
මොවුන්ගේ ප්‍රේමය කෙතරම් වන්දනීය වුණත් වන්දන්ගේ ජිවිත කථාවේ එයට හිමි වන්නේ තාවකාලික පිළිගැනීමකි. පිරිමි වන්දාගේ පළමු ප්‍රේමණීය රංගනය උගේ අවසන් ප්‍රේමණීය අත්දැකීම බව නොදැනීමත් අවාසනාවක්.
හාත්පසින් ඇඳිරි වැටීගෙන එන්නේ රැහැයි හඬ ද පරිසරයට එක් කරමින්. ඒත් මේ දුර්ලභ සිද්ධිය අඳුර විසින් ඩැහැ ගැනීමට ඉඩ නොතැබිය යුතුමයි. වනගත බිමේ ගත කළ දින කිහිපය අප නොදත් එසේ නමුත් අපට අලුත් අත්දැකීම් එක් කරන සිදුවීම්වලින් පිරී ඉතිරී ගොසින්. වනපියසක මිනිසුන්ගේ දැනුම් සීමාවට එහා ගිය සහ ඇසට හසු නොවූ කොතෙකුත් නම් සිදු වීම් සිදු වනවා ඇත්ද? ඊට සාක්ෂි දරන්නේ මේ නිහඬ වනපෙතම පමණයි.
මා අභිමුව මේ රඟදෙන වන්දන් යුවළ මේ මොහොතේ සිටින්නේ ප්‍රේමය නමැති දැඩි හුයෙන් ඔවුනොවුන් වෙළීගෙනයි. තමන්ම මිස වෙනත් කිසිවක් ගැන කිසිම තැකීමක් නොමැතිව උන්ගේ සිත් තම කාර්ය කෙරෙහි කෙතරම් බැඳී ඇත්දැයි කිවහොත් අවට සිදු වන කිසිවක් හෝ ඔවුන්ගේ දර්ශන මානයට හසු වන්නේ නැති හැඩයි. මේ සතුන්ට වන්දායි කියන නම දීම කෙතරම් සාධාරණද? මේ මොහොතේත් ඒ කියන්නේ ආලයෙන් මුසපත්ව සිටියදීත් උන් ඒ වැඳුම් මුද්‍රාවෙන් මිදෙන්නේ නැති හැටි. මේ සතුන් හැම වෙලාවෙම ඉන්නේ වැඳ ගත්තු ගමන්මයි. පෙම්වතියට ආලය පාන්නෙත් වැඳ ගෙනමයි. පෙම්වතාගේ ආලය පෙම්වතිය බාර ගන්නේත් වැඳගෙනමයි.
“ඒ කියන්නේ ප්‍රේමය වන්දනීයයි කියලද? ” මට එහෙමත් හිතුණා.
මොවුන්ගේ ප්‍රේමය කෙතරම් වන්දනීය වුණත් වන්දන්ගේ ජිවිත කථාවේ එයට හිමි වන්නේ තාවකාලික වූ පිළිගැනීමක්. එනම් පිරිමි වන්දන් මේ ප්‍රේමණීය වූ අත්දැකීම ලබන්නේ මුළු ජීවිත කාලයේදී එක් වරක් පමණක් වීමයි. පිරිමි වන්දන් ප්‍රේමයෙන් මුසපත් වීමටත් පළමු ජිවිතයෙන්ද සමුගන්නේ කෙතරම් අවාසනාවකටද? තමන් මේ මුහුණ දී සිටින්නේ මාරාන්තික අවස්ථාවකට බව පිරිමි වන්දනුත් නොදැනයි. පිරිමි වන්දන් ගැහැනු සතුන්ගේ ගොදුරු බවට පත් වන්නේ සත්ව ලොවේ තවත් කුරිරු අත්දැකීමකට මුහුණ දෙමිනුයි. සත්ව ලොවේ කුරිරු පෙම්වතියන් යන විරුදාවලිය ගැහැනු වන්දන් වෙත අත්කර දෙමින් මේ ක්‍රියාවලියේදී සිදුවන දේ දුටු නෙතකින් සිතේ ජනිත වන්නේ ඇඟ කිලි පොළා යන හැඟීමක්.
“අනේ හපොයි .....” මිනිස් මුවකින් නොකිය වුණොත් තමයි පුදුමේ.
