
මහනුවර ඇසළ උලෙළ ලෙස ප්‍රසිද්ධ වූවද, සැබැවින්ම එය සමරන්නේ නිකිණි මාසයේය. සිංහල මාස ක්‍රමය අනුව නිකිණි මාසය යනු වසරේ පස්වෙනි මාසයයි. නිකිණි මාසයේ අමාවක දිනයේ “කප” කපා, නිකිණි මස පුර පෑලවිය දිනයේ “කප” සිටුවීමේ මංගල්‍යය සිදු කිරීම සාම්ප්‍රදායික සිරිතයි. “කප” කැපීමේ චාරිත්‍රයන් සහ, එය පෙරහරින් වැඩම වීමට අදාළ අතීතයත්, සම්ප්‍රදායත් පසුගිය ලිපියෙන් විස්තර කෙරුණු අතර අද ලිපියෙන් සාකච්ඡා කරන්නේ කප් සිටුවීමෙන් පසු සිදුකෙරෙන පෙරහර චාරිත්‍ර පිළිබදවයි.
“වන්නකු රාල” විසින් බෙදා දෙන තමන්ට හිමි “කප” කොටස ඇතුපිට පෙරහරෙන් රැගෙන යන සෙසු දේවාල භාරකරුවන් ඒවා සිය දේවාලවල ගෞරවයෙන් තැන්පත් කරයි. නමුත් විෂ්ණු දේවාලයේ පමණක්, කප රැගෙන ඒමක් සිදු නොවේ. එය එලෙසම ‘පල්ලේ දේවාලයේ” හෙවත් දැඩිමුණ්ඩ දේවාලයේම රඳවා තැබේ. ඒ පසු දින සුබ නැකතට සිටවන තුරුය. දළදා මාළිගයේ දියවඩන නිළමේ වරයාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රධාන නැකැත්කරු ලබාදෙන එකම නැකතකට විශේෂ පුද පූජා වලින් අනතුරුව සිවු දේවාල වල “කප’ සිටුවිම සිදු කරයි.
සෑම දේවාලයකම “ඇහැළ-ගේ” හෙවත් ‘රිට්ටා ගේ” නම් සුවිශේෂී ස්ථානයක් වේ.”කප” සිටුවන්නේ එහිය. කප සිටුවීමෙන් පසුව ඇතුළු පෙරහර වාර පහක් පැවැත්වීම සිදුවේ. එය සෑම දේවාලයකම වෙන වෙනම සිදු කෙරේ. සාමාන්‍යයෙන් එම පෙරහර මහජනයාට විවෘත නොවේ. දේවාලයේ කපුවන් සහ රාජකාරිකරුවන් සිය දේවාල රාජකාරියෙහි අඳින සාමාන්‍ය ඇඳුම් ආයිත්තම්වලින් සැරසී මෙම පෙරහරේ ගමන් කරයි. සමහර විටෙක අලි ඇතුන්ද ඇතුළු පෙරහරේ ගමන් කරයි.
එහිදී පළමු පෙරහර දේවාභරණ සමඟ දේවාලය වටේ කුඩා දුරක් පැදකුණු කරයි. දෙවැනි, තෙවැනි පෙරහරේදී වාර ගණන ක්‍රමයෙන් වැඩි වේ. පස්වන පෙරහර දේවාල වල දොරටුව ආසන්නයට හෝ දේවාභරණ ඇතුපිට තබන පීඨිකාව දක්වාම ගමන් කර නැවත දේවාලයට ගොඩ වේ.
ඉන්පසුව ඇරඹෙන්නේ “කුඹල් පෙරහර”යි. දළදා පෙරහර දේවාල පෙරහර සමඟ සම්බන්ධ කිරීමට පෙර අවධියේ දී මෙම පෙරහැරේ “කප” රැගෙන ගිය බවක් මූලාශ්‍ර වල දැක්වේ. රොබට් නොක්ස් විසින් රචිත An Historical Relation of the Island Ceylon කෘතියෙහි සිංහල පරිවර්තනයේද “කප” රැගෙන පෙරහරේ ගිය කපුවන් ගැන කියැවේ. කප සඳහා පර්යාය පදයක් වන”කුඹ” යන්න හේතු කොටගෙන මෙම පෙරහර කුඹල් පෙරහර යනුවෙන් හැඳින්වෙන බව සෙනරත් පරණවිතානයන් සිය ලේඛනයක දක්වා තිබේ. එහෙත් වර්තමානයේ නම් “කප” පෙරහැරේ රැගෙන යන්නේ නැත. ඒ වෙනුවට සුවිශේෂ වූ දේවාභරණ ඇතුපිට පෙරහැරේ ගෙනයයි.
