
පිවිසුම් වාහල්කඩින් ඇතුළුවීමේදී නෙතඳුනක් බඳු වූ රූස්ස මැහෝගනී රුක් පෙළ අභිමානය ද, උදාරත්වය ද ගම්භීරත්වය මෙන් ම එහි සිසිලස සෙවණ, වන සෙනසුන පිළිබඳ මහා කියැවීමක අරුත්බර පෙරවදනක් බඳු ය.
දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වතුරුවිල කහදූව ග්‍රාමියේ මොරංකන්ද වැනි රමණීය කඳු යායක් ආශ්‍රයේ සොඳුරු ගුලන කන්ද වන අරණ ස්පර්ශ කරමින් වතුරුවිල නම් වන වනවාස සංඝ මූලස්ථානය සුසැදී තිබේ.
අක්කර 80 ක් පමණ වන පෘථුල ගිරි ශිඛර සොඳුරු වන ගහනයක් තුළ පිහිටි ඉතා දර්ශනීය ස්වාභාවික පරිසරය වන සෙනසුන මඟින් තව තවත් උද්දීපනය කරවන සුලු ය.
මෙම ස්වාභාවික පරිසරය විසින් අාරණ්‍ය සේනාසනය සිත්තම් කර ඇත්තේ සෞම්‍ය වූ සැදැහැති වර්ණයෙනි. ඒ නිසාම මෙය නොමැකෙන සුලු සදාතනික බොදු සිතුවමක් බවට පත් වී තිබේ.
මේ වනය ආශ්‍රිත ගුලන කන්ද මධ්‍යයේ ස්වාභාවික ගල්ලෙන් 10 ක් පමණ ද සාදා සකස් කළ කුටි 60 ක් පමණ රූකඩ මූල, තුරු වදුලු අතරේ සොබාදම් මාතාවගේ අවවාදයන්ට කීකරු වෙමින් නිමවා තිබේ. වාහල්කඩින් ඇතුළු වී පෙත් මඟ දිගේ ඇවිද විත් පිවිසෙන භූමිය උත්සවශ්‍රීයෙන් සැරසූ පුළුල් වේදිකාවක් මත තැබූ කලා කෘතියක් බඳු ය.
මුලින් ම අප පිළිගැනීමට පෙරමඟ බලා සිටින්නේ පෙරහර කරඬුව දරා සිටිනා හස්ති රාජයෙකි. මෙහි විශේෂත්වය වන්නේ රළු ස්වාභාවික ගල් කුළක් මතු පිට උචිත ලෙස සුරුවම් ලෙස සකසමින් මෙම හස්තිරාජයා නෙළා තිබීම ය.
මදක් එපිටෙන් රෝපණය කර ඇති බෝධීන් වහන්සේ ද සමීපයේ ඇති දළදා මැදුරේ පත්තිරිප්පුවේ ආකෘතිය ද එකතු වන දර්ශනය වතුරු විල වන සෙනසුනෙහි අනන්‍යතාව ලකුණු කරනා එක් ප්‍රබල සලකුණකි.
පිරිවෙන සහිත තෙමහල් ධර්ම ශාලාව ද, භාවනා මධ්‍යස්ථානය ද මධ්‍යයේ ඇති බුදු මැදුර මෙන් ම උපෝසතාගාරය, වතුරුවිල ඥානානන්ද මහා නා හිමි කෞතුකාගාරය ද වතුරුවිල වනවාස සංඝ මූලස්ථානයේ සුවිශේෂ වූ අභිමානයේ පංගුකාරයන් ය.
පියගැට පෙළ නැග ගිය පසු දකින්නට ලැබෙන ධවල ස්තූපය තීව්‍රතාව, තව තවත් වර්ධනය වන්නේ පසු බිම වසා සිටින, සේ වන ශෛලමය පුවරුව නිසා ය.
මේ සියලු ඉදිකිරීම් අභිබවන ගල්කුළක් මත කළු ගලින් නෙළූ බුදු පිළිම වහන්සේ ලාංකේය බුදු පිළිම නිර්මාණයේ දැවැන්ත අභියෝගාත්මක විජයග්රහණයක සංකේතයක් වශයෙන් හඳුන්වා දීමට මැළි නොවෙමි.
