උසාවි යන්න ආසා­වෙන් උසස් පෙළ ලියන හැත්තෑ නවයේ සීයා | සිළුමිණ

උසාවි යන්න ආසා­වෙන් උසස් පෙළ ලියන හැත්තෑ නවයේ සීයා

විභා­ග­යට මුහුණ දුන් ටියු­ඩර් සීයාගේ දෙවැනි අපේ­ක්ෂාව නීති විද්‍යා­ල­යට පිවි­සී­මය

අධ්‍යා­ප­න­යක් ලැබී­මට නොදත් දෙයක් ඉගෙ­නී­මට වයස් සීමා­වක් නැත. සම­හරු මරණ මංච­ක­යට ආස­න්නයේ වුවද යම් යම් දේ ඉගෙන ගනිති. උගත් දේ කිසිදා සොරා ගත නොහැ­කිය. එහෙත් වයස් භේද­ය­කින් තොරව ඉගෙ­නී­මට සිත යොමු කර­න්නන් අද විර­ලය. රැකියා අර්බු­ද­යෙන් පීඩා­වට පත්වන ඇතැ­මුන් අධ්‍යා­ප­නය අතර මඟ කඩා බිඳ හෙළා ගන්නේ ජීවන අර­ග­ල­යෙන් අත්මි­දෙ­න්න­ටය. එහෙත් ඊට බොහෝ සෙයින් වෙනස්ව අධ්‍යා­ප­නයේ අගය වටහා ගත් අය අත­ළො­ස්සක් සිය ජීවන ගමන අව­සන් කර­න්නට මත්තෙන් පාසල් ජීවි­තයේ සපුරා ගත නොහැ­කිවූ විවිධ අඩු­පාඩු සම්පූර්ණ කර ගන්නට වෙහෙ­සෙන්නේ අන් අයට ආද­ර්ශ­යක්ද සප­ය­මිනි.

අධ්‍යා­ප­නයේ සැබෑ අරුත වටහා ගත් එවන් උද­විය ඉඳ­හිට හෝ අපට හමු­වෙති. මෙයද එවැනි කතා­වකි. මෙවර උසස් පෙළ විභා­ග­යේදී මහර ජනා­ධි­පති විදු­හලේ විභාග මධ්‍ය­ස්ථා­න­යක පුටු­වක් හා මේස­යක් වෙන්වූයේ අවු­රුදු 79 ක වයස් ගත විභාග අපේ­ක්ෂ­ක­යකු වෙනු­වෙනි.

දරු­වන් සිවු දෙනෙ­කුගේ පියෙකු වන මුණ­සිං­හගේ ටියු­ඩර් මහ­තාට මුනු­බුරු මිනි­බි­රි­යන් පස් දෙනෙකි. බිරිය මිය ගොස් වසර හතකි. ඉගෙ­නී­මට වයස් භේද­යක් නැතැයි හෝ දෙනෙ­කුට අව­බෝධ කර­මින් මේ සීයා පසු­ගි­යදා 6 වැනිදා කිසිදු චකි­ත­ය­කින් තොරව මහර ජනා­ධි­පති විදු­හලේ විභාග මධ්‍ය­ස්ථා­න­යක ශාලා­වක අසුන් ගත්තේ කලා අංශ­යෙන් මෙවර උසස් පෙළ විභා­ගය ලිය­න්න­ටය. ඒ සිය ජීවි­තයේ ඉටු කර ගත නොහැකි වූ බලා­පො­රො­ත්තු­වක් සඵල කර ගන්න­ටය.

