මඳසරු පිරිමි වැඩිවෙන ලෝකයක ගැහැනුන්ගේ කඳුළු | සිළුමිණ

මඳසරු පිරිමි වැඩිවෙන ලෝකයක ගැහැනුන්ගේ කඳුළු

ඒක යස්ස කතාවක්නෙ.......එතකොට ළමයි නැති හැම ගේකම මිනිස්සු තව ගෑනු ‍ගේනවද? ........කෙල්ලට බේතක් හේතක් නූලක් යන්තරයක් නොදා කොහෙවත් ඉන්න ගෑනියෙක් ගෙනාවාම හරි යයි ද?”

පුණ්‍යසෝම තමා අබියස කෝපයෙන් බෙරිහන් දෙන ගැහැනිය වෙත සාවඥ බැල්මක් හෙළුවේය.

“ දිවිය අවුසද පෙව්වත් මොන යන්තරේ දැම්මත් වඳ ගෑනු, ළමයි වදන්නේ නෑ..... වඳී වඳීමයි......” ඒ සාහසික වචන ටිකිරි මැණිකාගේ ළය සිදුරු කළ කඩු තුඩු බඳුය.

(හැන්දෑව - පිටුව 200)

ශාන්ති දිසානායකගේ “හැන්දෑව” නවකතා‍ෙව් දරුවන් නොලද කාන්තාවකට නඟන අවලාද පෙළ ගස්වා තිබෙන්නේ ඒ ආකාරයටය. ඊට හේතුව සාම්ප්‍රදායික සමාජය විසින් දරුවන් නොලැබු, මඳ සරු කාන්තාවන්ට නින්දා අපහාස එල්ල කරනු ලැබූ බැවිනි. එහෙත් අද වන විට ඒ තත්ත්වය වෙනස් කිරීමට කාලය පැමිණ තිබේ. ඒ, අද වන විට විවාහක පුරුෂයන්ගේත් මඳ සරු වීමේ ප්‍රතිශතය වර්ධනය වී ඇති නිසාය. මේ තත්ත්වය ලංකාවේ පමණක් නොව ලෝකයේ ම දක්නට ලැබෙන ප්‍රවණතාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද තහවුරු කර තිබේ.

“ සාමාන්‍යයෙන් අපේ රටේ සමාජය පිළිගත් සම්මතය වුණේ දරුවන් නොලැබෙන්නේ කාන්තාවගේ වරදක් නිසා යන අදහස; පිරිමින්ගේ අඩුපාඩු තියෙනවා කියලා අපේ අතීතයේ ජීවත්වුණු අය හිතුවෙම නැහැ. ඒ නිසා සියලුම අපවාද එල්ල වුණේ කාන්තාවට පමණයි. ඒත් පිරිමින්ගේ මඳ සරුභාවයත් දරුවන් නොලැබීමට හේතුවක්. ඉස්සර මේ තත්ත්වය දකින්න ලැබ‍ුණේ 8% - 10% ක් අතර පිරිසකට පමණයි. දැන් එය 15% දක්වා වර්ධනය වෙලා. මේ තත්ත්වය ලෝකයේම දකින්න පුළුවන්.” යනුවෙන් පවසමින් සාකච්ඡාවට පිවිසියේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායව්‍යච්ඡේද අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වෛද්‍ය ලලාන් ප්‍රනාන්දු ය.

ඔහු මේ බව අනාවරණය කළේ කරාපිටිය රෝහලේ ප්‍රජනන ජීව රසායනාගාර (Re-productive biology laboratory) සායනයේ වසර 20 ක් පුරා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත් සහ ප්‍රතිකාර ලබා ගන්නා අයගේ දත්ත වාර්තා සහ තොරතුරු අධ්‍යයනය කිරීමෙනි.

