අපි එහෙම නන්න­ත්තාර වෙන්නේ නැහැ | සිළුමිණ

අපි එහෙම නන්න­ත්තාර වෙන්නේ නැහැ

චන්ද්‍ර­ල­තාගේ අතීත රූසි­රිය ගැනත් ටිකක් මත­ක­යට ගනි­මින් නැකැත් උන්නැහේ උපැස් යුවළ නළ­ලට අර­ගෙන එසේ කියද්දී චන්ද්‍ර­ල­තාගේ හිත‍ ‍මො­හො­ත­කට ගැස්සෙයි. චන්ද්‍රානි දුවගේ කේන්ද­රය බල­ලාත් ඔහු ඒ වගේම අනා­වැ­කි­යක් කීවා මත­කය. චන්ද්‍ර­ලතාගේ කුතු­හ­ලය තේරුම් ගත්තා වගේ නැකැත් උන්නැහේ කට කොනට හිනා­වක් නගා­ගෙන කේන්දර දෙක දිග හැර­ගත්තේ නැකත බල­න්න­ටය.

දැන් ආලි­න්ද­යම හරි­යට උසා­වි­යක් වගේය.

විල්ප්‍රඩ් රත්න­සේ­කර නැවත ද තමා‍ගේ ප්‍රශ්නය අසයි. රදීශ් වට­පිට බලයි. නැවත ජය­මාල් දෙස බලයි.

“මං අහන්නෙ... කොහෙන්ද මෙයාව අහු­ල­ගත්තෙ..? ඇයි.. මට උත්තර දෙන්න බැරි..?”

බස්තම කෙළින් කර­මින් නැවත බිම තබ­මින් ආලි­න්දයේ දිග මනින අප්පච්චි දිහා ජය­මාල් බැලුවේ අමු­තුම හැඟී­ම­කිනි. මොහො­තට කලින් මලින්ද අයියා කියූ අලුත් ම ආරං­චිය ඔහුගේ හිත පාර­වයි. පන්න­රය ලැබෙන්නේ ඒ පෑර­වි­ල්ලෙනි. ජය­මාල්, රදීශ්ට ඇහෙන් කියන්නේ ඇත්ත කියන ලෙසයි.

“මෙහෙ­මයි මාමෙ... හදි­සියෙ මලින්ද අයියා ඇවිත් ජය­මාල් මල්ලිව එක්කරං ගිහිල්ලා තිබුණා... කැෆේ එකට...!” දැන් රත්න­සේ­කර හාමු හිස වනයි. නිර්මලා මැණිකේ කම්මු­ලට අතක් තබා­ගෙ­නය. ජන්තු සිරියා කරු­ණා­දාස... ඉරි­ය­ව්ව­ලට සම වැදිලා වගේය.

“ඔය දෙන්නා ඉතිරි වෙද්දි අනිත් කට්ටය තම තමුන්ගෙ වැඩ­ව­ලට යනවා හොඳයි!”

පුටුවේ වාඩි­වෙ­මින් රත්න­සේ­කර ගුගු­රයි.

ආලි­න්දයේ ඉති­රි­වන්නේ රත්න­සේ­කර මහ ජෝඩු­වත් ජය­මාල් පුතාත් රදීශ් පුතාත් විතර ය.

“හ්ම්... මට ආරං­චියි... මලින්ද ආපු බව... මොකෝ එයාට තියෙන ප්‍රශ්නෙ ආ...?”

දැන් ජය­මාල් රදීශ් දෙස බලයි.

අප්පච්චි ගැන දැන­ගන්න ආරං­චිය රදීශ් දන්නේ නැත. ඒත් ඔහුගේ යොවුන් සිත ලොකු අර­ග­ල­යක ය!

“ප්‍රශ්න..? ප්‍රශ්න ද නැත්තෙ අප්පච්චි.. මලින්ද අයි­ය­ලාට සෑහෙන ප්‍රශ්න...!”

එවර පියා පුතා දෙස බලන්නේ අමු­තු­ව­ටය.

නිර්මලා මැණිකේ කෑ ගසයි.

“පුතා..! ඔහො­මද අප්ප­ච්චිට කතා කරන්නෙ ආ...?”

“ඉතින් මං බොරු­වක් කිව්වෙ නෑනෙ අම්මෙ...? මලින්ද අයි­ය­ලාට සෑහෙන්න ප්‍රශ්න... ඇයි අම්මා කියන්නෙ නෑ කිය­ලද?”

“පෙනේද මේ ළමයා වැරදි වැඩක් කරලා කට ගහන්න එන ලස්සන.... බලන්න අපෙ මහ­ත්තයා...!”

