
තව මොහොතකින් උදාවෙන සුබ නැකතින් හැම දෙනාගේම හිත්වල සතුටේ කිරි ඉතිරී යනවා ඇත. ස්වල්ප වෙලාවකින් මහා රතිඤ්ඤා වැලක්ම පත්තුවී ගියේය. එකා පසුපස එකා බැගින් විසල් වාහන දෙකක් අභිනව ගෘහ අංගණය වෙතට සැපත් වෙද්දී අහල පහල අයත් පෙළ ගැසි බලා සිටියේ පුදුම වෙමිනි.
ඒ පැමිණි ඇමතුමෙන් මලින්දගේ මුහුණ බෙරිවෙන හැටි ශ්‍රීමාල් බලා සිටියේ සීරුවෙනි. හරියට කනට වස විසක් වත්කරනවා වගේ ඔහුගේ ඉරියව් වෙනස් වෙයි. මලින්ද හෙමිහිට ඒ ඇමතුම ශ්රීමාල්ටත් ඇසෙන්නට මොබයිලයේ බොත්තම එබුවේ කරදරය බෙදාගන්නට වගේය.
“මට දැනගන්ට ඕනෑ මොකක්ද මේ වෙලා තියෙන විලම්බෑසිය කියලා...!”
එහා පැත්තෙන් ඇහුණේ මලින්ද ගේ අප්පච්චි, ඩග්ලස් ගොඩලියද්ද ගේ ගාම්භීර කටහඬය.
“අපි ඔයාට කිසි වෙනස්කමක් මදිපාඩුවක් කරල නෑ පුතා... තේරුණා ද? දැන් දැන් ඔයාගෙ තියෙන ඔළ මොට්ටල වැඩ හින්දා ආයෙත් අම්මා අසනීප වුණොත් ඔයා වගකීම බාර ගන්නවද ආ...?”
“මම ඔය අප්පච්චිලා හිතන විදියෙ ඔළමොට්ටල වැඩක් කරලා නෑ... අම්මාට අප්සෙට් යන්න තරම්.... ඒවා ඔයාලා හිතින් මවා ගන්නා හිතලු අප්පච්චි...”
“කට වහගන්නවා... එහෙනම් වැඩට යනවා කියලා ගිහිල්ලා ඇයි එතැන නැත්තෙ? කතා කරනවා!”
මලින්ද නළල රැළි ගන්වා ශ්‍රීමාල් දිහා බලයි.
“ආ... අප්පච්චි... මං හරියට පොඩි ළමයෙක් වගේ හිතලනෙ මං ගැන චෙක් කරන්නෙ... මං මේ අද වැඩි වැඩක් නැති නිසා ශ්‍රීමාල් මල්ලිලා හම්බවෙන්න ආවා.. හරි අප්පච්චි මං එහෙනම් තියන්නද මේ වාහනේ එළවනගමන් ඉන්නෙ...” මලින්ද ශ්‍රීමාල්ට ඇහැක්ද ගසයි.
“හා... හා... පරිස්සමින්... එහෙනං... ඔය පාරවල්වල වාහන එළවද්දි... මේ අම්මගෙ වදේ හින්දා තමා මට හරිම කරදරේ. තෙරුවන් සරණයි. එහෙනං තියනවා...!”
“අපේ අප්පච්චිලාට වැඩක් නෑනෙ.. ඉතිං වැඩ මවනවා. එයාලා හරිම තරහින් ඉන්නේ මම එස්ටේට් එකේ ඔපිස්වල වැඩ බලන්නෙ නැතිව මෙහෙම නිදහස් ජොබ් එකක් කරනවට.”
මලින්ද කරුණු පැහැදිලි කරමින් වේටර්වරයා ගෙන ආ තේ එක තොල ගායි.
“ඒ වුණත් මලින්ද අයියෙ... එකපාරටම අප්පච්චිලාගෙ හිත ඔහොම කඩන්න එපා.. මම දවසකුත් කිව්වේ. ඔයාග සම්බන්ධෙ ගැන මොකක් හරි ඉවක් වැටිලත් ඇති එයාලට.. ඒකයි ඔය තරමට හොයන්නෙ..”
“මම දඩබ්බර වුණේ නෑ මල්ලි ඒත්.. අප්පච්චිලාගෙ.. මේ වැඩ.. ජයේන්ද්රගෙ.. කේස් එක දැනගත්තාට පස්සෙ මට මාව පාලනය කරගන්න බැරිවෙනවා එයාලා කතාකරන කොට.. ඇත්තට මෙහෙමත් හාමුලා... යටිකූට්ටු වැඩ කරන...!”
“එහෙමම කියන්නත් එපා.. බලන්න දැන් රදීශ් අයියගෙ අප්පච්චි, ජයසුන්දර මාමා එයත් හාමු කෙනෙක්නෙ.. මොන තරම් ආදර්ශමත් ජීවිතයක්ද ගත කරන්නෙ...”
