
සේවාවේ නම “කොම්ෆෝර්ට් විමෙන්“ හෙවත් අනුන් සතුටු කරවන කතුන් යන්නය. එය පැවැතියේ දෙවැනි ලෝකය යුද සමයේය. අරමුණ වූයේ හමුදා සෙබළුන්ගේ ඕනෑ එපාකම් පිරිමැසීමය. එහි අද කතාව ලියැවෙන්නේ එදා ගොදුරු බවට පත්වූ කාන්තාවන්ගේ සටනක් විලසිනි.
දරුණු යුදයක් පවතින බිමක ඕනෑම සැහැසිකමක් සිදුවන්නට පුළුවන. හැත්තෑ වසරකට පෙර දෙවැනි ලෝක සංග්‍රාමය පැවැති අවස්ථාවේදී ජපාන අධිරාජයාගේ යුද හමුදාව අහස පොළොව නුහුලන එවැනි අපරාධයක් කළේය. ඒ අපරාධයට ගොදුරු වුණේ යුදය ගැන තබා තමන් ජීවත්වන අවට ලෝකයේ සිදුවන දේ ගැනවත් හරිහැටි අවබෝධයකින් පසු නොවුණු අහිංසක තරුණියන් පිරිසකි. නිදහස භුක්ති විඳිමින් ආත්ම ගරුත්වයක් ඇතිව ජීවත්වුණු මේ තරුණියන්ට “කොම්ෆෝර්ට් විමෙන්” හෙවත් “අනුන් සතුටු කරවන කතුන්” යන ලජ්ජා සහගත ලේබලය ඇලවිණ. තරුණියන් ඒ ලේබල් කිරීමට යටත් කෙරුණේ ජපාන පාලකයාගේ පූර්ණ අනුදැනුම සහ අවශ්‍යතා මධ්‍යයේ ය.
අනුන් සතුටු කරවන කතුන්ට සිදුවුණේ ජපාන හමුදා සාමාජිකයන්ගේ ශාරීරික සහ මානසික ඕනෑ එපාකම් පිරිමසන්යි. කෙටියෙන් කිවහොත් ජපාන හමුදා නිලධාරීන් කරන ලිංගික බලහත්කාරකම්වල සිට ඔවුන්ගේ අත පයේ හිරිවැටීම් සහ ඈලි මෑලිකම් ගසා දමන්නට කරන පහරදීම් දක්වා වූ නොයෙකුත් ආකාරයේ තාඩන පීඩන ඊට ඇතුළත් වූ බවය. ජපාන හමුදාව “කෙළි බඩු” බවට පත් කරගත් ඒ තරුණියන් ගැන ලෝකයා එතෙක් - මෙතෙක් කිසිවක් කතා කළේ නැත. මානව හිමිකම් ගැන දැඩි ලෙස කතාකරන සමාජයක, එය පුදුමාකාර දෙයකි. කෙසේ වුවත් ඔවුන්ට සිදුවුණු දැඩි අසාධාරණය ඒ විදිහටම යටපත් වී යන්නට ඉඩ දියයුතු ද නැත. එදා ජපාන හමුදාවන්ගේ මනදොළ පිරවූ ගැහැනු කිහිපදෙනෙක් තමන්ට සිදුවුණු අසාධාරණය ලෝකයට හෙළි කරන්නට දැන් පෙරට පැමිණ සිටිති. ඔවුන් තරයේ කියා සිටින්නේ වත්මන් ජපන් බලධාරීන්, එදා ජපාන හමුදාවන්ට ලිංගික වහල්කම් කළ ඒ ගැහැනුන්ගෙන් නිල වශයෙන් සමාව ගත යුතු බවකි. ඔවුන් තම ඉල්ලීම ජපන් බලධාරීන්ට යොමුකර වසර ගණනාවක් ගත වී ඇත. එහෙත් තවමත් ඔවුන්ට ජපාන බලධාරීන්ගෙන් හරියාකාර උත්තරයක් ලැබී නැත. මේ කතුන්ගේ ඒ ඉල්ලීම සහ හඬ නැඟීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය දක්වාත් දැන් ළඟා වී තිබේ.
