ගුරුවරුන්ගේ විභාග රාජකාරි දීමනා ඉහළට | සිළුමිණ

ගුරුවරුන්ගේ විභාග රාජකාරි දීමනා ඉහළට

ඉදිරියේදී විභාග රාජකාරිවල නිරත ගුරුවරුන්ගේ දීමනා ඉහළ නැංවීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් දී ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් අධ්‍යාපන ඇමැතිවරයා කියා සිටියේ, විදුහල්පතිවරුන් සඳහා දුන් දීමනාව රු.750 සිට 6,500 දක්වා ඉහළ නැංවීමට පියවර ගත් වත්මන් රජය කිසිවිටකත් අධ්‍යාපනයට අගතියක් වන කිසිදු දෙයක් සිදු නොකරන බවයි.

අධ්‍යාපන ඇමැතිවරයා මේ බව පැවසූයේ නිවාඩු කාලවලදී ගුරුවරුන්ගේ වැටුප් නතර කිරීමට තමා පියවර ගැනීමට සූදානම් වන බව දක්වමින් සමාජ ජාල මාධ්‍යවල සහ වෙබ් අඩවි කිහිපයක පළ වී තිබූ අසත්‍ය පුවත පිළිබඳ ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග ගැන හෙළි කරමිනි.

වත්මන් රජය අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති දැවැන්ත ව්‍යාපෘති මඟින් අත් වන ප්‍රගතිය ඉවසාගත නොහැකි කණ්ඩායම් පටු දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරමින් තමා සහ අමාත්‍යාංශය අපහසුතාවට පත් කිරීම සඳහා මෙවැනි මඩ ව්‍යාපාර ක්‍රියාත්මක කරමින් සිටින බවද ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Comments