මහා සෑයේ කොත් පැලඳවීමේ උත්සවය ශාසන භේදයකින් කෙළවර වන්නට ගිය හැටි | සිළුමිණ

මහා සෑයේ කොත් පැලඳවීමේ උත්සවය ශාසන භේදයකින් කෙළවර වන්නට ගිය හැටි

අප්‍රතිහත ධෛර්යයකින් යුතුව කළ මෙහෙයුමකින් අනතුරුව ස්වකීය අභිප්‍රාය සපුරාගත් බුරුම ජාතික විනයාලංකාර හිමියෝ චූඩාමාණික්‍යයත් ඇතිව ලංකාවට වැඩම කළහ. එහෙත් බෞද්ධ ලෝකයේ උත්තරීතර පුණ්‍යකර්මය වෙනුවෙන් දේශ සීමාවන්ගෙන් තොරව, ජාති භේදයකින් තොරව ලෝකයේ බොදුනුවන් එක්රැස් වෙමින් සිටි මොහොතක ශාසනයක් තුළ සිදු නොවිය යුතුම තිබූ අසංස්කෘතික ගැටුම අනුරාධපුර රුවන්මැලි සෑ මහ මළුවේ නිර්මාණය වෙමින් තිබිණි.

පුරා දශක හතක් නාරන්විට සුමනාසර හිමි ප්‍රමුඛ උස් හදවත් සහිත මනුෂ්‍යයන් ජීවිත පරිත්‍යාගයෙන් කළ කැපකිරීම්වලින්ද, කුල මල ජාති ආගම් භේද නොතකා සිවු දිගින් පැමිණි නොපැමිණි මනුෂ්‍යයන්ගේ ආධාර මතු නොව ප්‍රාර්ථනාවන්ගෙන්ද ගොඩනැඟුණු මහා සෑයේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය පුහුදුන් මිනිසුන් පිරිසක් නිකායක අධිකාරිය වෙත ලඝු කරන්නට කටයුතු කරමින් සිටියහ.

තුන් නිකාය පිරිත් කීමේ අදහස

මෙතෙක් රටේ තිබූ ආදර්ශය වූයේ ඓතිහාසික දාගැබ්වහන්සේ නමක් ප්‍රතිසංස්කරණය කර කොත් පලඳවන පුණ්‍යෝත්සවයකදී සිවු නිකායික හිමිවරුන් එක්ව පිරිත් සජ්ඣායනා කිරීමය. තිස්සමහාරාම දාගැබ්වහන්සේ ප්‍රතිසංස්කරණය කර කොත් පැලඳවීමේදී සිවු නිකායික හිමිවරු එක්ව පිරිත් කීහ. සේරුවිල මංගල මහා සෑ රදුන්ගේ කොත් පලඳනා උත්සවයේදී සිවු නිකායික හිමිවරු පිරිත් කීහ. ඒ වන විට රටේම මහා බලාපොරොත්තුව වූයේ මහා සෑයේ කොත් නිරාවරණ මංගල්‍යයය. එය අති උත්කර්ෂයෙන් පැවැත්වීම රටේ බෞද්ධයන්ගේ ප්‍රාර්ථනාව විය.

එහි වගකීම පැවරී තිබුණේ මෙතෙක් මේ සද්කාර්යය කළමනාකරණය කළ ප්‍රධානම ආයතනය වූ රුවන්මැලි චෛත්‍ය වර්ධන සමිතියටය. සමිතියේ කෘත්‍යාධිකාරී මණ්ඩලය එක්ව 1940 මාර්තු 17 වැනිදා එක්වී යෝජනාවක් සම්මත කරගත්හ. එහි සඳහන් වූයේ වෙසක් මාසය පුරා පින්කම් මාලාවක් පවත්වා තුන් නිකායික හිමිවරුන් එක්ව පිරිත් සජ්ඣායනා කිරීමේ උත්සවයකින් අනතුරුව මහා සෑයේ කොත නිරාවරණය කිරීමේ අදහසය. අනතුරුව මෙම යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකවරු චෛත්‍යාරාමාධිපති හල්මිල්ලවැවේ ශ්‍රී සුමන රේවත හිමියන්ට ලිඛිතව දන්වා සිටියහ. සමිතියේ ලේකම්වරයා වූ ඩී.එල්.එල් ජිනදාසයන් විසින් 1940. මාර්තු 18 දා යොමු කළ එම ඉල්ලීම මෙසේය.

