අවුලක් නැතිව පවුල් කමින් රැකියාව කරන්නට නම්.. | සිළුමිණ

අවුලක් නැතිව පවුල් කමින් රැකියාව කරන්නට නම්..

අද කාලයේ පෙර අපරදෙදිග ලෝකයේ එක සේ ජනප්‍රිය බෞද්ධ යතිවරුන් අතර අජාන්බ්‍රහ්මවංසෝ හිමියන් ප්‍රමුඛයෙකි. කේම්බ්‍රිජ් සරසවියේ උපාධිධරයකු සේම කලක් ගුරු වෘත්තියේ නියැළුණු අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් බුදු දහම ගැන පැහැදී තම භික්ෂුවරයට අදාල කමටහන් ලබන්නේ තායිලන්තයේ සුප්‍රසිද්ධ ථෙරවාද භික්ෂුවක වන අජාන් චා හිමියන්ගෙනි. බුදු දහමේ එන කරුණු තත්කාලීන ලෝකයට සරලව බෙදන උන්වහන්සේ ලොව පුරා මුල් පෙළේ ව්‍යාපාරික වැඩමුළු සම්මන්ත්‍රණ ආදියෙහිද නොවරදින දේශකයකු බවට පත්ව ඇත්තේ බ්‍රහ්මවංසෝ හිමියන්ගේ කාලීන වූත් ආකර්ෂණීය වූත් දේශන රටාව නිසාය. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට වැම කළ අවස්ථාවේදී බ්‍රහ්මවංසෝ හිමියෝ අරලිය ගහ මන්දිරයේදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව සහ වෘත්තිකයන් අමතා දේශනයක් කළහ. විශාල පිරිසක් හමුවේ උන්වහන්සේ විසින් කරන ලද දේශනයේ මුල් කොටස් දෙක පසුගිය කලාපවල පළවු අතර අද පළවන්නේ එහි අවසන් කොටසයි.

අපි කා අතින් වුවත් අත්වැරදීම් සිදුවෙනවා. පුද්ගලයන් වශයෙන් පෞද්ගලික සමාගමක් වශයෙන් එහෙම නැතිනම් ඇතැම් විට රජයේ ආයතනයක් වශයෙන් වගේම පාලකයන් වශයෙන් අපි හැමෝම අතින් වැරදීම් සිදුවන්නට හැකියාව තිබෙනවා. ඒකයි ස්වභාවය. නමුත් අපි මේ වැරැද්ද දෙස බැලිය යුත්තේත් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුත්තේත් හොඳ අවබෝධයකින්. මොකද යම් කෙනකු අතින් සිදුවන යම් අත්වැරැද්දක් ගැන නිතර නිතර දරුණු විදිහට විවේචනය කරන්න ගියොත් ඔහු තුළ පවතින ආත්ම විශ්වාසය පළුදු වෙන්න පුළුවන්. ඔවුන්ගේ ශක්තිය ගිලිහෙන තරමට ඔවුන්ගේ මනස දුර්වල විය හැකියි. ඔවුන් තුළ සෘනාත්මක හැඟීමක් ඇතිවිය හැකියි. ඔවුන්ගේ වැරැද්ද අඩුපාඩුව පෙන්වා දුන්නාට ඔවුන්ට මේ වැරැද්ද මත්තේම ඒ ඉලක්ක කර ගනිමින් යම් විවේචනයක් කරනවා නම් සිදුවන්නේ අගතියක්.

ඒ වෙනුවට අප කළ යුත්තේ සාර්ථකත්වය පිළිබඳව සෙවීමයි. සාර්ථකත්වය ලබන්නේ කොහොමද ඒ සඳහා වඩා වැදගත් වන්නේ මොන වගේ දේවල්ද කියන එක පිළිබඳ ව අප කටයුතු කළ යුතුයි. සමාගමකට, යම් ආයතනයකට එහෙම නැතිනම් රජයකට වුණත් වඩාත් සාර්ථක වෙන්නේ කවර සාධකද කවර පැතිද යන්න පිළිබඳ ව විමසා බැලීම අතිශයින්ම වැදගත්. අපේ ව්‍යාපාරයේ වෙළෙඳපොළ කොටස බිඳ වැටුණේ ඇයි? අපේ ප්‍රතිපත්ති අසාර්ථක වුණේ ඇයිද? යන්න ගැන හාරා හාරා සොයනවාට වඩා අපේ වෙළෙඳපොළ කොටස ගොඩ එන්නේ මොකකින්ද? අපිට මෙයින් කරන්න පුළුවන් මොකක්ද ආදී කරුණු ගැන වැඩි අවධානයක් යොමු කිරීම වඩාත් වැදගත් කියල මම හිතනවා. අපිට හොඳ අලෙවිකරණ වැඩපිලිවෙළක් තිබුණා නම්...... එහෙම නැතිනම් අපට හොඳ ප්‍රතිපත්තියක් තිබුණා නම් අපට මෙය සාර්ථක කර ගන්න පුළුවන් නේද? අප එසේ කළ යුතුයි යන අදහස ඇතිව කටයුතු කළ යුතුයි.

