
එළඹෙන 07 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් ජනගත
කිරීමට නියමිත තිරසාර සංවාර්ධන ඉලක්ක සපුරා ගැනීම උදෙසා තිරසාර සංවර්ධන
කමිටුව විසින් සකස් කළ කෙටුම්පත පිළිබඳව
එම කමිටුවේ සාමාජිකයකු වන
මහාචාර්ය රොහාන් සමරජීව
සමඟ කළ කතාබහකි.
සහශ්‍ර සංවර්ධන ඉලක්ක කියන්නේ මොනවද? එහි අරමුණ කුමක්ද?
2016 ජනවාරි පළමු වැනිදා පැවති එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ලෝක නායකයන් එකතු වී සෑම රටකම සංවර්ධනය ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කළ යුතු බවට එකඟ වුණා. ඒවා අපි හඳුන්වන්නේ සහශ්‍ර සංවර්ධන අරමුණු (MDGs) නැතිනම් ඉලක්ක කියලා. රටක් විදියට අපි ඒ අරමුණු සෑහෙන ප්‍රමාණයක් ඉෂ්ට කර ගත්තා. එහි අවසන් කාලය වන විට මේ සාකච්ඡාවට නව යෝජනා කිහිපයක් එකතු වුණා. ලංකාව නියෝජනය කරමින් අපේ ජනාධිපතිතුමා ඒ රැස්වීම්වලට සහභාගි වී ඊට දායකත්වය ලබා දුන්නා. මේ නව යෝජනා හා සකච්ඡා අනුව තිරසාර සංවර්ධන අරමුණු (Sustainable Development Goals)17 ක් නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමට ඔවුන් එකඟතාව පළ කළා.
තිරසාර සංවර්ධන අරමුණු (SDGs) කියලා ඔවුන් අදහස් කරන්නේ මොනවද ?
කලින් මම කිව්වා වගේ ඔවුන් විසින් තිරසාර සංවර්ධන අරමුණු 17 හඳුන්වා දී තිබෙනවා. බොහෝ දෙනා නොදන්නා නිසා අපිට ඒවා මේ ආකාරයට ඉතාම සරලව පෙළගස්වන්න පුළුවන්.
01: හැම තැනකම දකින දුප්පත්කම අවසන් කිරීම.(දරිද්‍රතාවය තුරන් කිරීම)
02: ආහාර හිඟය. ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය ඉහළ නැංවීම සහ තිරසාර කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම.
03:සෞඛය සම්පන්න ජීවිත සුරක්ෂිත කිරීම සහ සියලුම වයස්වල යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම.
04:ගුණාත්මක අධ්‍යාපනයක් ඇති කිරීම සහ ජීවිතාන්තය දක්වා ඇති අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය කිරීම.
05: ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීම සහ කාන්තාවන් බල ගැන්වීම.
06: ජලය හා සනීපාරක්ෂාව පවත්වා ගැනීම සහ ඒවා තිරසාර ලෙස කළමනාකරණය සහතික කිරීම.
07: විශ්වසනීය, පැවැත්මට යෝග්‍ය තිරසාර සහ නවීන බල ශක්ති නිපදවීමට කටයුතු කිරීම.
08: තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කර ගනිමින් පූර්ණ හා ඵලදායී ලෙස සියල්ලන් සඳහාම රැකියා අවස්ථා ඇති කිරීමට කටයුතු කිරීම.
09: පුළුල්, ශක්තිමත් යටිතල පහසුකම් ගොඩනඟා ගැනීමෙන් නව්‍යකරණ ක්‍රියාමාර්ග මගින් පුළුල් හා තිරසාර කර්මාන්තකරණය ප්‍රවර්ධනය කිරීම.
10: රටවල් තුළ සහ රටවල් අතර අසමානතාව අඩු කිරීම.
11: නගරික සංවර්ධනය සහ ජනාවාස ඇතුළුව සියලු ඉදිකිරීම් පරිසරයට සහ ජනතාවට හානිදායක නොවන ලෙස ඉදිකිරීමට තිරසාර ප්‍රතිපත්තියකට එළඹීම.
