සුවහසක් බැතිමතුන් වෙනුවෙන් දාස්පෙතියා වවන පින්වත් තරුණයා | සිළුමිණ

සුවහසක් බැතිමතුන් වෙනුවෙන් දාස්පෙතියා වවන පින්වත් තරුණයා

වැඩි දෙනා මල් වැවීම සිදු කරන්නේ අලංකාරය සඳහාය. ඇතැමෙක් විකිණිම සඳහා මල් වවති. එහෙත් පූජා කිරීම සදහා පිනට දෙන්නට මහා පරිමාණ ලෙස මල් වැවීම යනු අති දුර්ලභ කාරණාවකි. එවන් අපුර්ව කටයුත්තක නිරත වන පුණ්‍යවන්ත හදවතක් පිළිබඳව අනුරාධපුර ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. පසුගිය දා අනුරාධපුරයේ දී අවසන් වූ දහස්පතියා මල් පූජාවත් සමඟ මෙම දහස්පතියා මල් වවන පුණ්‍යවන්ත තරණයා පිළිබදව කතාව කරළියට පැමිණියේ ය.

අනුරාධපුර , තිරප්පනේ ප්‍රදේශයේ , ගල්කිරියාගම නම් ගමෙහි වෙසෙන මොහු අක්කර දෙකකට අධික භුමි භාගයක දහස්පෙතියා මල් වවා තිබේ. එය දුටුවන් මන බඳනා අලංකාරවත් දසුනකි. වැසි රහිත කාලයක වුවද මහත් උත්සාහයෙන් මෙම මල් වගාව පවත්වාගෙන යන්නේ , පිනට ලබා දීම සදහාම වීම විශේෂත්වයකි. නමින් ඩබ්ලිව්.ජී.එස් . පද්මකුමාර ලෙස හදුන්වන මොහු යුද හමුදා සේවයේ නිරතව විශ්‍රාම ලබා සිටී. කර්කශ යුද පිටියෙහි අවි සමග හරඹ කරමින් සෙබළ භුමිකාවක සිටි ඔහු දැන් පිං තකා මල් වවන්නේ ය. බුද්ධගයාවෙහි මහා ඉහළින් පැවැත්වූ දහස්පෙතියා මල් පූජාවක් රූපවාහිනියෙන් දුටු ඔහුට එකෙණෙහිම මෙම මල් වැවීමේ අදහස පහළ වූ බව කියයි. මේ වන විටත් අනුරපුර ථූපාරාමයේ පූජාවක් සඳහාත්, පසුගියදා පැවැති දහස්පතියා මල් පූජාව සදහාත් මල් ලබාදී ඇත. සිය ගමෙහි සහ අවට ගම්මානවල වැසියන් පැමිණ රිසි සේ මල් නෙළාගෙන යන්නේ කිසිදු ආයාසයකින් තොරවයි. ඒ නම් මෙම තරුණයාගේ පුණ්‍යවන්ත අරමුණ ඉටු වීම ය. මල් රැගෙන යන්නන් කොයි තරම් නම් පින් පෙත් ඔහු වෙත ළඟා කරනවා ඇත්ද ? මෙය නම් වර්තමාන තරුණ පරපුරට අති උතුම් ආදර්ශයකි. මොහු සිදු කරන්නේ මිල කළ නොහැකි කටයුත්තකි.

මේ කාර්යය සිදු කිරීම සදහා අනුරාධපුර අභිමංසල සුව සහන නිකේතනයේ සේනා විධායක කර්නල් හේරත් මහතා ද පුර්ණ සහය ලබා දී තිබේ. දෙපා අහිමිව සිටිය ද, අභිමංසලෙහි සිටින සමරරත්න නම් රණවිරුවා ද මේ සදහා දිරිගැන්වීම් ලබා දී ඇත. තම ගම වන ගල්කිරියාගම ප්‍රදේශයේ ගම් වාසීන් ද, වෙහෙරගල, ඇතුන්ගම ආදී ගම්මානවල ජනතාව මේ සදහා ලබාදෙන සහය ද අගය කරන බව මෙම පින්වත්, ආදර්ශවත් පුද්ගලයා අප සමඟ කීය.

 

Comments