“ චූඩාමාණික්‍යය පැලඳවීමේ උත්සව සඳහා තුන් නිකායික මහා සංඝයාවහන්සේ ලවා සති පිරිත් දේශනා කරවීම, දන් දීම, පෙරහර කරවීම ආදී පුණ්‍යකර්මයන් කිරීම සඳහා ලබන වෙසක් පුණු පොහෝ දිනයේ සිට පොසොන් පුණු පොහෝ දිනය දක්වා චෛත්‍ය ස්ථානය නිදහස්ව පාවිච්චි කිරීමට ස්ථානාධිපතීන්වහන්සේගෙන් මෙම සංගමය ගෞරවයෙන් ඉල්ලා සිටී. ”

රුවන්මැලි මහා සෑය යළි ගොඩනැඟුණේ රටේ සෑම බෞද්ධයෙකුගේම සිතිවිලි මාත්‍රයක හෝ දායකත්වයෙනි. එක් කලෙක රටේ බෞද්ධයන්ගේ ප්‍රධානම පින්කම වී තිබුණේ මහාසෑය ගොඩ නැඟීමට ආධාර කිරීමය. වර්ෂ 1909 වෙසක් මාසයේ ලක්මිණිපහන පුවත්පතේ ප්‍රවෘත්තියක් පළ කර තිබිණි. ඉන් කියැවුණේ වෙසක් පොහොයට කරන පින්කම් නවත්වා ඒ මුදල මහා සෑය බැන්දවීමට යොමු කරන ලෙසය. නිකාය භේද නොවිණි. ජාති භේද නොවිණි. නාරන්විට සුමනසාර හිමියන් මහාසෑය ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ රාමඤ්ඤ නිකායික භික්ෂුවක ලෙසිනි. එහෙත් මේ ඉල්ලීම සහිත ලිපියට රුවන්මැලි චෛත්‍යාරාමාධිපති හිමියන් ලබා දුන් පිළිතුර දුටුවන් වික්ෂිප්ත කරවන සුලු විය.

“ 18.03.40 දාතමින් යුතුව මා වෙත එවන ලද ලියුම ලැබිණි. එයින් මේ මස 17 දින සිට පැවැත්වුණු චෛත්‍ය වර්ධන සමාගමේ රැස්වීමේදී ස්ථිර කරගත් යෝජනවාව අනුව මගෙන් ඉල්ලා සිටින අවසරය ගැන මට කියන්නට තිබෙන්නේ

චූඩාමාණික්‍යය පලඳවන උත්සවය අවස්ථාවේදී මහාවිහාරයීය භික්ෂුන් විසින් දුර අතීතයේ සිට පවත්වාගෙන එනු ලබන සිරිත්වලට අනුව සියම් මහා නිකයේ භික්ෂූන්ට පමණක් මෙම ස්ථානයේ සති පිරිත් දේශනා කිරීම සඳහා ඉඩ ලබාදීමට පිළුවන් බවත් එයින් අන්‍ය මොනම නිකායික භික්ෂුවකටවත් ඒ සඳහා ඉඩ ලබාදිය නොහැකි බවත් මෙයින් දැනුම් දෙමි.

තවද බණ කියැවීම, දන්දීම, පුදපූජා කිරීම ආදී පුණ්‍යකර්මයන් ස්ථානාධිපතීන්වහන්සේගේ අනුමැතිය පරිදි සිදු කිරීමට පුළුවන් බවත් දැනුම් දෙමි. එසේම මෙම ස්ථානයේ ආණ්ඩුවේ ලියාපදිංචි කළ පිරිවෙන් පවත්වන බැවින් වෙසක් දින පටන් පොසොන් දින දක්වා සම්පූර්ණ මසක්ම එම පිරිවෙන් වසා තබා පුණ්‍යොත්සව සඳහා ස්ථානය අවකාශ දීමට නොහැකි බවත් කනගාටුවෙන් දන්වමි. යථෝක්ත පුණ්‍යොත්සවය සඳහා සති දෙකක් පමණක් ස්ථානය ලබාදීමට පුළුවන් බවත් වැඩිදුරටත් දැනුම් දෙමි.

