
මෙරට කිතුනු බැතිමතුන්ගේ අප්‍රමාණ ගෞරවාදරයත් බුහුමනටත් පාත්‍ර වී තිබෙන ජාතික සිද්ධස්ථාන පහ අතරින් දෙවැනි විශාලතම ජාතික සිද්ධස්ථානය ලෙස සැලකෙන්නේ තලවිල සාන්ත ආනා දේවස්ථානයයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මෑණියන් වන මරිය මවු තුමියගේ මව වන සාන්ත ආනා මුනිවරියට කැපකර තිබෙන තලවිල සාන්ත ආනා දෙව්මැදුර විශේෂයෙන්ම ධීවර වෘත්තිය ජීවනෝපාය කරගත් ජනතාවට මහඟු ආශිර්වාදයකි.
කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ පාලවිය හන්දියෙන් වමට හැරී කල්පිටිය මාර්ගයේ කිලෝමීටර් 31 ක් පමණ ඉදිරියට ගමන් කළ පසු තලවිල සාන්ත ආනා සිද්ධස්ථානය හමුවේ. දිවයිනේ ප්‍රකට ලුණු ලේවායන්, ධීවර ගම්මාන, ඉස්සන් කොටු හා පොල්වතු මෙන්ම කරවල වාඩිද මඟ දෙපස හමුවන අතර පුත්තලම් කලපුවත් ඉන්දීය සයුරත් අතර හමුවන බිම් කඩෙහි සාන්ත ආනා දෙව්මැදුර පිහිටා තිබේ.
මෙම ඓතිහාසික සිද්ධස්ථානයේ ඉතිහාසය 17 වැනි සියවසේ අග භාගය දක්වා දිවයන අතර දේවස්ථානය ඉදිකිරීම පිළිබඳ ප්‍රසිද්ධ පුරාවෘත්තාන්ත දෙකක් ජනප්රවාදයේ සඳහන් වේ. ඉන් එකක් වන්නේ, සාන්ත ආනා නමැති පෘතුගීසි සංචාරක නැවක් මුහුදේ යාත්‍රා කරමින් තිබියදී මන්නාරම වෙරළට ඔබ්බෙන් පිහිටි වැලි කන්දක හැපී බිඳී ගොස් තිබේ.
සියල්ලට වඩා ජීවිතය බේරා ගැනීමේ අරමුණ මුල්කර ගත් නැවියා නැවෙහි තිබු බඩු බාහිරාදිය සියල්ල අතහැර එහි තිබූ සාන්ත ආනා සුරුවම පමණක් රැගෙන වෙරළට පීනාවිත් තිබේ. සාන්තා ආනා ප්‍රතිමාව දැවැන්ත නුග ගහක බෙනයක තැන්පත් කළ ඔහු තම ව්‍යාපාර සාර්ථක වුවහොත් නැවත මෙරටට පැමිණ එම ස්ථානයේ පල්ලියක් සාදන බවට බාරයක් වී ගොස් ඇති බවත් තලවිල දෙව්මැදුරේ ආරම්භය එම නැවියාගේ බාරය ඔප්පු කිරීමක් බවත් පැවසේ.
අනෙක් පුරාවතට අනුව, පෘතුගීසි මිනිසකු නිදා සිටියදී පොල් ගසක පාදයේ සාන්ත ආනා රූපයක් සිහිනයෙන් දැක ඇති අතර, ඔහු අවදිවීමෙන් පසු අසල වූ පොල් ගසේ එවැනි රූපයක් සැබැවින්ම දැක තිබේ. පසුකාලීනව එම ස්ථානයේ තලවිල සාන්ත ආනා නමින් දෙව්මැදුරක් ඉදිවී කොට තිබේ.
කෙසේවෙතත් 1739 වසරේ දී වත්මන් දෙව්මැදුර පවතින ස්ථානයේ පොල් අතු සෙවිලි කළ දේවස්ථානයක් ඉදිකර ඇති අතර පසුව එය ක්‍රමයෙන් සුවිසල් දේවස්ථානයක් බවට පත්වී ඇති බවත් පැවසේ.
වර්තමාන දෙව්මැදුර 1837 දී පමණ ඉදිකර ඇතැයි සැලකෙන අතර වසරකට දෙවරක් සාන්ත ආනා ජාතික සිද්ධස්ථානයේ පැවැත්වෙන ප්‍රධානතම මංගල්‍ය දෙකක් වේ. එනම්, සෑම වසරකම මාර්තු මස දෙවැනි ඉරුදින පවත්වනු ලබන ඔරු මංගල්‍යයත් සෑම වසරකම අගෝස්තු මස පළමු ඉරුදින පවත්වනු ලබන ප්‍රධාන මංගල්යයත්ය. මේ මංගල්‍ය සැමරීම සඳහා දිවයිනේ සහර දිග්භාගයේ සිට බැතිමත්හු සාන්ත ආනා පුදබිම කරා පැමිණෙති. අගෝස්තු මස පවත්වන කූඩාරම් මංගල්‍යය, කරත්ත මංගල්‍යය ලෙස හඳුන්වන ප්‍රධාන මංගල්‍යය සඳහා පමණක් බැතිමතුන් ලක්ෂ පහළොවකට අධික පිරිසක් සහභාගි වන බව වාර්තා වේ.
