
මහා පරිමාණයෙන් දුම්වැටි අලෙවි කරන වෙළෙඳ සල් පවා අපත් සමඟ එකතු වුණා. ඒ අය අපෙන් කිසියම් කාලයක් ඉල්ලුවා. අවසානයේ ලාබ පැත්තක දමා රටේ හා සමාජයේ යහපත වෙනුවෙන් සහාය දුන්නා. සහයෝගය වගේම තර්ජන ගර්ජන ද ආවා. එහෙත් අප ප්රයත්නය අත් හළේ නැහැ. දැන් මේ ගම්වල කිසිම තැනක දුම්වැටි අලෙවි කෙරෙන්නේ නැහැ.
හක්මණ, පුහුල්වැල්ල, කිරින්ද ගම්මානවල සුන්දර මනස්කාන්ත පරිසරය තවමත් සුරැකිව ඇත්තේය. සවස් යාමයේ කුඹුර කෙටීමෙන් වෙහෙසට පත්වන ගැමියන් දැන් ගමේ කඩ මණ්ඩියට එක්වන්නේ බුලත් විටකින් සප්පායම් වීමට හෝ කහට කෝප්පයක් තොල ගෑමටය. බොහෝ දේ අභාවයට යන වකවානුවක මේ ගම්මාන ආසන්න ප්‍රධාන නගර දෙකේ කිසිලෙසකින්වත් දුම්වැටි භාවිතයක් නැත්තේය. ඒ පසුපස ඇත්තේ හක්මණ හා කිරින්ද - පුහුල්වැල්ල නගරයන්හි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෙති. ඒ කෙසේ විනිද? කොයි ආකාරයෙන් ද කියන්නට මේ ගමේ ඇත්තෝ හොඳටම දනිති. මන්ද මේ නගරයන් දෙක වෙනස් කළේ මේ ගම්මුන් මිස වෙන කවුරුවත් නොවන නිසාය.
හක්මණ හා කිරින්ද- පුහුල්වැල්ල නගර දෙකට පිවිසෙන ඕනෑම අයෙකුට නිතර නෙත ගැටෙන පුවරු කීපයකි. කඩ මණ්ඩිය පුරාද එවැනි දුම්වැටි පුවරු සවිකර ඇත්තේය. නගරයේ ජනයා රැස්වන බොහෝ ස්ථානවලද මේ පුවරු වෙයි. ඒ පුවරු මගින් ගම්මුන්ට දෙන්නේ අපූරු පණිවුඩයකි.
‘මෙම වෙළෙඳසල සිගරට් විකුණන්නේ නැති අභිමානවත් වෙළෙඳ සලකි. සමාවෙන්න අපි ඔබට මරණය විකුණන්නේ නැත.’ඒ පුවරුවල සටහන් ව ඇති පණිවුඩය නෙත ගැටෙන මොහොතක් පාසා ගම්මුන්ට දුම්වැටියෙන් මිදීමට මිස එයට ඇබ්බැහි වීමට සිත් නොදේ. එහෙත් ගමේ පිරිමින් දුමෙන් මුදා ගැනීමට වෙහෙස ගත්තේ හක්මණ හා කිරින්ද පුහුල්වැල්ල නගරයන්හි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ය. ගමේ වැඩි දෙනෙක්ද නොපැකිළිව ඊට සහාය පළ කළහ. ඒ සඳහා ඔවුන් විඳි දුක් අපමණය.
නගර දෙකේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන් , විදුහල්පතිවරුන් හා සිසු දරු දැරියන් මෙන්ම ගමේ විවිධ බලවතුන් දුම්වැටි ව්‍යසනයට විරුද්ධව පෙළ ගැසුණේ මේ නගරයෙන් හෝ රටට යම් ආදර්ශයක් දීමේ අදිටනෙනි.
මෙවැනි බැරෑරුම් කටයුත්තකට අත ගසන්නට මේ නගරයේ ඇත්තන්ට හේතුවූ කරුණු කාරණා බොහෝ ය. ඒ හැම කාරණාවකටම මුල්වූයේ දරු පරපුරය. වත්මන් සමාජයේ දුම්වැටි වෙළෙඳාම යනු මහා පරිමාණ ව්‍යාපාරයකි. ධන උල්පතකි. දුම්වැටි වෙළෙඳාමේ යෙදෙන්නෝ මෙවැනි ව්‍යාපාර කරනුයේ ඉන් සමාජයට වන හානිය නොදැන නොවේ. අත කට පිරෙන්නට ලැබෙන මුදල් හමුවේ ඔවුහු මේ සමාජ ව්‍යසනය නොතකා හරිති. එසේම අද කුඩා වෙළෙඳ සලක් වුවද දුම්වැටියෙන් තොර නැත. දුම්වැටිය යනු ගමේ කඩ මණ්ඩියේ ඇති එකම වෙළෙඳ සලට පවා ගනුදෙනුකරුවන් අද්දවා ගැනීමේ එක් උපක්රමයකි. මේ නිසාදුම්වැටියෙන් වන හානිය කෙසේ වෙතත් මේ දුම්වැටියට එරෙහිව සටන් කිරීම ලෙහෙසි පහසු පහසු කටයුත්තක් නොවේ. නමුත් කොතරම් බාධා පැමිණියද මේ නගර දෙකේ දැනුම් තේරුම් ඇති ජනතාව අත ගැසුවේ බරපතළ කර්තව්යයකටය.