12: පරිභෝජනය සහ නිෂ්පාදන රටාවන් තිරසාර ලෙස තහවුරු කිරීම.
13: දේශගුණික විපර්යාසයන්ට හා එහි බලපෑමට එරෙහිව සටන් වැදීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීම
14: තිරසාර සංවර්ධනය සඳහා සාගර, මුහුදු හා සමුද්‍රීය සම්පත් සංරක්ෂණය කිරීම හා ඵලදායී අන්දමින් භාවිතා කිරීම
15:ස්වභාවික පරිසර පද්ධතිය, වනාන්තර රැකගැනිම හා ඒවා මනා ලෙස කළමනාකරණය කිරීම මඟින් කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීම. ඉඩම් හානිය නැවැත්වීම හා ඒවා නැවත යථා තත්ත්වයට පත් කිරීම.
16: තිරසාර සංවර්ධනයක් සඳහා සාමය හා අන්තර් ජාලය ප්‍රවර්ධනය කිරීම, සියලු දෙනාගේම මානව අයිතිවාසිකම් සෑම ආකාරයකින්ම සුරක්ෂිත කිරීම. ඒ සඳහා අවශ්‍ය තිරසාර ආයතන පද්ධතියක් සකස් කිරීම.
17: තිරසාර සංවර්ධනය සඳහා ගෝලීය හවුල්කාරිත්වය ක්‍රියාවට නැංවීම සහ පුනර්ජීවනය කිරීමේ මාර්ග ශක්තිමත් කිරීම.
එම අරමුණුවල කලින් අරමුණුවලට වඩා කසියම් සාධනීය බවක් පේනවා. නිදර්ශනයකට කලින් කිව්වේ දරිද්‍රතාව අඩු කරනවා කියල. නමුත් දැන් කියන්නේ දරිද්‍රතාව තුරන් කරනවා කියලයි. මේ විදියට ප්‍රධාන අරමුණු 17කුත් ඒ යටතේ ක්‍රියාත්මක විය යුතු උප අරමුණු 169ක් සඳහන් වී තිබෙනවා. ඒවගේම මේ අරමුණු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවද කියල හොයලා බලන්නත් ක්‍රමවේදයන් හඳුන්වා දී තිබෙනවා. කෙනෙකුට මේවා අන්තර්ජාලයට පිවිසීමෙන් පුළුල් වශයෙන් අධ්‍යනය කරන්න පුළුවන්.
මේ ක්‍රියාමාර්ග අපේ රටේ ක්‍රියාත්ම කිරීමට ජනාධිපතිවරයා එම සමුළුවේදී ගිවිස ගත්තා නේද?
ඔව්, එතුමා මේ දේවල් නිසා රටට අත්වන යහපත ගැන කල්පනා කරල බලලා තීන්දුවක් ගත්තා. ඒ අනුව ජනාධිපතිතුමා 2017 ජනවාරි මාසේ අපව කැදෙව්වා. මේ ක්‍රියාමාර්ග ඇති කිරීම සඳහා ප්‍රමුඛස්ථානයක් දීලා ක්‍රියාවට නැංවිය යුතුයි කියන මතයේ ඉඳගෙන එතුමා සාකච්ඡා ආරම්භ කළා. ඒ සකච්ඡාව සඳහා මේ රටේ විවිධ ක්ෂේත්‍ර නියොජනය කරමින් උගතුන් විශාල ප්‍රමණයක් සහභාගි වුණා. ඒ අයගෙන් එදා විශේෂඥයන්ගේ කමිටුවක් එතුමා පිහිටෙව්වා. එහි ප්‍රධානියා ලෙස ආචාර්ය මොහාන් මුණසිංහ මහතා පත් කළා. එතුමා පාරිසරික විපර්යාස හා බලශක්ති උත්පාදනය හා තොරතුරු තාක්ෂණය පිළිබඳව විශේෂඥ දැනුමක් තිබෙන විද්වතෙක්. ජනධිපතිතුමා ඔහු සභාපතිවරයා හැටියට පත් කරලා අපට කටයුතු කර ගෙන යාමට උපදෙස් දුන්නා. ඒ අනුව අපි සැසිවාර ගණනාවක් පවත්වලා. අපි ඒක විවිධ විෂයන් යටතේ කොටස්වලට බෙදුවා.
