ටික ටික මාත් දැන් දන්නවා හාමු­ලගේ කැරැ­ට්ටුව ගැන | සිළුමිණ

ටික ටික මාත් දැන් දන්නවා හාමු­ලගේ කැරැ­ට්ටුව ගැන

ශ්‍රීමාල් එක්ක තියෙන සම්බ­න්ධය නතර කරලා දාන්න කියලා අයියා කරන අව­වා­දය මහා හිස­ර­ද­යක් සේ මේඛ­ලාට දැනෙයි. බෝඩි­මට ගියාට පසු­වත් ඇයට ඒ සංසි­ද්ධින් එක එක මත­ක්වෙයි.

“ඔයා මොළේ තියෙන ළම­යෙක් විදි­යට මේක ටිකක් හිතන්න නංගි. මම හැම­දාම මෝඩ­යෙක් වගේ කට කිය­ව­නවා විත­රයි. ඔයාට මේ කියන ඒවා ගානක් නෑ...”

“ඔව් දුවේ.. අයියා කියන දේ ටිකක් නෙමේ සැල­කි­ල්ලට ගන්නම වෙනවා. උඹ දන්න­වනේ තාත්තා ඔත්පළ වෙලා වැටෙ­න­කම්ම කළේ අනුන්ගෙ රෙදි අපු­ල්ලාපු එක. එයාගෙ ජීවි­තේම දිය වුණේ පෙත්ත­රේට. තාත්තට ඕනෑ කළේ නෑ අයි­යත් ඒ රස්සාව කර­නවා දකින්න. ඒ නිසා තමා එයා අයි­යාව ටික දුර­ක­ට­වත් ඉස්කෝලෙ යැව්වෙ...”

“මම වතු­වල කුඹු­රු­වල වැඩට බැස්සේ අපේ පවුල රෙදි අපු­ල්ලන ලේබල් එකෙන් ගල­වා­ගන්න ඕනෑ හින්දා. මම කොහොම හරි තාත්තත් ඒ වැඩ­ව­ලට අල්ලා ගත්තේ පස්සෙ කාලෙක උඹලා දීග තලග දෙන වෙලා­ව­ල්වල මේ ලේබල් ගල­වලා දාලා දෙන්න ඕන නිසා...”

“ඒක තමයි නංගී අපේ අම්මත් එයාගෙ දෙමා­පි­යන්ට විරුද්ධ වෙලා අපේ තාත්තත් එක්ක පැනලා ඇවිත් තියෙන නිසා අපිට ඒ පැත්තෙ නෑදෑ­යොත් ඔක්කෝම නැති වුණා. අනේ මං දන්නෙ නෑ... මමත් අමා­රු­වෙන් හරි ඉගෙන ගෙන ගුරු­ප­ත්වී­මක් ගත්තෙ මේ අසා­ධා­රණ කොන්කි­රී­ම්ව­ලින් දුර්මුඛ නොවී අපි නිහඬ සට­­නක් ගෙනි­යන්න ඕනෑ නිසා.”

එහෙම කීවේ අක්කාය. අක්කා ද විවාහ වෙන්නට බලා­පො­රො­ත්තු­වෙන් සිටින්නේ ඇය­ගේම ගුරු මණ්ඩ­ලයේ කෙනෙකු සම­ඟය.

“ලොකු නංගි ඔයාට ප්‍රශ්න­යක් ආවෙ නැත්තෙ ඔයා යාළු වෙච්ච කෙනා නිර්ධන පන්තියෙ කෙනෙක් නිසා. බැරි­වෙ­ලා­වත් මහා සල්ලි­කා­රයො වුණා නම් මේ මඟුල කරන්න දෙන එකක් නෑ, දාහක් දේවල් කියලා පලිච්චි කරලා එපා කර­වලා දාවි.”

මේඛලා ඒ සියලු කතා­බහ අසා සිටියේ හිතේ කන­ගා­ටු­වෙනි.