“අපේ ඉලක්කය වුණේ ගමේ දරුවන්. ගමේ පාසල් දරුවන් පවා දැඩි ලෙස සිගරට් බීමට ඇබ්බැහි වෙලා හිටියා. පාසලේ විදුහල්පතිවරුන්ට වගේම දෙමවුපියන්ට ගොඩාක් වුවමනා වෙලා තිබුණා දුම්වැටියෙන් දරුවන් මුදවා ගන්න. මේ නිසා අපි ළමයි මාර්ගයෙන් තමයි, කඩහිමියන්ගෙන් ඉල්ලීමක් කළේ. ගමේ දරුවන් බුලත් අතක් ගෙන ගිහින් කඩ හිමියන්ගෙන් ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීම වුණේ ‘මාමේ අපි වෙනුවෙන් සිගරට් විකුණන්න එපා. පොඩි ලාභයට එහෙම කරන එක අපේ ජීවිතවලට තර්ජයක්.’කියන එකයි. හැම දරුවෙක්ම කඩයෙන් කඩයකට ගියා. වෙළෙඳ සල් හිමියන් අපෙන් පොඩි කාලයක් ඉල්ලුවා. හක්මන නගරයේ වෙළෙඳසල් 178 ක් තිබුණා. ඒ අය සිගරට් ගබඩා කරගෙන හිටියේ. අපි කාලයක් දුන්නා. ගිය අවුරුද්දේ පොසොන් පෝය දවස වෙද්දි මේ සියල්ලම කියපු විදියට පොරොන්දුව ඉටු කළා. දුම්වැටි විකුණන්නේ නැත කියා බෝඩ් ලෑලි ගහන්න ගත්තා. අන්තිමේදි දරුවන්ම ගිහින් ඒ අයට මල් පොකුරු දීලා සතුට පළ කළා. ගමේ හාමුදුරුවෝ කඩයෙන් කඩයට ගිහින් පිරිත් නූල් බැන්දා.” ගම්මාන දෙකක් දුමින් බේරාගත් මහා මෙහෙයුමේ එක් පුරෝගාමියකු වූ හක්මන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රේමසිරි අබේසේකර මහතා පැවසීය.
මෙම කටයුත්තේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට විවිධ බාධා එල්ල විය. ඉන් සමහරක් මාරාන්තික බලපැම්ය. එහෙත් ඒ සියල්ල කෙටි කාලයකට සීමා විය. රාජකාරියට වඩා තම නගරයන්හි අනාගත පරපුර රැක ගැනීමේ උතුම් කර්තව්‍යයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නොබියව පෙළ ගැසුණහ.
“කිරින්ද පුහුල්වැල්ල ගමේ ග්‍රාම නිලධාරී වසම් 25 ක වෙළෙඳසල් 185 ක් තියෙනවා. අප මුලින්ම මේ ගමේ වෙළෙඳ සල් හිමියන් විවිධ වැඩ සටහන් මගින් දැනුම්වත් කළා. මේ නගරයේ පාසල් 11 ක් තියෙනවා. ඒ පාසල්වල ලොකු පන්තිවල ඇතැම් දරුවන් දුම්පානයට ඇබ්බැහි වෙලා හිටියේ. මේ නිසා විදුහල්පතිවරුන් වගේම දෙමවුපියන් ඉල්ලීමක් කළා මෙය නවත්වා දෙන ලෙස. හක්මණ හා කිරින්ද - පුහුල්වැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල අතර දුර තියෙන්නේ කිලෝ මීටර් 5ක් පමණ. අපි අපේ නගරයේ නවත්වනවා නම් ඒ අය අල්ලපු ගමට ගිහින් දුම්වැටියක් මිලදී ගන්න පුළුවන්. මේ නිසා අපි මේ ගම් දෙකේම සාකච්ඡා කර මේ කටයුත්ත ආරම්භ කළා. අපි මුලදි සිගරට් විකුණන කඩ ගැන සොයා බැලුවා. කඩ 181 ක් තිබුණා. ඒ වන කොට විවිධ හේතු නිසා සිගරට් විකිණීම නවත්වපු කඩ 4 කුත් තිබුණා. අපිට මුලදි අවශ්‍ය වුණේ සිගරට් බොන එකට වඩා විකුණන එක නවත්වන්න. අපි වෛද්‍යවරුන් ගමට ගෙන්නලා දේශන පැවැත්වූවා. අන්තිමේදි මේ අය මගින් අනාගත පරපුර බේරා ගැනීම වෙනුවෙන් නැවතත් දුම්වැටි විකුණන්නේ නැහැ කියලා ප්‍රතිඥාවක් ගත්තා. මේ වෙන කොට ගමේ සමහර කඩවල සිගරට් ලක්ෂ ගණනින් ගබඩා කර තිබුණා.
