පෙම් හසුන් මල් වැස්ස | සිළුමිණ

පෙම් හසුන් මල් වැස්ස

මගේ කාලය හොඳ විය.

මංගල යෝජනා ගලා එන්නට වූයේය.

හොඳ ගුරු මහ­ත්මි­යක සොයා දෙන්නැයි මගේ මව කපු උන්නැ­හේට යෝජනා කළේ තමා ද ගුරු­ව­රි­යක නිසා විය යුතුය.

කෙසේ වුව ද මේ කිසිදු යෝජ­නා­ව­කට මගේ හිත ගියේ නැත. ඊට හේතුව මගේ සිහින කුම­රිය ඒ යෝජනා අතර නොසි­ටී­මය.

යෝජනා පැමි‍ණීමේ නිමක් ද නොවීය. ඔය අතර පැමිණි යෝජ­නා­ව­කට අදාළ රූම­තිය පිළි­බඳ සිතක් මා තුළ ඇති විය. එහෙත් කොස්සක් හිටියේ. ඇය මට වඩා වසර කිහි­ප­ය­කින් වැඩි මහලු වූවාය. මේ හේතු­වෙන් මම මදක් පසු බා සිටි­යෙමි.

‘සොය­න්නාට සම්බවේ’ යන්න කුඩා කළ මා පල්ලි­යෙන් උගත් පාඩ­මකි. ඒ අනුව මගේ සිහින කුම­රිය මගේ මිතු­රකු‍ගේ මාර්ග­යෙන් මට හමු විය.

ඒ ‘කේතලේ මල්ලකි’ .

මා ජීවිතේ මුල් ම වතා­වට මාතලේ ගියේ ඇය මුණ ගැහී­ම­ටය. උකු­වෙල පැත්තේ ගම­කදී ඇය මට හමු විය. එදින මා ඒ නිවෙ­සින් සමු­ගෙන ආවේ මගේ වච­නය දී හද­වත ඈ ළඟ රන්දාය.

ගෙදර ආ මා වට­කොට ප්‍රශ්න කඳ­වුරු බැන්දේය. දෑවැදි, ආගම්, කුල­මල ප්‍රශ්න ඒ අතර ප්‍රමුඛ විය. සිය­ල්ලට නොබි­යව මුහුණ දීමට අදි­ටත් කර­ගත් මම එදින රැයේම මගේ සිහින කුම­රි­යට මංගල පෙම්පත ලියා පසු දාම තැපැල් කළෙමි.

දෙදි­න­කට පසු ඇගෙන් පිළි­තුරු ලැබිණ.

ඊට පසු දින ද මම ඇයට ලිපි­යක් ලියා යැවීමි. ඉන් පසු දින ද ලිවිමි. තුන් වැනි දවසේ ද ලිවිමි. ඒ හැම ලිපි­ය­ටම දිගින් දිග­ටම පිළි­තුරු දින­ප­තාම මට තැපෑ­ලෙන් ලැබිණ.

මේ අයු­රින් මසක් ගෙවී ගියේය. ඒ අනුව මගේ ලිපි තිහක් හෝ තිස් එකක් ඇයට යැවුණු අතර එබ­ඳුම පිළි­තුරු සංඛ්‍යා­වක් මට ලැබිණ.

ඒ අනුව ඊළඟ මාස තුනේද දින­පතා ලියන ලද ලිපි අනූ­වක් ඇයට ලැබුණු අතර ඒවාට ඇගෙන් පිළි­තුරු අනූ­වක් මට ලැබිණ.

සිව් වැනි මස ද පස් වැනි මස ද එලෙ­සින් ම ගෙවී ගියේ ය.

කලා­තු­ර­කින් දව­සක මොකක්දෝ වැර­දී­ම­කින් අපට ලිපි ලැබුණේ නැත. එබඳු දව­ස්වල අපි බල­වත් සන්තා­ප­යෙන් පසු විමු. අප ඒ සන්තා­පය දුරු කර ගත්තේ කවි කල්ප­නා­වක් නිමවා එය ලියා තැපැල් කිරී­මෙනි. මෙබඳු කල්පනා අත­රට සොඳුරු සිති­විලි, අස­නීප ගති, කලා තොර­තුරු, ජෝති, මිල්ටන්, වල්පොළ, බෙග්, මල්ල­වා­රච්චි බඳු ගාය­ක­යන්ගේ ගීත­වල කොටස් ආදිය ද අන්ත­ර්ගත විය. මේ හැම ලිපි­යක්ම අපේ අනා­ගත අපේක්ෂා මුසු වූ ශෘංගා­රා­ත්මක ‍ලේඛන බව කිව යුතුය.

මෙප­රි­ද්දෙන් මාස හයක් ගෙවී ගියේය. දිනක් මගේ මාපි­යන් ඇතුළු වැඩි­හිටි නෑ පිරි­සක් ඇගේ නිවෙස බලා ගියහ. මම නිවෙ­සෙහි හුදෙ­කලා විමි. ඒ හුදෙ­ක­ලාව පලවා හරිනු පිණිස අප ඥාතීන් පිටත්ව ගිය ඒ මහ පාන්ද­රම මම ඇයට ලිපි­යක් ලිය­න්නට පටන් ගතිමි.

ලිපිය ලියා ලිපි කව­රයේ බහා අලවා පසෙක තැබූ මම ඇදෙහි ඇලවී ගීයක් මිමි­ණිමි. ඉක්බිති මට මහා තනි­ක­මක් දැනිණ. මම නැගිට තවත් ලිපි­යක් ලිය­න්නට පටන් ගතිමි. ඉන් අන­තු­රුව දැනුණු හුදෙ­ක­ලාව දුරු කර ගත්තේ ද තවත් ලිපි­යක් ලිවී­මෙනි. දැන් ලිපි තුනකි. තුන හතර විය. හතර පහ විය. පහ හය විය. එදින රාත්‍රියේ නෑ පිරිස අපේ නිවෙ­සට එන විට මා දහ හතර වැනි ලිපිය ද ලියා අව­සන්ව තිබිණ. පසු දින ම ඒ සියල්ල තැපැල් කළෙමි.

