මළත් සැපයි! | සිළුමිණ

මළත් සැපයි!

ඔවුහු මිය­ගොස් බොහෝ කල්ය. එහෙත් ඥාතීන්ට ඔවුන් නොමළ වුන් මෙනි. නිවෙ­සට කැඳවති. කවති. පොවති. නහ­වති. මේවා සිදු­වන්නේ ඉන්දු­නී­සි­යාවේ සුල­වෙ­සීහි ජන­තාව අත­රය.

අපි බොහෝ­ දෙ­නෙක් මර­ණය ගැන කතා කර­න්නට පවා අකැ­මැ­ත්තෙමු. දිනෙක අපේ ජීවි­තත් මර­ණ­යෙන් කෙළ­වර වන වග සිත­න්නේ­වත් නැති අය ඕනෑ තරම් ය. එහෙව් කලෙක මිය­ගිය අයෙ­කුට, නොමළ කෙනෙ­කුට මෙන් සත්කාර කරන පිරි­ස­කුත් මේ මිහි­පිට වෙසෙති. ඔවුන් සිටින්නේ ඉන්දු­නී­සි­යාවේ සුල­වෙ­සීහි ටොරාජා ප්‍රදේ­ශය ය.

“තාත්තා තව­මත් අස­නීප ගති­යෙ­නැයි” කිය­මින් මිය­ගිය තාත්තාට සත්කාර කරන නිවෙ­සක් ඒ ගමෙහි එක් තැනෙක තිබේ. ඒ නිවෙ­සෙහි ලීයෙන් කළ ආලි­න්දයේ ගෘහ භාණ්ඩ කිසි­වක් නැත. බිත්ති­යෙහි එල්ලා ඇති පින්තූර කිහි­පය අඳු­රෙහි ගිලි ගිලී නිසො­ල්ම­නට තනි රකී. නිවෙ­සෙහි ඇතුළු බරා­ඳ­ය­කින් කිසි­වෙකු කතා කරන හඬ සිහි­න­යට නැඟ එයි. හරි­යට, නොවිය යුත්තක් එහි සිදුව ඇත්තාක් මෙනි. ගුප්ත ගූඪ බව ඕනෑ­ව­ටත් වඩා එහි කඩා හැලේ. ඒ අතර වා රැලි කපා­ගෙන එන කෝපි සුවඳ, එහි වූ මූසල බවට තර­මක හරස් කැපි­ල්ලක් එක් කර­මින් තිබිණ.

“... ඔයාගේ තාත්තාට කොහොම ද?...” එහි පැමිණි එකි­යක නිවෙසේ ගැහැ­නි­ය­ක­ගෙන් අසනු ඇසෙයි.

“ තව­මත් ඔහු ලෙඩ ගානේ තමයි ...” කියා ඒ ගැහැ­නිය ඉතා­මත් සන්සුන්ව පිළි­තුරු දුන්නාය.

පිළි­තුරු දුන් ගැහැ­නිය නමින් මමක් ලීසා ය. ඈ හුන් තැනින් නැඟිට අමුත්තා සමඟ තාත්තා සිටින කාම­ර­යට වැදු­නාය. සය­න­යක බාවා තිබූ ප්‍රම­ණ­යෙන් තොර තාත්තාගේ දේහය වෙත ඈ ළඟා වූයේ සිහි­න­යෙන් මෙනි. තාත්තාගේ අතක් මෘදු­වට අල්ලා ගත් මමක් “... තාත්තේ, අමු­ත්තන් ඇවිත් ඉන්නවා තාත්තාව බලන්න. මට හිතෙන්නේ ඔවුන් දකින එක තාත්තාට අම­තක නොවෙන දෙයක් වෙයි. තාත්තා උරණ වෙන එක­කුත් නැහැ කියලා මට හිතෙ­නවා. ...” යැයි කියා වච­න­යෙන් වච­නය සීරු­වට ගළ­ප­න්නට වූවාය. මමක්ගේ ඒක පාර්ශ්වික දෙඩ­වුම සමාන වුණේ පණ ඇති­වුන් දෙදෙ­නෙකු අතර කෙරෙන සංවා­ද­යක කොට­ස­ක­ටයි.

ඊළ­ඟට මමක්, මාද එහි කැඳ­ව­න්නට පසු බට නොවිණ.

