බුලත්සිංහල කෝටි දෙකේ හොරකම පසුපස ගිය ඉංගිරිය පොලිසියේ කෝලම් | සිළුමිණ

බුලත්සිංහල කෝටි දෙකේ හොරකම පසුපස ගිය ඉංගිරිය පොලිසියේ කෝලම්

අනුරාධපුර බැංකු කොල්ලය සිදුවී මසක් ගත වීමටත් මත්තෙන් එවැනිම බැංකු හා සබැඳි කොල්ලයක් වාර්තා වූයේ බුලත්සිංහල ප්‍රදේශයෙන් පසුගිය 28 වැනිදායි. බුලත්සිංහල - හොරණ මාර්ගයේ ගෝවින්න, ඉහළ නාරගල, වෙදගේවත්ත ප්‍රදේශයේ පිහිටි කුඹුක් සෙවණ හෝටලය එම මාර්ගයේ යනෙ’න බොහෝ දෙනකුගේ නවාතැන්පොළක් වී තිබෙනුයේ ගමන් විඩාව සන්සිඳුවමින් කටට රහට කෑමක්-බීමක් ගැනීමට එම ඉසව්වේ තිබූ කදිම නවාතැනක් වූ හෙයිනි.

එසේ 28 වැනිදා සවස් යාමයේ කුඹුක් සෙවණට තේ කෝප්පයක රහ බැලීමට ගොඩ වූයේ බුලත්සිංහල ප්‍රදේශයේ පිහිටි යුනියන් බැංකුවට සහ සම්පත් බැංකුවට අයත් බැංකු පරිශ්‍රයන්ගෙන් පරිබාහිරව පිහිටි ඒටීඑම් යන්ත්‍රවලට මුදල් නෝට්ටු ලෝඩ් කිරීමට යන පිරිසකි.

එලෙස ඒටීඑම් යන්ත්‍රවලට මුදල් 'ලෝඩ්' කිරීමේ කටයුතුවල නිරත වන නාරාහේන්පිට පිහිටි ටීඑල්එස් නමැති ආයතනයේ එම පිරිස ගමන් කරමින් සිටියේ GX-3350 දරන අළු පැහැති කැරවැන් වෑන් රථයෙනි.

මුදල් අයකැමියන් දෙදෙනකු විසින් ආරක්ෂක නිලධාරියා සහ රියැදුරු සමඟ එක්ව රුපියල් කෝටි 23ක පමණ මුදලක් රැගෙන නාරාහේන්පිටින් එදින පිටත් වී තිබිණි. නුගේගොඩ, ගාලු පාරේ සහ කළුතර ආදි පෙදෙස්වල පිහිටා තිබූ සම්පත් හා යුනියන් බෑන්ක්හි එවැනි ඒටීඑම් යන්ත්‍රවලට මුදල් ලෝඩ් කිරීමට ගිය රථය කුඹුක් සෙවණ හෝටලයට ළඟා වන විට සවස 5.15 පමණ වී තිබිණි. ඒ මොහොත වන විට වෑන් රථයේ තිබූ යකඩ පෙට්ටියක් බඳු සේප්පුවේ මුදල් මලු 19ක් ඉතිරිව තිබී ඇත. එම මලුවල මුදලින් රුපියල් කෝටි තුනහමාරක් පමණ විය.

වෑන් රථයෙන් බැසගත් රියැදුරු, ආරක්ෂක නිලධාරියා සහ මුදල් අයකැමියකු හෝටලය තුළට ගොස් තේ පානය කරමින් සිටිද්දි එක්වරම පැමිණි පැජරෝ වර්ගයට අයත් සුඛෝපභෝගී ජීප් රථයක් හෝටලය අසල නතර කෙරිණි. ඉන් බැසගත් තිදෙනකු වහා හෝටලය තුළට රිංගුවේ කඩිමුඩියෙනි. හෝටලයේ සිටි අයට ඔවුන් තිදෙනාගේ කිසිත් වෙනසක් දක්නට නොවිණි. එහෙත් ක්ෂණිකව ක්‍රියාත්මක වූ එම තිදෙනා තේ පානය කරමින් සිටි වෑන් රථයේ පැමිණි තිදෙනාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කළේ නොසිතූ මොහොතකයි.

