
මෙය ලියන මොහොත වන විටත් රටේ වැඩිදෙනා යන එන මඟතොටදි, කතා කරන ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත්තේ එල්ලුම් ගහ සහ මරණ දඬුවමයි.
‘කුඩුවලට නම් මරණ දඬුවම දෙන්න ම ඕනා’
බොහෝ දෙනෙක් පවසන්නේ එසේය. එය සමාජයේ බහුතර මතයක් බවට පත්වෙමින් තිබෙන කාල වකවානුවක එල්ලුම ගහ ගැන මරණ දඬුවම ගැන බොහෝ කතා කියැවෙන්නට පටන්ගෙන ඇත. අන්තිමට එල්ලලා මැරුවේ කවුද? එල්ලුම් ගහට ගිය මිනිස්සුන්ගේ අන්තිම දවස් කිහිපය ගත වුණේ කොහොම ද? මේ කතා, තොරතුරු දැන ගන්නට කවුරුත් කැමතිය.
වර්තමානයේ වැරැදිකරුවන්ට මරණ දඬුවම නියම කෙරුණ ද එය ක්‍රියාත්මක කිරීම නතර වූයේ 1976 වසරේ දී ය. “මරණ දඬුවම නියම කරන්නේ මහාධිකරණයකදියි. මහාධිකරණ විනිසුරුතුමා මරණ දඬුවම් තීන්දුව දෙද්දි මුළු උසාවියේ ම දොර ජනේල විවෘත කරනවා. ඒ වගේම විදුලි පංකා ක්‍රියාවිරහිත කරනවා. මරණ දඬුවම නියම කළාට පසුව එම තීන්දුව ලියූ පෑන කඩා දමනවා. එය අතීතයේ සිට එන සම්ප්‍රදායක්. ඉන්පසුව එදින වෙනත් නඩු විභාග කරන්නේ නැහැ.”
මරණ දඬුවම පිළිබඳ කතා බහකදී මා මිත්‍ර නීතිඥ මහතකු උසාවියේ කටයුතු පිළිබඳ පැහැදිලි කිරීමක් කළේ එසේය.
එකල නම් වැලිකඩ මෙන් ම බෝගම්බර හිරගෙදර ද එල්ලුම් ගසක් තිබිණි. නමුදු අද වන විට එල්ලුම්ගසක් ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ පමණි. බෝගම්බර බන්ධනාගාරය දුම්බරට ගෙන යෑමත් සමඟ එල්ලුම් ගහ ද ගලවා ඉවත් කරන ලදි.
කොහොම වුණත් එල්ලුම් ගහ හෙවත් පෝරකය පිළිබඳ තොරතුරු දැන ගන්නට අතීත අත්දැකීම් ඇත්තවුන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නැති තරම්ය. පෝරකයේ වගතුග දැන ගැනීමට ඒ පිළිබඳ අත්දැකීම් ඇත්තකු සොයා කළ මෙහෙයුමකදී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ජේලර්වරියක වන කුමාරි රත්නවීර හා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ජේලර් ජයලත්ගෙන් ලද සහාය බොහෝ අගය කරමු.
‘ඔය හැම මතකයක් ම වගේ ඇති කෙනෙක් තමයි විශ්‍රාමික බන්ධනාගාර කොමසාරිස් සේනක ස්ටෙම්බු මහත්තයා. ඔහු හමුවන්න.’
ජයලත් මහතා කීවේය.
ඉකුත් දිනෙක අපි විශ්‍රාමික කොමසාරිස් සේනක ස්ටෙම්බු මහතා හමුවීමට ගියෙමු. ඔහු බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බැඳෙන්නේ 1966 වසරේ දෙසැම්බර් පළමු වැනිදාය.