අහලා තියෙනවද වන්දන් සහවාසයේ යෙදී අවසානයේ ගැහැනු වන්දා පිරිමි වන්දාගේ හිස කා දමන කථාව. මෙය බොහෝ දෙනකු හිතළුවකැයි සිතමින් බැහැර කරන අවස්ථා බොහෝය. ඔබ ජීවත් වෙන වටපිටාවේත් මේ කියන සත්ව විශේෂය වේනම් මේ ලිපිය දුටු පසුව හෝ ඒ ගැන අවධානය යොමු කරන්නේ නම් එහි ඇති සත්‍ය අසත්‍යතාව ඔබටම වැටහෙනු ඇති. ඇත්තටම මේ වන්දන්ගේ කතාවේ මේ සිද්ධිය දකිනතුරුත් මා සිතේ තිබුණේ ඒ ගැන දෙගිඩියාවක්.
වන්දන් නමින් හඳුන්වන සතුන් එක එක පාටින් හමු වෙනවා. ගොඩාක්ම පඬු පාටින්, අළු පාටින් සහ පලා පැහැයෙන්. නමට සරිලන පිහිටීමකින් යුතු ආකාරයේ ඉදිරි ගාත්‍රා යුගලයේ සැකැස්ම හින්දා තමයි තමයි මේ අයගේ නමත් හැදිලා ව්‍යවහාරයට එන්නේ. හැම වෙලාවෙම වැඳ ගත්තු ගමන්මයි. පෙම්වතියට ආලය පාන්නෙත් වැඳගෙනමයි. පෙම්වතාගේ ආලය පෙම්වතිය බාර ගන්නේත් වැඳගෙනමයි. වන්දන් යුවළ ඒකමතික තීරණයකට එනතුරු සිදුවන ප්‍රේමාලිංගන රැඟුමත් අපූරුයි. ගැහැනු වන්දා ඉදිරියේ පිරිමි වන්දා නැටීම සහ ඇයගේ පසුපසින් පැමිණ පිටුපස ගාත් නමා වන්දනීයව ඇයගේ සිරුරට තෙරපෙමින් නැටීම යළිත් බැස විත් නැටීම යනාදී ක්‍රියාවලිය දෙස බලා සිටීමේදී හැඟෙන්නේ ඔවුන් සියල්ලටම පෙර ඒකමතික තීරණයකට පැමිණිය යුතු බවයි. මෙහිදී සිදුවන්නේ පළමුව මොවුන් දෙදෙනා හොඳින් හඳුනා ගැනීමයි. විශ්වසනීයත්වය ගොඩ නැඟීම සාර්ථකව සිදු වුවොතින් පමණයි දෙදෙනා අතර ලිංගික ක්‍රියාවලියක් සිදු වන්නේ. ඔය අතර තවත් වන්දකු මේ දෙදෙනා අතරට එක් වරම කොහේදෝ සිට ආවත් උගේ මැදිහත් වීම දෙදෙනාම අනුමත නොකරන බව තේරුම් ගත් ආගන්තුක වන්දා පැමිණි පාරෙන්ම යන්න ගියා. ඒ කියන්නේ මේ දෙදෙනා අතර විශ්වාසය ක්‍රමානුකූලව ගොඩ නැගෙමින් පවතින බවයි.
පිරිමි වන්දාගේ නර්තනයෙන් සිත පිනා ගිය ගැහැනු වන්දාගේ හැසිරීමෙන් පේන්නේ ගැහැනු සිත දිනාගත් බවක්. එහෙත් මේ රාගයේ කෙළවර අත්වන්නේ දුකමැයි. මේ අනඟ රැඟුමේ අවසානයේ පිරිමි සතාට අත්වන ඉරණම දනී නම් ඌ කිසි දිනෙක යළිත් මේ ගිනි දැල්ලට නම් ළං නොවනු ඇති. නමුත් ඒ වෙද්දී ඌ ප්‍රමාද වැඩියි. මරණය සියලු වේදනාවන් ගිල ගෙන හමාරයි. රාගයෙන් මත්වීමේ ප්රතිවිපාකය දුකින් කෙළවර වීමක්ය යන්න මිනිසුන් වන අප මනසින් බලන්නේනම් උගත යුතු බොහෝ දෑ එහි ඇත.