මිරිස් කුඩු ප්‍රහාරයෙන් පසු ඔවුන් තිදෙනාගෙන් කෙනකු දිව ගියේ බුලත්සිංහල දෙසට වන්නට නතර කර තිබූ වෑන් රථය දෙසටයි. එහි ඉදිරිපස අසුනේ සිටි මුදල් අයකැමිව බිය ගන්වා රථයේ දොර ලොක් හැරගත් එම පුද්ගලයා මුලින්ම කළේ වෑන් රථයේ තබා තිබූ ආරක්ෂක නිලධාරියා සතු ගිනිඅවිය පැහැර ගැනීමයි.

පසුව වෑන් රථයේ පසුපස දොර විවෘත කොට ගත් ඔවුන් එහි තිබූ යකඩ පෙට්ටියෙහි ඉබි යතුර මිටියකින් වැනි ආයුධයකින් පහර දී විවෘත කර තිබුණේ එවන් ඉබි යතුරු ගැලවීමේ මනා පළපුරුද්දකින් යුත් පුද්ගලයකු විලසිනි. එතුළ වූ මුදල් මලු 12ක් පැහැරගත් කොල්ලකරුවෝ පැමිණි රථයෙන්ම හොරණ දෙසට පලා ගියේ ත්‍රාසජනක චිත්‍රපට දසුනක් මවමිනි.

කෙසේ හෝ මිරිස් කුඩු ප්‍රහාරයට ලක් වූ වෑන් රථයේ රියැදුරා වූ රසික හෝටලයේ පිටුපස දොරෙන් එළි යටවිත් මාර්ගයේ යතුරුපැදියක ගමන් ගත් යුවළකට සිදුවීම පවසා තිබිණි. ඒ අනුව එම යුවළ විසින් මංකොල්ලයට පැමිණ කොල්ලකරුවන් පලා ගිය ජීප් රථයේ අංකය වූ 64-9217 අංකය සටහන් කරගෙන තිබිණි.

එම ත්‍රාසජනක කොල්ලය ගැන අසල සිටි අයකු විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය අමතා දැනුම් දීමත් සමඟ අදාළ සිදුවීම ගැන වේලාව 5.45 පමණ වන විට බුලත්සිංහල පොලීසියට සැල විණි. ඊට වහා ක්ෂණික ප්‍රතිචාර දැක්වූ බුලත්සිංහල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උපුල් සමින්ද ඇතුළු පිරිස කුඹුක් සෙවණට ළඟා වී සෝදිසි කිරීමේදී යකඩ පෙට්ටියෙහි වූ මුදල් මලු 19න් 12ක්ම කොල්ලකරුවන් පැහැරගෙන ගොස් ඇති බවයි. පැහැරගත් මලුවල තිබූ මුදල් ප්‍රමාණය රුපියල් දෙකෝටි විසිහතර ලක්ෂ පනස්හයදහස් තුන්සියයක් බව පරීක්ෂණවලදී පසුව අනාවරණය වූ බව බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කෝසල රංග පෙරේරා මහතා කීවේය.

පසුව බුලත්සිංහල පොලිස් ස්ථානය මෙන්ම කළුතර දිසා අපරාධ ඒකකය, කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, මතුගම කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය සහ පාණදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය කළුතර කොට්ඨාස බාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න මහතාගේ අධීක්ෂණයෙන් යුතුව පරීක්ෂණ සඳහා මේ වන විට එක්වී සිටී.

සැලසම් කළ රංගනයක්

පරීක්ෂණ සඳහා යොමු වූ නිලධාරීන් මුලින්ම අනාවරණය කරගත්තේ කොල්ලයට හයදෙනකු පමණ පිරිසක් පැමිණ ඇති බවකි. කොල්ලය සිදු වූ අන්දම සහ මුදල් රැගෙන වෑන් රථයේ පැමිණි පිරිසගේ හැසිරීම් අනුව මංකොල්ලයට මුදල් ප්‍රවාහනය කළ අයම සැලැසුම් සහගතව සිදුකළ ‘ගේමක්’ බවට පරීක්ෂණ කණ්ඩායම්වලට සාධාරණ සැකයක් මතු වී තිබේ.

