත ජීවිතයද රැගෙන යන දිගු ගමනක කොටස්කරුවන් වූ අපි දර්ශනපථය වෙනස් කිරීමට උත්සාහ ගතිමු.
බලාපොරොත්තුවෙන් සිටි දුරකථන ඇමතුම ලැබෙන බව කියමින් දුරකථනය නද දෙයි. මම ඇමතුම සම්බන්ධ කරගතිමි. ඒ අද දවසේ අපට මඟ පෙන්වන්නටද, නවාතැන් සපයන්නටද පොරොන්දු වූ ගාමිණී එදිරිසිංහ මහතා අප සොයා පැමිණ සිටී.
“අපි මුලින්ම අවුකනට යමු… පිටවානත් බලාගෙනම…”
කලාවැවේ වැව් බැම්ම දිගේ වැටී ඇත්තේ තෝනියාගල සිට ගලේවෙල දක්වා විහිදෙන බී 243 මාර්ගයයි. මේ මාර්ගයේ දර්ශනීයම ඉසව්ව ලෙස හැඳින්විය හැක්කේ කලාවැව සහ බළලු වැව බැම්ම දිගේ වැටී ඇති මාර්ග කොටසයි. කලාවැවේ බැම්ම කිලෝමීටර හතරක් දිගය. ඉන්පසුව හමුවන්නේ පිටවානයි. ඉන් අනතුරුව හමුවන බළලුවැව බැම්ම තවත් සැතපුමකට වඩා දිගය. කුරුණෑගල දඹුල්ල හරහා අනුරාධපුරයට යන්නට කැමැති සංචාරකයෙකුට විකල්ප මාර්ගයක් ලෙස භාවිතා කළ හැකි මේ මාර්ගය දිගේ අපි වැව් සිරි නරඹමින් ඉදිරියට ගියෙමු.
කලාවැව ආශ්‍රිතව පුද පෙත් ලබන දේශීය දෙවිවරුන් කිහිප දෙනෙකි. උපුල්වන්, අයියනායක, කඩවර සහ පණම් බණ්ඩාර දෙවියන් එසේ පුද පෙත් ලබන දේශීය දෙවිවරුන්ය. හින්දු දෙවියකු වන ගණ දෙවියන් උදෙසාද මේ ඉසව්වේ පුද පුජා පැවැත්වේ. කලාවැව් බැම්මේ යන අපට පළමුව උත්පලවන්න විෂ්ණු දේවාලයත්, ගණ දෙවි කෝවිලත්, කඩවර දේවාලයත්, අයියනායක දේවාලයත් හමුවේ. නමුත් පණම් බණ්ඩාර දේවාලය ඇත්තේ තරමක් ඈතින් පිහිටි යටිගල්පොත්ත ගමේය. ආපසු එන ගමනේදී කඩවර දේවාලයට ගොඩවදින අරමුණෙන් අපි අවුකන විහාරය බලා ගියෙමු.
වැවක් යනු රටවැසියන්ගේ ලෞකික අරමුණු වෙනුවෙන් නිර්මාණය වන ආයෝජන කලාපයකි. වැවේ රැස්වන ජලයෙන් සිය නිෂ්පාදන ධාරිතාව වැඩිකරගන්නා වැසියා ආර්ථික අතින් සමෘද්ධිමත් වේ. බුද්ධ දර්ශනයේ සාරය උකහා ගත් බුදු දහමෙන් හික්මීම උගෙන ගත් සමාජයට අධ්‍යාත්මික සමෘද්ධිය ගැන මෙනෙහි කිරීමේ අවස්ථාව ලබාදීමේ අරමුණෙන් වැව ආසන්නව විහාරයක් ඉදිකිරීමටද අතීත රජවරු කටයුතු කළහ. අභය වැව අසබඩ ස්වර්ණමාලි චෛත්‍යයද, තිසා වැව ආසන්නව ඉසුරුමුණියද ඉදිවූයේ ඒ නියමය අනුවය. පසුකාලීනව රජවූ ධාතුසේන රජුද සිය මහා වාරි කර්මාන්තය අවසානයේ විහාර කරවන්නට කටයුතු කළේය.