“හා.. හා... ජයසුන්දර මාමලා ඇවිල්ලා.. ‘අප්ඩේට්’ වෙච්ච හාමුලා... මේ අපේ අප්පච්චිලා ‘එක්ස්පයර්’ වෙච්ච හාමුලා. ඒක තමා වෙනස.. හහ් හා...!”
සහෝදරයන් දෙන්නාගේ හිනාව මහා සද්දෙන් පැතිරෙද්දී නැවත මලින්දගේ දුරකතනය හඬ නඟයි.
“මලින්ද අපි නුවර නැන්දලගෙ ගෙදර ආවා.. හවස අපිට හම්බවෙන්න පුළුවන්...!”
ඒ තරංගා ය.
“ආ... තරංගා!”
මූණට එළිය වැටෙද්දි මලින්ද අත්ඔරලෝසුව දිහා බලයි. ශ්‍රීමාල්ට හිනාවක් යයි.
“ඔයා හතරාමාර වෙද්දි... ඔව්... පාක් එකට... පුරුදු තැනට... හා...!”
“හා... අපි එහෙනම් යමු... නේද මල්ලි...”
ශ්‍රීමාල් හිනාවෙවී මලින්ද දෙස බලයි.
“මොකෝ බං මල්ලි හිනාවෙන්නෙ....?”
ගාස්තුව ගෙවා දමා නැගී සිටින ගමන් මලින්ද අසයි.
“නෑ.. මං.. මේ කල්පනා කළේ.. මෙච්චර වෙලා මහා දඩබ්බර සෙයියාවෙන් මූණ රකුසු කරගෙන හිටපු මලින්ද ගොඩලියද්ද.. එකපාරටම සෞම්යවන්තයෙක් වෙච්ච අපූරුවට.. හහ් හා!”
“අනේ මෙන්න මෙහෙ යමං බං.. යන්න.. උඹත් දැන් මහා සාහිත්‍යකාරයෙක් වෙලා... මේඛලා නිසා...!”
“හා.. හා... අයියණ්ඩි... ඔහොම යං... ඔහොම යං...! හා... බිය නොවන්න අයියණ්ඩි... මං පෙන්නන්නම්.. මැරෙන හැටි නොව... හහ්හා ආදරය කරන හැටි...!”
**********
කරුණාදාස වාහනය සීරුවෙන් පදවන ගමන් වම්පැත්තේ සිටින ජයමාල් දිහා බලන්නේ හොරෙන්ය.
“මොකෝ කරුණාදාස... හොරෙන් හොරෙන් මං දිහා බලන්නෙ ආ...! හහ්හා!”
“අනේ පුංචි හාමු.. මේ දුප්පත් මගේ ඉතිං මොන හොරද ඉතිං...!”
“ආ.. ආ... ඒ කියන්නෙ.. පෝසත් අයගෙ තමා ‘හොර’ වැඩ තියෙන්නෙ එහෙම නේ...!”
කරුණාදාස ගේ අත කලබල වී තිරිංගත් තදවෙන්නේ එකවර ඉදිරියෙන් ආ කලබලකාර මෝටර් සයිකල් කරුවෙකු නිසාය.
“හා.. හා.. පරිස්සමිං... පරිස්සමිං... මං මේ කියන ඒවාට ඉතිං කරුණාදාස කලබල වෙන්න ඕන නෑ නේද? මං අහන්නෙ.. ලොකු ලොකු අයගෙ තමා ‘හොර වැඩ’ තියෙන්නෙ නේද?....”
“අනේ මං දන්නෙ නෑ මේ... බේබි හාමු මොනවා කියනවද කියලා....!
නැවතත් කරුණාදාස අතින් වාහනය ගැස්සෙයි.
“අද කීයටද බේබිහාමු... ඇරෙන්නෙ... හවස පන්තිය?”
“මේ කරුණාදාස නිකං ප්‍රශ්නවලින් පැනලා යන්න හදන්නෙපා... හරිද...”
දැන් ජයමාල් ගේ කටහඬ ආවේගශීලීය. කරුණාදාසට එකවරම මතක් වෙන්නේ ශ්‍රීමාල් බේබිය. අනේ ඒ දරුවා නම් මට කවදාවත් මෙහෙම ඉහමොළ රත්වෙන ප්‍රශ්න දාන්නෙ නෑ.
“මේ බලන්න.. කරුණාදාස.. මම කොහොමත් අපේ අයියා වගේ උපාසකයෙක් නෙමෙයි හරිද? මම කෙළින් කතා කරන කෙනෙක්. මේක මට කියන්න.. මේ ලොකු ලොකු අයගෙ.. අපි කියමු හාමු ගොල්ලගෙ.. හරියට ‘හොර වැඩ’ නේද? ඒවා ගැන කරුණාදාසලත් දන්නවා ඇති නේ...?”