මමක්ගේ තාත්තා හෙවත් පවුලෝ සිරින්ඩා හොවා තිබුණු යහන දිගේ මගේ දෑස් එක­ණෙ­හිම ඒ මේ අත ගියේ අද­හ­ග­න්නට බැරි කිසි­වක් දුටු කලෙක මෙනි. පවුලෝ සිරි­න්ඩාගේ දේහයේ සත­පවා තිබුණු සය­නය වීදු­රු­ව­කින් වසා දමා තිබිණ. ඒ වීදු­රුව සියුම් දූලි පට­ල­ය­කින් අව­පැහැ ගැන්වී තිබුණේ ය. මමක්, පවුලෝ සිරින්ඩා සමඟ නන් දෙඩු­වත් අවු­රුදු ගණ­න­කින් මෙහා පැත්තට, පවුලෝ සිරි­න්ඩාගේ ඇඟේ රෝම­යක් වත් සෙල­වුණු පාටක් පෙනෙ­න්නට තිබුණේ නැත. ඔහුගේ දේහය මුළු­ම­නින්ම වාගේ රෙදි පෙරෙ­දි­ව­ලින් ඔතා ආව­ර­ණය කර තිබිණ. එය, අඩු තර­මින් රෙදි තට්ටු දෙක තුන­කි­න්වත් ඔතා තිබු­ණේය. ඒ නිසා ඔහුගේ දේහයේ සැබෑ ස්වරූ­පය මට දැක ගත හැකි වුණේ අතැ­නින් මෙතැ­නින් යම්ත­මට ය. ඔහුගේ සම ගොරෝසු වී අළු පැහැ­යට හැරී ඇති බවක් ඒ තැන්ව­ලින් පළ­විණ. ඒ මදි­වාට පවුලෝ සිරි­න්ඩාගේ දේහය කෘමීන්ට හොඳ ආහා­ර­යක් වී තිබු­ණේය. කෘමීන් කිසිදු ලෝබ­ක­මක් නැතිව උන්ට රිසි ලෙස ඔහු දේහය සිදුරු කර තිබුණේ මමක් තමන්ගේ තාත්තාව පරෙ­ස්සම් කර­න්නට දරන වෑයම තුට්ටු­ව­ක­ට­වත් මායිම් නොක­ර­මිනි.

ඒ අත­ර­තුර මමක්ගේ දඟ පොඩි­වුන් කිහි­ප­දෙනා කාම­ර­යට කඩා­ගෙන පැන්නේ අණක් ගුණක් නැති ගානට දඟ­ල­ගෙන ය. ඔවුන්ගේ කොක් හඬ තැළීම­ටත්, කෑගෑ­ම්ව­ලත් සීමා­වක් නොති­බිණ. මමක් ඒ ළම­යිව ආණ්ඩු මට්ටු කර­න්නට පටන් ගත්තේ “... නව­ත්ත­පල්ලා, ඔය කෑගැ­හිල්ල. සීයා නිදි. උඹල හදන්නේ සීයාව කේන්ති ගස්ස ගන්න. ...” යැයි කිය­මිනි.

මමක්ගේ තාත්තා මිය­ගොස් තිබුණේ වසර දොළ­හ­කට ඉහ­තදී ය. ඒ අවු­රුදු දොළහ පුරාම මමක්ගේ පවුලේ උද­විය සිතුවේ පවුලෝ සිරින්ඩා ජීව­තුන් අතර සිටි­තැයි කියාය. මළ ඥාතීන් නොමළේ යැයි සිතා සංග්‍රහ කිරීම සුල­වෙසි ප්‍රදේශයේ ජන­තා­වට ආග­න්තුක දෙයක් නොවේ. වසර සිය ගණ­න­කට ඉහත ඔවුන්ගේ ඥාතීහු පවා ඒ චාරිත්‍ර ඒ අන්ද­මින්ම ඉටු කළහ. ඇතැම් තැනෙක මිය­ගිය අයගේ දේහ වසර ගණ­නා­වක් තබා ගැනිණ. තවත් තැනෙක මේ චාරිත්‍ර පැවැ­ත්වුණේ මාස ගණ­නක් පුරා පමණි. ඒ කවු­රුත් තමන්ගේ මළ ඥාති­යාට දින­කට දෙව­රක් ආහාර පාන මෙන්ම දුම්වැටි ආදි­යෙ­නුත් සංග්‍රහ කරති. සම­හර තැනෙක මෘත දේහය නහවා පිරි­සුදු කර අලුත් ඇඳුම් ඇන්ඳ­වී­මත් දින­ප­තාම වාගේ කෙරේ. දේහය සහිත කාම­රයේ පසෙක තර­මක් විශාල කෝප්ප­යක් තබ­න්න­ටත් සම­හරු අම­තක නොක­රති. ඒ, මිය­ගිය ඥාති­යාගේ ශරීර කෘත්‍යය සඳහා ය. මිය පර­ලොව ගිය­වුන්ට හරි­හැටි සංග්‍රහ නොක­ළ­හොත් ඔවුන්ගේ ආත්ම ජීව­ත්ව­න්න­වුන්ට කර­දර කරන්නේ යැයි කියන විශ්වා­සය මත මේ සම්ප්‍ර­දාය එදා සිටම ඉටු කෙරිණ.

