
මේ කියන්නේ නවසිය අසූ ගණන්වල කතාවකි. මේ කාලයේ ලංකාව තම පසුගාමිත්වයේ හැව අරිමින් සිටියාය. ගාමිණි දිසානායක මහවැලි සංවර්ධන වැඩ පිළිවෙළ හරහා අපේ වාරි කර්මාන්ත ඉතිහාසයේ වපසරිය පුළුල් කරමින් සිටියේය. හිසට සෙවණක් අහිමි මිනිසුන් සොයමින් ආර්.ප්‍රේමදාස ගමින් ගමට යමින් සිටියේය. මේ කාලයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කඩිගුලක් වාගේය. ගොඩ ගැහුණු වැඩ ප්‍රමාණය, සිදුවූ අඩුපාඩු සහ අතපසුවිම් ගැන ඉහළින් එන තර්ජන හමුවේ නිලධාරින් සිටියේ බිරන්තට්ටු වෙලාය. මුලතිව් දිස්ත්‍රික්කයේ උද්ගතව පැවති බරපතළ ගැටලුවක් නිසා මා ප්‍රධාන කාර්යාලය වෙත කැඳවා තිබිණ. මගේ ප්‍රධානියා වූ ජාතික නිවාස සංවර්ධන අධීකාරිෙය් සභාපති ඩන්ස්ටන් ජයවර්ධන මහතාට මම කරුණු පැහැදිලි කරමින් සිටියෙමි. මුලතිව් ගැටලුව පාර්ලිමේන්තුවේදී රජය පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක් බවට ගොඩ නැඟී ඇති බව ඔහු මට පැහැදිලි කළේය. අප දෙදෙනාගේ සාකච්ඡාව දිගු වෙලාවක් පැවතිණ. මේ අතර, ප්‍රධාන කාර්යාලයේ විවිධ නිලධාරිහු ඩන්ස්ටන් ජයවර්ධන මහතා හමුවිමේ අපේක්ෂාවෙන් පෙළ ගැසී සිටියහ. ඔවුන් හැම දෙනෙකු අතම පූජා වට්ටි මෙන් ගෞරවයෙන් ඔසවා ගත් ලිපිගොනු තිබෙනු දක්නට ලැබිණ. කිහිප වරක් ඔවුන් දෙස බැලූ ජයවර්ධන මහතා මා ඇමතීය.
“අපි මේ කීප දෙනෙකු යවලා ඉඳීමු.” එසේ කී ඔහු පෝලිමට අතින් සන් කළේය.
පෝලිමේ මුලින්ම සිටි පරිපාලන නිලධාරි රාජා සිය ගොනුව දිගහැර මේසය මත තැබීය. ජයවර්ධන මහතා උපැස් යුවළ හරහා රාජා වෙත ගැඹුරු බැල්මක් හෙළීය. රාජා යනු ආයතනයේ විනය සහ පිරිස් කටයුතු භාර කළමනාකරු විය.
“මොනවා කළත් හොරකම් නම් නොකර ඉන්න බැහැ” ලිපි ගොනුව කියවූ ජයවර්ධන මහතා එසේ කියා ගැඹුරු හුස්මක් පිට කරමින් ලිපි ගොනුවේ සටහනක් තබා කලකිරුණු ස්වරූපයෙන් ගොනුව රාජා වෙත තල්ලු කළේය. ලිපි ගොනුව රැගත් රාජා ආපසු යන්ට හැරුණා පමණකි.
“රාජා ඔහොම ඉන්නවා කවුද අයිසේ ඔය කාලකන්නියා.” ඒ ඩන්ස්ටන් ජයවර්ධන මහතාගේ භාෂාවය. ඔහුට කේන්ති ගියොත් ගමේ භාෂාව ඇසිය හැකිය. නැවත පැමිණ සිටගත් රාජාගෙන් ජයවර්ධන මහතා ප්‍රශ්න කිරීම ආරම්භ කළේය.
“රාජා මේ වැඩ අස්සේ ඔය වාගේ ඒවා උස්සන් එන්න එපා.” එසේ කී ජයවර්ධන මහතා නැවත කතා කළේය.