කලාවැව බැම්මෙන් ඈත්ව කිලෝමීටර හතරක් පමණ ගිය පසු අවුකන පිළිමය හමුවේ. අවුකන පිළිමය තරම් එහි වූ විහාරස්ථානය පැරණි නැත. මැතකදී ඉදිකළ බව හඳුනාගත හැකි ධර්ම ශාලාවක්ද, විහාර මන්දිරයක්ද, චෛත්‍යයක්ද ඇති එහි දැඩිමුණ්ඩ දෙවියන් සහ පත්තිනි දේවිය ප්‍රමුඛ දෙවිවරුන් වෙනුවෙන් වෙන්වූ දේවාලයක්ද වේ.
ලේඛන වල සඳහන් වන පරිදි අවුකන බුදු පිළිමයේ උස මිටර් 11.36කි. චන්ද්‍රා වික්රමගමගේ මහතා සිය කෘතියේ දක්වන පරිදි පිහිටි කළු ගලෙහි බහුඋන්නත ක්‍රමයට සමභංග ඉරියව්වෙන් ඉදි කළ මෙම පිළිමයෙන් අභය මුද්‍රාව නිරූපණය වෙයි. ඇඳුම, තනිපට සිවුර, අඳනය, සහ පටිය යන තුනෙන් සමන්විත ය. සිවුර තනි රැල්ලක් සේ මතුකොට ඇති නිසා මෙය අනුරාධපුර යුගයට අයත් පිළිම කලාවේ විශේෂ ලක්ෂණයක් බව ද ඔහු පවසයි.
අවුකන පිළිමය සමඟ විහාරයක් ඉදිකරන්නට කටයුතු නොකළේ ඇයිද යන්න විමසිය යුතුයැයි අප තීරණය කළෙමු. ඒ අනුව ගාමිණී එදිරිසූරිය මහතා අපට ප්‍රදේශයේ ඉතිහාසය ගැන මනාව දත් පාසල් ගැරුවරයෙකු වන උණගොල්ලෑව පදිංචි අජිත් කුමාර ජයසිංහ මහතා සම්බන්ධ කොට දුන්නේය. ඔහු අප කැඳවාගෙන ගියේ උස්ගල නම් ගමටය.
තම මාමා වූ මහාවංශය ලියූ “මහානාම” හිමියන්ගේ උපදෙස් අනුව කලාවැව විහාරය කරන්නට ධාතුසේන රජතුමා මුලින්ම උත්සහ කළේ කලාවැවට උතුරින් පිහිටි ස්ථානයකය. එහි විහාරය කරවා අවසානයේ, යාබදව පිහිටි ගල් කන්දක හිටි පිළිමයක් නෙළන්නටද එතුමාට සිත්විය. වැව් බැම්ම තැනීමට අවශ්‍ය මහා කළුගල් කුට්ටි කළ දක්ෂ ගල්වඩුවන්ගේ කලා හැකියා උරගා බැලීමට අවශ්‍ය නිසාත්, ඒ වනවිට පූර්වගාමී රජෙකු එවන් කලා නිර්මාණයක් නොකළ නිසාත්, සිය වැවේ පැවැත්ම සහ චිරස්තිථිය අරමණු කොට සිදු කරන පූජාවක් ලෙසත් එවන් පිළිමයක් නෙළීමේ අවශ්‍යතාව මතුවන්නට ඇත.
එහෙත් අවශ්‍ය සැලසුම් සකසා දළ ආකෘතිය අනුව ගල් පර්වතය හැඩ කිරීමට උත්සාහ ගැනීමේදී එහි වූ අභ්‍යන්තර දෙදරායාමකින් බුදු පිළිමයේ හිස වෙනුවෙන් වෙන්කළ කොටස කැබැලි වී ගොස් ඇත.