ඒ ලිපි 14 බෙද­න්නට ඇගේ ගෙද­රට ගිය තැපැල් පියුන් සම්බ­න්ධ­යෙන් පසුව අපූරු තොර­තු­රක් ලැබිණ.

ඔහු ඇගේ ගෙදර උද­විය දන්නා හඳු­නන අයෙකි. ලිපි­යක් බෙද­න්නට ගිය විට ඔහු තමාට පිරි­නැ­මුණු තේ කෝප්පය බී විටක් හප­න්නට ද පුරු­දුව සිටි­යේය. එවර ඔහු එහි ගිය දිනයේ දුර බැහැර රැකි­යා­වක නිර­තව සිටි ඇගේ පියා ද නිවා­ඩු­වට ගෙදර පැමිණ සිටි­යේය.

එදින ද ඔහු සප්පා­යම් විඳ පියා වෙත හැරී ‘මෙන්න වෙද මහ­ත්තයෝ දුවගෙ නමට ලියු­මක්’ යයි කිය­මින් පළමු ලිපිය බාර දුන්නේය. ඊළ­ඟට ආ තව එකක් තියෙ­නවා කිය­මින් දෙවැන්න ද දුන්නේය. ‘මේං තව එකක්’ කියා තෙවැ­න්නද , ‘ආ තව තිය­න­වනේ’ කිය­මින් සිවු වැන්න ද, පස් වැන්න ද, දෙමින් ඔය ආකා­ර­යෙන් ලිපි දාහ­ත­රම බාර දුන්නේලු.

ලියු­ම්කරු ගිය පසු පියා මඳ සිනා­වෙන් යුතුව දිය­ණිය වෙත හැරී මෙසේ කීවේලු.

‘දුවේ, මේ වැඩේ නං හරි­යන්නේ නෑ. පුතාට කියන්න මේ කට­යුත්ත ඉක්මන් කරන්ඩ කියලා’

ඒ එසේ වුව ද අපේ විවා­හය දිනෙන් දිනම කල් ගියේය.

හත් වැනි මාසය වන විට මට ලැබිය යුතු ලිපි තිහ වෙනු­වට ලැබෙ­න්නට පටන් ගත්තේ විසි­ප­හක් පමණ වීම ගැට­ලු­කාරී විය. සති අන්තයේ ලැබිය යුතු ලිපිය හෝ දෙක අතු­රු­දන්ව ගියේය.

ලිපි නැති වීම ගැන තැපැ­ල්ක­රු­ගෙන් ඇසූ විට ඒ ගැන හාන්කා­වි­සි­ය­ක්වත් නොදන්නා බවට ඔහු දිවු­රු­වේය. ඉන් පසු තැපැල් ස්ථානා­ධි­ප­තිට කළ පැමි­ණි­ල්ලද පල රහිත විය.

ලිපි නැති­වීම නව වැනි මස දක්වා ඇදි ඇදී ගියේය. මින් බල­වත් සේ හිත් වේද­නා­වට පත් මම දිනක් ඇයට විශේෂ ලිපි­යක් ලිවීමි

‘........අද මං ගියා අපේ සුදු මාම­ලගේ ගෙදර. එයා කොළඹ මහ තැපැ­ල්හලේ ලොක්කා. තැපැ­ල්ප­ති­තුමා. අපේ ලිපි නැති­වීම ගැන මං එයාට පැමි­ණිලි කළා. එයා කිව්වා “තව දවස් කීප­යක් ඉව­සල බලන්ඩ. ඉදි­රි­ය­ටත් එහෙම වු‍ණොත් මං ඔය හාද­යාව අල්ලා­ගෙන යාප­නේට දඬු­වම් මාරු­වක් කර­න්නම්” කියල. දැන් ඉතින් බය­වෙන්ඩ දෙයක් නෑ. පව් කිය­ලත් හිතෙ­නව. ඒ වුණාට කරන්ඩ දෙයක් නෑ. මිනිහ වැරැ­ද්දක්නෙ කරන්නෙ. මාමත් අනු­කම්පා කරන ජාතියේ මිනි­හෙක් නෙමේ. ලියුම් උස්සන කෙනා තමයි අපිට හොයා ගන්ඩ වෙන්නෙ...’

ඉන් පසු අපේ ලිපි නැති වුණේ නැත.

වැඩි කල් නොගොස් අපේ විවා­හය ද සිදු විය.

අද මම වයස අවු­රුදු හැත්තෑ තුනක විය­පත් තැනැ­ත්තෙක්මි. ඇයට අවු­රුදු හැට නව­යකි. අපි එදා මෙන්ම අද ද සුපු­රුදු සෙනෙ­හ­සින් බැදී සිටිමු. පුදු­මය වන්නේ අද පවා අපට සති­ය­කට හෝ දෙක­කට දුරස් වී විසි­වී­මට සිදු­වු­ව­හොත් පරණ පුරු­ද්දට ලිපි­යක් දෙකක් ලියැ­වී­මය. ටෙලි­ෆෝන් කිරීම ලිපි­යක් ලිවීම මෙන් සුන්දර නැත.

මොර­ටුවේ, විල්ලෝ­රා‍ ­වත්තේ සිරි­මල් පීරිස් මහතා විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රිනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

Comments