“මම බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බැඳෙන්නේ දෙවැනිපෙළ ජේලර් කෙනෙකු හැටියට. මට මුල්ම පත්වීම ලැබුණේ බෝගම්බර හිරගෙදරට. ඒ කාලේ බෝගම්බර සිරකරුවෝ හයසීයක් පමණ ඉන්න ඇති. මේ අතර මරණ දඬුවම නියම වූ අය හිටියා. ඒ කාලේ වැඩිපුරම හිරගත වෙලා හිටියේ හොරකම් කරපු අය. ඒ කාලේ මරණ දඬුවම නියම වුණේ මිනීමැරුම් කරපු අයට. නමුත් මිනිමැරුමක් සිදුවුණෙත් බොහෝම කලාතුරකින්. අලුත් නිලධාරින් වූ අපට බොහෝ වැඩරාජකාරි පැවරී තිබුණා. සිරකරුවන් පෝලිම් ගස්සවා ගණන් ගැනීම, වැඩඅංශවලට ඔවුන් යොමු කිරීම, සිරකරුවන්ගේ ලිපි සකස් කිරීම වගේ දේවල් අපට පැවරී තිබුණා. මට මතකයි මම බෝගම්බරට පැමිණි කාලයේ සතියකට සැරයක්වත් සිරකරුවන් එල්ලා මරණවා. අලුත් නිලධාරින් වූ අපට පෝරකය ගාව ඉන්න වෙනවා. ඒ වැඩ ඉගෙන ගන්න. මම බෝගම්බර හිරගෙදර අවුරුදු පහක් එක දිගට හිටියා.”
ස්ටෙම්බු මහතා තම යොවුන් වියේ අත්දැකීම් එකින් එක ගෙන හැර දක්වයි.
ඔහුගේ කතාවට බාධා කරමින් අපි මරණ දඬුවම නියම වූ රැඳවියෙකුගේ පිළිවෙළ විමසීමු. මෙහිදී පිළිවෙළ යනුවෙන් අදහස් කළේ උසාවි තීන්දුව ලබා පැමිණි රැඳවියා පෝරකයට යනතුරු දවස ගෙවන අයුරුය.
“උසාවියෙන් තීන්දුව දෙන දවසේ සිරකරු බාර ගන්න ජේලර්ලා දෙන්නෙක් යා යුතුයි. හිරගෙදරට මේ හිරකරු ගෙනැල්ලා ඔහු පරීක්ෂා කර බලා ලියාපදිංචි කරනවා. ඔහුට නිල් කොටු රෙද්දයි ජම්පරයයි අඳින්නට දෙනවා. මේ සිරකරු බාර ගත් ජේලර්වරු දෙදෙනාගෙන් කෙනෙක් ඔහු එල්ලා මරණ දවසේත් සිටිය යුතුයි. මරණීය දණ්ඩනය නියම වී පැමිණි සිරකරුට කොට්ටයක් මෙට්ටයක් පොරවන රෙද්දක්, පිඟාන කෝප්පයක්, රෙට්ටුවක්, පනිට්ටුවක් ලබා දෙනවා. ඔහු සෙල් කාමරයේ රඳවා තබන අතර උදේට සහ සවසට පැය භාගය බැගින් ව්‍යායාම සඳහා එළියට ගන්නවා. ඒ වගේම තමයි තමන් ලද තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන්නටත් අයිතියක් තිබෙනවා. සමහර වෙලාවට ඇපිල් කළත් ඇතැමුන්ට එම තීන්දුවම තමයි ලැබෙන්නේ. ඒ කාලේ අග්‍රාණ්ඩුකාරවරයා තමයි දැනුම් දෙන්නේ අහවල් සිරකරු අහවල් දවසේ එල්ලා මරණවා කියලා.,,
එල්ලා මරණ දිනය සිරකරුට දැනුම් දෙන්නේ දවස් කීයකට පෙරද? අපි ස්ටෙම්බු මහතාගෙන් විමසීමු.
