
වයස අවුරුදු 60ක් වන තුරු රටට සේවය කර විශ්‍රාම යන සේවකයන්ට ජීවිතයේ සැඳෑ සමය යහපත්ව දිවි ගෙවීම පිණිස විශ්‍රාම වැටුපක් ලබා දීම ආරම්භ කෙරුණේ 1815, එනම්: සුද්දාගේ කාලයේ සිටමය. 1901 වසරේදී එය ලංකාවේ නීතිගත කෙරුණු අතර, 1947 අංක 02 දරන ආඥා පනතේ 02 වැනි වගන්තියෙන් විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයක්ද ස්ථාපිත කෙරුණේ විශ්‍රාම වැටුපේ අවශ්‍යතාව නිසාමය. එහෙත් 1948 වසරේ නිදහස උරුම වීමෙන් පසු විශ්‍රාම වැටුප් හිමි අයට ඒවා ලබාගැනීමේදී අද දක්වාම වසර 70ක්ම විවිධ දුක්ගැහැටවලට මුහුණ දීමට සිදුව ඇත. මේ තත්ත්වය කාගේ වරදකින් සිදු වන්නේද යන්න අපි නොදනිමු. කෙසේ වුවත් විශ්‍රාම වැටුප ලබාගන්නට කාලයක් තිස්සේ රාජ්‍ය සේවකයන් විඳිනා දුක අපි හොඳින් දුටුවෙමු. මේ තත්ත්වයට පැවැති විවිධ රජයන් විසින් විසඳුම් දුන්නද තවමත් නිසි ක්‍රමවේදයක් විශ්‍රාම වැටුප් සඳහා සැකසී නැත.
රාජ්‍ය සේවකයා විශ්‍රාම යන අවස්ථාවේදීම එම විශ්‍රාම වැටුප සකස් කිරීමේ ක්‍රමවේදයක් හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් සකස් කළද ඇතැම් නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම් නිසා මේ ක්රමවේදයද තවමත් නිසි ලෙස සැලැසී නැත.
ඇතැම් විට විශ්‍රාම වැටුප් හිඟ මුදල් ලබාගැනීමට විශ්‍රාමිකයා දහ-දොළොස් වතාවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවටත් බඩ ගෑ යුතුය. එතැනදී වුවද මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නියමාකාර සැලකිල්ලක් ලැබෙන්නේ නැත. තම-තමන්ගේ වරද කාට හෝ පවරා බෝලය එහාට-මෙහාට දමා ෂේප් වීම අපේ බොහෝ නිලධාරීන්ගේ සිරිතය. ඔවුන්ට තමන් විශ්‍රාම යන බව අමතකව කටයුතු කරන බවක්‍ද පෙනී යයි. මේ ගැන ලියන්නට අපට හිතුණේ රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් හා රාජ්‍ය සේවාවට බොහෝ සම්බන්ධ විශ්‍රාමික රජයේ අතිරේක ලේකම්වරයකුට මුහුණ පාන්නට වූ සිදුවීමක් හරහාය.
මේ ලේකම්වරයා වසර 35ක පමණ සේවා කාලයකින් පසු 2007 වසරේ විශ්‍රාම ගියේය. 2007 වසරේ විශ්‍රාම ගිය ඔහුට 2017 වසරේ සිට සම්පූර්ණ විශ්‍රාම වැටුප හිමි විය යුතුව තිබිණි. එහෙත් ඔහුට එසේ සම්පූර්ණ විශ්‍රාම වැටුප නොලැබිණි.
ඒ සම්බන්ධව ඔහු තමාට විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු සිදු කරන තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවස්ථා කිහිපයකදී දුරකථනයෙන් විමසන ලද නමුත් පැහැදිලි පිළිතුරක් ලැබුණේ නැත. එම නිසා ලියාපදිංචි තැපෑලෙන් ලිපියක්ද යොමු කරන ලදි. මාස 5ක් ගත වුවද පිළිතුරක් නොලැබිණි. පසුව එම විශ්‍රාමික අතිරේක ලේකම්වරයා විසින් මේ සම්බන්ධව තමන්ට විස්තර නොදීම සම්බන්ධව තොරතුරු දැනගැනීමේ පනතට අනුව අදාළ සියලු තොරතුරු ලබා දෙන්නැයි තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලිඛිත ඉල්ලීමක් කරන ලදි. එය මඟහැර යෑමට නිලධාරීන්ට හැකියාව ලැබුණේ නැත. මාස 5ක් තිස්සේ නිදා සිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට ඇස් ඇරුණේ විශ්‍රාමික අතිරේක ලේකම්වරයා තොරතුරු පනතින් දමාගැසූ පසුය. ඒ අනුව අදාළ විශ්‍රාමිකයාට තොරතුරු නිලධාරි (සහකාර ප්‍රාදේශීය ලේකම්) – (තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ) ලිපියක් එවමින් දන්වා ඇත්තේ ලිපිය සම්බන්ධව කටයුතු කිරීමේදී ප්‍රමාද දෝෂයක් සිදුව ඇති බවයි.
එමෙන්ම මේ සම්බන්ධව දිගින් දිගටම පැමිණිලි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දක්වා ගෙන යෑමට විශ්‍රාමික නිලධාරි මහතා කටයුතු කළ නිසා කොළඹ දිස්ත්රික්වරයාගේද ඇස් ඇරිණි. එසේ වුවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිදු වූ මේ අවනඩුව ගැන කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් සොයා බලා වාර්තා කරන ලෙස දන්වා ඇත්තේ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්වරයාටමය. එය නීතිමය ක්‍රමවේදය විය හැකිය. එහෙත් එය හොරාගේ අම්මාගෙන් පේන අහනවාටත් වඩා අගනා කතාවකි!
