
රට වෙනුවෙන් වැඩ කළත් සීයා රැස්කර ගත් දෙයක් නැහැ. සීයා අන්ත දුප්පත් වුණා.
මේ උදාවන්නේ පොතපත ගැන අන් කවරදාටත් වඩා පාඨක අවධානය යොමු වන සාහිත්‍යය මාසයයි. මේ සමයේ අපේ මතකයට නැගෙන සහිත්යකරුවන් බොහොමයකි. ඒ අතුරින් ජාතික නිදහස මෙන්ම සිංහල සාහිත්‍යයට සිංහල නවකතාවට නව මානයක් ගෙන එන්නට කටයුතු කළ, සිංහල නවකතාවේ පියා ලෙස හඳුන්වනු ලබන පියදාස සිරිසේන වියතාණන් අමතක කළ නොහැකිය. එතුමන්ගේ 143 වන ජන්ම දින සංවත්සර සැමැරුම පසුගිය අගෝස්තු 31 වැනි දා ට යෙදී තිබිණි. පියදාස සිරිසේනයන්ගේ මුනුපුරකු වන ප්‍රවීණ පරිපාලන නිලධාරියකු මෙන්ම ලේඛකයකු ද වන ජගත් සවනදාස මහතා සමඟ කෙරෙන මේ කතාබහ ඒ නිමිත්තෙනි.
• පියදාස සිරිසේන වියතාණන් සමඟ ඔබගේ ඇති ඥාතීත්වය කුමක්ද?
පියදාස සිරිසේන කියන්නේ මගේ මවගේ පියා. සීයා මිය යන විට මම හුඟක් පුංචියි. මට අවුරුදු හතක් අටක් වගේ ඇති. අපි කුඩා කල ජීවත් වුණේ සීයා සමඟයි. ඒ නාවින්නේ සේනානි කියන නිවෙසේ. සීයත් එක්ක තමයි මගේ කුඩා කාලය ගෙවී ගියේ. ඒත් සීයා ගැන විශාල මතකයක් මගේ සිතේ නැතත් සීයා සම්බන්ධයෙන් පුංචි පුංචි සිදුවීම් මගේ මතකයේ තිබෙනවා. ඒ වගේම මගේ ආච්චි අම්මා සීයා ගැන කියපු දේවල් තවමත් මතකයේ තිබෙනවා.
සවනදාස මහතා පියදාස සිරිසේන නම් වූ ඒ අපූර්ව සාහිත්‍යධරයා වූ තම මුත්තණුවන් සමඟ ගෙවුණු අතීතය සිහිපත් කරමින් අප සමඟ කතා බහට මුල පිරුවේ එලෙසයි.
• එතුමන් ඔබේ මවගේ පියා ?
අපේ සීයාට දරුවෝ නව දෙනෙක් හිටියා. ඒ අතරින් තුන්වෙනියා හෝ හතර වෙනියා තමයි මගේ අම්මා. සීයා තමයි සිංහල ජාතිය පුවත්පත මුද්‍රණය කළේ. ඒ ප්‍රෙස් එක තිබුණේ මරදානේ. එය පටන් ගෙන තිබෙන්නේ 1921 සුද්දා රට පාලනය කරන කාලෙ. මරදාන කියන්නේ ඒ කාලයේ සිංහල ජාතිය පිබිදවීමේ කේන්ද්‍රස්ථානයක්. අද වගේම එදා පොත්පත් මුද්‍රණය වුණේ මරදානෙදි.
• එතුමන්ගේ කුඩා කාලය ගැන ඔබ දන්නා තොරතුරු මොනවාද?
1875 අගේස්තු 31 දා තමයි සීයා ගාල්ලෙ ඉඳුරුවට නුදුරු අතුරුවැල්ල ගමේ ඉපදිලා තිබෙන්නේ. සීයගේ තාත්තා තමයි වැරැණියගොඩ ගමගේ එමානිස් අප්පුහාමි. අම්මා දොව්වො හාමිනේ. සීයාට සහෝදර සහෝදරියන් තුන්දෙනයි. පවුලේ බාලය තමයි අපේ සීයා. සීයා බාලකාලයේදීම එතුමන්ගේගේ තාත්තා මිය ගිහින්. ඉන්පසු සීයාගේ වැඩිමහල් සහෝදරයින් තමයි සීයට උගන්වල තියෙන්නේ.
• පියදාස සිරිසේනයන්ගේ අධ්‍යාපන කටයුතු සිදුවුණේ කොහේද?