රත්න­සේ­කර හාමු දකු­ණත දිගු කර මැණි­කේට ඉඟි කරන්නේ නිහඬ වන ලෙස­ටය.

“කොයි හැටි වෙතත් පන්ති යනවා කියලා ගිහිල්ලා කට්ටි පැනලා නන්න­ත්තාර වෙනවා නෙමෙයි. ඔන්න ආයෙ නොකි­ව්වය කියන්න එපා.. හහ්!” ඔහු කියන්නේ තර­හින් පිපි­රෙ­මිනි.

ජය­මාල්ගේ හිසට යක්ෂා­රූඪ වෙනවා ඔහුට ම දැනෙයි.

“අපි එහෙම නන්න­ත්තාර වෙන්නෙ නෑ...! හහ්..”

ඔහු එසේ කියා­ගෙන තම කාම­රය පැත්තට ඇදෙන්නේ ඊග­හක් වගේය.

“ඔය අනිත් අය වගේ...”

වාක්‍යයේ අග කොටස කීවේ ටිකක් එහාට ගිහින් නිසා එය රත්න­සේ­කර ජෝඩු­වට ඇසුණේ නැත. නමුත් වතුර වීදු­රු­වක් රැගෙන යමින් සිටි ජන්තුට ඒ වචන හතර හොඳ­ටම ඇසුණි. ඔහු ඇස් නෙරවා ජය­මාල් බේබි දිහා බැලුවේ ඒ නිසාය.

“මොකෝ ජන්තු ඇ‍හේ දෝස­යක් ද ආ....”

කාම­ර­යට වැදී දොර වසා­ගත් ජය­මාල් ඒ ඇඳුම් පිටින් ම ඇ‍ඳේ හාන්සි වී සිවි­ලිම දිහා බලා­ගෙන කල්පනා කර­න්නට පටන් ගත්තේ ය. රදීශ් අයියා ගියාද නැද්දැයි යන්න ගැන­වත් ඔහුට නින­ව්වක් නැත.

********

චන්ද්‍ර­ලතා ජයේන්ද්‍ර පුතා­ගේත් සමන්ති බේබි­ගේත් අලුත් ගෙට ගෙව­දි­න්නට නැකත් බල­න්නට ගියේ සැත­පුම් දෙකක් පමණ එහා­යින් ඇති නැකැත් උන්නැ­හෙගෙ ගෙද­ර­ටය.

“හා... හා... එන්නකො එන්නකො... ආරං­චියි ආරං­චියි අපේ ජයේන්ද්‍ර කොලු­වට හරි ගිහින් කියලා ඉතිං... ඉතිං...!”

චන්ද්‍ර­ල­තාගේ හිතට හරිම සතු­ටුය. මේ වගේ හොඳ ආරංචි මේ තරම්ම ඉක්ම­නට පැති­රෙන එක මොන­ත­රම් හොඳද.. එසේ සිත­මින් ඇය මඳ සිනා පෑවේ ආඩ­ම්බ­ර­යක් සඟවා ගනි­මිනි.

“දන්න­වනේ.. මම ජයේන්ද්‍ර පුතා ඉතාම කුඩා කාලෙදි කේන්දරේ බලපු වේලා­වෙත් කිව්වා පුදුම වාස­නා­වන්ත ග්‍රහ­චා­ර­යක් තියෙ‍න්නෙ කියලා.. පැල්ප­තක නෙමෙයි මාළි­ගා­වක උප­දින්න වාස­නාව තියෙන කෙනෙක් කියලා මම කිව්වෙ නැද්ද...?”

චන්ද්‍ර­ල­තාගේ අතීත රූසි­රිය ගැනත් ටිකක් මත­ක­යට ගනි­මින් නැකැත් උන්නැහේ උපැස් යුවළ නළ­ලට අර­ගෙන එසේ කියද්දී චන්ද්‍ර­ල­තාගේ හිත‍ ‍මො­හො­ත­කට ගැස්සෙයි. චන්ද්‍රානි දුවගේ කේන්ද­රය බල­ලාත් ඔහු ඒ වගේම අනා­වැ­කි­යක් කීවා මත­කය. චන්ද්‍ර­ලතා ගේ කුතු­හ­ලය තේරුම් ගත්තා වගේ නැකැත් උන්නැහේ කට කොනට හිනා­වක් නගා­ගෙන කේන්දර දෙක දිග ඇර­ගත්තේ නැකත බල­න්න­ටය.

“හාමු­ලාගෙ පර­ම්ප­රා­ව­ලට පෑහෙ­න්නත් ඉතිං එසේ මෙසේ වාස­නා­වක් නෙමේ තීන්න ඕනෑ.”