“මේක බුදුන්ගේ දේශය කිය­ලයි කීමට කියන්නේ ඒත්, බුදු හාමු­දු­රුවො බැහැර කළ යුතුයි කියන නිෂ්ඵ­ල‍ ­දේ­වල්, කුල­මල - ජාති ආගම් බේද, ඒවාම තමා බදා­ගෙන ඉන්නේ... අපේ ර‍ෙට් දියු­ණු­වක් නැත්තෙ ඕක තමා. අපේ මිනි­ස්සුන්ට පර­දේ­ශ­ක්කා­රයො කසාද බඳින්න හොඳයි. දුප්පත් ගමක ඈත පළා­තක පොඩි රස්සා­වක් කර­ගෙන ඉන්න රටේ ම මිනි­හෙක් පහත්... ඔන්න ඕවා තමා අයියෙ අපි නැති කරන්න ඕනෑ...”

තමා එසේ කී විට අයියා නැගී සිටි අයුරු ඇයට මත­කය.

“අනේ නංගි.. ඔය වලව් උලව් අතෑ­රලා දාලා මේ අපට ගැළ­පෙන දුප්පත් පවු­ල­කින් කෙනෙක් හොයමු. ජීවිත කාලෙම උඹට ජීවත් වෙන්න පුළු­වන් කෙනෙක් අල්ල­ග­නින්. අනේ මන්දා ඔය වල­ව්ව­ලට පෑහෙන්න ගිහිල්ලා උඹ ජීවිතේ විනාශ කර ගන්නවා.”

තමා මෙවර ගෙද­රින් බෝඩි­මට ආවේ ඒ සියලු කතා­වල දුක් ගින්ද­රත් හිතේ දරා­ගෙ­නය.

නමුත් ශ්‍රීමා­ල්ගෙන් ලැබිච්ච දුර­ක­තන පණි­වි­ඩය මොන­ත­රම් ආස්වා­ද­ජ­න­කද? රත්න­පුර සමන්ති අක්ක­ලාට ගොඩ­ලි­යද්ද හාමුගේ සමාව ලැබීම වූ කලී එසේ මෙසේ දෙයක් නොවේ.

“මොකෝ මේඛලා උඹ අද කෑමට යන්නෙත් නැද්ද.. ඇයි ශ්‍රීමාල්ගෙ ප්‍රශ්න­යක්ද? නැත්නම් ගෙදර ප්‍රශ්න­යක්ද?”

ගීතා ගේ හඬින් මේඛලා අව­දි­වෙයි. ඒ කල්පනා දැහැ­නින්ය. සර­සවි ජීවි­තය තමුන්ගේ ජීවි­ත­යට සැන­සි­ල්ලක් අත්කර දෙනවා කියා හිත හදා­ග­න්නට නම් තමාගේ සහ ශ්‍රීමාල්ගේ ප්‍රේම කත­න්ද­රය සාර්ථ­කව එහි ඉම කරා යා යුතුය. ගීතාට සහ ශ්‍රීමාල්ගේ යාළුවා සිරි­නා­තට තමන් දෙදෙ­නාට තරම් ප්‍රශ්න­යක් නැත. ඒ දෙදෙ­නාව වට­ක­ර­ගෙන ඇත්තේ ආර්ථික ප්‍රශ්න පම­ණකි.

“ඉක්ම­නට අපි මේ කර­ද­ර­වල කෙළ­ව­රක් දකිමු. සේර­ටම කලින් අපි මේ විශ්ව විද්‍යා­ලෙට ආපු කාරිය නිම කර­ගෙන ඉන්න එපායැ. එහෙම නේද?”

ගීතා ගේ ඒ අව­වාද වැකි­යත් සම­ඟම මේඛ­ලාට ඇසෙන්නේ තම ජංගම දුර­ක­ත­නය නාද­වන හඬය.

ශ්‍රීමාල්!

********

“මොකක්ද ළමයා හිටි ගමන් ඔයාට මේ වුණේ... මොන­ත­රම් කීක­රු­වට හිටපු දරු­වෙක්ද ඔයා.. ඇයි මේ හැම තිස්සෙම හොස්ස ළඟින් මැස්ස යන්න බැරිවා වගේ කෑග­හන්නේ... ඔයාට අපි සල­ක­නවා වැඩි හින්දද මෙහෙම කරන්නේ...”

සුදු­මැ­ණිකෙ තම පුත්‍රයා මලි­න්දට දොස් කියයි.

