හිරෙන් තොර ලොවක් නැති ‘හිතු­මතේ’ ආයෙ­මත් හිරේ | Page 2 | සිළුමිණ

හිරෙන් තොර ලොවක් නැති ‘හිතු­මතේ’ ආයෙ­මත් හිරේ

‘හිතු­මතේ ආයෙත් හිරේ!’ මේ ආරං­චිය ලද විට හිතට ආවේ කන­ස්ස­ල්ලකි; ඒත් සම­ඟම සිනා­වකි.

‘හිතු­මතේ’ හෙවත් ‘බටු­ග­හගේ දොන් සුම­ති­පාල’ ජීවි­ත­යෙන් වැඩි කලක් ගෙවා දැමුවේ හිර­ගෙ­ව­ල්ව­ලය. ඔහුට කවු­රුත් ‘හිතු­මතේ’ කිය­න්නට වූයේ ඔහු පපුවේ ‘හිතු­මතේ’ යනු­වෙන් පච්ච­යක් කොටා­ගෙන සිටි හෙයිනි. දැන් ඔහුගේ වයස අවු­රුදු හැට දෙකකි. අවු­රුදු හත­ළිස් තුන­කුත් මාස අටක් බෝග­ම්බර, වැලි­කඩ ආදි සිර­ගෙ­වල්හි ඔහුගේ ජීවි­තය ගෙවී ගියේය.

හිතු­මතේ ජීවි­තයේ තීර­ණා­ත්මක මොහො­ත­වල් ගණ­නා­වක් පසු කළ අයෙකි. අදින් වසර ගණ­න­කට පෙර හිර­කා­ර­යන් හිරේට එන අලුත් සිර­ක­රු­වන්ට සල­කන්නේ ඔවුන් එළි­යේදී කර පැමි­ණෙන වරද අනු­වය. අද නම් හිර­ගෙ­දර ඇතුළේ කුඩු­කා­ර­යන්ට තැනක් තිබු­ණද එද­වස හිර­කා­රයෝ මිනී­මැ­රු­මක් කර පැමි­ණෙන්නා හොඳින් පිළි­ගත්හ. කවු­රුත් ඔහු දෙස බලන්නේ බියෙනි. ස්ත්‍රී දූෂ­ක­යන්ට නම් හිර­කා­රයෝ එත­රම් තැනක් නොදුන්හ. ඒත් හිර­කා­ර­යන්ට ‘හිතු­මතේ’ යනු ‘සුපිරි පො‍රකි’. තම නැඟ­ණි­යගේ මිනී­ම­රු­වන් සොයා ගොස්, ඊට සම්බන්ධ වූවන් හත් දෙනකු එලොව යවා වරින් වර සිර­ගෙ­ද­රට ආව-ගිය හිතු­ම­තේගේ ජීවි­තය පුදු­මා­කා­රය!

1972 වස­රේදී හිතු­ම­තේගේ නැඟ­ණිය කුසුමා කළු­තර තිස්ස විද්‍යා­ලයේ පැවැති අවු­රුදු උත්ස­ව­යේදී අවු­රුදු කුම­රිය ලෙස අභි­ෂේක ලැබු­වාය. මේ සිද්ධි­යෙන් පසු කුසුමා අතු­රු­දන් වූ අතර, ඇය පිළි­බඳ පොලි­සියේ පැමි­ණි­ල්ලක්ද කරනු ලැබිණි. පොලී­සිය මෙන්ම ගම්මුන්ද පැවැ­සුවේ කුසුමා තරු­ණ­යකු හා පැන යන්නට ඇති බවයි. එහෙත් කුසු­මාගේ පවුලේ අය මේ කතාව විශ්වාස කළේ නැත.

මේ අතර දාහත් වැනි වියේ පසු වූ සුම­ති­පාල නංගී ගැන තොර­තු­රක් සොයා­ග­න්නට මඟක් පාදා­ග­නි­මින් සිටි­යේය. දිනෙක ඔහුට සිය නැග­ණි­යගේ යෙහෙ­ළිය මහ­ම­ඟදී හමු වූවාය. ඔහු ඇය­ගෙන් සියල්ල දැන­ග­ත්තේය. එනම් සිය නැග­ණිය හා යෙහෙ­ළිය මහ­මඟ එද්දී යම් පිරි­සක් කුසුමා පැහැ­ර­ගෙන ගිය බවය. සිද්ධිය දැන­ගැ­නී­මෙන් පසු නැග­ණි­යට සිදු වූයේ කුම­ක්දැයි ඔහු ගිය ඔහුට දැන­ග­න්නට ලැබුණේ පැහැ­ර­ගෙන ගිය පිරිස නංගී දූෂ­ණය කර මරා පුලුස්සා දමා ඇති බවය. මීට සම්බන්ධ පොලිස් ලොක්කකු, විදු­හ­ල්ප­ති­ව­ර­යකු, තානා­ය­ම්ක­රු­වකු ඇතුළු හත්දෙ­නකු පිළි­බද ඔහු සැක­හැර දැන­ග­ත්තේය.

