
ලොව ප්‍රමුඛතම රාජ්‍යයක පුරපති ධුරයකට පත් වීම මෙරට උපන් කාන්තාවක ලෙස ඔබට දැනෙන්නේ කොහොමද...
ලොව ඉහළම රාජ්‍යයේ ඉහළම පුටුවට ගියද මට මා උපන් මවුබිම මට සදා අනුස්මරණීයයි. මේ තනතුරට පත් මොහොතේම මට දැනුණේ ඇත්තෙන්ම මං ලංකාවේ කාන්තාවක් කියන එකයි. උපන් රටෙන් සැතපුම් දහස් ගණනක් ඈතක සිටියත් ලද සැම විටම ලංකාව ගැන හොයනවා බලනවා, පුළුවන් හැම වෙලාවෙම එනවා. හැරෝ නගර සභා පරිශ්‍රයේ පළමු වරට ලංකාවේ ජාතික කොඩිය අපට ඔසවන්න හැකි වුණා. ඒක මං ආඩම්බරයෙන් කියනවා ලංකාවේ උපන් ගැහැනියක් විදිහට, විශේෂයෙන් මුස්ලිම් කාන්තාවක් විදිහට. එදා අපි පොඩි කාලයේ පාසල් යන වයසේදි අපිට ජාති ආගම් භේද මොනවත් තිබුණේ නැහැ. දුර ඈත රටක සිටියත් අපෙන් ඒවා ඈත් වෙලා නැහැ. මං ඉස්ලාමීය වුවත් අපේ පවුලේ අය සිංහල-බෞද්ධ ජනතාව සමග දැඩි මිත්‍රත්වයකින් සිටියා. අපි පල්ලි යනවා වගේම පන්සල්ද ගියා. අද මම කොයි රාජ්‍යයේ සිටියත් කුඩා කල සිට අපි පුරුදු-පුහුණු වු ගුණාංග ඉතිරිව තිබෙනවා.
මං හැමදාමත් සැහැල්ලුවෙන් සිතන, ඒ වගේම දිරිමත්ව කටයුතු කරන කෙනෙක්. ඒක මගේ ජීවිතයේ පරමාදර්ශයක්. හැරෝ නගරයේ ජනතාවත්, ඒ වගේම අපේ පක්ෂය වන කම්කරු පක්ෂයත් මා කෙරෙහි දැඩි විශ්වාසයකින් සිටිනවා.
ඔබේ ලංකාවේ පරිසරය වගේම පවුලේ තොරතුරු මොනවාද...
කන්ද උඩරට, විශේෂයෙන් මහනුවර බොහොම ජනප්‍රිය ඒ වගේම ප්‍රමුඛ මුස්ලිම් නමක් තමයි එදා මරික්කාර් කියන්නේ. මගේ පියගේ සහෝදරයා තමයි සී.ඒ.එස්. මරික්කාර් - එවකට සිටි තැපැල් ඇමතිවරයා. ඔහු එදා හඳුන්වනු ලැබුවේ සිංහල මරික්කාර් ලෙසින්. සිංහල භාෂා ප්‍රතිපත්තිය මොහොතේ බණ්ඩාරනායක මහතා සමග කෙළින් සිටි අයෙක් තමයි ඔහු. ඒ වගේම සිංහල-බෞද්ධ පිරිස් සමඟ ඔහු සමීපව මෙන්ම ඉතා දැඩි මිත්‍රත්වයකින් සිටියා. මගේ පියා තමයි එදා තිබුණු මාතලී ප්‍රවාහන සේවයේ හිමිකරු. ඔහුත් සිංහල-බෞද්ධ ජනතාව සමඟ ඉතා සමීපව සිටියා. මාතලී කියන නම නිසා එදා මට කිවුයේ දිවිය පුත්‍ර රාජයාගේ දියණිය කියලයි. අපේ පවුලේ අට දෙනයි. මං පවුලේ බාලයා. මට සහෝදරයන් දෙදෙනයි. අනෙක් අය සහෝදරියන්. එක් සහෝදරයෙක් මහනුවර මහ නගර සභා මන්ත්‍රී අස්මින් මරික්කාර්. එදා අපි හිටිය මහනුවර පේරාදෙණිය පාරේ නිවෙසෙ. අද ඒ අයියා තමයි නිවෙසෙ පදිංචි වෙලා ඉන්නේ. එයාට මං පොඩි කාලයේ ඉඳලා කීවේ පුංචි අයියා කියලයි. අදත් එහෙමයි කතා කරනනේ.
එදා පාසල් විය කොහොමද ගෙවුණේ...