එසේම මහතුන්ගේ යොජානාවට අයත් චෛත්‍ය ස්ථානය නිදහස්ව පාවිච්චි කිරීම යන වගන්තිය අනවශ්‍ය බැවින් එය පිළිගත නොහැකිය. ඒ සඳහා යෙදිය යුත්තේ චෛත්‍ය ස්ථානය තුළ පින්කම් කිරීමට අවසරය යනුයි. - රත්නමාලී චෛත්‍යාරාමාධිපති ශ්‍රී සුමන රේවත නායක ස්ථවිරයෝය.”

මේ ලිපිය ලැබීමෙන් අනතුරුව 1940 මාර්තුමස 25 දාරුවන්මැලි චෛත්‍යවර්ධන සමිතියේ කෘත්‍යාධිකාරී මණඩලය රැස් වූහ. කේ.ඩී.ආර්.වත්තේවැව විසින් රුවන්මැලි සෑ අධිපති හිමියන්ගේ සංදේශය පිළිබඳ විග්‍රහ කරමින් මින් කියැවෙන්නේ මෙතැන පින්කම් උත්සව කළ නොහැකි බව නිසා මේ සම්බන්ධව බෞද්ධ ජනතාවගෙන් කරුණු විමසීමට යෝජනා කළේය. එය ඒකමතිකව තීරණය විය. තත්වය මෙය නම් මේ සම්බන්ධව කටයුතු කිරීමට සමිතියට බලයක් නොමැති ආකාරය ගැන සමිතියේ ලේකම් ඩී.ඇල්.ඩී ජිනදාස විස්තර කළේය.

මුදලිඳු තැන්පත් ජේ.ඩී.වික්‍රමසිංහයන් යෝජනා කළේ මේ සම්බන්ධව සමිතියේ අනුශාසක වරුන්ගෙන් උපදෙස් ගත යුතු බවටය. මේ යොජනා ඉටු කර සමිතිය 1940 අප්‍රේල් මස 07 දින නැවත රැස්වීමට තීන්දු විය.

මහජනතාවට මේ ගැටලුව ඉදිරිපත් කිරීමේ අදහස අනුව වර්ෂ 1940 මාර්තු මස 27 දා දිනමිණ පුවත්පතේ 2 පිටුවේ තුන්නිකාය පිරිත් කීම සහිත සමිතියේ යෝජනාවත්, ඊට රුවන්වැලි චෛත්‍යාරාමාධිපති හල්මිල්ලවැවේ ශ්‍රී සුමන රේවත හිමි විසින් එවූ පිළිතුරත් ප්‍රකාශයට පත් කෙරිණි.

නිකාය භේදයකට හේතු වූ කැලඹීම

මේ පිළිතුර රට තුළ මහත් නොසන්සුන්තාවක් ඇති කළේය. බෞද්ධයෝ පන්සල් ඇසුරෙහි විරෝධතා ගොඩ නඟන්නට වූහ. රට ජාත්‍යාන්තරය හමුවේ නිරුත්තර වන තත්වයක් ඇති විය. බුරුම බෞද්ධයන් අප්‍රමාණ භක්තියෙන් කළ කැප කිරීම මතු නොව ඒ හරහා ගොඩනැඟුණු රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුව හෑල්ලු වෙමින් තිබිණි. නිකාය ලෙස බෙදී බෞද්ධයන් විරසක වීමේ ලකුණු පහළ විය. මේ විරසකය විසඳාගන්නා තුරු බුරුමයෙන් මහත් ගෞරවපූර්වකව වැඩම කළ චූඩාමාණික්‍යය කොළඹම තබන්නට තීරණය විය.

එවකට සමස්ත ලංකා බෞද්ධ සමිති සම්මේලනයේ සභාපති ගුණපාල මලලසේකරය. ඔහුගේ මැදිහත්වීම සහිතව මේ නොකල් ව්‍යසනය සමථයකට පත් කරගෙන කොත් නිරාවරණය කිරීමේ උත්සවයේදී තුන් නිකායික හිමිවරුන්ට පිරිත් කීමේ අවසරය ලබා ගැනීම සඳහා 1940 අප්‍රේල් මස 05 දා මහා නායක හිමිවරුන් මුණගැසීමට දූත පිරිසක් ගියහ.

මතු සම්බන්ධයි...

 

 

 

Comments