“මම සාමාන්‍ය පෙළ විභා­ගය ලිව්වේ 1964 වස­රේදි, හොරණ ශ්‍රීපාලි විදු­හ­ලෙන්. ඒ කාලයේ අධ්‍යා­ප­නය ගැන අපිට විශේෂ උන­න්දු­වක් තිබුණේ නැති නිසා සාමාන්‍ය පෙළ වෙන­කම් කරලා මම සංචා­රක මණ්ඩ­ලයේ රස්සා­ව­කට ගියා. අවු­රුදු 32 ක් සේවය කරලා දැන් ගෙද­රට වෙලා විවේක සුව­යෙන් ඉන්නවා. ඒත් මම පොත් සඟරා පත්තර කිය­වන එක කව­දා­වත් අඩු කළේ නැහැ. මට හොඳට ඉංග්‍රීසි පුළු­වන්. දැනට අවු­රුදු දෙක­කට පෙර මට හිතුණා උසස් පෙළ විභා­ගය ලියන්න ඕන කියලා. මගේ දෙවැනි දුව මේ දව­ස්වල නීති විභා­ගය ලිය­නවා. මටත් ලොකු ආසා­වක් ඇති­වුණා මැරෙන්න කලින් නීති­ඥ­ව­ර­යෙක් වෙන්න. ඒත් නීති විද්‍යා­ල­යට ඇතුළු වෙන්න නම් උසස් පෙළ සමත් විය යුතුයි. මේ නිසා මම හිතුවා කොහොම හරි පාඩම් කරලා උසස් පෙළ ලිය­නවා කියලා. මම මේ ගැන දරු­වන්ට කිව්ව­හම ඒ අය කිව්වා තාත්තට දැන් ඕවා කරන්න බැහැනේ. නිකම් ඉන්න කියලා. ඒත් මම කිව්වා මට කරන්න පුළු­වන් කියලා.

පස්සේ මම සර­සවි පොත් ආය­ත­න­යට, අධ්‍යා­පන ප්‍රකා­ශන ආය­ත­න­යට වගේම විභාග දෙපා­ර්ත­මේ­න්තු­වට ගිහින් පෙළ­පොත් වගේම ප්‍රශ්න පත්‍ර ගෙනැල්ලා තනි­යම පාඩම් කළා. පාඩම් කරලා තනි­යම ප්‍රශ්න පත්‍ර කරලා විභා­ග­යට සූදා­නම් වුණා. රෑට පාඩම් කරන්න බැහැ. ඒ නිසා දවල් විභා­ග­යට පාඩම් කළා. ඉන්දි­යන් ඉති­හා­සය, සාමාන්‍ය ඉංග්‍රීසි, ඉංග්‍රීසි සාහිත්‍ය, දේශ­පා­ලන විද්‍යාව තමයි තෝරා ගත්තේ. ටියු­ෂන් ගියෙත් නැහැ. දන්නැති දේ කාගෙ­න්වත් අහ­ග­ත්තෙත් නැහැ. ඉංග්‍රී­සි­යෙන් පාඩම් කළ නිසා හැම දේම පහසු වුණා.” මේ සීයා අබල දුබල හඬින් පව­ස­න්නේය.

ගතින් විය­පත් වුවත් ටියු­ඩර් සීයාගේ හිත සවි­මත්ය. ඔහු සිය මුනු­බුරු මිනි­බි­රි­යන්ගේ වයසේ සිටින දරු­වන් සමඟ අව­සා­නයේ විභා­ග­යට සාර්ථ­කව මුහුණ දුන්නේය. ඔහු විභා­ග­යට මුහුණ දුන් අයු­රුද රස­වත්ය.

“ගෙදර අය වෙහෙ­සෙන්න එපා කියද්දි මම විභා­ග­යට මාස 6 ක් ඇතු­ළත හොඳට සූදා­නම් වුණා. විභා­ග­යට ඉල්ලුම් පත්‍ර දාන දවස මම කෝල් කරලා විභාග දෙපා­ර්ත­මේ­න්තු­වෙන්ම දැන ගෙන කඩේ­කින් ඉල්ලුම් පත්‍ර­යක් ගෙනාවා. මගේ වය­සත් දැම්මා. කවු­රුත් ප්‍රශ්න කළේ නැතුව මට විභාග ප්‍රවේශ පත්‍රය කර­ද­ර­යක් නැතුව ලැබුණා. මට දැනුණේ හරිම සතු­ටත්. විභා­ග­යට මම ගියේ තනි­යම බස් එකේ. මගේ ශාලාවේ මගේ මිනි­බි­රි­යන්ගේ වයසේ දරු­වන් 12 දෙනෙක් හිටියා. ඒ අයට මම ප්‍රශ්න­යක් වුණේ නැහැ. කවු­රුත් විභා­ගය ලිව්වා මිසක් මාව ප්‍රශ්න­යක් කර ගත්තේ නැහැ. නමුත් විභාග ශාලාවේ නිල­ධා­රීන් මුල් දවසේ මා ගැන සැල­කි­ලි­මත් වුණා. ඒ අයට මම ලියන හේතුව දැන ගන්න අවශ්‍ය වුණා. සම­හර විට ඒ අය හිතන්න ඇති මොකද මේ කියලා. මම ඒ අයට කිව්වා මට නීතිය කරන්න අව­ශ්‍යයි, ඒ නිසයි මම විභා­ගය කරන්නේ කියලා. හැම ප්‍රශ්න පත්‍ර­යක්ම මම කර­ගෙන ගියා. පාඩම් කළ දේවල් ඒ විදි­ය­ටම ඇවිත් තිබුණා. මට ඉංග්‍රීසි හොඳට පුළු­වන් නිසා ව්‍යාක­රණ දෝෂ කිසි­වක් නැහැ. ඒත් ලියා­ගෙන යද්දි මගේ වේගය මදි නිසා අත් අකුරු ප්‍රශ්න තිබුණා.”