මේ සංග්‍ර­හ­යන් කෙරී අව­සන් වන­තුරු දේහ සංර­ක්ෂ­ණය කර ගත්තේ ශාක කොළ­ව­ලින් ලබා ගන්නා සාර­යන් එහි ආලේප කර­මිනි. සම­හර තැනෙක ඒ සඳහා ෆෝර්ම­ලින් වැනි රසා­ය­නික ද භාවිත කෙරේ. දේහ­යක් තබා තිබෙන කාම­රය සැර ගන්ධ­ය­න්ගෙන් පිරි ඉතිරී ගිය තැනක් බවට පත්වුණේ එනි­සයි.

වසර ගණ­නක් තිස්සේ හෝ මාස ගණ­නක් තිස්සේ හෝ කෙරෙන මේ සංග්‍ර­හ­ව­ලින් පසු ආද­හන කට­යුතු සිදු කෙරේ. ආදා­හන කට­යුතු කෙරෙන්නේ ඉතා­මත් වර්ණ­වත් පෙර­හ­ර­කින් ද සම­න්විත චාරිත්‍ර වාරිත්‍ර මධ්‍ය­යේය. ඒ සඳහා සහ­භා­ගී­වී­මට ඥාතීහු විශාල පිරි­සක් ආරා­ධනා ලබති. සම­හර ඥාතීන් ඊට සහ­භාගී වන්නේ විදේ­ශ­යන්හි සිට පැමි­නෙ­මිනි.

ප්‍රදේ­ශයේ ධන­ව­තකු සහ බල­ව­තකු හැටි­යට ජීව­ත්වුණු ඩෙන්ගෙන්ගේ ආදා­හන කට­යුතු කෙරුණේ ඔහුගේ අභා­ව­යෙන් වස­ර­කට පමණ පසු­වය. ඒ ආද­හන උත්ස­වය දින හත­රක් පුරා ඉතා උත්ක­ර්ෂ­වත් අන්ද­මින් පැවැ­ත්විණ. එය නැටුම්, ගැයුම් සහ වැයුම් ඇතු­ළත් උත්ස­ව­යක් වූයේය. උත්ස­වය අත­ර­තු­රදී ගව­යන් 24දෙනකු සහ ඌරන් සිය­දෙ­නෙකු ඔහු නමින් මරා දැමුණු බව සඳ­හන් වේ. මරා දැමුණු ඒ සතුන්ගේ මස් ආද­හන උත්ස­ව­යට පැමිණ සිටි­ය­වුන්ට බෙදා දෙන ලදී. මේ උත්ස­වය අව­සන් වූයේ මර­ණ­යට පත් තම ඥාති­යාට අව­සන් ගමන යන්නට ඉඩ සල­ස­මිනි. ඥාතීන් කිසි­වකු ඒ අව­ස්ථා­වේදී වැල­පෙන්නේ නැත. ඔවුන්ට වැල­පෙ­න්නට අව­ශ්‍ය­තා­වක් ද නැත. ඔවුහු සියලු දෙනාම තම සමී­ප­ත­මයා මර­ණ­යට පත්ව ඇති බැව් ඒ වන­විට සහ­සු­ද්ධ­යෙන්ම අව­බෝධ කර­ගෙන සිටිති.

(බී.බී.සී. මාධ්‍ය­වේදී සහාර් සෑන්ඩ්ගේ අත්දැ­කීම් ඇසු­රෙනි.)

Comments