එකී සමා යැදුම සිදුකරන මෙන් ජපන් රජයට බලපෑම් කරන්නේ බෙහෙවින්ම වියපත් අත්තම්මලා තිදෙනෙකි. දකුණු කොරියාවේ ගිල්, චීනයේ කාඕ සහ පිලිපීනයේ ඇඩෙලා යන අත්තම්මලා ඊට නායකත්වය දෙමින් සිටිති. මේ අත්තම්මලා තිදෙනාත් කාලයක් “කොම්ෆෝර්ට් විමෙන්” බවට පත්කරනු ලැබ සිටියහ. රටවල් තුනක සංස්කෘතීන් තුනකට අයත් අයවලුන් වුවත් ඔවුන්ගේ ජීවිතවල බොහෝ තැන් අඩු වැඩි වශයෙන් එක හා සමාන ය. තමන්ගේ ජීවිතවල හොඳම කාලය බලහත්කාරකම්වලට මැදිව ගත කිරීම සහ ලජ්ජාව නිසාම ඒ සියලු දුක් ලෝකයාගෙන් වසන්කර පසු කාලීන ජීවිතයට මුහුණදීම යන කාරණා ගත්විට ඔවුන් අතර ඒ හැටි අසමානකමක් නැත.
දකුණු කොරියා ජාතික ගිල් වොන් වක් හෙවත් ගිල් අත්තම්මා තමන්ගේ අවනඩුව කියන්නට පැමිණෙන්නේ දකුණු කොරියාවේ සියෝල් නුවර ජපාන තානාපති කාර්යාලය ඉදිරිපිටටයි. මේ ඉල්ලීම කරන්නට නූතන පරම්පරාවල අයත් ඈ සමඟ එක්ව සිටිති. එනිසා ඈ තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණෙන දාට එතැන ඇත්තේ මහා කාලගෝට්ටියක් සහිත උද්ඝෝෂණයකි. වෛශ්‍යාවකැයි කියමින ආක්‍රෝශ පරිභව කරන්නන් ඉදිරියේ ගල් පිළිමයක් මෙන් නොසෙල්වී හිඳිමින් ගිල් අත්තම්මා තම විරෝධතාව ආරම්භ කරන්නීය.
චීනයේ කාඕ අත්තම්මාගේ කතාව මෙයට වඩා තරමක් වෙනස්ය. චීනයේ ඉතා දුෂ්කර කඳුකර ගම්මානයක් තුළ ජීවිතය ගෙවා දමමින් සිටි ඈ තමන් “කොම්ෆෝර්ට් විමෙන්” ලේබලයේ ගැහැනියක බව කිසිවකුටත් දැනගන්නට ඉඩක් නොතැබුවාය. අඩුතරමින් ඇගේ සමීපතම ඥාතීහු පවා ඒ බැව් නොදත්තහ. එහෙත්, තමන් වසන ප්‍රදේශයේ එකල ජීවත්වුණු තරුණියන් බුරුතු පිටින් ජපන් හමුදාවේ වියරු කාමාශාවන්ට ගොදුරු වුණු හැටි ඇයට තවමත් අමතක නැත. ඒ වේදනාකාරී අඳුරු අතීතය ගැන කතා කරන්නට කාඕ අත්තම්මා යම්තමටවත් කැමති වූයේ ඉතිහාසඥයකු කළ ඉල්ලීමක් අහක දමන්නට බැරිකමට ය.
ජපාන හමුදා සාමාජිකයන්ගේ මනදොළ පිනවීමේ කාර්යයෙන් මිදුණු තමන්ට සැබෑවටම ආදර කරන කෙනෙකු හමු වූ බව පිලිපීනයේ ඇඩෙලා අත්තම්මා පවසන්නීය. එහෙත් තමන්ගේ අතීත අත්දැකීම් කිසිවක් තම පෙම්වතාට හෙළි නොකරන්නට ඈ වග බලාගෙන තිබේ. ඔහු සමඟ විවාහ වූ පසුවවත් ඇඩෙලා ඔහුට තම යටගියාව ගැන කියා නැත. තම අතීත කතාව ලෝකයෙන් තවදුරටත් සඟවා තබාගැනීම අසාධාරණයක් සහ යුක්ති සහගත නොවන දෙයක් බැව් වියපත් ඇයට එත්තු ගැන්වී තිබේ. එදා ජපාන හමුදාව තමන්ගේ කෙළි බඩු බවට පත් කරගත් කතුන්ගෙන්, වත්මන් ජපන් බලධාරීන් සමාව ගත යුතුය කියන තැනට ඇයත් දැන් පැමිණ සිටින්නීය.
