ඩෙංගු හැදී ඇඟ දුර්වල වුණාම මං ප්‍රාර්ථනාගේ ඇඟට රිංගුවා | සිළුමිණ

ඩෙංගු හැදී ඇඟ දුර්වල වුණාම මං ප්‍රාර්ථනාගේ ඇඟට රිංගුවා

මනුෂ්‍යයන් නොවන සියලු සත්ත්වයෝ අමනුෂ්‍යයෝ ය. එහෙත් අමනුෂ්‍යයන් යැයි ලෝක සම්මුතියේ පවතින්නේ දුගතිගාමී වූ යක්ෂ ප්‍රේතාදීන් ය. ඔවුහු සාමාන්‍ය මිනිසුන්ගේ පියවි ඇසට නොපෙනෙති. ඔවුන් ද නාම රූප දෙකෙන් යුක්තය. ඔවුන්ගේ ශරීර ද පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා ධාතූන්ගෙන් නිර්මාණය වී ඇතත් ඒ ධාතූන්ගේ ඉතා සියුම් වූ තත්වානුමය ශරීරයන් ය. ඔවුන්ට ගස් ගල් බිත්ති හරහා වි‍නිවිද ගමන් කළ හැකි ය. ඉන් සමහරෙකුට කර්මානුරූපව විවිධ හැකියා ඇත. තවත් බොහෝ දෙනෙක් දුර්වලය. දුකෙහිම ගැලී පීඩා විඳිති. අනන්ත වූ කල්ප කාලාන්තරයක් තිස්සේ මේ ඉඩම මගේය, නිවස මගේ ය ගහ කොළ මගේ ය ආදී වශයෙන් තන්හාවෙන්, තැන් හා හා වූ (තන් + හා) සිත් ඇත්තෝ ඒ ඒ තැන්වලම ඉපිද කෝටි ප්‍රකෝටි ගණන් අප අවට වෙසෙති. ඉන් ඉතා සුළු පිරිසක් මිනිසුන්ට සමීපව‍, මිනිස් ශරීර තුළට රිංගා ගෙන තමන්ගේ වුවමනාවන් ඉටු කැර ගැනීමට ක්‍රියාකාරකම්වල යෙදෙති.

ප්‍රාර්ථනා හොරණ ප්‍රදේශයේ පදිංචි විසි තුන් හැවිරිදි තරුණියකි. පෞද්ගලික ආයතනයක රැකියාව කරන ඇය ම‍ෑතක සිට හීනෙත් බියට පත්ව කෑ ගසාගෙන අඬාගෙන අවදිවන්නට වූවාය. ශරීරය පුරා පැතිර ගිය වේදනාවකින් පෙළෙන්නට වූවා ය. මේ‍ රෝගී තත්ත්වයට කායික හා මානසික වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගත්තත් සුවයක් නොවී ය. මානසික ආතතිය යැයි මනෝ වෛද්‍ය නිගමනය අනුව ප්‍රතිකාර ගත්තත්, ඊට නියමිත බොහෝ පෙති ගිල්ලත් ඒ අවස්ථාවට නින්ද යනවා මිස වෙනත් වෙනසක් නොවුණි.

කරන ලද ප්‍රතිකාර හා පිළිවෙත්වලින් සහනයක් නොවූ බැවින් ප්‍රාර්ථනාගේ මවුපියෝ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත ඇය කැඳවා ගෙන ගියහ. එහිදී ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී රෝග තත්ත්වයන් පැහැදිලි කළහ. ගවේෂකවරයා ඇගේ රෝග පරීක්ෂාවේ යෙදෙන විට ඇය වෙවුලන්නටත් අඬන්නටත් වූවා ය.

“කවුද මේ ශරීරයට රිංගලා ඉන්නේ” යි ගවේෂකවරයා ඇසීය.

“මම ෂානි, ප්‍රාර්ථනාගෙ යාළුවෙක්” යැයි භූතාත්මය කීවාය.

“ඇයි අඬන්නේ?”

“මහත්තයා හදන්නේ මාව පන්නන්න නේද? ඒකයි අඬන්නේ. අනේ එහෙම කරන්න එපා. මම ප්‍රාර්ථනාට ආදරෙයි” ප්‍රේතිය කීවාය.

“ඔබ මොනවා වෙලාද මැරුණේ?”

“මගේ පපුවේ හිලක් තිබුණා.” දැන් මැරිලා අවුරුදු දෙකක් වෙනවා” යි යළිත් අඬන්නට වූවා ය.