ක්‍රි.ව. 1753දී මෙරටට උපසම්පදාව රැගෙන බුරුමයේ සිට පැමිණි ප්‍රවර උපාලි හිමියන්, කීර්ති ශ්‍රි රාජසිංහ රජුට කළ ඉල්ලීමක් අනුව එම වසරෙන් පසුව දළදා පෙරමර පෙරටු කොටගෙන දේවාල පෙරහර පවත්වන ලෙස නියෝග කර තිබේ. නාථ දේවාලයද දළදා පෙරහරට එක්වන්නට ඇත්තේ ඒ සමඟම බව විශ්වාස කළ හැක්කේ, එසමයට පෙර යුගයේදී “නාථ දේවාල” පෙරහරක් ගැන මූලාශ්‍ර නොලැබෙන බැවිනි.
පෙරහර සැලැස්මේදී දළදා පෙරහරට මුල් තැන ලැබෙන අතර, මතු බුදු වන අවලෝකිතේෂ්වර නාථ දෙවියන්ගේ පෙරහර දේවාල පෙරහර අතරින් මුල්තැන ගනී. ඊළඟට පිළිවෙළින් උත්පලවර්ණ විෂ්ණු, කතරගම සහ පත්තනි දේවාල පෙරැහරට පෙළගැසේ.
දළදා මාලිගාවේ පෙරහරට ධාතු කරඩුව වඩම්මන අතර අලි ඇතුන්ද සහභාගී කරවති. දළදා මාලිගාවේ කාරිය කරවන රාල විසින් මෙම පෙරහරේදී මාලිගාව තුළ තිබෙන මුරායුධ, පලිහ, සේසත්, රිදී, උඩැක්කි, පන්තේරු, රීදී අත්පන්දම්, වඩන තල අතු, ආදිය පිරිසුදු කොට ඒවාත් කුඹල් පෙරහර වීදි සංචාරය කරවයි.
කුඹල් පෙරහරේදී නිලමේවරුන් සහ රජකාරිකරුවන් සැරසි සිටින්නේ සිංහල රජ සමයේ හැඳි උඩරට මුළු ඇඳුමේ සැකැස්මෙන් අඩකිනි. එය හඳුන්වන්නේ “අඩ ඇඳුම” නමිනි. කිසියම් නැටුම් කණ්ඩායමක ශිල්පියෙකු හෝ වාදකයෙකු නවකයෙකු ලෙස දළදා පෙරහරට සම්බන්ධ වන්නේ නම් ඔහු හෝ ඇය පළමු වරට ශිල්ප දැක්විය යුත්තේ කුඹල් පෙරහරෙහිය. අභ්‍යාස අවධිය කුඹල් පෙරහරේ ගත කිරීමෙන් පසුව පමණක් ඔවුනට “රන්දෝලි” පෙරහරේ ශිල්ප දැක්වීමට අවස්ථාව ලැබේ.
පෙරහර සඳහා ‘වෙඩිමුර” මඟින් සංඥා නිකුත් කෙරේ. පළමු සංඥාවට දේවාල පෙරහර දේවාලවලින් පිටත් වී පෙරහර ආරම්භක ස්ථානයට පැමිණේ. දෙවැනි වෙඩි මුරය නිකුත් වන්නේ දියවඩන නිලමේ විසින් සධාතුක කරඬුව රන්සිවිගෙයි තැන්පත් කිරීමෙන් පසුවය. තෙවැනි වෙඩි මුරයට දළඳා පෙරහරෙහි කරඬුව සහිත ඇතු පෙරහරට එක්වෙයි. ඒ සමඟම පෙරහර ඇරඹේ. කුඹල් පෙරහර පහත්, රන්දෝලි පෙරහර පහත් මෙලෙස සංවිධානය වීම අතීතයේ සිට අද දක්වාම සිදු කෙරේ.