තම අත් අකුරු අපැ­හැ­දිලි වීමේ ප්‍රශ්න නැති­නම් ඔහුට සෑම විෂ­ය­ක­ටම ‘ඒ’ සාමාර්ථ ගත හැකි බව ටියු­ඩර් මහතා විශ්වාස කරයි. එහෙත් ‘ඒ ’සාමාර්ථ නොති­බු­ණත් තමාට සිය­ලුම විෂ­යන්ට විශිෂ්ට සාමාර්ථ හිමි­වන බව ඔහුට විශ්වා­සය.

විභාග මධ්‍ය­ස්ථා­න­යට යන­විට උචිත ආකා­ර­යට හැඳ පැලඳ ගෙන යාම­ටද ටියු­ඩර් සීයා විශේ­ෂ­යෙන් උනන්දු විය. මුල් දවසේ ඔහු ඉරි සහිත සුදු කමි­ස­යක් හැඳ ගෙන ගියේය. දෙවැනි දිනයේ ඔහු ඊට සරි­ලන ලෙස සුදු පැහැ කොටු කමි­ස­යක් හැඳ ගෙන ගියේය. එහෙත් තව­මත් ඔහුගේ විභා­ගය අව­සන්ව නැත. එළ­ඹෙන සඳදා දින­යේද (27 දා) ඔහු දේශ­පා­ලන විද්‍යා ප්‍රශ්න පත්‍ර­යට මුහුණ දෙන්නට යන්නේ සුදු කමි­ස­ය­කින් සැරසී බව ඔහු පව­ස­න්නේය.

ටියු­ඩර් සීයාගේ වැඩි­ම­හල් දිය­ණිය කැල­ණිය විශ්ව විද්‍යා­ලයේ කති­කා­චා­ර්ය­ව­රි­යකි. දෙවැනි දුව බදු නිල­ධා­රි­නි­යක් වන අතර නීති විභා­ග­යට සූදා­නම් වන්නීය. තෙවැනි පුතා හිල්ටන් හෝට­ලයේ කළ­ම­නා­කා­ර­ව­ර­යෙකි. බාල පුත­ණු­වන් ඩුබායි රටේ සේවය කර­න්නේය. ඔහුගේ මිනි­බි­රි­යක්ද මෙවර සාමාන්‍ය පෙළ විභා­ග­යට මුහුණ දෙන්නීය. ටියු­ඩර් සීයා ඇයත් සමඟ හරි­හ­රි­යට පාඩම් කර­න්නේය.

විභා­ග­යට මුහුණ දුන් ටියු­ඩර් සීයාගේ දෙවැනි අපේ­ක්ෂාව නීති විද්‍යා­ල­යට පිවි­සී­මය. ඒ සඳහා ඔහුට වයස ප්‍රශ්න­යක් නැත. සිය ජීවන ගමන කෙළ­වර වීමට මත්තෙන් කෙසේ එම කඩ­ඉම පැන ගත්තොත් එයම ඔහුට ප්‍රමා­ණ­වත්ය.

“අන්තිම ප්‍රශ්න පත්‍ර­යත් ඉවර වුණ පසුව මම නීති විද්‍යා­ලයේ විභා­ග­යට සූදා­නම් වෙනවා. මම මාන­සි­කව ගොඩාක් ශක්ති­මත්. ඒත් ජීවි­තයේ මේ හැම­දේම කවදා දාලා යන්න වෙයිද කියලා මම දන්නේ නැහැ. ඒත් ඉන්න­කම් මට පුළු­වන් දේ මම කර ගන්නවා. ඒ විශ්වා­සය මට තියෙ­නවා.”ඔහු පව­සන්නේ දැඩි විශ්වා­ස­යෙනි.

Comments