අපි මෙවැනි අවස්ථාවලදී රැස්වී මේ ගැන කතා කළ යුතුයි. විශේෂයෙන් එවැනි රැස්වීම්වලදී අපේ අඩුපාඩු වැටෙන්නට බිඳ වැටෙන්නට බලපාන හේතු ගැන දීර්ඝ වශයෙන් සොයනවාට වඩා මේ විදිහට අපිට සාර්ථක වෙන්න පුළුවන් ආකාර දෙස බලා ඒ ගැන අවධානයක් දැක්වුවහොත් අපට පහසුවෙන්ම ජයග්‍රහණය කරා යන්න පුළුවන්.

අපේ පවුල් ජීවිතය බැලුවත් අපි මේ ආදර්ශයෙන් ක්‍රියා කළ හැකියි. අපිට වඩාත් සතුටින් යුතුව ගත කරන දවස් බැලුවොත් ඒවා හොඳින් නිරීක්ෂණය කර බලන්න ඇයි මම ඒ දවසේ සතුටින් හිටියේ. අනෙක් දවස්වලත් ඒ සතුට රඳව ගන්න නම් මා කොහොමද කටයුතු කළ යුත්තේ. අපි දවසක් සතුටින් ඉන්නව කියන්නේ එය සාර්ථක දවසක්. අපේ ඉතිරි දවස්වලත් මේ විදිහට සතුටින් ඉන්න ඒ සාර්ථක දවසේ අපි ලද අත්දැකීම් වැදගත්. ඒ නිසා අපි හැම විටකම ඉදිරිය ගැන සිතීමේදී අපෙන් වුණු අඩුපාඩු වැරදීම්වලට වඩා අප සාර්ථක වුණු තැන් ගැන වැඩි වැඩියෙන් බැලිය යුතුයි. එය හරියට මල්ගස්වලට වතුර දානවා වගේ. එහෙත් අඩුපාඩු ගැන කතා කිරීම හරියට වල් ගස්වලට වතුර දානවා වගේ. අපි අපේ ජීවිත වගේම අපේ ව්‍යාපාර අපේ ආයතන මේ ආකාරයට සාර්ථක කර ගත හැකියි.

මගෙන් බොහෝ අය අහනවා ජීවිතේ දුකයි කිව්වට සතුටින් ඉන්න බවක් පේනවා. ඒ ඇත්තටමද නැතිනම් රඟපෑමක්ද කියල. මම ඇත්තටම සරලව සිටින කෙනෙක්. සතුට කියන දේ හදවතට දැනෙන දෙයක්. මෑතකදී මැලේසියාවේ පැවැති දේශනයකදීත් අපි මේ ගැන කතා කළා. කොහොමද හැමදාම සතුටින් ඉන්නේ කියල. ඒ රාත්‍රි‍යේදී විතරක් නෙවෙයි. හැම මොහොතකම. අපි ජීවිතේ අසීරුකම්වල, වෙහෙසකර අත්දැකීම්වලට මුහුණ දෙන්නටත් ලෙඩ දුක්වෙලට මුහුණ දීමේත් සතුටක් ඇති අය ඉන්නවා. අපි කවුරුත් ලෙඩ නොවී නැහැ. මගේ සිසුන් බැලුවාම ඔවුන් ලෙඩ වෙන්න කැමතියි. හේතුව ඔවුන්ට නිවාඩු ලැබීම. අපි හදවතින්ම ලෙඩ වීමට මුහුණ දිය යුතුයි. අපේ ජීවිතවලට එය උරුම දෙයක් අපි එය බාර ගත යුතුයි. අපේ ජීවිතවලට අනිවාර්යයෙන්ම දුෂ්කරතා එනවා අපි එය බාර ගත යුතුයි. අපි සතුට පැමණි විට එය විඳ ගත යුතුයි. දුෂ්කර අවස්ථා එන විට ඒ මත දුක් නොවී එය දරා ගත යුතුයි. දුෂ්කරතා කරදර මේ දේවල් නිසි ලෙස අපි දරා ගන්නවා නම් එය ස්වාභාවිකයි කියල හිතනවා නම් අපිට සාර්ථක වෙන්නත් පුළුවන්.