මුළු ලෝකයම මෙවැනි ගැටලුවකට මුහුණ දීමට බලපාන හේතු කීපයක් පවතින බව ඔහු සඳහන් කරයි. පරිසර දුෂණය, ආතතිය, රසායනික භාවිතය, දියවැඩියාව හා අධි රුධිර පීඩනය වැනි රෝගවලට ගොදුරු වීම වැනි සාධක මඳ සරුභාවය ඇති කිරීම සඳහා හේතු වන බව සො‍ය‍ාගෙන තිබේ. විශේෂයෙන්ම මානසික ආතතිය සමඟ ලිංගිකත්වයත් මඳ සරුභාවයත් ඉතා සමීප බව වෛද්‍ය ලලාන් ප්‍රනාන්දු තවදුරටත් පවසයි. වර්තමානයේ බොහෝ දෙනෙක් මානසික ආතතියට ගොදුරු වී සිටිති. එමෙන්ම අද කාලයේ දියවැඩියාව, අධි රුධිර පීඩනය යන රෝගවලට ගොදුරු වන්නේ වයෝවෘද්ධ පිරිස පමණක් නොවේ. තරුණ පිරිස ද ඊට ගොදුරු වී සිටිති. මඳ සරු භාවය ඉහළ ගොස් තිබෙන්නේ එබැවිනි.

“ඉස්සර නම් ගෑනු ළමයි පිරිමි ළමයි විවාහ වුණේ ටිකක් කල් ගිහින්. උසස් අධ්‍යාපනය අවසන් කරලා රැකියාවක් හොයාගෙන ගෙවල් දොරවල් හදාගෙන තමයි 80, 90 දශකයේ විවාහ වුණේ. ඒ නිසා සමහරුන්ගේ වයස අවුරුදු 30, පහු වුණා. ඒත් දැන් එහෙම නැහැ. දැන් නැවතත් ආදි කාලේ වගේ අඩු වයසෙන් විවාහ වෙනවා. අඩු වයසෙන් විවාහ දිවියට ඇතුළත් වෙලා දරුවන් අපේක්ෂාවෙන් පසු වෙද්දී දරුවන් නොලැබෙනවා නම් එතන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා අද කාලේ විවාහ වෙන තරුණ ජෝඩු වුණත් දරුවන් බලාපොරොත්තු වෙනවා නම් වෛද්‍ය පරීක්ෂාවකට ලක් වීම හොඳයි. ඒ අයගේ මඳ සරු ප්‍රශ්නයක් තියෙනවාද කියලා මුලින්ම දැනගැනීම ඉතාමත් හොඳයි. ඒ අ‍යගේ ඒ විදිහෙ ගැටලුවක් නැතිනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් ගැටලුවක් හඳුනා ගත්තොත් ඉක්මනින්ම ප්‍රතිකාර සඳහා යොමු වෙන්න පුළුවන්. ඒ වගේමයි ඒ අයට නළ දරු උපතකට යොමු වෙන්න අවශ්‍ය නම් ඊ‍ට අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට කාලය තිබෙනවා. ඒ නිසයි තරුණ වියේදීම මුලික වෛද්‍ය පරික්ෂාවකට යොමු වීම වැදගත් බව මම කියන්නේ.” යනුවෙන් විස්තර කළේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායව්‍යච්ඡේද අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වෛද්‍ය ලලාන් ප්‍රනාන්දු ය.

දරුවන් නොමැති යුවළකට ප්‍රතිකාර කිරීමටද කාලයක් ගත වේ. එය මාසයක් පමණ ප්‍රතිකාර කර සුවපත් කළ හැකි ආබාධයක් නොවේ. තරුණ වියේදීම යුවළක් ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් තරුණ වියේදීම ප්‍රතිඵල ළඟා කර ගත හැකි බව වෛද්‍ය මතයයි. කාලය ඉක්මවා ප්‍රතිකාර සඳහා යොමු වූ විට එහි ප්‍රතිඵල නෙළා ගැනීමට තවත් කාලයක් ගත වනු ඇත. එහිදී ඇතැම් විට ප්‍රතිඵල ලබා ගැනීමට අසීරු විය හැකිය. නළ දරු උපතකට වුවද පමා විය හැකිය. තරුණ යුවළක් මුලික වෛද්‍ය පරීක්ෂාවකට යොමු වීමේ වැදගත්කම වෛද්‍ය ලලාන් ප්‍රනාන්දු අවධාරණය ක‍රන්නේ එබැවිනි.