මේ පිරිමි වන්දාගේ පළමු ප්‍රේමණීය අත්දැකීමයි. එය උගේ අවසන් ප්‍රේමණීය අත්දැකීම බව නොදැනීමත් අවාසනාවක්. දෙදෙනා අතර විශ්වාසය තහවුරු වීමෙන් පසු තමන්ගේ එක් වීමට සුදුසු සහ ආරක්ෂා සහිත තැනක් ගැන විපරමේ තමයි දැන් ඔවුන් නිරතව ඉන්නේ. ඒ බව මට තේරුම් ගියේ දෙදෙනා රැඳී සිටි මයිල ගසේ අතු අතර සහ කඳේ ඔබ මොබ කළ සක්මනෙනුයි. අන්තමේ දෙදෙනා මයිල ගසට ආසන්නයේ තිබූ අපගේ කූඩාරමේ සුදු පාට කණුවක් තෝරා ගෙන ඒ කරා ඇදී ආවේ මේ දුර්ලභ වු දැකුම හොඳින් බලා ගන්නැයි අප වෙත ඉඟි පාමින් වගෙයි.
වන්දන්ගේ රාගය කෙතරම් උච්ඡත්වයට පැමිණියේද යත් පිරිමි වන්දාගේ බර දරා ගෙන සිටි ගැහැනු වන්දා වරක්, දෙවරක් නොව සිය වරක් පමණ තම ස්වාමියා දෙස බැලුම් හෙළුවා. මුලදී වගේ නෙවෙයි. දැන්, දැන් බැලුම් ලන වාර ගණන වැඩියි. එක් වරම ඇගේ කොකු දෙකක් හා සමැ වු මුඛ පිහිටුමට පිරිමි වන්දාගේ හිස තදින් ග්‍රහණය කර ගත්තා. එසේ වුවත් පිරිමියාට වේදනාවක් නැති හැඩයි. ඔහු සිටින්නේ වේදනාවක් දැනෙන මානයක නෙමෙයි. සියලු දුක් දෝමනස්සයන් පහව ගිය සොඳුරු චිත්තාවලියකයි.
රාග සිත සියලු දුක් දොම්නස් යට කර ගෙන අහවරයි. උගේ සිරුරේ කොටස් ගැහැනු සතාගේ ගොදුරු බවට පත් වෙන්නේ ඌත් නොදැනුවත්මයි. පළමුව එක් කොටසක්, ටික වේලාවකින් තවත් කොටසක්, ඔය ආදි වශයෙන් විටෙන් විට කොටස් කඩා ගැනීම නිසා අවසානයේ ඉතිරි වූයේ පිරිමි වන්දාගේ හිස නැති කවන්ධය විතරයි. ඒත් ආදරයේ තරම. රාගි සිතිවිල්ලෙන්ම මිය ගිය පිරිමි වන්දා තවමත් ඉන්නේ ගැහැනු වන්දා ගේ බඳ තමන්ගේ මැද ගාත්‍රා යුවළින් දැඩිව අල්ලා ගත් වනමයි.
ගැහැනු වන්දාට වගේ වගක්වත් නෑ. පිරිමි වන්දාගේ පළමු සහ අවසන් ආලිංගන අත්දැකීම මෙය වුවත් අත්දැකීම්වලින් පරිපූර්ණ මැයගේ පළමු ආලිංගන අත්දැකීම මෙය නොවෙයි.
පිරිමි වන්දන් පරිණත වත්ම මේ කියන සංසිද්ධියට මුහුණ දීමට පිරිමි වන්දන්ට සිදු වෙන නිසා තමයි සොබාදහම වැඩිපුර සංඛ්‍යාවක් පිරිමි වන්දන් උපද්දන්නත් ඊට සාපේක්ෂව ගැහැනු වන්දන් අඩු ප්‍රමාණයක් බිහි කරන්නත් වගබලා ගන්නේ.
සත්ව ගහනය තුළ සමතුලිත බව රැක ගන්න තමයි සොබාදමහ විසින් මේ විදියට කටයුතු කරන්නේ. ඒ කියන්නේ පරම්පරාවේ ඉන්න සුරක්ෂිත සහ සරු ශක්තිමත් ජාන තමයි ඉදිරියට ඇවිත් නව පරම්පරාවක් ජනිත කරන්නේ. සොබාදම් නීතිය එයයි. සැවොම එයට ගරු කළ යුත්තේ එනිසයි.
සඳමල් රශ්මී ශ්‍රී බුද්ධික