අපිට පයින් ඇවිද ගෙන යන්න වෙනවා කියල හිතන්න. ඒක සමහර විට සමහර කෙනකු අකැමැත්තෙන් කරන දෙයක් වෙන්න පුළුවන්. මේ ආකාරයට පයින් ඇවිදගෙන ගෙදරට යනකොට මගදී බල්ලකු පැහැරූ මළපහ සපත්තුවේ ගෑවෙනවා. එය හරිම අප්‍රසන්න, අපි අකැමැති අත්දැකීමක්. මෙය පාර අයිනේ වල් ගොල්ලක පිස දමා කෙනකුට යන්න පුළුවන්. ඒත් අමාරුවෙන් මේ ජරාව රඳවාගෙන ගිහින් ඒක අහළ පහල තිබෙන අඹ ගසක හරි දවටන්න පුළුවන් නම් එහි ප්‍රතිඵල ඊළඟ අවුරුද්දේ හෝ දෙකේ ලබන්න පුළුවන්. ඔබේ අඹ ගසට මෙය පොහොරක් ලෙස එකතු වෙලා ඵලදාව ලබා දෙනවා. අපි අමාරු අත්දැකීම් රසවත් බවට ඒ ආකාරයෙන් හෝ පරිවර්තනය කරගත යුතුය. දුෂ්කරතා, අපේ අසීරුකම් අවස්ථාවක් බවට පත් කර ගත් යුත්තේ ඒ ආකාරයෙන්.

අපිට ජීවිතයේ විවිධ අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදුවෙනවා. එකක් පවුල් ජීවිතය. අපේ රාජකාරී ජීවිතය හෝ ව්‍යාපාර ජීවිතය, ඊට පස්සේ සමාජ ජීවිතය දේශපාලන ජීවිතය . එක පුද්ගලයකුට හිමි මේ ජීවිත පටලවා නොගත යුතුයි. අදාළ වෙලාවේදී අදාළ කාර්යයට මුල් තැන දිය යුතුයි. මා දන්නා ඔස්ට්‍රේලියානු ජාතික තරුණයකුට ඕන වුණා තායිලන්තයට ඇවිත් අපේද ගුරු වූ අජාන් චා හිමියන් මුණ ගැහෙන්න. ඔහු තකහනියක් ගුවන් යානා වෙන්කරගෙන තායිලන්තයට ආවා. අජාන් චා හාමුදුරුවන් කාර්ය බහුල දවසක ඇවිත් පැය දෙකක් පමණ උන්වහන්සේ හමුවෙන්නට හිටියා. ඒත් බැරි තැන ආටෙයත යන්න සූදානම් වුනු මොහොතේ කොහොම හරි කෙටි වෙලාවකට හාමුදුරුවන් මුණ ගැහෙන්න ඔවුන්ට යන්නට හැකි වුණා. අජාන් චා හිමියන් මේ තරුණයාට සතුටින් තමන්ගේ ජීවිතය සමබර කරගන්න විනාඩි ගණනක කෙටි අවවාදයක් දුන්නා. ඒ තමයි අදාළ කාර්යය කරන වෙලාවට ඒ දේ නිවැරදිව නියැළෙන්න කියලයි. රාජකාරී වෙලාවේ ඒ දේ හරියට කරන්න. ගෙදර ගියාම පවුලත් එක්ක ඔවුන්ට බද්ධ වෙලා ඒ කටයුතු කරන්න. ක්‍රිකට් මැච් එකක් බලන්න යනවා නම් ඒ වෙලාවේ ඒක හරියට බලන්න. භාවනා කරන වෙලාවට ඒ දේ හරියට කරන්න. ඒත් කාර්යාල වෙලාවේ ක්‍රිකට් ගැන හිතන්න එපා. ක්‍රිකට් බලන වෙලාවේ පවුල ගැන හිතන්න එපා. මෙන්න මේ වගේ අවවාදනයක් අජාන් චා හිමියන් ඔහුට ලබා දුන්නා. අද ඔහු අති සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඒ වගේම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්නෙක්. ඒ වගේම භාවනාවෙන් සිත දියුණු කරගත් පුද්ගලයෙක්. ඔහු වගේ අපිට අදාළ කාර්යය හරි විදිහට හරි වෙලාවේදී කරනවා නම් පසුතැවීමක් නෑ. රාජකාරියත් ව්‍යාපාරික පවුල් ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් සතුටින් තබා ගත හැකියි.

චාමින්ද වාරියගොඩ

 

Comments