එය මේ සියවසේ පමණක් නොව සියවස් කීපයක කාල පරාසය තුළ ලාංකේය ශෛලමය බුද්ධ ප්‍රතිමා නිර්මාණයේ විස්මිත ඵලයක් ලෙස නම් කිරීමට පුළුවන.
පාරිසරික මෙන් ම කාල විලෝපනයක් තුළ දී වුව නොසැලෙන ශත වර්ෂ ගණනාවක් ඉදිරියට රැගෙන යන මහා ගල්කුළක් ඇසුරේ නිර්මිත වූ ශෛලමය බුදු පිළිම වහන්සේගේ තිරසාර පැවැත්ම, ඉදිරි අනාගත පරම්පරා ගණනාවක් පුරා සර්ධා සම්ප්‍රයුක්ත බැති සිතට පූජෝපහාරයක් ම වනු නියත ය.
මීට වසර දහස් ගණනාවකට එපිට අනුරාධපුර පොලොන්නරු යුග සුපහන් කළ, සැදැහැති ලකුණ සමඟින් කලාත්මක කළ, සමාධී, තොලුවිල, අවුකන මෙන් ම ගල්විහාර වැනි ශෛලමය බුදු පිළිම වහන්සේලා පිළිබඳ විමසීමේදී ඉතිහාස කියැවීම ඒ ඒ යුගයන්හි පසුබිම් කථනයක් සමඟින් ඓතිහාසික සොඳුරු ඉසව් වෙත අපව රැගෙන යන්නේ ය. එසේ බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වන බොදු උරුම අතර රැදෙමින් අප ලබන්නේ ආඩම්බර සතුටකි. ඒ යුගයන්හි තිරසාර සන්නිවේදන ඌනතාව නිසා ඒ අප්‍රමාණ ඉතිහාසය අපට කියවා ගන්නට ලැබෙන්නේ අනුමාන වශයෙනි.
එහෙත් වර්තමාන තාක්ෂණික දියුණුවත් සමඟ සන්නිවේදනයේ විශ්වසනීයත්වය විසින් අනාගත ලෝකයට වර්තමානය නිශ්චිතව ම කියැවීමට හැකිවනු ඇත.
එදාට ඒ පුරාවෘත්තිය කියැවීමට අනාගත මිනිසා පියවර ඔසවන්නේ කොරවක්ගල්, සඳකඩ පහන්, සිංහරූප, ගජසිංහ රූප පසුකරමින් ගල් පඩි 55 ක් පමණ නැඟ, සළපතල මළු දෙකක් ද පසු කළ විට හමුවන අඩි 42 ක් පමණ උස් වූ මහා කළු ගල් පර්වතයක් කීකරු කර ගනිමින් කළ අවුකන බුද්ධ ප්‍රතිමාවේ ආකෘතියෙන් නිම කළ වතුරුවිල ශෛලමය බුදු පිළිම වහන්සේ හරහා ය. 2009 වසරේ ආරම්භ කළ පිළිම වහන්සේ නිර්මාණය නිම වූයේ 2016 වසරේ දී ය.
ඓතිහාසික ජාතික සංස්කෘතික උරුමයන් සමඟ ඒ ඒ යුග නියෝජනය කළ රජවරුන්ගේ නාමයන් ඉතිහාස ගත වී තිබේ.
මෙහි විශේෂය වන්නේ වතුරුවිල පිළිම වහන්සේ පිළිබඳ ඉතිහාස කියැවීමේ දී සෙල් ලිපියක ගලේ කෙටූ අක්ෂර මෙන් විශේෂිත නමක් සටහන් වීම ය.
ඒ නාමය නම් වත්මන් වනවාස සංඝ මූලස්ථානාධිපති වන වාස නිකායේ අනුනායක මහකන්දේ රතනපාලාභිධාන නාහිමිපාණන් වහන්සේ ය.
