ඔබේ ආයුෂය - ධන වාසනාව පෙර කළ කර්මය හෙළි කරන ශනි රේඛාව | සිළුමිණ

ඔබේ ආයුෂය - ධන වාසනාව පෙර කළ කර්මය හෙළි කරන ශනි රේඛාව

සෙනසුරා කීවොත් බොහෝ දෙනා කතා කරන්නේ මහත් බියෙනි.

එහෙත් සමහර අයට සෙනසුරු දෙවියෝ ය. රජකු මහ පුටුවක තබන්නේත් එහි සිටුවන්නේත් සෙනසුරා ය. ඒ සෙනසුරු යහපත් වූ විට ය.

මහරජකු වුවත් සිංහාසනයෙන් පෙරළා හිඟන්නා වුව ද රජ පුටුවේ වාඩි කරන්නේත් සෙනසුරු දෙවියෝ ය.

මනුෂ්‍ය වර්ගයාට පින් දහම් කරන්නට - ධර්මානුකූලව ජීවත්වන්නට කටයුතු කරන්නේ පෙර පින් පව් සිහි ගන්වන්නේත් සෙනසුරා ය.‍

ධර්මිෂ්ට පුද්ගලයා දුක් වින්දත් පසුව ‍රජ සැපයට ගෙන යන්නේත් සෙනසුරා ය.

ඔබේ උත්පත්ති කේන්ද්‍රයේ සෙනසුරු ග්‍රහයා රජ කරන්නා සේම ඔබේ අල්ලේ ද සෙනසුරු රේඛාවක් තිබේ.

එය අල්ලේ මැණික් කටුවේ සිට මැද ඇඟිල්ල මුල පිහිටි ශනි පර්වතයට විවිධාකාරව ගමන් කරයි. අල්ල මැදින් අත් කරේ සිට ශනි ඇඟිල්ලට වැටෙන එයට ශනි රේඛාව යයි සාමුද්‍රිකා ඉර්ෂිවරු නම් කර තිබේ. තවත් අතකින් මනුෂ්‍යයාගේ පෙර පින් බලය - ධන බලය - කර්ම ශක්තිය වාසනාව හෙළි කරන මෙය උර්ධව ධන රේඛාවයි.

මෙම රේඛාව මගින් ඔබ උපත ලැබ‍ූ අම්මා තාත්තාගේ තරමද මිනුම් දණ්ඩක් සේ දැකිය හැකි ය. ඒ රේඛාව මත වැටෙන විවිධ ලක්ෂණවලිනි.

ඔබේ ජීවිතයේ ඉරණම කියැවෙන මේ ශනි රේඛාව සමෘධිකා ඍෂින් දක්වා ඇත්තේ ඉරණම් රේඛාව ලෙස ය. එය තවත් අතකින් කර්මපල රේඛාවය. දෛව රේඛාවය. වාසනා රේඛාවය උර්ධ ධන රේඛාවය.

මෙම රේඛාවේ අතු චන්ද්‍ර සිකුරු කුජ රවි ශනි - ගුරු මණ්ඩලවලට ද යෙදේ. මනුෂ්‍යයාගේ උත්පත්ති කර්මය කියන මේ රේඛාව සියලුම ආකාශ චාරී ග්‍රහයින් නියෝජනය කරන්නේ ය. මිනිස් ජීවිතයේ ඉෂ්ට දේවතාවගේ රේඛාව ලෙස මෙය මහා භාරතීය සාමුද්‍රිකා විද්‍යාඥයෝ සලකති. මනුෂ්‍යයාගේ ආයුෂය, පැවැත්ම දියුණුව ඇතිවන කාල වකවානු ලෙඩ රෝග මේ රේඛාවේ සටහන් වන්නේ විවිධ ලක්ෂණවලින් ය.