ඔහු එසේ කියා උපැස් යුව­ළට යටින් චන්ද්‍ර­ලතා දිහා බැලූ බැල්ම සංකීර්ණ එකක් විදි­යට ඇයට පෙනුණි. නැවත උගුර පෑදු නැකැත් උන්නැහේ,

“මේ මං කිව්වෙ.. වල­ව්ව­කින් ආවා­හ­යක් කොර­ගන්න ඉතිං අපේ ජයේන්ද්‍ර පුතා හප­නෙක් වුණානේ... හහ්හා...”

ඒ එක්ක ම තව දෙදෙ­නෙක් කේන්දර බලවා ගැනී­මට ඇවිත් බංකුවේ වාඩි වෙද්දී ඔහු කතා නැති­වම වැඩ­යට අව­තීර්ණ වීමට බැස්සේය.

“ඕං.. ලබන බදාදා... ඉතාම හොඳ නැක­තක් තීනවා... මේ ජෝඩු­වට දරු­වන්ට දෙමා­පි­යන්ට ඔක්කො­ටම සුබ පල උදා­ක­රන නැක­තක්...!” චන්ද්‍ර­ලතා සතු­ටින් සිනා­සී­ගෙන සව­න්දී­ගෙන සිටියේ තම සැමියා ජය­තිස්ස ගැනත් මතක් කර­මින්ය.

********

“ඕං... මං ආවා මලින්ද අයියා... අපි කතා කර­මුකො ප්‍රශ්නෙ ගැන...” ශ්‍රීමාල් මලි­න්දත් සමඟ කියාපු තැනදී හමු­වුණේ හරි­ය­ටම කියාපු වේලා­ව­ට­මය.

“ලෙක්චර්ස් මුකුත් කට් වුණේ නෑ නේද මල්ලි...”

“අපෝ නෑ මලි­න්ද­යියෙ... ඉතිං...”

“උදේ මාතින් වර­දක් වුණා. ජය­මාල් මල්ලිගෙ ක්ලාස් එක කට් වුණා. මං නිසා අප­රාදෙ මට දුකයි ඒ ගැන...”

‘ආ... ඒක තමයි මම ක්ලාස් එකේ එයාගෙ යාළු­වෙ­කුට ගත්තා එයාගෙ ෆෝන් එක ගත්තෙ නැති නිසා. පස්සෙ මම ගෙද­රට ගත්තම ගෙද­රින් කිව්වා ක්ලාස් ගියා කියලා. මං හිතේ කර­ද­රෙන් හිටියේ මොකද වුණේ කියලා...”

මලින්ද සිසිල් බීම වීදු­රු­වට හිස නැඹුරු කර­ග­ත්ව­න­මය. ඊළ­ඟට ඔහු තම හිත කම්ප­න­යට පත් කළ සිද්ධිය ජය­මාල්ට කී විදි­ය­ටම ශ්‍රීමා­ල්ටත් කියා දැම්මේය.

ශ්‍රීමාල් හොඳ­ටම කල­බල වෙතැයි සිතු­වත් එසේ කල­බල නොවීම මලින්ද ගේ පුදු­ම­යට හේතු­වක් විය.

“උඹ මාර පුත්‍ර­යෙක්නෙ ශ්‍රීමාල්... උඹට අප්සෙට් නැද්ද උඹ­ලගෙ අප්පච්චි ජයේ­න්ද්‍රගේ අප්පච්චි වෙච්ච එකට...?”

“මොනවා කර­න්නද බං... ඕවා අප්ප­ච්චිලා කරපු වැඩ මිසක් පුත්තු කළ දේවල් නෙමේනෙ... ඔයාට කියන්න... මට නික­මට හිතුණා... අපේ අප්පච්චි කව­දා­වත් නැතිව එක­පා­ර­ටම සමන්ති අක්කගෙ කසා­දෙට තිබ්බ එදි­රි­වා­දි­කම් අත්ඇ­ර­ගත්තෙ මොකාක් හරි අපි නොදන්න රහ­සක් තියෙන නිසා කියලා...”

“එත­කොට ඔයා කියන්නෙ නිර්මලා නැන්දත් මේ ගැන දන්නවා කිය­ලද?”

මලින්ද ඇසුවේ විම­ති­යෙනි. ශ්‍රීමාල්ගේ උපේක්ෂා සහ­ගත කතාව ඔහුව විම­ති­යට පත්කර ඇත.