ඊට ප්‍රධාන හේතු කීපයක්ම පොලිස් නිලධාරීන්ගේ සැකයට භාජනය විය. එවන් විශාල මුදල් ප්‍රමාණයක් රැගෙන යද්දි තැන තැන නතර කොට ආපණශාලා ගානේ රිංගීමත්, ආරක්ෂක නිලධාරියා සතුව තිබූ ගිනිඅවියද ළඟ තබා නොගැනීම සේම යකඩ සේප්පුව කැඩීමට භාවිත කළ මිටිය එවැනි සේප්පු කැඩීමට මනා උපකරණයක් බව හොඳින් දන්නා අයගේ අනුදැනුම මතම රැගෙන ආ බවත් ඕනෑම කෙනකුට හැඟෙන කරුණුයි.

එවන් සැකයන් මත වෑන් රථයේ රියැදුරු වූ අකුරැස්සේ පොරඹ පටුමග, කොටගොඩ වත්තෙ විසූ නුවන් රසික සහ හිටපු නාවික හමුදා සෙබළකු වූ ආරක්ෂක නිලධාරි මැදිරිගිරිය අඹගස්වැව පදිංචිකරුවකු වූ යසරත්න බණ්ඩාර පොලිස් අත්අඩංගුවට පත් වූහ. ඔවුන් දෙදෙනා පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව දෙදෙනා රුපියල් ලක්ෂ 100ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට පසුගිය 30 වැනිදා මතුගම මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝග කෙරිණි.

රියැදුරා වූ රසික වසර අටක පමණ කලක සිට එම සමාගමේ සේවය කරන අතර බණ්ඩාර මීට මාස තුනකට පමණ පෙරදී එම ආරක්ෂක අංශයට එක්වී ඇති අයෙකි. එසේම මුදල් අයකැමියන් දෙදෙනාද මෑතකදී ටීඑල්එස් සමාගම හා එක් වූ දෙදෙනෙකි.

කොල්ලකරුවන් පැමිණි ජීප් රථයේ 64-9217 දරන අංකය ගැන පරීක්ෂණ කණ්ඩායම් පුළුල් ලෙස සොයා බලන්නට විණි. ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සොයා බලද්දී එම අංකය සහිත මෝටර් රථය නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් බව අනාවරණය වූයේය. නුගේගොඩ විසූ අදාළ පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ ඔහු එම රථය වසර දෙකකට පමණ පෙරදී රාගම ප්‍රදේශයෙන් මිල දී ගත් බවයි. එසේම ඔහු මිල දී ගත් රතු පැහැති රථයක් බවත් අදාළ කොල්ලය වන දිනවලදී ඔහුගේ ඒ රථය විනෝද චාරිකාවකට ගොස් තිබූ බවත් එම පුද්ගලයා පරීක්ෂණ කණ්ඩායම් ඉදිරියේ පවසා තිබිණි.

එම අනාවරණයන් සමඟ කොල්ලයට පැමිණි රථයේ ප්‍රදර්ශනය කර තිබූ අංකය ව්‍යාජ අංකයක් බවත් කොල්ලකරුවන් විසින් නුගේගොඩ පුද්ගලයාගේ රථයේ අංකයම හොරෙන් සකසාගෙන කොල්ලය සඳහා ඔවුන් පැමිණි සුඛෝපභෝගී පැජරෝ ජීප් රථයට යොදාගෙන ඇති බව පරීක්ෂණ මෙහෙයවන පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න මහතා සැල කර සිටියේය.

කොල්ලකරුවන් යකඩ පෙට්ටිය කැඩීමට භාවිත කළ මිටියෙහි ඇඟිලි සලකුණු පරීක්ෂා කිරීමේදී එහි තිදෙනකුගේ ඇඟිලි සලකුණු සටහන් තිබූ බවට වාර්තා වේ.

පුවත්පත මුද්‍රණයට යන විටත් කොල්ලකරුවන් නිශ්චිතව හඳුගැනීමට නොහැකි වූවත් පොලිස් කණ්ඩායම් පැති කිහිපයක් ඔස්සේ සිදුකළ පරීක්ෂණ සාර්ථකව සිදු කෙරෙමින් පවතින බවත් කොල්ලයේ සැකකරුවන් නුදුරේදීම හඳුනාගැනීමට හැකි වෙතැයි පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙක් කීවේය.

පොලිස් මදාවිකම

මේ අතරේ වසර 150කට අධික ගෞරවනීය ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අභිමානයට කළු පැල්ලමක් එක් වන ආකාරයේ සිදුවීමක්ද මේ කොල්ලයට සබැඳිව වූයේ බුලත්සිංහලට නුදුරු ඉංගිරිය පොලිස් ස්ථානයෙනි.