මහා සෙල්කුළ මත මේ ශෛලමය පිළිම වහන්සේ නොනැසී පවතින තාක් කල් ඒ නාමය ද නොනැසී පවතිනු නියත ය.
එයින් සනාථ වන්නේ මහාමේරුවක් තරම් වූ අධිෂ්ඨානයේ ශක්තිය, ප්රාතිහාර්යක් බඳු සක්‍රීය ව්‍යායාමයක ඵලයයි.
යෝධ කාර්ය කළ ඈත අතීත ගමන් මඟ හිස් තැන් තබමින් හෝ නොනැවතී ගමන් කළ වග ද, මේ අසිරිමත් පූජනීය නිර්මාණය සාර්ථක වූයේ අරිහත් ධජය සතු මහා බලය නිසා බව ද අනාගත මිනිසාට පහදා දෙනු නියත ය.
මෙවන් අභියෝගාත්මක කාර්යයකට අත තැබීමට පවා ශක්තිය - ධෛර්ය ලැබෙන්නේ. ශ්‍යාමෝපාලී වනවාස නිකායේ සංඝ මූලස්ථානය සතු වූ කීර්තිනාමය නිසාය. සඳුන් වෘක්ෂයක් සේ වන එහි අරටුව බඳු වූ අපවත්වී වදාළ බෝධිසත්ත්ව ගුණෝපේත වතුරුවිල ඤාණානන්ද මහානාහිමිපාණන් වහන්සේ ගේ සදානුස්මරණීය නාමයේ වන ගෞරවනීය පූජනීයත්වය නිසා ය.
මෙම වනවාසී සංඝ මූලස්ථානය ස්ථාපිත වන්නේ 1953 වසරේ දී ය.
විහාරස්ථානයක වැඩ වසමින් සිටියදී ඒ පිළිබඳ කළකිරීමක් ඇති වීමෙන් වතුරුවිල ඤාණානන්ද හිමිපාණන් වහන්සේ කල්පනා කළේ මහණ දම් පිරීමට නියම මාර්ගය නම් වන ගත වීම බව ය. මේ වන විට උන්වහන්සේගේ වයස අවු. 29 කි.
ඒ අනුව කළුගල අාරණ්‍ය සේනාසනයෙන් ඇරඹුණු පිවිතුරු භික්ෂු ජීවිත ගමන අලි කොටි වග වළසුන් පිරි මඳුනාගල ආරණ්‍ය සේනාසනය දක්වා රැගෙන ගොස්, අවසානයේ ගුලනකන්ද රමණීය වනසෙනසුන වෙත කැඳවාගෙන එනු ලබයි. එතැන වනවාසී භික්ෂු මූලස්ථානය ස්ථාපිත වීමෙන් ලාංකීය සාසන ඉතිහාසයේ එක් සන්ධිස්ථානයක් සටහන් කර තබයි.
කලින් කල ශාසනික පරිහානිය සිදුවන විට නැවත එය ගොඩ නැංවීම වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේ අතර බහුතරයක් සංඝ රාජයාණන් වහන්සේලා බිහිවන්නේ වනවාසී භික්ෂූන් වහන්සේලා අතරිනි.
දිඹුගහල මහා කාශ්‍යප (රා.ව. 1165 - 84) ආරණ්‍ය මේධංකාර (රා.ව. 1245 - 58) පළාබද්දල ධම්මකිත්ති (රා.ව. 1275 - 1315) දෙවනගල වනරතන (රා.ව. 1342 - 56) සීල වංශ ධම්මකිත්ති (1356 - 80) දේවරක්ඛිත ජයබාහු ධම්මකිත්ති (රා.ව. 1380 - 98) සංඝ පීතෘන් වහන්සේලා ඒ අතර වෙති.
මෙසේ දිගු ගමන් මාර්ගයක වසර 500 ක් පමණ අතුරුදන්ව පැවැති වනවාසී ප්‍රතිපත්ති ශාසනය ස්ථාවර තත්වයට පත්කරලමින් ශ්‍රී ලංකා ශාසන වංශය නැවත බැබළවීමට පුනර්ජීවය ප්‍රධානය කළේ වතුරුවිල ඤාණානන්ද මහ නා හිමි පාණන් ය.