මගේ ආච්චි අප සමඟ පවසා ඇති අන්දමට මගේ සීයා ‘අ’යනු ‘ආ ’යනු කියවා තිබෙන්නේ වරාහේනේ ස්වභාෂා පාඨශාලාවෙන්. ඉන්පසුව ඉඳුරුවේ ජී. එස්. ද අල්විස් ගුරුතුමාගෙන් සිංහල භාෂාව ඉගෙනගෙන තිබෙනවා. සීයා ආගම ධර්මය වගේම ඉංග්‍රීසි භාෂාවත් මනාව හදාරපු කෙනෙක්. බෙන්තොට ලන්සි පල්ලියෙන් වගේම අලුත්ගම බ්‍රොහියර් පාසලෙන් ඉංග්‍රීසි ඉගෙන ගත්තලු. යාලේගම ජයසුමනාරාධිපතිව වැඩ විසූ සුමනතිස්ස හිමිගෙන් බෞද්ධාගම ඉගෙන ගත්තා. ඒ වගේම සීයා කාව්යකරණයටත් දක්ෂයි. එය බෙන්තොට ඇල්බට් සිල්වා මහතාගෙන් ඉගෙන ගෙන තිබෙනවා.
• එතුමන් ගාල්ලේ සිට කොළඹට පැමිණෙනවා?
ඔව්. ඒ රැකියාවක් බලාපොරොත්තුවෙන්. ඒ වෙන කොට සීයට අවුරුදු 20ක් විතර ඇතිලු. ලී බඩු සාප්පුවක ලිපිකරුවෙක් විදිහට සේවය කරන්නට තමයි එතුමන් පැමිණ ඇත්තේ. නමුත් එතුමන්ගේ උගත්කම අනුව ඔහු එවකට අර්වින් ගුණවර්ධනයන් සංස්කරණය කළ 'සිතුමිණ' සඟරාවට ලිපි ලියා තිබෙනවා. ඒ අනුව පසුකලෙක මේ සඟරාවේ උප සංස්කාරක ධූරයේත් කටයුතු කරන්නට සීයාට අවකාශ ලැබෙනවා.
ඉන්පසුව ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 'සරසවි සඳරැසට' සම්බන්ධවෙලා එහි උපකර්තෘ, කර්තෘ පදවිය දරනවා.
• ඔහු රචනා කළ පොත්පත් ඔබ කියවා ඇති?
ඔව්. අද ඒවා හොයා ගන්නත් නැහැ. 'වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස හා රොසලින් (1904), අපට වෙච්ච දේ (1906), මහා වියවුල (1909), තරුණියකගේ ප්‍රේමය (1910), අෂ්ට ලෝකධර්ම චක්‍රය (1916), ඩිංගිරි මැණිකා හෙවත් වික්රමපාලගේ පළමුවැනි වික්‍රමය (1918) ඉන් කිහිපයක් පමණයි. ඩිංගිරි මැණිකා නවකතාව චිත්‍රපටයක් ලෙසත් තිරගත වුණා.
• සිංහල ජාතිය වෙනුවෙන් ඔහු පෙරමුණ ගත් වියතෙක්?
මේ කාලයේදී සිංහලයන්ගේ ජාතිකාභිමානය හා ස්වදේශානුරාගය අවදි කරන්නට තම සුරතේ වූ පන්හිඳ අවියක් කරගන්නවා. ඒ යුගයේ අවශ්‍යතාවක් ඉටුකරන්නටයි. ඒ වෙනුවෙන් සීයා 'ඔවදන් මුතුවැල', 'දම්පල් සිරිත' වගේ පද්‍යාවලි රචනා කළා. මට මතකයි එහි එන කවියක්.
'සඳේ මෙන් පතල පැරකුම් දුටු ගැමුණු
උදේ සවස මුනිඳුට පසු සිහි කරනු
විදේ සින්ගෙ දුසිරිත් පිළිකුල් කරනු
මෙදේ කරන තුරු ජාතිය නැත දියුණු'
• සිංහල නවකතාවේ පුරෝගාමියා ඔහුයි?
1904 දෙසැම්බර් 27 වැනි දා සිට 'සරසවි සඳරැස' පුවත්පතේ 'වාසනාවන්ත විවාහය' නමැති ප්‍රබන්ධ කතාව එතුමා කොටස් වශයෙන් රචනා කළා. එය අවසානයේ ලංකාවේ පළමු නවකතාව ලෙස ප්‍රකාශයට පත් වුණා. ඉන්පසුව 'බෞද්ධයා', පුවත්පතින්ද අගනා මෙහෙවරක් සමාජයට ඉටු කළා.
• ඔබේ මිත්තණිය ගැනත් දැන ගන්නට කැමැතියි?
සීයාට මගේ ආච්චි අම්මා මුණගැහී තිබෙන්නේ මොරටුවේදි. ඒ ඔහු සේවය කළ ලී බඩු සාප්පුවට අවශ්‍ය බඩු භාණ්ඩ ගෙන එන්නට ගිය මොහොතකයි. ඇය මහබෙත්මගේ දෝන සිසිලියා පෙරේරායි. විවාහයෙන් පසුව කැටවලමුල්ලේ පදිංචි වී පසුව මරදානේ ස්ටැන්ලි පෙදෙසේ 'ඇල්කොට්’ නිවෙසේත් අනතුරුව නාවින්නේ 'සේනානි 'නිවෙසේත් ඔවුන් වාසය කළා.
• සීයාගේ සමකාලීනයන් ගැන ඔබේ මතකය මොන වගේද?