විසි අටවැනිදා බුලත්සිංහල මංකොල්ලය හේතුවෙන් ඒ අවට සියලු පොලිස් ස්ථානයන්හිම සැකකරුවන් කොටු කරගැනීමට අවශ්‍ය විධිවිධාන යොදමින් තිබුණේ පළාත භාර උසස් පොලිස් නිලධාරින්ගේ නියෝග මතයි ඒ අනුව ක්‍රියාත්මක වෙමින් ඉංගිරිය පොලිස් ස්ථානයද මාර්ග බාධක යොදමින් කොල්ලකරුවන්ට පලා යෑමට නොහැකි ලෙස සියලු වැටකඩුලු තර කරමින් තිබිණි. ඊට සමගාමිව ගම්නගර සිසාරා සෝදිසි කිරීම්ද සිදු කෙරෙමින් පැවැතිණි.

උප පොලිස් පරීක්ෂක අශෝක ප්‍රේමලාල්, පොලිස් සැරයන් (32795) රංජිත් ප්‍රේමලාල් සහ පොලිස් කොස්තාපල් (91190) සුරංග ලක්මාල් යන තිදෙනාද කොල්ලය වූ සැන්දෑ යාමයේ මංකොල්ලයේ සැකකරුවන් හඳුනාගැනීම වෙනුවෙන් දියත් වූ මෙහෙයුම්වලට එක්වී සෝදිසි කිරීම්වල නිරත වී තිබිණි.

27 හැවිරිදි රුවන් සහ 20 හැවිරිදි කමල් ලක්ෂාන් පෝරුවදණ්ඩ කොස්හේන පාරේ බස් නැවතුමක රැඳි සිටියේ දුරකථන ඇමැතුමක් ගනිමිනි. රුවන් ප්‍රදීප් කුමාර කොම්පඤ්ඤවීදියේ පිහිටි යුද හමුදා කඳවුරක සේවය කළ අයෙකි. ලක්ෂාන් උපතින්ම අතක් ආබාධිත අයෙකි. පොලීසියේ හොඳ නම කළු කරමින් රටපුරා රැව් දුන් එම සිදුවීම ගැන ඊට මුහුණ දුන් තරුණයකු වූ කමල් ලක්ෂාන් කීවේ මෙවන් කතාවකි:

“අපි ගෙවල් ළඟ තියෙන දානෙ ගෙදරකට උදවු වෙන්න ප්‍රදීප්ගෙ මෝටර් සයිකලෙන් ගිහිල්ලා එන ගමන් හිටියේ. ප්‍රදීප්ට පහුවැනිදා කෑම්ප් එකට යන්න තිබුණා. එයාට කෑම්ප් එකට කෝල් එකක් දෙන්න ඕනෑ වුණා. අපේ ගෙවල් තියෙන හරියෙ කිසිම සිම් එකකට සිග්නල් නෑ. ප්‍රදීප් මට කීවා කෑම්ප් එකට කෝල් එකක් ගන්න තියනවා පාරෙ බස් හෝල්ට් එකට යමුද කියලා. ඒ බස් හෝල්ට් එක තියෙන්නෙ රත්නපුර-පාණදුර ප්‍රධාන මාර්ගයේ බොරලුගොඩ තේ ශක්ති කම්හල ඉදිරිපිට. අපි දෙන්නා ප්‍රදීප්ගෙ බයික් එකේ නැගලා එතැනට ගියා. බස් හෝල්ට් එකේ වාඩිවෙලා කෝල් එක ගත්තා. මමත් කොළඹ යාළුවෙකුට කෝල් එකක් ගත්තා.’’

ඒ අතරේ ඉගිළෙන බඳු වේගයෙන් පැමිණි පොලිස් ජීප් රථය එම බස් නැවතුම්පොළ ඉදිරිපිට නතර කෙරිණි.