අප්රමාදී විහාරී ව ග්‍රන්ථ විදර්ශනා ධූර ද්විත්වයේ වැඩ වසන භික්ෂූන් වහන්සේට අවශ්‍ය අධ්‍යාපනය හා පුහුණුව වෙනුවෙන් ශ්‍රී ඤාණානන්ද වනවාස පිරිවෙන ගොඩ නැගෙන්නේ 1961 වසරේදී ය.
මෙසේ වතුරුවිල ඤාණානන්ද මහා නා හිමිපාණන් වහන්සේ විසින් වනවාස සංඝ මූලස්ථානය තුළ වනවාසී භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ඉදිකළ අධ්‍යාපනායතනය නිසා පර්යප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද බෞද්ධ ශාසනය වැඩී අතු ඉති විහිදී මල් පිපී ඵල දරා දීප ව්‍යාප්ත වීමට මඟ හෙලි කිරීම බෞද්ධ ලෝකයට කළ අති මහත් උදාර පුණ්‍ය කර්මයකි.
වතුරුවිල වනවාස සංඝ මූලස්ථානයට අනුබද්ධව මේ වන විට අාරණ්‍ය සේනාසන 150ක් පමණ දීප ව්‍යාප්තව පවතින අතර මේ යටතේ යෝගාවචර භික්ෂූන් වහන්සේ 2000ක් පමණ ශාසනාභිවෘද්ධිය වෙනුවෙන් භික්ෂු සංස්ථාව පෝෂණය කිරීම උදාර පිං කමකි.
වතුරුවිල මහා නා හිමිපාණන්ගේ ඒකායන අපේක්ෂාව හඳුනා ගැනීමට නා හිමිපාණන් වහන්සේ තම දින පොතෙහි ස්වීය අත් අකුරෙන් සටහන් කළ වදන් පෙළක් වෙත නෙත නැවතෙයි. මෙම සටහන තබා ඇත්තේ 1944 දීය.
“............පැමිණි විශාල ජනකාය මැද පුරාණ චාරිත්‍රානුකූලව දසසිල් පිරිසකට කර්මස්ථාන ග්‍රහණය කරවීමි. ලොවුතුරා බුද්ධ රාජ්‍යයට පැමිණ අවසාන වශයෙන් අප්‍රමාණ සත්ව සමූහයාට කර්මස්ථාන දීමට ශක්තිය ලැබේවායි පැතීමි”
මෙයින් හැඟෙන්නේ ඤාණානන්ද මා හිමිපාණන් වහන්සේ ලොවුතුරා බුද්ධත්වය අපේක්ෂාවෙන් තම පිවිතුරු භික්ෂු ජීවිතය හැඩගස්වා ගත් බව ය.
උන්වහන්සේගේ චරිතාපදානය කියැවීමේ දී දිවි මඟ වටා පෙළ ගැසෙන ඇතැම් අත්දැකීම් ප්රාතිහාර්යන් සේ විශේෂිත වෙයි.
මහානාහිමිපාණන් වහන්සේ වන සෙනසුනෙහි වැඩසිටි ලෙන් කුටිය අද කෞතුකාගාරයක් බවට පරිවර්තනය වී තිබේ. ඒ තුළ උන්වහන්සේගේ ජීවමාන ප්‍රමාණයේ පිළිරුවක් නිර්මාණය කර තිබේ. පරිහරණය කළ මෙවලම් ද සැතපුණු ගල් ඇඳ ද කෞතුක භාණ්ඩ අතර රැඳී පුද හර සර ලබයි.
වතුරුවිලෙන් ගලන දියෙන් සතර දිගන්තය සිසාරා සිය ගණනින් සුසැදි ජල විල් තලයේ තඹුරු පිපෙන්නේ අවරගිරෙන් බැස නොයනා සදහම් දිනසුරු නිසා යැයි සිතෙයි.
විශේෂ ස්තුතිය - එච්.එම්. සිරිදාස මහතා
චිත්‍ර ශිල්පී - කේ. විජේරත්න මහතා