මේ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හා අනෙකුත් ආයතන වෙත මේ සිදුවීම ගැන පැමිණිලි ඇදී යෑම නිසා මේ වන විට අදාළ අතිරේක ලේකම්වරයාට සම්පූර්ණ විශ්‍රාම වැටුපම හිමිව ඇති නමුත් අද වන තුරුත් ඔහුට අඩු විශ්‍රාම වැටුපක් ගෙවීමට හේතුව දන්වා නැත. තොරතුරු පනතට අනුව එය අනිවාර්යෙන් දැන්විය යුතුය.
එය අත්වැරැද්දක් හෝ පරිගණක දෝෂයක් හෝ වීමටද ඉඩ ඇත. එසේම යම් අයකු හෝ කණ්ඩායමක් විසින් හිතා-මතාම සිදු කරන ලද්දක් හෝ වීමටද ඉඩ ඇත. මෙහිදී කුමක් සිදු වුවත් අදාළ විශ්‍රාමික අතිරේක ලේකම්වරයාට ඒ ගැන සොයා-බලා කටයුතු කිරීමට දැනුමක් තිබිණි. එහෙත් මෙවැනි සිදුවීම් දස-දහස් ගණනාවක් සිදු වන බවට අපට වාර්තා වූයේ ඒ අතිරේක ලේකම්වරයා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විමර් ශන අංශයේ සේවය කළ අයකු නිසාය. ඔහු පවසන්නේ තමා එහි සේවය කරන කාලයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධයෙන් පැමිණිලි දහස් ගණනක් ලැබුණු බවත් එයින් පැමිණිලි 80%ක්ම විශ්‍රාම වැටුප් ගැටලු සම්බන්ධව බවත්ය. එයින්ද වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාම වැටුප් ගැටලු ගැන වීමද මෙහි විශේෂත්වයකි.
එයටද එක් හේතුවක් ඇත. ඒ මෙරට වැඩිම විශ්‍රාමිකයන් ඉන්නා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතුරින් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයද මුලින්ම තිබෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් වන හෙයිනි.
අප මේ කතා කළේ එක් පුද්ගලයකුගේ ගැටලුවක් ගැනයැයි ඇතමකුට සිතෙන්නට පුළුවන. එහෙත් අප අවබෝධ කරගත යුත්තේ එය නොවේ. තමන්ගේ නියම විශ්‍රාම වැටුප ලබාගන්නට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුට එසේ දස වධ විඳීමට සිදු වූවා නම් කම්කරුවකු, රියැදුරකු, කාර්යාල කාර්ය සහායකයකු ගැන කවර කතාද? කෙසේ හෝ අපට මෙහිදී පැහැදිලිව පෙනෙන්නේ තම තමන්ගේ වැරැද්ද වසාගෙන කටයුතු කරන්නට බහුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල කටයුතු කරන බවයි. එමෙන්ම අපට වාර්තා වන පරිදි විශ්‍රාම වැටුප් සම්බන්ධ ‘ප්‍රා.ලේ. ටෙන් පර්සන්ට් බද්ද’ නමින් බද්දක් ගැනද විශ්‍රාමිකයෝ කතා වෙති. ඒ තමන්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධ කාර්යයක් කරගන්නට ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ට විශ්‍රාමිකයා විසින් 10%ක මුදලක් ලබා දිය යුතු වීමයි.
තමන්ට අවස්ථා ගණනාවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට බඩ ගානවට වඩා කීයක් හෝ ලබා දී විශ්‍රාම ගැටලුව නිරාකරණය කරගැනීම පහසු වන බව බොහෝ විශ්‍රාමිකයන් සිතනවා විය හැකිය.
වයසට යෑමේදී ඇති වන රුධිර පීඩන, දියවැඩියා වැනි රෝගාබාධ නිසා මේ විශ්‍රාමිකයන්ට අවශ්‍ය වන මුදල් ප්‍රමාණයද වැඩි වන හෙයින් කීයක් හරි අල්ලසක් දී හෝ තමන්ගේ වැඩේ කරගන්නට ඔවුහු හුරු වෙති. එසේ වුවත් විශ්‍රාමිකයන් නිරතුරුවම මුහුණ පාන මෙවන් සුලභ ගැටලු ගැන අදාළ අංශ තවමත් නිහඬ වීම කනගාටුවට කරුණකි.
රාජ්‍ය ක්‍රමවේදය කුමක් වුවත්, යම් ආයතනයක ගැටලුවක් ඇති වේ නම් විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි ජනතාව සමඟ නිරතුරුවම සබඳකම් ඇති ආයතන හා විමර්ශන කටයුතු කිරීමට වෙනමම ඒකකයක් සිටිය යුතුමය. නොඑසේ නම් අප මේ කතා කළ විශ්‍රාමිකයාට වූ දේ හෙට තවත් දහස් ගණනකට විය හැකිය. විශ්‍රාමිකයන් අවලංගු කාසි නොවන බව නිලධාරීන් දැන සිටිය යුතුය. එවන් තත්ත්වයන් වළක්වාගැනීමට නම් රාජ්‍ය සේවාවන්ගේ මේ ඒකාධිපති මාෆියාවට එරෙහිව වැටක් බැඳිය යුතුමය.