“හපෝ නෑ.. මං ඒක­නම් කීය­ට­වත් හිතන්නෙ නෑ... අපේ අම්මා ඕවා ගැන දන්නවා නම් මුළු ගේම දෙද­රාවි.. දන්නැද්ද අපේ අම්මාගෙ හැටි... සුදු නැන්දා වගේම තමයි. කොහොම කොහොම හරි.. මේක මේ විදි­යට සම­හන් වෙච්ච නිසා සුදු නැන්දගෙ ඔළුවෙ අමා­රුව හොඳ වුණානෙ...”

“මට හරි පුදු­මයි ශ්‍රීමාල් උඹ ගැන... මෙච්චර දෙයක් හිතේ තියා­ගෙන උඹ හිටපු හැටි... ඉන්නා හැටි...!”

“නෑ බං අයියෙ.... මගේ හිතේ තිබුණේ සැක­යක් - කුකු­සක් විත­රයි.. දැන් ඒක ඔයාගෙ කතා­වෙන් තමා මට හරි­යට ම ඔප්පු කර­ගත්තෙ... ඒත් මම මේ විදි­යෙම දෙයක් කියලා නම් කීය­ට­වත් හිතුවෙ නෑ. අනේ මංද මේ මහ මිනි­ස්සුන්ගෙ වැඩ....”

“දැන් එත­කොට සමන්ති අක්කා දන්න­වද මේක...?”

ආයෙ­මත් ශ්‍රීමාල් ඇසුවේ උස් හඬින්ය. එවි­ටම ඔහුගේ ජංගම දුර­ක­ථ­නය නාද වෙයි.

“හ‍ලෝ මල්ලි... කියන්න කියන්න.... මං ඔයාට ගන්නයි හිටියෙ.. මං දැන් මේ මලින්ද අයි­යත් එක්ක ඉන්නේ...”

“මලින්ද අයියා කියාපු කතා­වට මට හරිම අප්සෙට් අයියෙ.. මට දැන් අප්ප­ච්චි­ලත් එක්ක මාර තර­හක් තියෙන්නෙ..”

“ආන්න මල්ලි... ඒ හැඟීම වැර­දියි. ඔයා හරිම නරක විදි­යට ඒ දේ බාර­ගෙන කල­බල ඇති­ක­ර­ගන්න එපා. එත­කොට ඔයාට ගෙදර ඉන්නත් බැරි­වෙයි. මටත් මලින්ද ඔය කතාව කිව්වා. මම නම් කියන්නෙ අපිට මහ මිනිස්සු හදන්න බෑ! ඒත් අපි හැදිලා ඉඳිමු ඉස්සෙල්ලා. අපි තවම යැපෙ­න්නෙත් එයා­ල­ගෙන්.. ඔයා පාඩම් වැඩ අත­පසු කර­ග­න්නවා හෙම නෙමෙයි.. හරිද...”

විනාඩි විස්සක් විත­රම ශ්‍රීමාල්, මල්ලිට අව­වාද කළාට පස්සේ මලින්ද ද සැන­සුම් සුසු­මක් හෙලයි.

“උඹ හොඳයි එයාව එහෙම කූල් ඩවුන් කරපු එක.. අපි රදීශ්ට කිව්වෙත් නෑ ඔය කත­න්දරේ...”

“එපා බං.. ඕන නෑ.. කුණු ගොඩ­වල් අවු­ස්ස­න­වට වඩා අපිට මොන­ත­රම් දේවල් කරන්න තියෙ­න­වද?”

“ඒත් අපේ මල්ලි කියන්නා වගේ මේ වගේ දේවල් කර කර මේ කට්ටිය වංසෙ කබල් ගගා පාර­ම්බාන එකයි.. අනිත් අයව පහත් කරලා කතා කරන එකයි මොන­ත­රම් කැතද?”

“කතාව සහ­තික ඇත්ත... ශ්‍රීමාල්... අපේ අප්ප­ච්චිලා වුණත් එච්චර තමා... මහා පම්පෝරි ඇදබබානේ තාම ඉන්නේ... දැන් එයාලා බයේ ඉන්නේ... මාත් කා එක්ක හරි සම්බ­න්ධ­යක් ඇති කර ගනීවි කියලා... වල­ව්කාර දේශ සීමා­වෙන් පිට.... හහ්හා...!”

“ආ... ඉතිං ඔයා දැන­ටම ඒ සීමා­වල් පැන­ලනේ...”

“තරං­ගාට නම් පෙන්නන්න බෑ මේ බොරු මන­ස්ගාත...”

එසේ කියද්දි මලි­න්දගේ ජංගම දුර­ක­ථ­නය නාද වෙයි.

ලබන සතියට‍...

 

Comments