“ධාතුසේන රජතුමා වැව හදන කාලේ නැවතිලා හිටියේ උස්ගල. එතුමාගේ රාජසබා මණ්පය හැටියට සැලකෙන ස්ථානයක නටඹුන් තවමත් උස්ගල කැලේ ඇතුළේ තියෙනවා. කලාවැවේ ගිල්ම වටේ විහාරාරාම දාහතක් ධාතුසේන රජතුමා කරවලා තියෙනවා. ප්‍රධාන විහාරය තමයි උස්ගල. චාමරගල, ගල්ළිඳයාය, ගල්කිරියාගම විහාර මේ විහාර දාහතට අයත්. මෙතන ගල්කුළ දෙදරලා ගියාට පස්සේ තමයි අවුකන ගල්කුල තෝරගෙන එතැන පිළිමය කෙරුවේ. එතැන විහාරයක් නොකෙරුවේ, ඒ පිළිමයට අදාළ විහාරය උස්ගල හැදුව නිසයි.”
අජිත් කුමාර මහතාගේ පැහැදිළි කිරිම අනුව අවුකනට පිළිමයක් මිසෙක විහාරයක් ඉදි නොවූ හේතුව තහවුරු කරගත හැකි විය.
ඊළඟට අප ගියේ කඩවර දේවාලයටය.දහවලට දෙවියෙකු ලෙස හැසිරෙන කඩවර රාත්‍රී යාමයේ යකෙකු ලෙස හැසිරෙන බව අපට කිවේ විජිතපුර විෂ්ණු දේවාලයේ කපුමහතා වන ඩබ්ලිව. එම්. සෙනෙවිරත්න මහතාය. කඩවර යනු පුද දෙනු ලබන ඕනැම දෙයක් පිළිගන්නා, හොඳ හෝ නරක ඕනෑම ඉල්ලීමකට ඇහුම්කන් දෙන, අපේක්ෂා සඵල කරන දෙවියෙකු බව ඔහු පැවැසීය.
කඩවර දෙවියෙකු සහ යකෙකු ලෙස ආකාර දෙකකට හැඳීන්විම ගැන අපට විස්තර කළේ කඩවර දේවාලයේ කපු මහතාය. එය පසුගිය සතියේ සටහන් කළ කඩවර කතාවේම දිගුවකි.
කලාඔය නිම්නයේ සංචාරයක යෙදෙන රජු ඇතුළු පිරිස වෙනුවෙන් දඩයමේ යන වැද්දාට ‘මුවන් සමඟ වනයේ සැරිසරමින් නිධානයක් රකින යකෙකු’ලෙස පෙනෙන මිනිසාගේ සලකුණු අනුව ස්වභාවික තටාකයක් සොයා යන රජු එහි වැවක් කරවීමට තීරණය කරයි. වනගත ප්‍රදේශය හොඳින් දන්නා වනගත මිනිසාට බලතල පවරන රජතුමා ඔහුගේ සහාය වැව් කර්මාන්තය වෙනුවෙන් උපරිමව යොදාගනී. වැවේ ඉදිකිරීම් කටයුතු අවසන් වීමෙන් පසුව එම වැව ආරක්ෂා කිරීමේ කටයුත්ත පවරන්නේද මේ මිනිසාටය. ඔහුට “සෙනෙවිරත්” තනතුරක්ද පිරිනමයි.