සැබැවින්ම මීට දශකයකට පෙර වෛද්‍යවරුන් පැවසුවේ විවාහක යුවළකට දරුවකු ලැබීම වසරක් ගත වන තුරු බලා, වසරකට පසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසය. එහෙත් අද වන විට ඒ තත්ත්වය වෙනස් වී ඇත. දරුවකු ලැබීමේ අපේක්ෂාවෙන් පසුවන තරුණ යුවළක් වුවද හැකි ඉක්මනින් වෛද්‍ය පරීක්ෂාවකට ලක් විය යුතු බව අද වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී‍ තිබේ. ඊට බලපානු ලබන්නේ වර්තමානයේ ස්ත්‍රීන්ගේ මෙන්ම පුරුෂ‍යන්ගේද මඳ සරුකම ඉහළ ගොස් තිබීමයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රජනක ජීව රසායනාගාරයේ (Re productive biology laboratory) සායනයට පැමිණි විවාහක යුවළ 100 ක් ගෙන දත්ත විශ්ලේෂණය කිරීමේදී මඳ සරු බව පිරිමින්ගේ 35% කත් කාන්තාවන්ගේ 35% කත් දැක ගත හැකි වූ බව වෛද්‍ය ලලාන් ප්‍රනාන්දු සඳහන් කරයි. දෙදෙනාගේම දුර්වලතා පවතින අය 30% කි. මෙයින් පැහැදිලි වන්නේ මඳ සරුභාවය කාන්තාවන් මෙන්ම පිරිමින්ට ද සම සමව ඇති බව ය.

“අපට මුණගැහිලා තියෙනවා දරුවන් නොමැති ප්‍රශ්නය නිසා ජීවිතේ නැති කරගන්න තරම් හිතෙන කාන්තාවන්ව. සමහර කාන්තාවන් හොඳින්ම දන්නවා තමුන්ගේ සැමියාගේ අඩුපාඩුවක් නිසයි දරුවන් නැත්තේ කියලා. ඒත් ඒ බව කාටවත් කියන්නේ නැහැ. රහසක් හැටියට සුරකිනවා. අන්තිමට ඒ කාන්තාවන්ට තමයි සමාජයෙන් අපවාද එල්ල වෙන්නේ. අනික ඕනෑම කෙනෙකු ළමයි නැතිද කියලා අහන්නේ කාන්තාවන්ගෙන් මිසක් පිරිමින්ගෙන් නෙමෙයි. ඒ නිසා දරුවන් නැති ප්‍රශ්නයෙන් වැඩිපුර පීඩා විඳින්නේ කාන්තාවන්. වැඩිපුර ඇණුම්පද, අපවාද එල්ලවෙන‍්නේ කාන්තාවන්ට. හැබැයි දැන් නම් සමාජය ඉස්සර තරම්ම අපවාද එල්ල කරන්නේ නැහැ; ඉස්සර තරම්ම දරුණු නැහැ. ඒත් මේ ප්‍රශ්නයෙන් පිරිමින් පීඩා විඳිනවාට වඩා කාන්තාවන් පීඩා විඳින බව නම් කියන්න පුළුවන්.” යනුවෙන් වෛද්‍ය ලලාන් ප්‍රනාන්දු පැවසුවේ මෙය සමාජයට බලපාන ප්‍රශ්නයක් බව පැහැදිලි කරමිනි.

කාන්තාවන් සහ පුරුෂයන්ගේ මඳ සරු බව වැඩි වීම සෘජුවම බලපානු ලබන්නේ රටේ ජනගහනයට බව අමුතුවෙන් කිව යුතු නැත. ඊට අමතරව මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යෑමේදී බිරිය හා සැමියා යන දෙදෙනාම ඒ සඳහා සහභාගි විය යුතුය. එම සායන පැවැත්වෙන්නේ සතියේ දිනවලදී ය. මඳ සරුබව වැඩි වීමෙන් ඊට යොමු වන පිරිස වැඩි වේ . ඔවුන් සිය කාර්යාලවලින් නිවාඩු ලබාගෙන ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතාමත් මානුෂිකය. එහෙත් එයින් රටේ ඵලදායිතාවට වක්‍රාකාරයෙන් බලපෑමක් සිදු වනු ඇත. මෙම ගැටලුව කෙරෙහි වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුත්තේ එම නිසාය.

 

Comments