මහනුවර උසස් බාලිකාවේ බාලාංශයට තමයි මං මුලින්ම ඇතුළු වන්නේ. එදා සිට පාසල්විය නිමා වන තුරුම මං ගියේ උසස් බාලිකා විද්‍යාලයටයි. සාමාන්‍ය පෙළ විභාගයෙන් මට සියලු විෂයයන් සඳහා සම්මාන සාමර්ථ්‍ය තිබුණා. උසස් පෙළ කළේ විද්‍යා අංශයෙන්. එහිදී මට බී දෙකයි සී එකයි තිබුණා. අධ්‍යාපනික කටයුතු සඳහා මං මුල් තැන දෙන අතරතුරම ක්‍රීඩාව හා අනෙකුත් විෂයබාහිර ක්‍රියාකාරකම් සඳහාත් නිසි තැන දුන්නා. එදා අපේ විදුහල්පතිනිය ලෙස කටයුතු කළේ ටී.කේ. ඒකනායක මහත්මියයි. ඇය ඉතා දක්ෂ විදුහල්පතිනියක්. ඒ වගේම ගුරුවරු රැසක් මට හිටියාග මලල ක්‍රීඩා හැරෙන්න අනෙකුත් ක්‍රීඩා රැසක් මං පාසල් වියේ කළා. හොකී ක්‍රීඩාව තමයි මං දැඩි උනන්දුවෙන් කළේ. ඒ නිසාම ජාතික හොකී කණ්ඩායම නියෝජනය කරන්නත් හැකි වුණා. එහිදී මං කටයුතු කළේ ගෝල රකින්නිය ලෙසයි. පාසලේ ඉස්ලාමීය සංසදයේ සභපතිනිය ලෙස මං එවකට කටයුතු කළා. පොඩි කාලයේ සිට මා තුළ ජාති ආගම් භේද තිබුණේ නැහැ. ඒ වගේම පාසල් වියේදී විෂයබාහිර ක්‍රියාකාරකම් රැසකට මං නිරන්තරයෙන් සම්බන්ධ වුණා. එහෙත් ගොඩක් හිටියේ සිංහල-බෞද්ධ මිතුරියන්. උදයාංගනී අබේරත්න, රෝෂනී ඇළිකේවල, ශිරානි රත්නායක, ජීවපානී උදිතා රත්නායක මට ගොඩක් ළඟින් හිටපු මිතුරියන්. මගේ තාත්තා නැති වන විට මට අවුරුදු දහසයයි. එදා මට හොඳට මතකයි... අපි තාත්තා නැති වුණාට පස්සේ බෞද්ධ වතාවත් කළා, පිරිත් දේශනා පැවැත්වුවා. ඒ සහජීවනය තවමත් අපේ ජීවිතවල තිබෙනවා.
පාසල් වියෙන් පසු තොරතුරු මොනවාද...
පාසල් වියේදී විද්‍යා-ගණිත විෂයන් සඳහා මා කැපීපෙනුණා. පාසල් වියට සමු දීමත් සමඟ මා තෝරාගන්නේ වෙනත්ම අංශයක්. ඒ සූප ශාස්ත්‍රයයි. මේ සඳහා මට මවගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණා. ඒ වගේම මා තේරාගත් දෙයට ඇගෙන් බාධාවක් වුණේ නැහැ. අසූව දශකයේ අග වන වන විට සූප ශාස්ත්‍රය හා හෝටල් ක්ෂේත්‍රය පිළිබඳ ලොකු දැනුමක් මා ලබා තිබුණා. මේ කාලයේ මං මහනුවර ක්වීන්ස් හෝටලයේ වැඩ කළා. වර්ෂ 1988දී ප්‍රේමදාස ජනාධිපතිතුමා මහනුවර දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ දිවුරුම් දුන් උත්සවයේ ආහාර සැපයීම කළේ අපියි. එහිදී ආහාර පරීක්ෂාව කළේ මමයි. ඒ කාලයේ සූප ශාස්ත්‍රය හා හෝටල් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වන ශිෂ්‍යත්වයක් ස්විට්සර්ලන්තයට මට ලැබුණා. වැඩිදුර අධ්‍යාපනය මෙන්ම එයට අමතරව එහි කථිකාචාරය කටයුතුත් සඳහාත් මා තේරුණා. එහෙත් මේ විදෙස් ශිෂ්‍යත්වයට යන්න මගේ මව මට ඉඩ දුන්නේ නැහැ. මේ වගේ ශිෂ්‍යත්ව කිහිපයක් ලැබුණත් ඒවා ප්‍රතික්ෂේප කළේ අම්මාගේ අකැමැත්ත නිසා. එදා මගෙත් එක්ක මේ ක්ෂේත්‍රයට ඇවිත් ඒ අවස්ථා හිමි කරගත් අය අද හොඳට සිටිනවා.