කරුණාදාසගේ වම් කම්මුල වෙව්ලා යයි. කටහඬත් බරවෙලාය.
“අනේ.. මේ පුංචි හාමු... අපි මේ දුප්පත්කමට රස්සාවල් කරලා හම්බකරන් කන අහිංසක මිනිස්සු... මේ...”
“ඇති.. ඇති.. කරුණාදාස.. නවත්තගන්න ඔය හෑටෑව.. ඔයාලා ඉතිං... ‘දේව රහස්’ රකින්න බැඳිලානේ ඇත්තේ.. ගේට්ටුවෙන් ඇතුළට ගන්න ඕන නෑ.. වාහනේ ඔහොම නවත්තන්න මං බැහැලා යන්නම්...”
පාසල අසලට එද්දී ජයමාල් කේන්තිය පිටකළේ එලෙසය.
“ඇ... ඇයි... පුංචි හාමු...”
“ඔහොම නවත්තන්න! මං බැහැගන්නම්...!”
සුදු ඇඳුමින් සැරසුණු ළමයින් අතරේ ජයමාල් බේබි ගේ රුව වියැකී යන තුරු බලා සිටි කරුණාදාස වාහනය පණ ගැන්වූයේ දිගු සුසුමක් හෙලමින් ය.
ඒ සුසුම තුළ තමා රැකගෙන සිටින හාමුලාගේ ‘දේව රහස්’ වල ගින්දර උණුසුම රැඳිලා ඇති බව දන්නේ දුප්පත් ඔහු විතරය.
********
ගෙට ගෙවදින දවස ඇවිල්ලාය. දැන් ජයේන්ද්රට සහ සමන්තිට වඩා මේ ගැන විශේෂ සතුටක් තියෙන්නේ චන්ද්රලතාටය.
“ළිප මොළවන දේවල් ටික ඔක්කොම ලෑස්තියි නේද අම්මේ... කිරි උතුරවන.. දේවල් එහෙම...?”
සමන්ති අසන්නේ චන්ද්රලතාගෙනි. ඒ, කුඩා දරුවා වඩාගෙන නළවන ගමන්ය.
චන්ද්‍රලතා ගේ මුහුණ මලක් සේ පිබිදිලාය.
“අනේ ඔව් හාමු දූ... ඔක්කොම ලෑස්තියි.”
“මේ අම්මෙ මං කියලා තියෙනවානෙ මට ‘හාමු දූ’ කියන්න එපා කියලා. මට දුව කියලා කතා කරන්නකො. දැන් මාස ගාණක් තිස්සෙම මම අම්මට මේක කියනවා. ඔන්න අපේ අලුත් ගෙදරට ගියාමවත් ඔය ආමන්ත්රණ කෑල්ල වෙනස් කරගන්න ඕනෑ හරිද?”
චන්ද්‍රලතා අහිංසක හිනාවක් පාන්නේ හිත ඇතුෙළ් ගොජදමන සතුටින්ය. සමන්ති ගැන ආදරය තවත් මොළවාගනිමින්ය.
“ඔන්න.. අපේ අප්පච්චිලත් ඒවි.. නිර්මලා නැන්දලත් ඒවි.. අම්මේ.. හොඳට ජයපහට කෑම මේසෙ ලෑස්තිකරන්න ඕනෑ අර මනුස්සයත් ඉන්නවානේ උදව්වට..!”
ජයතිස්ස එහාට මෙහාට දුවන්නේ හරියට කකුල්වලට රෝද සවිකරපු ගානටය. චන්ද්‍රලතාට දුකත් හිතේ... ජයෙන්ද්‍ර පුතාගේ වැඩෙත් උදේ ඉඳන්ම කළමනා ලෑස්තිකරන එකය. මේක ඇත්තට තම තමන්ගේ ජීවිතවල ලොකුම ජයග්‍රහණයක්. චන්ද්‍රානිත් පාසල් නොගොස් නැවතුනේ අයියලාගේ වැඩවලට උදව් කරන්නටය.
තව මොහොතකින් උදා වන සුබ නැකතින් හැම දෙනාගේම හිත්වල සතුටේ කිරි ඉතිරී යනවා ඇත. ස්වල්ප වෙලාවකින් මහා රතිඤ්ඤා වැලක්ම පත්තු වී ගියේය. එකා පසුපස එකා බැගින් විසල් වාහන දෙකක් අභිනව ගෘහ අංගණය වෙතට සැපත් වෙද්දී අහල පහල අයත් පෙළ ගැසි බලා සිටියේ පුදුම වෙමිනි.
ලබන සතියට...