යම් කෙනෙකුගේ සප්ත ග්‍රහයින් උත්පත්තියේදී ප්‍රබල නම්, මෙම රේඛාව අත්කරේ මැණික් කටුවේ සිට අල්ල මැදින් මැදඟිල්ලේ මුලට රෝස පැහැයෙන් ඇදේ. එයින් කියැවෙන්නේ උත්පත්ති පුද්ගලයාගේ පරම්පරාගත දියුණුවයි. ශක්ති බලයයි. චන්ද්‍ර මණ්ඩලයෙන් වැටෙන රේඛාවක් ඉරණම් රේඛාවට එකතු වුවහොත් (B) ඔහු දෙමවුපියන්ගේ දැඩි සෙනෙහස ලබන දරුවකු වන බවයි. චන්ද්‍ර මණ්ඩලයෙන් වැටෙන රේඛා රාසියක් ඇති වුවහොත් උපත් පුද්ගලයා කුඩා කාලයේදී සිය පියාගේ පවුලේ සහෝදරියන් හෙවත් නැන්දලාගේ සෙනෙහස ලබන බව හෙළිවේ. එම රේඛා සිකුරු මණ්ඩලයට වැටුණු විට මවගේ පාර්ශ්වයේ සෙනෙහස ලබයි. (A – A) මෙම රේඛාවේ දූපතක් ඇති වුවහොත් උත්පත්තියේදී මවුපිය සෙනෙහස අහිමි වෙයි. එවිට සිකුරු මණ්ඩලයේ තාරකා සටහන වැටේ.

මෙම රේඛාවේ මුල වැටෙන දූපත් ලකුණ බොහෝ විට අනාථ නිවාසවල ජීවත්වන අයගේ අල්ලවල ද දක්නට ලැබේ. මෙම රේඛාව ද මනුෂ්‍ය ජීවිතයක ආයුෂ පදනම් කරගෙන ගමන් කරයි.

අත් කරේ සිට දිවෙන රේඛාව ශනි ඇඟිල්ල මුලට වැටෙන විට ආයුෂය අවුරුදු 120 කි. මේ රේඛාවේ මනුෂ්‍යයෙකුගේ විවාහය දියුණුව අධ්‍යාපනය විදේශ ගමන් හා විපත්ති සියල්ලම සටහන් වන්නේ ය. එය අල්ලේ වැටෙන විවිධ ලක්ෂණවලිනි. රේඛාවේ කළු - තිත් ළප ඇතිවීම රෝග පීඩා සිදුවන කාල වකවානු පෙන්වයි. තවත් අතකින් කීර්තියට වන හානි ද දක්වයි. හරස් රේඛාවලින් කැපීම් ඒ ඒ කාල වකවානුවල ඇතිවන මාරක විපත් කරදරයන් ය. විවිධ රේඛාවලින් ඉරණම් රේඛාව කැපුණු විට එම ආයුෂ කාලවලදී සිදුවන සැපත් විපත් ප්‍රකාශ කෙරේ.‍

කිසියම් කාන්තාවකගේ අත්කරේ සිට ශනි වාසනා රේඛාව මැදඟිල්ල මුලට වැටේ ද එය රන්වන් පාටින් පැහැපත් වේද ඇය සැමියා රජ මැදුරකට ගෙන යන්නීය. එවැනි කාන්තා අල්ලක ගුරු මණ්ඩලයේ කතිර ලකුණක් රවි මණ්ඩලයේ නෙළුම් පොහොට්ටුවක ලකුණක් වැටේ. එය වැටෙන්නේ අල්ල මැද ශනි රේඛාවෙන් අත්තක් විහිදීමෙනි. (අංක 1) ශනි වාසනා රේඛාවෙන් විහිදුණු අතු රේඛාවක් පද්මයක ස්වරූපය ගනී ද යම් අල්ලක වැටේ ද පැල්පතක ‍උපත ලැබූවත් මහා ධනවන්තයකු වන ලකුණකි.

රවි ධන රේඛාව චන්ද්‍ර මණ්ඩලයට වැටේ. යම් අල්ලක කර්මපල (ශනි) රේඛාව සමඟ තේජ රේඛාවක් වැ‍ෙට් ද එය චන්ද්‍ර මණ්ඩලයෙන් වැටී මාතෘ රේඛාවට වැටේද ඊට අදාළ වයසේදී මහත් කීර්තියක් ලබයි. වේදයේ මෙය චන්ද්‍ර කීර්ති රේඛාව නමින් හැඳින්වේ. (අංක 2)

සිකුරු මණ්ඩලය වටකර ඇති ජීවන රේඛාවෙන් නැගුණු රේඛාවක් කර්මපල රේඛාවට එක්වේද අදාළ වයසේදී මහා ධනයක් බලයක් ලබන බව සාමුද්‍රිකා ඍෂිවරු පෙන්වා දෙති. (අංක 3) මෙහි දැක්වෙන්නේ වයස 45 දී තරම මහ ධනයක් ලැබූ ලකුණකි. මෙය වාසනාව ලබන කාලයයි.