ඔබ ලංකාව හැර යන්නේ කොයි කාලයේද...
ඇත්තටම මං ලංකාව හැර යන්නේ නැහැ. අදත් මං මගේ මේ රට සමඟ පුදුම බැඳීමකින් ඉන්නේ. ඒත් විවාහයෙන් පසු 1990දී තමයි මං එංගලන්තය බලා පිටත්ව යන්නේ. එහිදී බටහිර ජීවිතයට හුරු වන්නේ බොහෝ දුෂ්කරතා මැද. අපිට තිබුණු සංස්කෘතික ලක්ෂණ එහිදී කිසි ලෙසකින් වත් මං අමතක කළේ නෑ. එත් සමඟම මං ඒ රටේ සමාජයත් සමඟ එකතු වුණා. සමහර අවස්ථාවල දැඩි දුෂ්කරතාවලට මුහුණ පෑවා. මට මගේ ජීවිතය ගොඩනඟාගන්නට තැන්පත් බව, දිරිය, ඉවසීම වැදගත් වුණා.
ඔබ දේශපාලනයට පිවිසෙන්නේ කොහොමද...
මං මේ කාලයේ සමාජයේ බොහෝ ප්‍රශ්න කතා කරනවා; ඒවාට විසඳුම් සොයන්න උත්සාහ කරනවා. මේ කාලයේ - ඒ කියන්නේ 2003දී - මට හැරෝ වෙස්ට්හි ඇමැතිවරයා වන ගැරට් තෝමස් මහතා හමු වෙනවා. ඇත්තෙන්ම මං ඔහු හමු වෙන්න යනවා. ඒ ප්‍රශ්න වගයක් විසඳාගැනීම සඳහා. අද ඔහු එහි විපක්ෂයෙ ඉන්නේ. එමෙන්ම කොන්සවේටිව් පක්ෂයේ සභාපතිවරයා. මේ හමු වීමත් සමඟ මගේ ජීවිතය අලුත් මාවතකට යොමු වෙනවා. ගැරට් තොමස් මහතා බොහෝ විනිවිද භාවයකින් කටයුතු කරන කෙනක් බව මං තේරුම් ගත්තා. එනිසා මං එරට දේශපාලනයට යොමු වුණා. ඒ වගේම මං මේ කාලයේ බොහෝ දේ අධ්‍යයනය කළා. විශේෂයෙන් රාජ්‍ය තාන්ත්‍රික හා විදෙස් සබඳතා ගැන අවබෝධයක් ලබාගත්තා. ඒ වගේම මගේ තැන්පත් බව මෙන්ම දිරිමත්කම මෙලෙස දේශපාලනික වශයෙන් ගමනක් එන්නට හේතු වන්නට ඇති.
පළමුවැනි ඡන්දය පැවැත්වුණේ කොයි වකවානුවේද...
2006 වසරේදී කම්කරු පක්ෂයෙන් රේනස් ලේන් කොට්ඨාසයෙන් මැතිවරණයට තරග කළා. මා ඉහළ ඡන්ද ප්‍රමාණයක් ගත්තත් හැරෝ නගර සභාවට ඇතුළු වීමට එය ප්‍රමාණවත් වූයේ නැහැ. එදා මට ප්‍රතිවාදීව හිටියේ කොන්සවේටිව් හා ලිබරල් පක්ෂවල අපේක්ෂකයන්. ඒත් මේ ප්‍රතිඵලයෙන් මං කිසි ලෙසකින් වත් ආපස්සට ගියේ නැහැ. සුමාන තුනක මැතිවරණ ව්‍යාපාරයකින් එතරම් ඉහළ ඡන්ද ප්‍රමාණයක් ලැබුණා නම් ඉදිරියට යෑමට මට ලොකු හැකියාවක් තිබෙන බව හැමෝම වාගේ කීවා. මේ නිසා ධෛර්යවන්තව 2010 වසරේදී යළිත් මැතිවරණයට තරග කළා. ඒ වෙස්ට් හැරෝ කොට්ඨාසයෙන්. ඉන් මා ජය ලබන්නේ විශිෂ්ට අයුරින්. මේ කාලයේ මා වඩ-වඩාත් ජනතාවට ළං වුණා. එහිදී කිසිම භේදයක් නැතිව හැමෝටම උදවු කළා. පසුව මං 2014දී ජය ලබා නගර සභා නියෝජිතවරියක් වුණා. මේ කාලයේ ලංකාවේ පළාත් පාලන කටයුතු රැසකට මං උදවු කරනවා. මං එරටදී මෙන්ම වෙනත් රටවලදී ලංකාවේ පළාත් පාලන නියෝජිතයන් හමු වෙනවා.