කුඹල් පෙරහර දින පහක් පුරා වීදි සංචාරය කරන අතර දිනපතා පෙරහර අවසානයේ පළමුව මාලිගාවේ පෙරහර මාලිගාවට ගෙවදී. අනතුරව දේවාල පෙරහර දේවාල වලට ගෙවැදී ‘මුරතැන් පූජාව” සිදු කරයි. “මුරුතැන් පූජාවෙන්” පසු දේවාලවලට තවත් වරක් කුඩා පෙරහරක් සංවිධානය කිරීමට සිදුවේ. ඒ පෙරහර “දෙවේලේ පෙරහර” ලෙසද, බිසෝ පෙරහර ලෙසද හඳුන්වයි. සෑම දේවාලයක්ම නැටුම් කණ්ඩායම් කිහිපයක් සමඟ ඇතුපිට දේවාභරණ වැඩමවමින් රජ මැදුරු චතුරස්රයේ පමණක් මේ පෙරහර පවත්වන්නේ “රජතුමාගේ රන්දෝලි බිසවට” පෙරහර නැරඹීම සඳහාය. අද දවසේ නම් රාජ්‍ය නායකයාගේ බිරිය මෙම පෙරහර නැරැඹීමට නොපැමිණෙන නමුදු පෙර චාරිත්‍රය රකිමින් අද ද “දෙවේලේ පෙරහර” හෙවත් බිසෝ පෙරහර සිදු කරයි.
ඉන්පසුව ඇරැඹෙන්නේ “රන්දෝලි පෙරහර” ය. එහිදී නිලමේවරුන්, ශිල්පීන්, රාජකාරිකරුවන් සමඟ අලි ඇත්තුද තමනට හිමි නියමිත ආභරණ සහ ඇඳුම්වලින් සැරසී පෙරහරේ ගමන් කරති.
රන්දෝලි පෙරහර දළදා පෙරහරේ සුවිශේෂි පෙරහර ලෙස සැලකේ. එම පෙරහරේ රජතුමාගේ අග බිසව හෙවත් රන්දෝලි බිසව ගමන් කර ඇති නිසා මෙම පෙරහර රන්දෝලි පෙරහර වන්නට ඇති බවට විශ්වාස කෙරේ. අතීතයේ රජ බිසව මහජනතාවට දැක ගැනීමට තිබු දුර්ලභ අවස්ථාවලින් එකක් ලෙස එම අවස්ථාව ඉතිහාස මූලාශ්රවල හදුන්වා තිබේ.
රන්දෝලි පෙරහර සදහා මාලිගාවේ ප්‍රධාන දොරටුව අබියසදී කරඬුව ගෙන යන ඇතා සරසනු ලබයි. නිලමේලා ද තම තමන්ට නියමිත දේවාලය හා මාලිගය තුළ සූදානම් වෙති.
පළමු වෙඩි හඩත් සමග සිවු මහා දේවාල පෙරහර මාලිගාව අසලට ගමන් කිරීම අරඹත්ම දළදා මාලිගාවේ හේවිසි මණ්ඩපයට එකතු වන පනික්කයන් දිය වඩන නිලමේ කැදවා ගෙන එන්නට ඔහු සිටින කුටියට ගොස් වැද නමස්කාර කොට ඔහු කැඳවාගෙන ආ යුතු වේ. එවිට තූර්ය නාද පැවැත්වෙන අතර දළදා කරඬුව ඇතු පිට තබනු ලැබේ.
මෙයට හේවිසි මණ්ඩපයේ සිටම පාවඩ එළනු ලැබේ. හදුන්කුඩම ළඟදි කත්තියන රාලගෙන් වතුර කෙණ්ඩියක් ගෙන පිරිසුදු වු බව දැනගන්නා දියවඩන නිලමේ නියමිත නැකතට අනුව කරඬුව පාවඩ පිට වඩම්මවනු ලැබේ. ඒ අතර ඔහු දෙපස අත්පන්දම් හා වඩ තලඅතු අල්ලන අය තම තමන්ගේ රාජකාරී කරමින් ගමන් කරනු දැකිය හැකිය. අවසාන වෙඩි මුරයත් සමග පෙරහර ගමන් අරඹන අතර ප්‍රධාන දොරටුව ඉදිරියේදී දියවඩන නිලමේට සමන්පිච්ච මල් මාලාවක් පලඳවයි.