කෘෂිකර්මය සහ ආහාර, අධ්‍යාපනය, බල ශක්තිය සෞඛ්‍ය ක්ෂේත්‍රය, සාගරය ආශ්‍රිත කටයුතු, ඉදිකිරීම්, ප්‍රවාහනය ආදී වශයෙන් කමිටු 08ක් පත් කළා. මීට අමතරව මේ එක ක්ෂේත්‍රයකට අදාළ නොවන පුළුල්ව හැම ක්ෂේත්‍රයකටම බලපාන තේමා දහයක් හැදුවා. නිදසුනකට ඒ දහයෙන් මම තෝරගත්ත කොටස තමයි, නවෝත්පාදනය තාක්ෂණය සහ කර්මන්ත.
කර්මාන්ත කිව්වම කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, දැනුම මත පදනම් වූ කර්මාන්ත ආදී වශයෙන් දැක්විය හැකියි.
මීට අමතරව ජාතික ආරක්ෂාව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ආදී වශයෙන් තේමාවල් දහයක් යටතේ වෙන වෙනම කට්ටිය පත් කළා. ඒ අනුව මුලින් අටයි පසුව පත් කළ දහයයි. විද්වතුන් 18 දෙනෙක් මේ සම්බන්ධයෙන් මූලිකත්වය අරගෙන කටයුතු කළා.
මේ 18 දෙනා මේ දේවල් කෙටුම්පත් කරල සාරාංශ ගත කරල ඒවාට යම් කිසි සැකිල්ලක් දීලා ඒ සඳහා 2020දී අප කළ යුත්තේ කුමක්ද? 2025 වන විට කළ යුත්තේ කුමක් ද? 2030දී කළ යුත්තේ කුමක්ද? ආදී වශයෙන් යෝජනා නිර්දේශයන් ඉදිරිපත් කළා. පසුව අපි සියලු දෙනා එකට එකතු වෙලා මේ ගැන නැවත වතාවක් සාකච්ඡා කළා. ඒ අනුව පිටු 1000කින් පමණ යුත් ලියවිල්ලක් සකස් කළා. එය අප එළඹෙන 07 වෙනිදා තිරසාර සංවාර්ධන ව්‍යාපෘතියක් ලෙස එළිදක්වනවා.
ඔබ ඉහත සඳහන් කළ ක්ෂේත්‍ර අතරින් අපට බොහෝ සෙයින් බලපා ඇති කෘෂිකර්ම ක්ෂේත්‍රය පිළිබඳව තිරසාර සංවර්ධනයක් ඇති කරන්න පුළුවන් කොහොමද?
මේ කටයුත්ත කරන්නේ අපේ රටේ ගම්බද ප්‍රදේශවල ජීවත් වන කෘෂිකාර්මික ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් තත්ත්වයකට ගෙන ඒම සඳහා කෘෂිකර්මාන්තයේ ඵලදායීතාව වර්ධනය කිරීමයි.
දර්ද්‍රතාවය පිටු දකින්න නම් එය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ දී අපි ඔවුන් යොදාගන්නා පොහොර හා විවිධ රසායනිකයන් මුළුමනින්ම ඉවත් කරන්නේ නැහැ. නමුත් ඒවා යෙදී මේදී අනෙකුත් පරිසරක පද්ධතීන්ට සිදුවන හානිය අවම කරගනිමින් සිදු කිරීමට අවශ්‍ය නව තාක්ෂණය හා කෘෂීකාර්මික උපදෙස් ලබාදෙනවා. එමඟින් කෘෂි නිෂ්පාදන ඵලදායිලෙස වර්ධනය කිරීම අපේ අපේක්ෂාවයි. ඒ වගේම මේ කෘෂි නිෂ්පාදන විවිධ ආකාරයෙන් දාමයක් ආකාරයෙන් වෙළෙඳපොළට එනවා.