රජුගේ කැමැත්ත සහ වැව ආරක්ෂා කිරිමේ වගකීම මේ මිනිසාට ලැබීම ගැන රාජ්‍ය නිලධාරීන් පසුවන්නේ නොසතුටකිනි. එහෙත් නිසි ලෙස වගකීම ඉටුකරන මේ මිනිසා වැව් දියෙන් කුඹුරු අස්වද්දා ප්‍රදේශයම සශ්‍රික කරන්නට මූලිකත්වය දෙයි. කුමන්ත්රණකරුවන් අවස්ථා කිහිපයකම වැව බිඳ දැමිමට උපක්‍රම යොදයි. එහෙත් මේ මිනිසාගේ සූක්ෂම බව නිසා ඒ අවස්ථා වැළකේ. අවසානයේ මේ මිනිසාගේ පුත්‍රයාද කුමන්ත්රණකරුවන්ගේ ගොදුරක් බවට පත්වෙයි.
යෝධ ඇළ තැනීමෙන් අනතුරුව වැව සම්පූර්ණයෙන් පිරවීම සඳහා රාජ්‍ය අනුග්‍රහයෙන් පිරිත් පින්කමක් සූදානම් කරන අතර ඒ වෙනුවෙන් පුර්ණ වගකීම දරන්නේද අපගේ කථා නායකයාය. පිරිත් පින්කම පැවැත්වෙන ස්ථානයේ මැටි ජල මාපකයක් සවිකර එමඟින් වැවේ ජල මට්ටම එම ස්ථානයේ සිටම නිරීක්ෂණයට කටයුතු කළ මේ පුද්ගලයා පිරිතට භික්ෂුන් හැටනමක් වැඩම කරවීය.
මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් කුමන්ත්‍රණකරුවෝ ව්‍යාජ භික්ෂුවක්ද භික්ෂු කණ්ඩායමට ඇතුළු කළහ. ඔහු කුමන්ත්රණකරුවන්ගේ උපදෙස් පරිදි තම සැරයටියෙන් මැටි පාත්‍රයට ගසා කුඩා සිදුරක් සැකසීය. පිරිත් දේශනාව ඇරඹීමත් සමඟ වැසි ඵල ලැබීමද ඇරඹුණු අතර කෘත්‍රිමව ඇතිකළ සිදුර නිසා මැටි භාජනය නොපිරී, වැව පිරී වේල්ල කඩාගෙන වතුර ගලා යන්නට විය. මෙය දැක කිපුණු අදාළ පුද්ගලයා භික්ෂූන් හැට නමම ඝාතනය කර කැඩුණු කලාවැවෙන් වතුර වැටෙන ස්ථානයට පැන දිවි නසාගත්තේය. ඒ තම වගකීම නිසි ලෙස ඉටු නොකිරීමෙන්, පැවැති විශ්වාසය බිඳවැටී රජුට මුහුණ දීමට නොහැකි බැවිනි.
අවසානයේ කලාවැව වෙනුවෙන් කළ සේවයට දෙවියෙකු ලෙසද, භික්ෂුන් ඝාතනය කළ නිසා යකෙකු ලෙසද කඩවර ඇදහිල්ල ව්‍යාප්ත වී තිබේ. ‘කඩවර’ දෙවියන් සේ සලකා කටයුතු කරන ප්‍රදේශවාසීන් දෙවියන් උදෙසා පවත්වන කෝල්මුරවලදී නිතර ඇසෙන මෙම කවිවලින් ද කඩවර දෙවියන් පිළිබඳ විස්තර කෙරේ.