සීයාගේ සමකාලීනයන් හුඟ දෙනෙක් හිටියා. ඒ අතර පැවිද්දන් වගේම ලංකාවේ ප්‍රධාන පෙළේ මහා පුරුෂයින් සීයා නිතර ඇසුරු කළා. මට මතකයි සීයා අසනීප වී සිටි කාලයේ ඩී. එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ඩී. ආර්. විජේවර්ධන වගේ ප්‍රසිද්ධ ජන නායකයින් නිතරම සීයා මුණගැහෙන්නට නාවින්නේ නිවෙසට ආවා. ගියා. සීයා අසනීපයෙන් සිටිත්දී සීයාගේ කාමරේට ගිහින් ඇඳ උඩ ඉඳගෙන තමයි සීයා සමඟ ඔවුන් කතාබහ කළේ. ඒ කතාබහ කළේත් මේ රට ජාතිය ගැන හා සිංහල බෞද්ධයන් ගැනයි. විශේෂයෙන්ම ඒ කාලෙ නිදහස් සටන ගැන කතාබහ කළ බවත් ආච්චි මට කියා තිබෙනවා.
• අමද්‍යප ව්‍යාපාරයේ පුරෝගාමි චරිතයක් ඔහු?
එතුමා සිංහල ජාතිය පුබුදු කිරීමට අමද්‍යප ව්‍යාපාරය වෙනුවෙන් කටයුතු කළ එෆ්ආර්.සේනානායක, ඩී.බී.ජයතිලක, ඩී. ඇස් සේනානායක, ඩබ්. ආතර් ද සිල්වා, මාටිනස්. සි. පෙරේරා වැනි ජාතික විරුවන් සමඟ ගමින් ගමට ගොස් සිංහල ජනතාව දැනුම්වත් කළා. මේ වාගේ කටයුතු නිසා බ්‍රිතාන්‍ය ජාතිකයන් සීයා නම් කර තිබුණේ මහා භයානක පුද්ගලයෙක් ලෙසයි. ඒ වගේම සීයාට සිරබත් කන්නත් සිදු වුණා. ඒ ප්‍රබල ලෙස ජාතික ව්‍යාපාරයේ යෙදුණු නිසා.
• ඔබේ සීයා ගැන මොකද හිතෙන්නේ?
මම උපන්නේ 1940 දියි. මට මතකයි සීයා හුඟක් අසනීපයෙන් හිටියේ. ඒ කාලෙ ලංකාවට නිදහස ලබා දෙන්න වගේම සිංහල ජාතිය වෙනුවෙන් සීයත් පෙරමුණගෙන හිටියා.
සීයා රටට දැයට හුඟක් ආදරය කළා. සේවය කළා. එත් ඒ වෙනුවෙන් රැස්කර ගත් දෙයක් නැහැ. එතුමා දරිද්‍රතාවේ අඩියටම වැටුණා. ඒත් රටට විශාල සේවයක් කරලා. අද එවන් විරුවන් ගැන කතාබහ වෙනවා අඩුයි. ඒ ගැන කනගාටුයි. පියදාස සිරිසේන කියන්නේ කවුද කියලා අහන තැනට අද සමාජය පත්වෙලා තිබෙනවා. ඒකයි ලොකුම කනගාටුව.
• ඔබ ගැන හැඳින්වීමක් කළොත්?
මං ඉගෙන ගත්තේ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ. උසස් පෙළින් පසු වෘත්තීයමය අංශයකට යොමු වුණා සමාගම් ලේකම්වරයකු ලෙස. 1969 දී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සහකාර ලේකම් ලෙසත් එම සඟරාවේ කතුවරයා ලෙසත් කටයුතු කළා. අවසානයේ එහි කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස පත්වී පසුව ආර්ථික උපදේශකවරයකු ලෙසත් වැඩ කළා. ආර්ථිකය පිළිබඳ පර්යේෂණ කෘති රචනා කරන්න ලැබුණා. ඒ සම්බන්ධයෙන් මට ජාත්‍යන්තර සම්මාන රැසක් හිමි වුණා.
විශේෂයෙන්ම ජාත්‍යන්තර සංවිධානවල මෙරට නියෝජිතයා ලෙසත් කටයුතු කරන අතරම පිලිපීනයේ මැග්සේසේ සම්මාන මණ්ඩලයේ මෙරට නියෝජිතයා වී සාම සම්මාන වෙනුවෙන් මෙරට කීප දෙනකුම නම් කිරීමට අවස්ථාව ලැබුණා.
• ඔබත් ලේඛකයෙක්?
ඔව්. මමත් පොත් කිහිපයක්ම රචනා කළා. ඒ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ වගේම මගේ පුතාත් ලේඛනයට දක්ෂයි. ඔහු 2017 වසරේ හොඳම ඉංග්‍රීසි නවකතාකරු ලෙස සම්මාන ලැබුවා. සීයාගේ ලේඛන කලාව ඉදිරියට ගෙන යන්නට ලැබීම වාසනාවක්.
ජායාරූප- තුෂාර ප්‍රනාන්දු