කිරින්දේ කඩේ කියන්නේ නගරයේ ලොකුම තොග කඩයක්. මේ අයත් විශාල පරිමාණයෙන් ගබඩා කර තිබුණා. ඒ අය අපෙන් මාස දෙකක් කල් ඉල්ලුවා. අවසානයේ ඒ අය ලාභය පැත්තකට දාලා අපත් එක්ක එක්වුණා. නමුත් මේ අතර සමහරු අපිට විවිධ බලපෑම් කරන්න ගත්තා. මරණ තර්ජන ආවා. සිගරට් තහනම් භාණ්ඩයක් නොවන නිසා අපටත් මේ ගැන තහංචි පැනවීමේ යම් යම් සීමා තිබුණා. ඒත් අපි එල්ල වන බාධා තැකුවේ නැහැ. සමහරු බිස්නස් නැහැ කියලා කෑ ගහන්න ගත්තා. ගමේ අය කිව්වා සිගරට් විකුණන කඩයකින් ටොෆියක්වත් ගන්න එපා කියලා. මේ වගේ තහංචි මැද්දෙන් ඒ අයටත් අකමැත්තෙන් කැමැති වෙන්න සිදුවුණා. ඒත් අකමැත්තෙන් කැමැති වුණු අයත් අද ඉන්නේ සතුටින්”
එසේ පැවැසූයේ කිරින්ද පුහුල්වැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. එස්. රත්නායක මහතාය.
රත්නායක මහතා සමඟ මේ කාර්යයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන ටී.ඩබ්ලිව්. කොඩිතුවක්කු මෙන්ම අනුර කෝදාගොඩ (පරිපාලන) යන මහත්වරුද එක්වූහ. ඔවුන්ට ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ග්‍රාම සංවර්ධන නිලධාරීන් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහායද නොඅඩුව ලැබිණි.
ගමේ සියලු කඩහිමියන් මේ සද්කාර්යයට දායක වුවද මේ කටයුත්ත සියයට සියයක්ම සාර්ථකව අවසන් කිරීමට නොහැකිවූ බව මෙම සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කරති. තවමත් ඉතා හොර රහසේ නගරයේ ටිකට් කවුන්ටරයක දෙකක මෙන්ම යම් යම් පුද්ගලයන්ගේ සාක්කුවල තබා ගෙන හොර රහසේ විකිණීම් කරන බව ඔවුහු පවසති. ඔවුන්ට මේ කටයුත්ත සාර්ථක කරන්නට තවත් එවැනි බාධා ඉතිරිව ඇත්තේය.
“අපට මුලදි පොඩි පාඩුවක් දැනුණා. ඉස්සර අපේ කඩේ සිගරට් බණ්ඩලයක් විකිණෙනවා. නමුත් ටිකෙන් ටික අපි මේකට පුරුදු වුණා. සිගරට් ඉල්ලපු අය පස්සේ ටොෆියක්, විටක් ගන්න පුරුදු වුණා. දැන් ගමේ අයත් පුරුදුයි. අපටත් සතුටුයි” කිරින්ද නගරයේ පිනිමුතු හෝටලයේ හිමිකරුවන එම්. විජේතුංග මහතා පැවසීය. මේ වැඩසටහන ක්‍රියාත්මක වෙද්දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දුරකතනවලට නිමක් නොවීය. විවිධ පැමිණිලි ඒ අතර විය.
“අපි නැවැත්තුවා. ඒත් අර කඩයේ විකුණනවා. දැන් අපේ කඩයට සෙනඟ එනවා අඩුයි.” ඒ එක් පැමිණිල්ලකි. එක් කඩයක සම්පූර්ණ ආදායම පැවැතුණේ සිගරට් විකිණීමෙනි. ඔවුන්ට එය නැවැත්වීම ගැටලුවක් විය. “සාධාරණ දෙයක් විකුණමු” මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කෙතරම් පැවසුවද ඔහු දුම්වැටි විකිණීම නැවැත්වූයේ නැත. අවසානයේ ඔහුට සත්‍යය අවබෝධ විය.