‘දවස් දාහතරකට කලින් සිරකරුට ඒ බව දැන්විය යුතුයි. එය තමයි අමාරුම දේ. මේ දැනුම් දීම කෙරුවට පස්සේ ඔහුට ඔහු කැමති කෑම බීමක් ඉල්ලන්න පුළුවන්. ඒවා බන්ධනාගාරයෙන් ලබා දෙනවා. බොහෝ අය ඉල්ලන්නේ බූන්දි. එහෙම නැත්නම් සිගරට් බුලත්විට. මට මතකයි ඒ කාලේ මරණ දඬුවමට නියම වූ රැඳවියාට දවසට සිගරට් පැකට් එක ගානේ දෙනවා. ඒ වගේම තමයි රැඳවියාගේ ලේ උරුමක්කාරයින්ට ඔහු බලන්න පුළුවන්. ඒ කියන්නේ අම්මා, තාත්තා, බිරිය, දරුවන්ට. හුඟක් අය කිව්වේ අම්ම බලන්න ඕනෑ කියලා. එල්ලන්න කලින් දවසේ මේ ඥාතීන්ට ඔහු බලන්න පුළුවන්. මරණ දඬුවම නියම වී සිටින සිරකරුට විශේෂ ආරක්ෂාවක් ලබා දෙනවා. රාත්‍රියේදිත් නිලධාරින් ‘විසිට්’ යනවා. මම එහෙම විසිට් ගිහිල්ලා තියෙනවා. මට මතකයි එහෙම ගිය ගමන්වලදි සිරකරු අප සමඟ පැය ගණන් කතා කරනවා. සමහර වෙලාවට ඔවුන් විනිශ්චයකාරතුමන්ටවත් කියලා නැති ඇත්ත අප සමඟ කියනවා. හවස හතට මේ සෙල්වලට ගිය මම ඇතැම් දිනවල ආපහු එද්දි පාන්දර දෙකයි තුනයි. ඔහුට නින්ද යන්නේ නැහැ. ඔහු තම ජීවිතය ම කියනවා. මොකද ඔහු හෙට උදේ මැරෙන්න ඉන්න කෙනෙක්. එක අවුරුද්දක මිනීමැරුමකට වැරදිකරුවන් වූ අයියවයි මල්ලිවයි එක ළඟ දවස් දෙකකදි එල්ලා මැරුවා. මුලින් ම මැරුවේ අයියා. දඬුවම ක්‍රියාත්මක කරන්න කලින් දවසේ රාත්‍රියේ අයියා මා සමඟ කියනවා. “සර් මගේ මල්ලි නිවැරැදිකරු. ඔහු මේ මිනීමැරුමට සම්බන්ධ නැහැ. බොරු සාක්කිදීමක් නිසයි ඔහුට මේ දඬුවම විඳින්න වෙන්නේ කියලා. නමුත් ඔහු මොනවා කිව්වත් ඒ දෙන්නම නීතිය හමුවේ වැරදිකරුවන් වී අවසානයි.”
ස්ටෙම්බු මහතා තම වෘත්තිය ජීවිතයේ අතීතය සිහිපත් කරයි. එල්ලුම්ගහ ගැන කතා කිරීමේදි ඔහු විනාඩි ගණනාවක් නිහඬව සිටියේය.
“එල්ලුම් ගහ ගැන අලුගෝසුවා ගැන අද එක එක කතා කියැවෙනවා. ඒ කතා ඇසෙන විට ඇත්තෙන් ම සිනා නැගෙනවා. මොකද සමහර කතා බෝහම සාවද්‍යයි.
අද අලුගෝසුවා ගැන කතා වෙනවා. අලුතෙන් අලුගෝසුවෝ බඳවා ගන්න යන්න හදන්නේ කියනවා. නමුත් ඒ කාලේ අලුගෝසුවා කියලා කෙනෙක් හිටියේ නැහැ. එල්ලුම් ගහේ කටයුතු කළේ ලුවිස් සිංඤෝ නමැති කෙනෙක්. ඔහු බොහෝම කෙසඟයි. ලුවිස් සිංඤෝ කොළඹ බන්ධනාගාර මූලස්ථානයේ ලිපිකරු විදිහට කටයුතු කළ කෙනෙක්. මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නට කලින් දිනයේ තමයි ඔහු බෝගම්බර එන්නේ.