මේ අප­රා­ධ­ක­රු­වන් අතු­රින් පළ­මු­වෙන් සුම­ති­පාල අතින් පර­ලොව යන්නේ කුසු­මාට අවු­රුදු කුමරි කිරුළ පැලැන්දූ පොලිස් ලොක්කාය. පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලබන සුම­ති­පාල හට නඩුව අව­සා­නයේ මරණ දඬු­වම නියම වන්නේය. එවිට ඔහුගේ වයස අවු­රුදු දහ අටකි. එහෙත් නිය­මිත දිනයේ ඔහුට දඬු­වම ක්‍රියා­ත්මක නොවන්නේ එදින කුමක් හෝ විශේෂ දින­යක් යෙදුණු බැවිනි. දෙවන වරද ඔහුට දිනය පැමිණේ. එහෙත් එල්ලා මරා­ද­ම­න්නට නිය­මිත දින­යට පෙර දින රාත්‍රියේ ඔහු බත් කන්නට දුන් බෙලෙක් පිඟා­නෙන් බඩත් ගෙලත් කපා­ගනී. රාත්‍රි­යේම ඔහු රෝහ­ල්ගත කෙරුණු අතර, බන්ධ­නා­ගාර මූල­ස්ථා­නය දන්වා සිටින්නේ නිය­මිත දිනයේ නිය­මිත වේලා­වට ඔහු එල්ලුම් ගහට යැවිය යුතු බවයි. එහෙත් වෛද්‍ය­ව­රයා පව­සන්නේ රෝගියා ‍බාරදිය නොහැකි බවයි. කෙසේ හෝ වෛද්‍ය­ව­ර­යාගේ ඉදි­රි­පත් වීම මත එවර හිතු­මතේ එල්ලුම් ගහෙන් ගැල­වෙ­න්නේය.

වරින් වර හිර ගෙද­රින් පැන යමින් තම නැඟ­ණි­යගේ ජීවි­තය උදු­රා­ග­ත්ත­වුන් එලොව යැවූ මුත් හිතු­මතේ නොහොත් සුම­ති­පාල සිර­ගත වීමෙන් අන­තු­රුව යහ­පත් කල්කි­රි­යා­වෙන් පසු වීම හේතු කර­ගෙන වසර හත­ළිස් ගණ­න­කට පසු ඉන් නිද­හස් වන්නේය. හිතු­ම­තේට පිහි­ටක් වන්නට සිතූ ගුවන් හමුදා නිල­ධා­රි­යකු හිතු­ම­තේට තමන්ට අයත් වත්තක ‍නතර වීමට ඉඩ ලබා දෙන්නේ මින් පසු­වය.

එතැන් පටන් මේ සිදු­වීම වන තෙක් හිතු­මතේ නිස්ක­ලංක ජීවි­ත­යක් ගත කර­න්නට වූයේය. ඔහු සිතා සිටි­න්නට ඇත්තේ තමාට විරු­ද්ධව තවත් නඩු නැතැයි කියා වන්නට ඇත. කො‍හේ හෝ යන අත­ර­තුර හෙතෙම දුම්රිය වර්ජ­නය දා දුම්රිය මැදි­රි­යක නිදා සිට ඇත්තේ මේ සැහැල්ලු සිතිනි. මෙහිදී වර්ජ­නයේ යෙදුණු දුම්රිය කම්ක­රු­වන් පිරි­සක් තමාට පහර දී මුදල් පසු­ම්බි­යද උදු­රා­ගත් බව විද්යුත් මාධ්‍ය­යක් මඟින් හිතු­මතේ කියා සිටි­යේය. කලක් තිස්සේ පොලී­සිය මො‍හු පිළි­බඳ සොය­මින් සිටි­යේය. ඒ මීට වසර දොළ­හ­කට පෙර පිළි­ය­න්දල කහ­තු­ඩුව ප්‍රදේ­ශයේ වෛද්‍ය­ව­ර­ය­කු­ගෙන් රුපි­යල් තුන්ද­හ­සක් වටිනා රන් භාණ්ඩ­යක් සොර­කම් කිරීමේ චෝද­නා­ව­ටය. ඒ අනුව යළිත් පොලිස් අත්අ­ඩං­ගු­වට පත් වන හිතු­මතේ උසා­වි­යට ඉදි­රි­පත් කරනු ලැබේ. අව­සා­නයේ ඔහුට සිදු වූයේ යළිත් බන්ධ­නා­ගා­ර­ගත වන්න­ටය.

‘හිතු­මතේ’ යළිත් සිර­ගත වූ බව දැන­ගත් විට කන­ස්ස­ල්ලක් ඇති වූයේ ‘මිනි­සුන්ගේ ජීවි­ත­වල හැටි!’ යැයි සිතුණු බැවිනි. අනෙක් අතට සිනා­වක් නැඟුණේ සිය නැග­ණි­යගේ ජීවි­තය උදු­රා­ගත් හත් දෙන­කුගේ දිවි තොර කර වසර හත­ළිස් ගණ­න­කට පෙර ‘අයි.ආර්.සී. කාර­යකු’ වී සිටි පුද්ග­ල­යකු අද කාලයේ හැටි­යට රුපි­යල් තුන්ද­හ­සක සොර­ක­ම­කට යළිත් හිරේ යෑම ගැනය!

- ඉසවි

Comments