තලවිල සාන්ත ආනා දේවස්ථානය අතීතයේ සිටම එම ප්‍රදේශයේ ජනතාවගේ අභිප්රායන් බලාපොරොත්තු ඉටු කිරීමට හැකි වූ සිද්ධස්ථානයක් ලෙස ප්‍රකට ය. ඇතැම් භක්තිකයන් තම බවබෝග ආරක්ෂා කර ගැනීමටත්, දරු සම්පත් ලබා ගැනීමටත්, පවුල් ජීවිත සුරක්ෂා කර ගැනීමටත්, දරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම නොයෙක් කාරණා යහපත් කර ගැනීමට, අවැසි බල සම්පත්තිය උදාකර දෙන මෙන් යාච්ඤා කරති.
දිවයිනේ නන් දෙසින් පැමිණෙන බැතිමත්හු අක්කර විස්සකට ආසන්න භූමියේ කූඩාරම් බැඳ පල්ලියේ මංගල්‍යයට සහභාගී වෙති. ඇතැම් බැතිමත්හු සිද්ධස්ථාන භූමියේ කූඩාරම් ගැසීම ආරම්භ කරන්නේ ජුලි මාසයේ මැද භාගයේදීය.
බොහෝ බැතිමත්හු එම දිනවලට පැමිණ කූඩාරම් ගැසීමට බලාපොරොත්තු වන ස්ථානයේ ඉනි වැටක් බැඳ වෙන් කරගැනීමට අමතක නොකරති.
ඉන්පසුව මංගල්‍යයට දින 10ක් පමණ තිබියදී පවුල් පිටින් පැමිණ කූඩාරම් ඉඳිකර ගනිති. එකට වැටී, එකට යදිමින් එකම සිතින් සාන්ත ආනා මෑණියන්ගේ පිහිට, උපකාරය අයැද සිටින බැතිමතුන්ගේ දසුන සුලබ වන්නේ මංගල්‍යය දිනවලදී පමණක් නොවේ. වසර පුරාම සාන්ත ආනා මෑණියන්ගේ පිහිට පතා තලවිල සාන්ත ආනා සිද්ධස්ථානය වත ඇදී එන බැතිමතුන්ගේ සංඛ්‍යාව සුළුපටු නොවේ.
බහුතරයක් ධීවරයෝ වාරකන් සමය නිමා කොට යළි ඔවුන්ගේ සුපුරුදු ධීවර රැකියාවට පිටත්ව යන්නේද පල්ලියේ මහා මංගල්‍යය නිමා වීමත් සමඟය.
කතෝලික ජනතාව මෙන්ම බෞද්ධ, හින්දු සහ මුස්ලිම් ජනතාව එකට එකතු වී මෙවැනි අත්දැකීමක් විඳ ගැනීම මෙරට ආගමික ප්රබෝධයටත් අස්වැසිල්ලකි. ආගම් බේදයකින් තොරව සියලු ජාතීන්ට, ආගමිකයන්ට සාන්ත ආනා මෑණියන්ගේ පිහිට ලැබෙන්නේය යන්න බැතිමතුන්ගේ විශ්වාසයයි. විශේෂයෙන් සාන්ත ආනා මුනිවරියගේ මැදහත්කමින් සිදුවන පෙළහර පිළිබද බැතිමතුන් තුළ ඇත්තේ නොමඳ විශ්වාසයකි.
ජීවිත සටනේ නිරත වැලිකතරේ අසරණ අවිහිංසක ධීවරයන්ට නිරතුරු දයාව සෙනෙහස පාමින් රැකවරණය සලසන ආදරණීය මිත්තනියක බඳු සාන්ත ආනා මුනිවරියගේ මැදහත් පිහිට ඉල්ලන කිසිවකු ඇගෙන් පිහිටක් නොලබා තලවිල පුදබිමෙන් බැහැර යෑමට සිදු නොවන බවට බැතිමත්හු විශ්වාස කරති.
එම නිසාම ලෙඩදුක්, කරදර , විවාහ අපේක්ෂකයන්ගේ ප්‍රාර්ථනා සහ ඉගෙන ගන්නා දරුවන් පිළිබඳ ප්‍රාර්ථනා සිතින් දරාගෙන දිවයිනේ නන් දෙසින් පැමිණෙන බැතිමතුන්ගෙන් තලවිල සාන්ත ආනා සිද්ධස්ථානය නිරතුරු පිරී පවතී. අධ්‍යාත්මික පෝෂණයට හිතකර සුන්දර පරිසරයක පිහිටා ඇති සාන්ත ආනා සිද්ධස්ථානයට මීටර් සියයක් පමණ දුරින් පිහිටා ඇති සුන්දර මුහුදු තීරයත් , සිද්ධස්ථානය වටා ඇති පොල් වගාවත් ස්වභාවධර්මයේ ධර්මයාගේ අපූරු තිළිණ වැනිය.
මෙවර සාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ සන්ධ්‍යා දේව මෙහෙය අගෝස්තු 04 වැනි දා සන්ධ්‍යාවේ පැවැත්වෙන අතර ප්‍රධාන මංගල්‍යය දේව මෙහෙය අගෝස්තු 05 ඉරිදා උදේ 7ට වැලන්ස් මෙන්දිස් හලාවත රදගුරුතුමාගේ හා ක්‍රිස්ටියන් එම්මානුවෙල් ත්‍රිකුණාමලය රදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මෙවර මංගල්‍යය තේමාව වනුයේ "යහ මඟ යන දේව දරුවෝ වෙමු අපි" යන්නය. මේ වනවිටත් ලක්ෂ සංඛ්‍යාත බැතිමත්හු පුදබිමේ කූඩාරම් බැඳගෙන සාන්ත ආනා මුනිවරියගේ පිහිට පතමින් මංගල්‍යයට සූදානම් වෙති.
සුරේකා නිල්මිණි ඉලංගකෝන්