වාසනා ‍රේඛාවෙන් අතුරේඛාවක් ගුරු පර්වතය වෙත ළඟාවේද (අංක 4) එවැනි අය දියුණුවට පත් අයෙකි. ගම් - බිම් ඉඩ කඩම් හිමි අයෙකි. චන්ද්‍ර පර්වතයෙන් වැටී ඇත්නම් මවගේ පරම්පරාවේ දේපොළ ලබයි.

යම් අල්ලක වෘධ ධන රේඛාව මාතෘ රේඛාව පසුකර ශනි ඇඟිල්ල දෙසට වැටේද වයෝවෘද්ධ කාලයේදී ධනය ලබා සැප සම්පත් ලබයි. (අංක 5)

මෙම රේඛාව පටන් ගන්නා අත්කරේ තාරකා සටහනක් තිබීම බාල කාලයේදීම දෙමවුපියන් අහිමි වූ අයෙකි. මෙම රේඛාව අල්ල මැද දී කැඩී තිබේද අදාළ වයසේදී මරණය හා සමාන විපතකි. පෙණහලු රෝගයෙන් පෙළෙන අයෙකුගේ මෙම රේඛාව තන්හි - තන්හි කැඩී සිහින්ව එක හා සමානව ගමන් නොකරන බව දක්නට හැකි ය.

මෙම රේඛාව සෙනසුරු මණ්ඩලය යට දී ත්‍රිකෝණයකට අසුවීම තණ්හාව අධික අයට පිහිටන ලකුණකි.

මෙම රේඛාව මැදඟිල්ලට ආසන්නයේදී හරස් රේඛාවකින් කැපීම අකාල මරණයකට ගොදුරු වන ලකුණකි.

මෙම‍ ‍රේඛාවට චන්ද්‍ර මණ්ඩලයෙන් නැගුණු රේඛාවක් වේද ඊට අදාළ වයසේදී ඔහු විවාහ වන්නේ ය. (අංක 6) මෙම රේඛාව මැදඟිල්ලේ මැද පුරුකට වැටීම (අංක 7) අල්ල මැදින් පටන් ගෙන) සියලු ප්‍රාර්ථනා නිෂ්ඵල වන ලකුණකි.

ඉරණම රේඛාව අත්කරේ පද්ම ලාංඡනයකින් පටන් ගත් විට පෙර පින් බලයෙන් ඉහළම උසස් ධන - බල තත්ත්වයට පත්වන ලකුණකි. (අංක 8) බුද්ධි බලය ශක්තිමත් කෙනෙකි.

මෙම රේඛාවට ජීවන රේඛාව සමඟ අගදී චක්‍රයක - සේසතක ලක්ෂණය සහිතව යම් අල්ලක වැ‍ෙට් ද ඔහු මිනිස් වර්ගයාගේ සම්මානයට පාත්‍ර වන්නේ ය. (අංක 9) රවීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ අල්ලේ මේ ලක්ෂණය දිස්වූ බව කියයි.

සංඛ ලාංඡනය දිස් වුවහොත් මහත් ධනය ලැබ දානපතියෙකු වන්නේ ය. (අංක 10)

යම් තැනකදී ඉරණම් රේඛාව අල්ලක කැඩී තිබේද එවැනි වකවානුවේ සෙනසුරු අපල දෙන්නේ ය. තවත් රේඛාවකින් කැපී තිබේද විපත්ති කාලයකින් ප්‍රවේශම් විය යුතු ය.

ජීවන රේඛාවෙන් අත්තක් ශනි රේඛාවට වැටීම යහපත් ය.

ශනි රේඛාව අගදී ශනි මණ්ඩලයේදී ද්විත්ව රේඛා ලෙස දැක්වේද ඒ ඔබේ ජීවිතයේ සෙනසුරු වාසනාව උදා කරන කාලයකි.

Comments