ප්‍රාර්ථනා පියවි සිහියට පත් කළ ගවේෂකවරයා මේ ‘ෂානි’ කවුදැයි ඇගෙන් ප්‍රශ්න කළේ ය.

“ෂානි මගේ හොඳම මිතුරිය. ෂානිගෙ ගම රත්නපුරේ. හොරණ ගෙදරක බෝඩිං වෙලා අපේ ඉස්කෝලෙට ආවේ. මගේ පන්තියෙ මගේ ළඟමයි වාඩිවෙලා ඉගෙන ගත්තෙත්. එයා මීට අවුරුදු දෙකට කලින් මැරුණා. මම අම්මත් එක්ක ෂානිගෙ මළ ගෙදරත් ගියා. මම එදා හරියට දුක්වෙලා ඇඬුවා” යැයි ප්‍රාර්ථනා කීවා ය.

දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ඔවුන්ට උපදෙස් දුන්නේ ය. එහිදී ෂානි සිහිපත් කොට පින් අනුමෝදන් කරන ලෙස ද නියම කළේ ය.බෝධි ප‍ූජා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. එදින ද ප්‍රාර්ථනාගේ ශරීරයට ෂානිගේ භූතාත්මය ආවිෂ්ට වී කතා කරන්නට වූවා ය.

“මම ප්‍රාර්ථනාට ආසයි. ආදරෙයි. ඒකයි එයා ළඟට වෙලා ඉන්නේ?” යි ප්‍රේතිය කීවාය.

“ඔබ කොහොමද ප්‍රාර්ථනාගෙ ශරීරයට රිංගුවේ” යි ගවේෂකවරයා ඇසීය.

“ඇයි දන්නෙ නැද්ද? ප්‍රාර්ථනාට ඩෙංගු හැදුණා. එයා හොස්පිටල් එකෙන් ගෙදර ආවාම ඇඟ දුර්වලව තිබුණා. මම ඒ වෙලාවේ මේ ශරීරයට රිංගා ගත්තා” යි කීවා ය.

තවත් දින හතක් බෝධි පූජා පවත්වා පන්සලට හීල් දානයක් පිරිනමා ෂානිට පින් අනුමෝදන් කර නැවත එන්නැයි උපදෙස් ලැබුණි.

මේ බෝධි පූජා පවත්වා ගෙන යන අතර තවත් පුදුම සිද්ධියක් මේ ප්‍රාර්ථනාගේ නිවෙසේ සිදුවිය. ප්‍රාර්ථනා දිනක් හිටි හැටියේ “මට ගෙදර යන්න ඕනෑ” යි කෑගසා ගෙන නිවෙස් උඩු ම‍හලේ ඇගේ කාමරයට වැදී දොර වසා ගත්තා ය. සෑහෙන වේලාවකින් ඇගෙන් සද්දයක් නැති නිසා පියා දොර කඩා බැලුවේ ය. ප්‍රාර්ථනා කාමරයේ නැත. ජනේලයක සාරියක් ගැට ගසා එයින් පහළට බැස පිටත්ව ගොස් තිබු‍ණි. සොයා බලා ඇය ගැන තොරතුරක් නැති නිසා ඔවුහු රත්නපුරේ ෂානිගේ නිවෙසට දුරකතන පණිවුඩයක් දී ප්‍රාර්ථනා එහි ආවා දැ’යි අසා ඇත. ඇය එහි නොපැමිණි බව ඔවුන් පවසා ඇත. ඔවුන්ට ද සැක සිතී ෂානි ජීවත්වූ කාමරයේ දොර ඇර බලන විට ප්‍රාර්ථනා එහි ඇ‍ඳේ නිදා සිටිනු දක්නට ලැබී වහාම හොරණ ප්‍රාර්ථනාගේ නිවෙසට ඇය එහි සිටින බව දැනුම් දී ඇත. ඒ අතර ෂානිගේ මවු පියෝ ප්‍රාර්ථනා අවදි කළ විට “තොපි ඇයි මාව එළවන්න හදන්නේ? මේ මගේ ගෙදර. මගේ කාමරය. මම කොහේ යන්නදැ” යි ඔවුන්ගෙන් ප්‍රශ්න කොට ඇත. මේ අතර ප්‍රාර්ථනා ගේ මවුපියන් වාහනයකින් රත්නපුරයට ගොස් ඇය බලෙන් ම වාගේ රැගෙනැවිත් තිබුණි.