දෙවැනි ලෝක යුද සමයේ සහ එයට ආසන්න කාලයේදී ජපාන අධිරාජයාගේ හමුදාව පවත්වාගෙන ගිය “කොම්ෆෝර්ට් විමෙන්” සේවය වත්මන් ලෝකය හඳුන්වන්නේ ලිංගික වහල් සේවාවක් හැටියටයි. හමුදා සහ රජයේ බලධාරීන්ගේ පූර්ණ ආශිර්වාදය මැද පවත්වාගෙන ගිය මේ සේවාවට බඳවාගෙන සිටි ගැහැනුන් ගණන කෙතෙක්දැයි කියා කියන්නට කිසිවකු දන්නේ නැත. ජපාන ඉතිහාසඥ ඉකිහිකෝ හතා පවසන පරිදි එතුළ රඳවාගෙන සිටි ගැහැනුන් සංඛ්‍යාව 20,000ක් පමණ වේ. චීන ඉතිහාසඥයන් කියා සිටින්නේ “කොම්ෆෝර්ට් විමෙන්” යැයි කියා ලේබල් කර 410,000කට ආසන්න ගැහැනුන් සංඛ්‍යාවක් ජපන් හමුදාව ලිංගික වහල් සේවයේ යෙදවූ බවකි. සංඛ්‍යාව කවරක් වුවත් “කොම්ෆෝර්ට් විමෙන්” සේවාවට විවිධ රටවල කාන්තාවන් යොදවාගෙන සිටි බව නම් සැබෑවකි. එහි වැඩිපුරම දැකිය හැකි වුණේ චීන, කොරියා සහ පිලිපීන ජාතික මාගමුන් බව සඳහන් වේ. එසේ වුවත් මේ ලියන් රඳවාගෙන තිබුණු “කොම්ෆෝර්ට් ස්ටේෂන්” හෙවත් මනදොළ සපුරන මධ්‍යස්ථාන තුළ බුරුම, තායිලන්ත, වියට්නාම, මැලේසියා සහ තායිවාන කාන්තාවෝ ද සිටියහ. ජපාන හමුදා සාමාජිකයන්ගේ මනදොළ සපුරා ලූ එකී මධ්‍යස්ථාන ජපානය, චීනය, පිලිපීනය, මැලේසියාව, තායිලන්තය, බුරුමය, නිව් ගිනියාව, හොංග් කොංග් ආදී රාජ්‍ය විශාල සංඛ්‍යාවක් පුරා පැතිර පැවැතියේය. ජපනුන් එකල තම බලය විහිදුවා ගෙන සිටියේ යම් තැනෙකද ඒ සෑම තැනෙකම වාගේ පළමුව කී ලිංගික වහල් සේවාවත්, එම මධ්‍යස්ථානත් තිබූ බව සඳහන් වේ. තමන් යටතේ තිබුණා වූ එම ප්‍රදේශවලින් ජපනුන්, තරුණියන් පැහැරගෙන විත් “කොම්ෆෝර්ට් විමෙන්” සේවාව පවත්වා ගෙන ගොස් ඇත. ජපනුන් සමහර තරුණියන්ව මුළා කර තිබෙන්නේ කර්මාන්ත ශාලා, ආපන ශාලා, ආදියෙහි රැකියා දෙන බව කියමිනි. තවත් සමහර අවස්ථාවලදී උසස් අධ්‍යාපන අවස්ථා විවර කර දෙන බව කියාත් තරුණියන් රවටා තිබේ.
මේ සේවාවට ජපාන රජයෙන් කෙතරම් අනුග්‍රහයක් ලැබුණේදැයි කියා කිවහොත් ජපාන නාවික සහ යුද හමුදා සමාජ රෝගවලින් මුදා ගැනීමේ ගැටලුවක් පවා එකල පැන නැඟී තිබී ඇත. ඊට පිළියමක් හැටියට උපත් පාලන අැවිරුම් දහස් ගණනක් එම හමුදා අතට පත් කරන්නට ජපාන රජය 1943 වනවිට කටයුතු කර තිබේ. සෑම ලිංගිකව එකතුවකින් පසුව කොම්ෆෝර්ට් ළඳුන්ට ප්‍රතිජීවක එන්නත්, උපත් පාලන ඖෂධ ආදිය ලබා දුන් බැව් සඳහන් වේ. තරුණියන්ට ප්‍රතිජීවක ලබා දී තිබෙන්නේ ඔවුන් ඉතා දරුණු ලිංගික හිංසනයන්ට ලක් වූ බැවිනි. ප්‍රතිකාර කිරීමේ කාර්යය සිදු ව තිබෙන්නේ ජපන් වෛද්‍යවරුන් අතිනි. ප්‍රතිකාර කළ නොහැකි මට්ටමේ පසුවුණු කතුන් එලෙසම මියැදෙන්නට අත්හැර දමා තිබුණු බවත් කියැවේ.
මේ කාරණා සැලකිල්ලට ගන්නා විට “කොම්ෆෝර්ට් විමෙන්” සේවාව හරහා සිදුව තිබෙන්නේ කෙතරම් දරුණු මානව හිංසනයක්දැයි කියා ඕනෑම කෙනෙකුට සිතා ගත හැකිය.