“ජීප් එකේ නිලධාරියෙක් අපෙන් ඇහුව මොකද කරන්නෙ කියලා. අපි දෙන්න කීවා ගෙදර ළඟට සිග්නල් නැති නිසා කෝල් එකක් ගන්න මෙතෙන්ට ආවෙ කියලා. අපෙන් අයිඩින්ටි ඉල්ලුවා. අපි කිව්වා දැන්නම් අයිඩින්ටි ගෙනාවෙ නැහැ... ගෙදර නම් තියෙනවා කියලා. ඒත් එක්කම ප්‍රදීප් කීවා, ‘මම යුද හමුදාවේ ඉංජිනේරු අංශයේ වැඩ කරන්නෙ’ කියලා. පොලිස් නිලධාරියෙක් ‘මටත් ඕනෙ හමුදාවෙ එවුන් තමයි’ කියලා, මගෙත් ප්‍රදීප්ගේත් ඔළුවට පිස්තෝලය තියා ‘නැගපියවු බයිසිකලයට!’ කීවා. අපිට ඉස්සර වෙන්න කියලා පිස්තෝලෙ දික්කරගෙනම ජීප් එක අපේ පස්සෙන් ආවා. ‘තොපි වෙන පැත්තකට හැරෙව්වොත් ඔළුව කුඩු වෙන්න වෙඩි තියනවා’ කීවා.’’

ඉංගිරිය පොලිස් ස්ථානයට රැගෙන ඒමෙන් පසු එම නිලධාරීන් තිදෙනා විසින් ප්‍රදීප්ට සහ ලක්ෂාන්ට සැලැකූ ආකාරයද ලක්ෂාන් අපට කීවේය:

“එතකොට වෙලාව රාත්‍රී 7.45ට විතර ඇති. අපිව පොලීසියේ මිදුලේ බොරලු ගොඩේ දණගැස්සුවා. විනාඩි පහක් විතර එහෙම හිටියට පස්සෙ පොලීසිය ඇතුළට ගෙනිහින් කලිසම ගලවන්න කීවා. හොඳටම අතින් පයින් ගැහැව්වා. අපි දෙන්නා බයටම දණහිස ගාවට කලිසම් ගැලෙව්වා. එහෙම ගහද්දී ප්‍රදීප් කීවා, ‘කමල්ට ගහන්න එපා, එයා ආබාධිත කෙනෙක්’ කියලා. මගේ ආබාධිත අත පිටුපසට කැරකෙව්වා, දිගින් දිගටම ගැහැව්වා. හැබැයි වැඩිපුරම ගැහැව්වෙ ප්‍රදීප්ට. ඒ වගේම අපි දෙන්නට වැඩිපුරම ගැහැව්වෙත් එස්අයි මහත්තයමයි. අනිත් නිලධාරීන් දෙන්නට, එස්අයි මහත්තයා කීවා, ‘උඹලා බලා ඉඳපල්ලා! මේකෙ වැඩ කෙරෙන්නෙ මට ඕන විදිහට’ කියලා. අපි දෙන්නගේම පෝන් ගත්තා. අරගෙන අපිව කූඩුවට දැම්මා. එක මහත්තයෙක් මට පෝන් එක දීලා කිව්වා, ‘ගෙදරට කෝල් එකක් දීලා විස්තරේ කියනවා’. ඊට පස්සෙ අපි කූඩුවෙ ඉඳිද්දි අපට ගහපු කෙනාම ඇවිත් මගේ කොණ්ඩෙන් ඇදලා ‘රෑට බලාගමු’ කියලා කීවා.’’

එසේ එම වදන් පෙළත් සමඟින් බියෙන් සලිතව සිටි දෙදෙනාට පිහිටක් වූයේ නිවෙස්වලට දුන් දුරකථන ඇමැතුමයි. ඒ වන විට වේලාව රාත්‍රී 8.30 පමණ වී ඇත. නිරපරාදේ තරුණයන් දෙදෙනකු රැගෙනවිත් පහරදීම ගැන කුපිත වූ පෝරුවදණ්ඩ ගම්වාසීහු ඉංගිරිය පොලිස් ස්ථානයට වට කරන්නට වූහ. තුන්-හාර සියයක පිරිසක් පොලිස් ස්ථානය වට කර ඇති බවට සැල වීමත් සමඟ ජනතාව පාලනය කිරීමට ඉංගිරිය පොලිස් ස්ථානයට පැමිණියේ පොලිස් අධිකාරි පී.ආර්.පී. සේනානායක මහතාය. ඔහු ජනතාව පාලනය කළේ තරුණයන් දෙදෙනාට පහර දුන් තිදෙනාට එරෙහිව අපක්ෂපාතී විධිමත් පරීක්ෂණයක් කරන බව පවසමිනි.