“කවුද ඔය මිනිහා?”
“සුළු සේවකයෙක්” රාජා පිළිතුරු දුන්නේය.
“මොකක්ද තනතුර?” ප්‍රශ්න වැලකි.
රාජා පැකිළෙමින් කතා කරන්නට විය.
“සර්, පියන් කෙනෙක්”
“මොනවාද හොරකම් කළේ?”
“ලිපි ද්‍රව්‍ය”
“අයිසේ ලිපි ද්‍රව්‍ය කීවාම කොච්චර තියෙනවාද? මොනවද අරන් යනකොට අල්ලා ගත්තේ”
“හාෆ් ෂීට්”
“කීයක්ද?”
“හයක්” රාජා ගොනුව බලාගෙන උත්තර දිගෙන යයි. ඩන්ස්ටන් ජයවර්ධන මහතාගේ ස්වරූපය තිගැස්සෙනවාක් මෙන් වෙනස් වෙනවා මට දැනිණ.
“යකෝ හාෆ් ෂීට් හයකට මිනිහෙකුගේ වැඩ තහනම් කරනවා. එහෙමද?”
රාජා සීරුවෙන් බලා සිටියි.
“ඔය මිනිහා හාෆ් ෂීට් හයක් අරන් ගිහින් විකුණලා අරක්කු බොන්ඩද? ඕවා ගෙනියන්න ඇත්තේ ඉස්කෝලේ යන ළමයාගේ උවමනාවකට. තේරුණාද මම කියන දේ”
“ඔව් සර් මිනිහාගෙන් ප්‍රකාශයක් ගනිද්දීත් කිව්වේත් ළමයාට දෙන්න අරන් ගියා කියලා” රාජා කතා කරයි.
“ඉතින් බලනවා අයිසේ නීතියක් තියනවා තමයි. ඒකට අපි ඇක්ෂන් ගන්නත් ඕනැ තමයි. ඒ වුණාට ඒ අතර කොච්චර දේ කල්පනා කරන්න තියෙනවාද? දෙනවා ඔය ෆයිල් එක” කියා රාජා දෙසට අත දිගු කළේය. ජයවර්ධන මහතා අතට ආපසු ලිපි ගොනුව ලැබිණ. නැවත ගොනුවේ තම අත්සන තැබූ තැන ඔහු කපා දැමීය. ඉන්පසුව යමක් ලියා ගොනුව ආපසු රාජාට දුන්නේය.
“මේක අරන් යනවා. මම වැඩ තහනම් කරන නියෝගය අවලංගු කළා. සත පහක් දඩ ගහලා තදින් අවවාද කරලා ලියුමක් නිකුත් කරනවා. අයිසේ අපි වැඩ කරන්නේ මිනිස්සු එක්ක. මෙතනින් පිටවෙලා ගියාම ඒ මිනිසුන්ගෙන් රැකෙන කී දෙනෙක් ඉන්නවාද? අපිට මිනිස්සු දොට්ට දාන්න ලෙහෙසියි. ඊට පස්සේ ඒ මිනිසුන්ට ජීවත් වෙන්න අමාරුයි. සමහර විට ඒ මිනිහාට ඔය කොළ හතර පහ පොත් සාප්පුවකින් ගන්න යන්න වෙලාව මදි නොවුණා වෙන්න බැරි නැහැ. අපි මෙහෙම දෙයක් ගැන ගැඹුරෙන් හිතන්න ඕනැ අයිසේ” සියල්ල අසා සිටි රාජා හිස පහත් කර යන්ට ගියේය.
“මොකද හිතෙන්නේ” එතෙක් නිහඬව සිටි මගෙන් ජයවර්ධන විමසීය.
“මම නම් සර් ගෙන්නලා හොඳ දෙකක් කියලා එළවා ගන්නවා. වේවැල ගන්නේ බැරිම තැන.”
“ඒක තමයි. අපට වැඩ කරන මිනිසුන් පරිස්සම් කර ගන්න එක අපේ වගකීමක්” එසේ කී ජයවර්ධන මහතා නැවත අපේ සාකච්ඡාව ආරම්භ කළේය.
චන්ද්‍රසිරි සෙනෙවිරත්න