මේ සද්කාරයට ගමේ විහාරස්ථානයන්හි භික්ෂුන්වහන්සේගෙන් ලැබුණේ අනුපමේය සහායකි. ආශිර්වාදයකි.
“අපි ගමේ කඩයක් කඩයක් පාසා ගියා. පිරිත් නූල් බැඳලා කඩ හිමියන්ට ආශිර්වාද කළා. දැන් හැමදේම හොඳයි. තුන් පොළක් හැරුණු විට නගරයේ කිසිම තැනක සිගරට් විකුණන්නේ නැහැ. ඒ තුන්පොළේත් ළඟඳීම අලෙවිය නවතීවියැයි අපට විශ්වාසයි. එදා ඇතැම් පාසල් දරුවන්ගේ අතේ රැඳුණු සිගරට්ටුව අද නැහැ” එසේ පවසන්නේ කිරින්ද පුහුල්වැල්ල පූර්වාරාම පිරිවෙනේ කළුබෝවිටියන කාශ්‍යප හිමිය.
දැන් මේ නගර දෙකේ තරුණයෝ තැනින් තැන රස්තියාදු නොගසති. දුම්වැටි උරමින් තැනින් තැන කල්ලි නොගැසෙති. සවස යාමය වෙද්දී ඔවුන් එකතු වන්නේ ගමේ වෙල්යායටය. නැතිනම් ක්‍රිඩා පිටියටය.
“මේ හැම දේම මුල්වෙලා කළේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහවරුන්. අපි අපේ සහයෝගය මේ වැඩ පිළිවෙළ සඳහා ලබා දුන්නා. දුම්වැටියට වැය කළ මුදල දැන් ඉතුරුයි. එදා ගෙන ගියාට වැඩි දෙයක් අද පිරිමි අය ගෙදරට ගෙනියනවා. මේ වගේ හැම ගමක්ම එක්වුණොත් ලොකු දෙයක්” හක්මන සහකාර ප්‍රාදේශීය ලේකම් කේ. ජී. ඩී. අනෝජා මහත්මිය ගමේ විපර්යාසය ගැන පවසන්නේ ආඩම්බරයෙනි.
හක්මණ කිරින්ද යන ගම් දෙක මේ කර්තව්‍යට අත ගැසුවේ රජයේ ප්‍රතිපත්තියට අනුව පසුගිය මස වන විට දුම්වැටි අලෙවියෙන් තොර නගර හා ග්‍රාමීය ප්‍රදේශ දිවයින පුරා ඇති කිරීමේ වැඩ සටහනට දායක වීමක්ද වශයෙනි.
පසුගිය මස වන විට දුම්වැටි අලෙවියෙන් තොර නගර හා ග්‍රාමීය ප්‍රදේශ 163 ක් දිවයින පුරා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙයි. මෙම ප්‍රදේශ 163 ට දිස්ත්‍රීක්ක 25 ම ආවරණය වන බවත් එයිනුත් මිහින්තලේ, අගුණකොළපැලැස්ස, නොච්චියාගම, අලුවිහාරේ, පස්සර, පාදෙණිය, පදවිය, කරෛයිනගර් මෙන්ම කන්කසන්තුරේ යන පළාත්වල මෙය සාර්ථකව ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
ඒ අතරින් හක්මණ සහ කිරින්ද පුහුල්වැල්ල සුවිශේෂි ඉලක්ක සපුරා ගෙන ඇත්තේය. මේ වැඩසටහනට යාපනය දිස්ත්‍රික්කයේ නගර 22 ක්, මාතර දිස්ත්‍රික්කයේ නගර 17 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගර 16 ක් ඇතුළත් වන අතර මේ වසර අවසානය වන විට දුම්වැටිවලින් තොර නගර සංඛ්‍යාව 200 දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය බලාපොරොත්තු වෙයි.
දුම්වැටි නොදකින මේ ගමේ දුම්වැටිෙයන් නිකුත්වන දුමක් හෝ නොනඟින්නට මේ ගම්මු අද වගබලා ගනිති. ඔවුන්ගේ එකම අපේක්ෂාව ගමේ හා නගරයේ දරු පරපුර රැක ගැනීමය. එහෙත් ඔවුන්ට කරන්නට තව බොහෝ දේ ඇත්තේය. ඒ මේ ආ ගමන සාර්ථකව ඉදිරියට ගෙන යෑමය. එවිට ඔවුහු ජය ලැබුවෝ වෙති.