බේබදුකම හෙළිවෙයි

ඊට ප්‍රතිචාර දක්වමින් ජනයා පාන්දර දෙකකට පමණ විසිර ගියේ පොලිස් නිලධාරීන් තිදෙනා ගැන සිදු කරන පරීක්ෂණවලට ඉඩහසර සලසා දෙමිනි. එහිදී ඉංගිරිය දිසා රෝහලෙහි වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කළ පොලිස් නිලධාරීන් තිදෙනා ගැන පරීක්ෂා කිරීමේදී සැල වූයේ තිදෙනාම මත්පැන් පානය කර ඇති බවකි. එසේම පහර කෑමට ලක්වූ රුවන් සහ ලක්ෂාන්ද ඉංගිරිය රෝහලට ඇතුළු කළ අතර, පසුව රුවන් හොරණ මූලික රෝහලෙන් මේ වන විට යුද හමුදා රෝහලට ඇතුළත්කොට වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටී.

නිරපරාදේ තරුණයන් දෙදෙනකුට පහර දීමේ සිද්ධියට අදාළව නීතිය ‘තිතට’ ඉටු කළ පොලිස්පතිවරයා තරුණයන් දෙදෙනාට පහර දීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි නිලධාරීන් තිදෙනාගේ සේවය අත්හිටුවීමට කටයුතු කරද්දී, ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ආනන්ද පියදාසගේ රාජකාරි අත්හිටුවීමටද පොලිස්පතිවරයා කටයුතු කෙරිණි.

මෙහිදී පොලීසිය හා ජනයා අතර ඇති වන්නට ගිය තත්ත්වය පාලනයට ඉදිරිපත් වූ කැකුළලිය ශ්‍රී නිකේතාරාම විහාරාධිපති වැලිකන්නේ ධම්මසිරි ස්වාමීන් වහන්සේ මෙසේ වදාළ සේක:

“මට මතක විදිහට පසුගිය මාර්තු මාසෙ වෙනකල්ම ඉංගිරිය පොලීසියට ස්ථානාධිපති කෙනෙක් හිටියෙ නැහැ. පාණදුරේ පැවැති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුවකට පැමිණි ජනාධිපතිතුමාට මම ඒ ගැන කීවා. පස්සෙ ස්ථානාධිපතිවරයෙක් ලැබුණා. එහෙත් ගමට හිතැති සේවයක් ඔහුගෙන් සිදු වුණේ නැහැ. එදා ගමේ මහ සෙනඟක් ඇවිත් හරිම ආවේගශීලිව හැසිරුණේ. ලොකු විනාශයක් සිදු වෙන්නයි ගියේ. ගමේ අයගේ ඉල්ලීම වුණේ මේ නිලධාරීන්ව බීමත්ව සිටිනවාද කියා දැනගැනීම පමණයි. මේ වගේ දේවල් සිදු වීම හරිම කනගාටුයි. වැරැදි කළත් පොලිස් නිලධාරීන්ගේ සේවය අත්හිටුවීම පිළිබඳ සතුටු වීමට තරම් පහත් මානසිකත්වයක් අපට නැහැ. අපට අවශ්‍ය සාමයයි.’’

මීට පෙර අවස්ථා කීපයකදීත් ඉංගිරිය පොලීසිය හා ප්‍රදේශවාසීන් අතර ගැටුම් ඇති වූයේ පොලිස් නිලධාරීන්ගේ නොමනා හැසිරීම් මෙන්ම අපරීක්ෂාකාරි ක්‍රියා හේතුවෙනි. 2008 දෙසැම්බර් 18 වැනි දින අලුයම ඇඟලුම් කම්හලක සේවකයන් රැගෙන ගිය වෑන් රියක් විදුලි ලාම්පු නොමැතිව පැමිණි පොලිස් කැබ් රථයේ ගැටීම නිසා වෑන් රියේ එහි රියැදුරු ලෙස සේවය කළ එච්.ඒ.ඩී. වසන්ත පුෂ්පකුමාර මියගියේ වයස අවුරුදු 26ක තරුණයකුව සිටියදීය. එදා එම අනතුර නිසාද පොලීසිය හා ගම්වාසීන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් බව වාර්තා වේ. එසේම එම අපරීක්ෂාකාරීව ජීප් රථය ධාවනය කිරීමෙන් ඇතිවූ අනතුරින් මේ වන විටත් වසන්තගේ බිරිය මෙන්ම කුඩා දියණියන් තිදෙනෙක්ව අසරණ වී සිටි.

පසුබිම් කතාව සහ සේයාරූ ඉංගිරිය සමූහ කුමාරි ගමගේ

Comments