පන්සලට හීල් දානය පිරිනමා බෝධි පූජා අවසන් ‍කරන විට ප්‍රාර්ථනාගේ රාත්‍රි සිහිනෙන් බියට පත්ව අවදිවීම සුවපත්ව තිබුණු අතර ශාරීරික වේදනා ද අඩුවී තිබුණි. ප්‍රාර්ථනා ගෙදරට ඇඳ සිටි ඇඳුම් පිටින් රත්නපුරයට ඒ තරම් ඉක්මනින් ගමන් කිරීමත්, රත්නපුරේ ගෙදර අයට නොපෙනෙන්නට නොදැනෙන්නට ෂානිගේ කාමරයට ගිය හැටිත් කාටත් පුදුමයක් විය‍.

බෝධි ප‍ූජා අවසන් කොට නියමිත දිනයේ ප්‍රාර්ථනා සහ ඇගේ මවුපියෝ නැවත ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගියහ. එදින රත්නපුරේ (මියගිය) ෂානිගේ මවුපිය දෙදෙනා ද පැමිණ සිටියහ.

එදින ද ප්‍රාර්ථනාගේ ශරීරයට ෂානිගේ ප්‍රාණකාරිය දිෂ්ටි ගැන්වූ ගවේෂකවරයා භුතාත්මයට අවවාද කළේ ය.

“ඔබේ පූර්ව කර්ම විපාක‍යක් නිසා පපුවේ හිලක් හැදී අඩු ආයුෂෙන් මිය ගියා. ඒ කර්මය විපාකයෙන් අවසන්‍. මරණාසන්නයේ ඔබේ චිත්ත සන්ථානයේ ක්‍රියාත්මක වූ ලෝභයක් හෝ ද්වේෂයක් නිසා ප්‍රේතියක්ව ඉපදිලා. ඔබ දැන් ෂානි නොවෙයි. ප්‍රේතියක්‍. හැබැයි ජරාම ජරා ප්‍රේතියක් නොවෙයි. පින් අනුමෝදන් කොට ඉහළ තලයකට යැවිය හැකි භූතාත්මයක් බව පෙනෙනවා. ඒත් මේ මිතුරියට ලෙඩ හැදෙන්නේ ඔබ නිසයි. ඔබ දැන් ෂානි නොවන නිසා ප්‍රාර්ථනා එදා වගේ ම ඔබට ආදරේ නෑ‍. කැමැති නෑ. ඔබ ප්‍රාර්ථනාගේ ජීවිතය අවුල් කළොත් ලෙඩ කළොත් ඒක මහා පාපයක්. වැරදි වැඩක්. තව අවුරුදු දහස් ගණනක් ඔය ප්‍රේතාත්මයේ දුක් විඳින්න වේවි. ඒ නිසා ප්‍රාර්ථනා අත හැර ඉවත් වෙලා යන්න.”

“බැහැ... බැහැ... ප්‍රාර්ථනා මගේ මිතුරිය. මම එයාට ආසයි. මෙයාව දාලා මම යන්නේ නෑ... නෑ... නෑ... මයි” ප්‍රේතිය තදින් ම කීවය.

ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට භූතාත්මය තරමක් දුරට පිච්චුවේය.

“මට යන්න බෑ... යන්න බෑ... පුච්චන්න එපා. දැවිල්ලයි. එහෙම නම් මම මගේ අම්මලා ළඟට යන්නම්” යැයි ප්‍රේතිය හඬන්නට වූවා ය.

තවත් සතියකින් සුදු නෙළුම් මල් වට්ටියක් රැගෙන අනුරාධපුරයට යෑමට සූදානම්ව එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය.යළිත් පැමිණි දිනයේ භූතාත්මය සුදුනෙළුම් මල් වට්ටියට සම්බන්ධ කොට ප්‍රාර්ථනාත්, මවුපිය දෙදෙනාත්, රත්නපුරේ මවුපිය දෙදෙනාත් සමඟ අනුරාධපුරයට යැවීය.

ශ්‍රී මහා ‍බෝධීන් වහන්සේ අබියස පහන් පූජාවක් පවත්වා මල් වට්ටිය එහි තැන්පත් කොට ෂානිගේ ප්‍රාණකාරියට පින් අනුමෝදන් කරන්නැයි ද උපදෙස් දුන්නේ ය.

තමන් කැමති අරමුණෙහි ම ඇලී සිටීම දුකට හේතුවේ.

Comments