මෙවර මැතිවරණයෙන් ජය අරන් ඔබ නගරාධිපතිනිය වන්නේ කොහොමද...
2018දී මට අනෙක් වසරවලට වඩා ජය ගත යුතු අභියෝග රැසක් තිබුණා. මට එරෙහි ප්‍රතිවාදී අපේක්ෂකයා ඉතා පහළ මට්ටමේ මැතිවරණ ව්‍යාපාරයක් ගෙන ගියා. එහිදි මං කාන්තාවක ලෙස සාර්ථකව එයට මුහුණ දුන්නා. මං එහිදී වැරැදි පෙන්වා දෙමින් ඒවාට දැඩි අභියෝග කළා. ඇතැමුන් මාව ඔත්තුකාරියක ලෙස හැඳින්වුවා! ඒ අභියෝග සියල්ල මං ජය ගත්තා.
කොහොමද හැරෝ නගරයේ පසුබිම, වටපිටාව...
දෙලක්ෂ හතළිස් අට දහසක ජනතාවක් හැරෝ නගරයේ වාසය කරනවා. ගුජරාටි, දෙමළ ආදි ජන කොටස් රැසක් එහි ඉන්නවා. අද හැරෝ නගරයේ ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකු සිටිනවා. රණවිරු පවුල්වල අයත් ඉන්නවා. මේ නගරයේ පිහිටා තිබෙන පූජනීය ස්ථාන අසූවක්. ඒ අතර බෞද්ධ විහාරස්ථාන කිහිපයක්ද තිබෙනවා. හැරෝ නගර සභාව මන්ත්‍රීවරුන් හැට හතර දෙනකු නියෝජනය කරනවා. මේ නගරයේ අධ්‍යපනික මට්ටම ඉතා හොඳයි. එංගලනතයේ කිංස්බරි විහාරස්ථානය සමඟ අපි ඉතා සමීපයි.
ඔබේ අනාගත දේශපාලන ඉලක්ක මොන වගේද...
ඉලක්ක හැමදාමත් මට තිබුණා. ඒත් ඒ සඳහා යන ගමන බොහොම සරලව හිතලා සැහැල්ලුවෙන් තමයි ගියේ. හැරෝ විතරක් නොවේ. ඒ වටපිටාවේම ජනතාව මා ගැන පැහැදීමකින් ඉන්නේ. ඒක ඔවුන් ඔප්පු කරනවා. එරට පාර්ලිමේන්තුවට යෑමේ ඉලක්කයක් මට තිබෙනවා.
මේ වේලාවේ ඔබ ශ්‍රී ලංකාවේ ජනතාවට දීමට කැමති පණිවිඩය කුමක්ද...
ශ්‍රී ලංකාවේ දේශපාලනය කරන අයට යමක් පවසනවා නම්... ‘කිසි විටෙකත් ජනතාවට බොරු කියන්න එපා; ඇත්ත කියන්න’ යන පණිවිඩය දෙන්න කැමැතියි. ජනතාව පත් කරන නිසා තමයි ඔබට ඔය තනතුරු, වරප්‍රසාද ලැබෙන්නේ. ඒ නිසා ඒ ගැන සිතන්න. හැම වෙලාවකම මිනිස්සුන්ට යමක් කරන්න කැප වෙන්න. ජනතාව තබන විශ්වාසයට ගෞරව කරන්න. එය ආරක්ෂා කරන්න. බොරුවෙන්, රැවටීමෙන් යා හැකි දුර කෙටියි.
අනෙක් අතට විදේශයන්හිදී මා දකින දෙයක් තමයි අපේ සිංහල අය තමන්ගේ මවුබස කතා කරන්න දක්වන මැළිකම. ලංකාව තුළ වගේම ලෝකයේ කොතනක ගියත් තමන්ගේ අනන්‍යතාව පළ කරන්න ඇයි අප ලජ්ජා විය යුත්තේ? මොකද: මුළු ලෝකයෙන්ම උතුම් සංස්කෘතියක්, හැදියාවක්, ශිෂ්ටාචාරයක් සිංහලයන්ට තිබෙනවා.