වර්තමානයේ දළදා පෙරහරේ රැගෙන යන්නේ සධාතුක කරඬුවකි. 1928 ට පෙර සමයන්හීදි නම් “දන්ත ධාතූන්” වහන්සේ පෙරහරෙ වැඩම කොට ඇත. දළඳා පෙරහර අවසානයේ “බිසව”ගේ දෝලාවන් සංකේතාත්මකව රැගෙන යන අතර ඉන්පසුව ගමන් කරන දේවාල පෙරහරවලද රන්දෝලි එක බැගින් රැගෙන යයි. ඒවායේ විශේෂ දේවාභරණ රැගෙන යන අතර පත්තිනි දේවාලයේ රන්දෝලියේ පමණක් “පත්තිනි” දේව ප්‍රතිමාවක් රැගෙන යයි.
දළඳා පෙරහරේ පෙළගැස්ම වරින් වර වෙනස් නොවන අතර අතීතයේ සිට පිළිගත් එක් පිළිවෙළකට පමණක් එය පෙළගැස්වේ. එ් අනුපිළිවෙළ පහත පරිදිය.
01. ආරක්ෂක පෙර ගමන් රථය 02. කස කරුවන් 03. ගිනිබෝල 04. බෞද්ධ කොඩි 05. රෙදි දිසා කොඩි 06. පිත්තල දිසා කොඩි 07. කඩු 08. හේවිසි 09. බුලත් පදය නැටුම 10. පොල් මල් නැටුම 11. කොතලපදය නැටුම
12.චාමර නැටුම 13. පන්තේරු නැටුම 14. පතුරු නැටුම 15. වේවැල් නැටුම 16. පන්තේරු නැටුම 17. සවරන් නැටුම 18. නෛයන්ඩි නැටුම 19. ළී කෙළි නැටුම 20. තම්මැට්ටම් වාදනය 21. රබන් කන්ඩායම 22. තාලම් නැටුම 23. පන්තේරු නැටුම 24. මිශ්‍ර ගැමි නැටුම 25. ගොයම් නැටුම 26. නෛයන්ඩි නැටුම 27. උඩැක්කි නැටුම 28. වෙස් නැටුම 29. කාරිය කරවන කෝරාළ 30. දෑල ඇතුන් සමඟ කරඬුව වැඩමවිම 31. බෞද්ධ කොඩි 32. කවිකාර මඩුව 33. මල් පහන් 34. වෙස් නැටුම 35. දියවඩන නිලමේ 36.දෙපස මුරායුධ සහ කුඩ 37. ගම් දහයේ විදානේවරු
දළදා පෙරහරෙන් පසුව ගමන් කරන්නේ නාථ දේවල පෙරහරය. එහි කොඩි ලෙස රැගෙන යන්නේ බෞද්ධ කොඩි පමණෙකි. නාථදේවාලයේ පෙරහරේ සියලු ඇඳුම් සහ ආයිත්තම් නිර්මාණය වන්නේ කහ පැහැයට මුල් තැන දෙමිනි.දේවාල පෙරහරක් වුවද මෙහි බෞද්ධාගමික හුරුවක් දක්නට ඇත. දේවාභරණ රැගෙන ප්‍රධාන ඇතුද, දැලේ ඇත්තුද ගමන් කරති.
තෙවනුව පැමිණෙන්නේ ගුරුළු දේව රථය පෙරටු කරගත් විෂ්ණු දේවාල පෙරහරයි. එහි දේවාල නින්දගම් වලට අදාළ කොඩි සහ නිලමේවරයාගේ ප්‍රදේශය නියෝජනය කරන කොඩි ගෙන යයි. සියලු සැරසිලි නිල් පැහැයට හුරුය. දේවාභරණ රැගෙන යන්නේ දෑලේ ඇතුන් දෙදෙනෙකු සමඟය. ඉන්පසු නර්තනාංග කිහිපයක් ද මහ දේවාලයේ, දැඩිමුණ්ඩ දේවාලයේ , පිටිසර විෂ්ණු දේවාල වල නිලමේවරු සහ රාජකාරිකරුවෝ ද ගමන් කරති.