ජේලර් මහත්තයෙක් ඇවිත් සිරකරුගේ බර කිරලා ඒ බරට සරිලන ලෙස වැලි බර ගන්නවා. ඉන්පසු එල්ලුම් ගහ ක්‍රියාත්මක කර බලනවා. ඒ වගේ ම තමයි වඩුමඩුවේ කෙනෙක් ඇවිල්ලා මරණ දඬුවම ලබන කෙනාගේ උස මැන ගෙන ගිහිල්ලා මිනී පෙට්ටිය හදනවා. මිනිසා ජීවත්ව සිටියදීම පෙට්ටිය හදන්නේ එහෙමයි. ඒ වගේම තමයි කඹයෙන් තොණ්ඩුව සකස් කරලා එය සිහින් නූලකින් ගැට ගසනවා. පහුගිය කාලේ එක එක රටවලින් කඹ ගෙනාවා කියලා කිව්වනේ. නමුත් ඒ කාලේ එල්ලුම් ගහේ තිබුණේ ඔය හරක් බඳින ඇට කඹ කියන එක. ඒ කඹය සුදුපාටයි.”
රැඳවියකු එල්ලා මරණ අයුරු දුටු හා ඒ ගැන අත්දැකීම් ඇති ස්ටෙම්බු මහතා දන්නා අතීතය එසේය.
සිරකරු එල්ලා මැරීමට නියමිත වේලාව අට වුවත් සිරගෙදර එය අටයි පහ දක්වා දීර්ඝ කර ඇත. මේ කාලසීමාව තුළ සිරගෙදරින් ‘හ්ම්’ සද්දයක්වත් නැත. ඇතැම්විට කොයි මොහොතකදී වුව පුද්ගලයා එල්ලා මරන්නට එපා යැයි යන අණ ලැබේ යැයි කවුරුත් සෝදිසියෙන් සිටියි. නමුත් එවැනි පණිවුඩයක් නොලැබුණු විට උදෑසන 8 යි පහට දඬුවම ක්‍රියාත්මක වේ.
“ඒ වෙලාවට සිරකරුගේ කැමැත්ත අනුව ඔහු අදහන ආගම අනුව ආගමික නායකයකු ගෙන්වා ගන්න පුළුවන්. බොහෝවිට වඩින්නේ භික්ෂූන් වහන්සේ නමක්. සිරකරුගේ අත්දෙක, කකුල් දෙක ගැට ගහනවා. කොට්ට උරයකින් ඔළුව වහනවා. මරණය සඳහා කැපවුණ ඔහු සිරකුටියේ සිට පෝරකය දක්වා එක්කන් එනවා. ඔහු පයින්මයි එන්නේ. පෝරකය ළඟට ආවාට පස්සේ තමයි කකුල් දෙක ගැට ගසන්නේ. ඉන්පසු ඔහුගේ බෙල්ලට තොණ්ඩුව දමනවා. අලුගෝසුවා ලීවරය ඇද්දම ලෑල්ල ඈත් වෙනවා. සිරකරුගේ ගෙල සිරවී සිරුර පහළට වැටෙනවා. ඇතැම් වෙ ලාවට ලුවිස් සිංඤෝ කියනවා සර් අල්ලලා බලන්න කියලා. අපි ඒ වෙලාවට කඹය අල්ලනවා. සිරකරුගේ පණ යනවා හදවත ගැහෙනවා කඹය දිගේ අපේ අතට දැනෙනවා. එය හරියට අතට දැනෙන්නේ කරන්ට් වදිනවා වගේ. තත්පර ගණනක් යනතුරු සිරකරු ගැහෙනවා. පසුව පහළ මේසය මතට මළසිරුර දැම්මට පස්සේ වෛද්‍යවරයා එය පරීක්ෂා කර බලා සිරකරු මැරුණු බව තහවුරු කරනවා. ඉන්පසු අර කලින් දවසේ සාදන ලද මිනී පෙට්ටියේ දාලා ඔහුගේ සිරුර සිරගෙදරින් වාහනයක රැගෙන යනවා. ඒ ආසන්න සුසාන භූමියක වළ දමනවා. ඒ විදිහටයි මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ.’