සූට්‌ටි අඹුව කීකරු වී සිටියා දුන් වචනය පිට
දිස්‌ටි වැටී වන්නකුවා බැන්නා කළ අමතක කොට
මුට්ටිවල ද කරලාගෙන පැන්නා මහ ගිරි වනයට
සට්‌ටි වැදී හැදුවා වැව දාසෙන් කඩවර මුල් කොට
ජලකඳ සමුදුර නිති හරවන්නේ
ඇළ දොළ ගංගාවල වැඩ ඉන්නේ
බල තෙද අණසක කෙලෙස කියන්නේ
දළ කඩවර සාමිනි වඩිමින්නේ
කඩවර දේවාලය පසු කළ අපි ඊළඟට නැවතුණේ විජිතපුර හන්දියේ කෑම කඩයකය. දහවල් කෑමෙන් පසුව අප නැවතුණේ යෝධ ඇළේ සොරොව්ව අභියසය. යෝධ ඇළදිගේ පාර පෙන්වන්නට අප සමඟ පැමිණියේ විජිතපුර පදිංචි ඇල්බට් සෝමු නම් සොඳුරු මිනිසෙකි. දෙමළ හා සිංහල හොඳින් දත් ඔහු තෙළිඟු ජාතිකයෙකි. එහෙත් හමුවූ සිංහලයින් බොහෝ දෙනෙකුට වඩා ඉතිහාසය ගැනත්, පරිසරය ගැනත්, ප්‍රදේශය ගැනත් අපට කියන්නට ඔහුට හැකියාවත් ඉස්පාසුවත් තිබුණේය.
රජ සමයේ ඉදිකළ සොරොව්ව නවීකරණය කර ඇත්තේ 1872 වසරේය. ඒ ආණ්ඩුකාර ශ්‍රීමත් ආතර් හැමිල්ටන් ගෝර්ඩ්න් සමයේදීය. ඒබව සඳහන් කළ විස්තරයක් නවීකරණය කළ සොරොව්වෙහි ඉහළ සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් සටහන් කර තිබේ.
කලාවැවේ වේල්ලට පහළින් වූ කට්ටකාඩුව කුඹුක් ගස්වලින් පිරී ඇත. කට්ටකාඩුව යනු අපේ ඉපැරණි වාරි කර්මාන්තයේදී ජල පෙරහනක් ලෙස සැකසූ වනගොමුවකි. වැවක වේල්ලට පහළින් වන තීරුවක් ලෙස පවතින කට්ටකාඩුවෙන් කෙරෙන්නේ වැවේ ජලයේ ඇති කිවුල සහ ලවණ වර්ග උරා ගැනීමයි. කලා වැවේ කට්ටකාඩුව මීටර සියයක් පමණ පළලය.
කට්ටකාඩුවට පහළින් ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජලය සපයන ජල සම්පාදන මණ්ඩලයේ ජල පොම්පාගාරයයි. යෝධ ඇළේ ජලය ප්‍රයෝජනයට ගන්නා මුල්ම අවස්ථාව ලෙස අපට සටහන් කර ගන්නට හැකි වූයේ එයයි.
ඉන්පසුව අපි යෝධ ඇළේ වේල්ල දිගේ පහළට ගමන් ඇරඹුවෙමු. ප්‍රදේශවාසී කාන්තාවන් සිය දරුවන්ද රැගෙන විත් ඇළ ඉහත්තාවෙන් ජලයට බැස ස්නානය කරනුද, රෙදි සෝදනුද පෙනේ. අප ගමන් කරන වේල්ලේ තැනින් තැන දියමංකඩ ඉදිකර තිබේ. වේල්ල දෙසින් ඇළට බසින්නට හැක්කේ මේ දියමංකඩවලින් පමණි. නමුත් එහා ඉවුරෙන් තමන්ගේ ඉඩම මායිමෙන් ඕනෑම තැනකින් වතුරට බසින්නට ගම්වැසියන්ට හැකියාව ඇත.
“මේ තියෙන්නේ යෝධ ඇළෙන් කුඹුරවලට වතුර යන පළමුවෙනි සොරොව්ව” පළමු සොරොව්වත්, එයින් විහිදෙන කෙත් ඇළත් දැකගනිමින් අද දවසේ ලිපිය අහවර කළද යෝධ ඇළ දිගේ යන්නට තවත් බොහෝ දුර ඉතිරිව තිබේ.
යෝධ ඇළ ඉස්මත්තේදී මාරයාට පැරදුණු බන්ධානාගාර නිලධාරීන් ගැන කතාව ලබන සතියේ…
ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