සිවු වැනුව කතරගම දේවාලයේ පෙරහර ගමන් කරයි. මුලින්ම මයුරා රථය පැමිණේ. අනතුරුව දේවාල නින්දගම් වලට අදාළ කොඩි සහ නිලමේවරයාගේ ප්‍රදේශය නියෝජනය කරන කොඩි ගෙන යයි. කතරගම පෙරහරේ ඇඳුම් පැලඳුම් සහ ආලෝකකරණ වර්ණය රතුය. දේවාභරණ රැගෙන යන්නේ දෑලේ ඇතුන් දෙදෙනෙකු සමඟය. ඉන්පසු නර්තනාංග කිහිපයක් ගමන් ගනී. “කාවඩි නර්තනය’ මෙම පෙරහරේ ආකර්ෂණියම නර්තනාංගයයි.
අවසාන අංගය ලෙස පැමිණෙන්නේ පත්තිනි දේවාල පෙරහරයි. මෙම පෙරහරේ කාන්තා ශිල්පීන් සඳහා වැඩි ඉඩක් ලබාදේ. දළදා පෙරහරේ කතුන් සහභාගි වන්නේ පත්තිනි දේවාල පෙරහරටය. “පත්තිනිකුම්බ” නමින් හැදින්වෙන නර්තනය සුවිශේෂය. බස්නායක නිලමේ වරයාට ඉදිරියෙන් වෙස් නැටුම් කණ්ඩායමක් ගමන් කරයි. දේවාභරණ ගෙනයන ඇතුට දැලේ ඇතුන් ලෙස යොදාගන්නේ ඇතින්නියෝය. නිලමේතුමා සමඟ පිටිසරබද දේවාල නිලමේවරු ගමන්ගනිති.
එලෙස පැවැත්වෙන පස්වෙනි රන්දෝලි පෙරහර “මහ පෙරහර”යි. එය බොහෝ විට පැවැත්වෙන්නේ නිකිණි පසළොස්වක දාය. එදින පෙරහරෙන් පසු දළඳා මාලිගයට නොයන දළදා පෙරහර අස්ගිරි ගෙඩිගේ විහාරයට ගොස් කරඬුව එහි තැන්පත් කරයි. ඉන්පසු එහි ආරක්ෂාව භාරවන්නේ විෂ්ණු දේවාලයටය. විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ පිටිසර දේවාල නිලමේ වරුන්ට තම වගකීම බෙදා දෙයි.
ජනී ජනයාගේ අවධානයට පාත්‍ර වූ මහනුවර ඇසල උලෙළේ පෙරහර මංගල්‍යයේ රාත්‍රි පෙරහර සංචාරය එතැනින් නිමා වූවද, පෙරහර සැබැවින්ම අවසන් වන්නේ දිය කැපිමත්, පසු දා දහවල් පෙරහර පැවැත්විමත් යන වතාවත් වල අවසානයෙනි.
අනුමානයෙන් දන්නා බොහෝ සොඳුරු සිදුවීම් ඒ තුළ අන්තර්ගත බැවින් ඒ ගැන වැඩි විස්තර ඉදිරි ලිපියක පළ කෙරෙනු ඇත. කුඹල් පෙරහරත් රන්දෝලි පෙරහරත් සරසන්නට මහනුවරට එන, දළදා පෙරහර පෙරමඟ කලඑළි කරන ශිල්පීන්ගේ තොරතුරු ලබන සතියේ සිළුමිණේ...
(තොරතුරු සැපයීමේදී සහය වූ මාවනැල්ල, අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ තේවාව භාරකාර, දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතාට, සිව් දේවාල බස්නායක නිලමේ තුමන්ලාට සහ තේවාව භාර කපු මහත්වරුන්ට සහ දළදා මාලිගයේ බෞද්ධ කටයුතු පිළිබඳ ලේකම් කේ. මීගහකුඹුර මහතාට ස්තූතියි.)
ඡායරූප - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ
දළදා මාලිගය මාධ්‍ය අංශය
සුදම් ගුණසිංහ