මං අහලා තියෙනවා මේ ගැන මිනිස්සු බොරු දේවල් කියනවා. මේ දඬුවම ක්‍රියාත්මක වුණාට පස්සේ හිරගෙදර යළිත් සාමාන්‍ය විදිහට දෛනික කටයුතු සිදු කැරෙනවා. ඒ කාලේ මරණ දඬුවම නියම වී සිටි කවුරුත් තමන්ට ඒ ඉරණම අත්වන බව දැනගෙන හිටියා. ඒ වෙනකොට ඔවුන් එයට මුහුණ දීමට හිත හදාගෙන අවසානයි. සමහරු අඬනවා. සමහරු හිනාවෙනවා. තවත් අය නිහඩව ම ඉන්නවා. මට මතකයි එක් සිරකරුවෙක් එල්ලුම ගහට යන්න සූදානම් කළාට පස්සේ එදා උදේ ඔහු කන්නාඩියක් ඉල්ලුවා. අපි ඇහුවා ඇයි කියලා. ඔහු කිව්වේ ඔහුට මුහුණ බලන්න අවශ්‍යයි කියලා. කන්නාඩියෙන් මුහුණ බලලා ඔහු කියනවා “උඹ හැමදේම කළා. මේකටනේ ඔය හැමදේම කළේ. අදින් උඹේ ජීවිතය අවසානයි” කියලා. තවත් කෙනෙක්ව පෝරකයට ගෙනිච්චේ තල්ලු කරගෙන වගේ. කොහොම වුණත් සිරකරු මියගිය දවසට අපේ හිතට හරි නැහැ. ඒ කාලේ අපි බොහෝම තරුණ වයසෙනේ. මරණීය දඬුවම ලබපු සිරකරුවන් සිටින සෙල් වාට්ටුවේ රෑට විසිට් යන්න ඕන. ඒ වාට්ටුවේ ආරම්භයේ මැද හා අවසානයේ පොත් තබා තියෙනවා අත්සන් කරන්න. මැරුණු සිරකරු හිටපු තැනින් මම වන්, ටූ, ත්‍රි කියලා දුවනවා. එදාට මම මැද තියෙන පොතේ අත්සන් කරන්නේ නැහැ. කෙළවරේ ම තියෙන පොතේ තමයි අත්සන් කරන්නේ. මොනවා වුණත් ඒ කාලේ හිතට පොඩි බයක් දැනුණා. පහුවෙනකොට එය මඟහැරුණා.
යොවුන් වියේදී ම බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බැඳුණු ස්ටෙම්බු මහතා පෝරකය ගැන ලැබූ අත්දැකීම් එසේ ය. බෝගම්බර බන්ධනාගාරයේ වසර පහක සේවා කාලයෙන් පසුව ඔහුට යාපනය බන්ධනාගාරයට ස්ථාන මාරුවක් ලැබෙන්නේය.
“ඒ කාලේ මට විවිධ පුද්ගලයන් ඇසුරු කරන්න ලැබුණා. ඒ ඇසුරු කරන්ට ලැබුණු අය අතර කලත්තෑවේ මිනීමැරුමේ සොයිසා නැමැත්තා, මරුසිරා හෙවත් සිරිපාල ද වෙනවා. මොවුන් යාපනය සිරගෙදර සිට අනුරාධපුරයට ගෙන ඒම බාරව හිටියේ මම. ඔවුන්ව රැගෙන ආවේ දුම්රියෙන්. මේ එන ගමන් වලදි ඔවුන් සමඟ කතා බහ කිරීමේ අවස්ථාව මට ලැබුණා.
ඡායාරූප - සාලිය රූපසිංහ
(ලබන සතියේ - මරුසිරා සමඟ දුම්රියෙන් අනුරාධපුරයට ආ ගමන)