හෝටල්වලට, කුඩා හා මහා පරිමාණ වෙළෙඳසල්වලට මේ ආකාරයෙන් පැමිණෙන කෘෂි නිෂ්පාදන ආරක්ෂිතව අසුරා ප්‍රවාහනය කිරීමට අවශ්‍ය උපදෙස් හා පහසුකම් ලබාදෙනවා. නිදසුනකට එළවළු ලොරිවලට පටවලා මිනිස්සු ඒව උඩ නැගල එනවා. ඒවා නැවැත් විය යුතුයි. ඒවගේම පාරිසරික විපර්යාසයන්ට මුහුණ දිය හැකි ආකාරයට නව කෘෂී භෝග හඳුන්වා දීමට කටයුතු කිරීම වැනි බොහෝ දේ මෙහි සඳහන් වෙනවා. ඒ සඳහා කිසියම් අධිකාරියක් යටතට පත් කළ යුතුයි කියල සඳහන් වෙනවා.
කෘෂිකර්මය නවීකරණය කර ඵලදායිතාව වර්ධනය කරන ගමන් ඒවා ආරක්ෂිතව වෙළෙඳපොළ පැමිණීම ක්‍රමානුකූලව පවත්වගෙන යෑම මින් අදහස් වෙනවා. එමඟින් සුළු ගොවියා වඩා ශක්තිමත් කාටවත් ණය නැති පුරවැසියකු බවට තිරසාර ලෙස පත් කිරීම මෙහි අරමුණයි.
ඔබේ යෝජනාව වෙන්නේ නවෝත්පාදනය තාක්ෂණය සහ කර්මාන්ත ඒ පිළිබඳ හැඳින්වීමක් කළොත්?
ඉතාම සරලව කිව්වොත් මානව සමාජයට අවශ්‍ය කිසියම් නව භාණ්ඩයක් හෝ සේවාවක් ගුණාත්මකව හා ඉතාම සිත්ගන්නා ආකාරයට අවම පිරිවැයකින් උත්පාදනය කිරීමට කටයුතු කිරීම නවෝත්පාදනයක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්.
අපි මේ වැඩේ ලංකාවේ කරන්නේ කොහොමද?. මූලික වශයෙන් මේ සදහා අපේ කණ්ඩායම යෝජනා හතරක් ඉදිරිපත් කළා. එකක් තමයි ඕනෑම නවෝත්පාදන භාණ්ඩයක් හෝ සේවාවක් සාර්ථක අසාර්ථක භාවය පරික්ෂා කර වෙන්නේ වෙළෙඳපොළ හරහා යි. මිනිස්සු මේ භාණ්ඩය හෝ සේවාව භාරගන්න ලෑස්තිද නැද්ද කියලා සොයා ගැනීම ඉතාම දුෂ්කර කාර්යයක්.
මේ සඳහා ලංකාවේ විශේෂ වාතාවරණයක් සකස් කළ යුතුයි. එහි එක පැත්තක ඉන්ජිනේරුවො සහ අලුත් දේවල් හිතන කට්ටිය. මේ පැත්තේ ඉන්නවා ඒවා පාවිච්චි කරන්න කැමැත්ත හෝ අකමැත්ත පළ කරන මහජනතාව. මේ දෙගොල්ලො අතර තියෙන හිඩැස අඩු කරල මේ සම්බන්ධතාව ගොඩනගන්නෙ කොහොමද? මේ සඳහා අපට විදේශීය ආයතන සම්බන්ධ කර ගැනීමට අවශ්‍යනම් ඒ කොහොමද යන්න පිළිබඳව සොයා බලා ඊට අවශ්‍ය ක්‍රමවේදය සැලසුම් කිරීමයි.
එවැනි අවස්ථාවක මේ අවදානම අවම කරගැනීම සඳහා විදේශ ආයෝජන වෙත අප යා යුතු වෙනවා. එවිට අවදානම බෙදාගන්න පුළුවන්. ඊට අවශ්‍ය ආයෝජන ක්‍රමවේදයන් සකස් කරන්නේ කොහොමද කියන යෝජනා මෙහි සඳහන් වෙනවා. අපි ඒවා අපට වාසිදායක ආකාරයට වගේම විදේශ ආයෝජකයන් ගෙන්වාගත හැකි ආකාරයට ඉතාම යථාර්ථවාදීව සකස් කර ඇති බව සඳහන් කරන්න ඕන.
රසික කොටුදුරගේ