“පොඩ්ඩක් මටත් මනු­ස්ස­යෙක් වගේ ජීව­ත්වෙන්න දෙන්න අම්මේ... මම දැන් පුංචි එකෙක් නෙමේ. රස්සා­වක් කරන ලොකු මිනි­හෙක්... අම්ම­ලානේ මාව නිතර ම අවු­ස්සන්නේ.. මට ගම­නක් බිම­නක් යන්නත් නෑ. ප්‍රශ්න පිට ප්‍රශ්න... හරස් ප්‍රශ්න.. ඊයෙ මට අප්පච්චි දොස් කීවා වාහනේ අර­ගෙන ගිහිල්ලා පරක්කු වෙනවා කියලා. ඇයි මට රාජ­කාරි වැඩ නැද්ද?”

මුළු­තැ­න්ගෙයි සිටිය මේරි උළුව­ස්සෙන් කර පොවලා බැලුවේ මලින්ද බේබි හාමු මේ තරම් නපුරු විදි­යට කතා කර­නවා කව­දා­වත් අහලා නැති නිසාය.

“අනේ මන්දා මේ වල­ව්ව­ටත් මොන මොන විල­ම්බෑසි වෙන්න යන­වද කියලා..” කුස්සි­යට එබි­කම් කළ රියැ­දුරු ඩේවිඩ්ට ඇය කීවේ රහ­සින් වගේය.

ඩේවිඩ් ඊට කිසි­වක් නොකියා තම දෙතො­ලට දබ­රැඟිල්ල තබා­ගෙන ඇහි බැම උස්සා මේරිට ඉඟි­යක් කළා විත­රය.

“අම්මලා හිතන්න එපා.. අම්ම­ලාගෙ ඔය වලව් පට්ටං­දෙ­රේට රැව­ටිලා හැම­දාම මිනිස්සු කට පියා­ගෙන ඉන්නවා කියලා. අර තේ වත්තෙ කට්ටිය ස්ට්‍රයික් කරන්නෙ නික­මට නෙමේ.. උන්ගෙ අයි­ති­වා­සි­කම් ඉල්ලලා. අප්පච්චි ගිය මාසෙ එක මනු­ස්ස­යෙක් නිස්කා­රණේ අස්ක­රලා දැම්මා.. ඒ මිනිහා පර­ම්පරා දෙකක් තිස්සේ අපට වැඩ කරපු මිනි­හෙක්..!”

මලි­න්දගේ කට­හඬ සැර­වැඩි වෙත්ම ඩග්ලස් ගොඩ­ලි­යද්ද වහාම එතැ­නට එන්නේ දත්මිටි කමිනි.

“වහ­ග­න්නවා කට.. උඹ­ලට හරි අමා­රුයි.. මේ ඔක්කොම දේවල් හරි­හම්බ කරන්නෙ බොල, මට යන­කොට ගෙනි­යන්න නෙමෙයි. උඹ­ලට ම තමයි.. එහෙනං.. සාධා­රණ - අසා­ධා­ර­ණ­කම් ගැන මට උග­න්නන් එන්න උඹලා කවුද? ආ.. මම එක මිනි­හෙක් අස්කළා තමයි. ඌ ඕනෑ­වට වඩා දඟ­ලන්න ආපු හින්දා. වෘත්තීය සමිති හදා­ගන මේක උන්ගෙ පරි­පා­ල­නේට ගත්තා ම මං කවුද? මං එත­කොට උං අට­වාපු පඹය ද? ආ...”

පියාගේ ඒ රළු උස්හ­ඬට වෙන­දා­මෙන් මලින්ද කට වසා ගත්තේ නැත. ඔහු ඉදි­රි­යට එන්නේ සිංහ ලීලා­වෙනි.

“හහ්.. අප්පච්චි ‘පඹ­යෙක්ද’ නැද්ද කියලා ඉතිං දන්නේ අප්ප­ච්චිම තමා ආයෙ වෙන කවුද? යාන්තම් කලින් මාසෙ ආරා­වුල අර ජය­ති­ස්සලා මැදි­හත් වෙලා විස­ඳලා දුන්නා...!”

දැන් ගොඩ­ලි­යද්ද හාමු කෝප­යෙන් වෙව්ලයි.

“පිට එවුං මොනවා නොකි­ය­යිද තමු­න්ගෙම එවුං මෙහෙම පලිච්චි කතා කිය­න­කොට... ඔහෙ හිටු...! මොකක්ද උඹට හැදිච්ච පිස්සුව!”

ඔහු පුත්‍රයා ඉදි­රි­යට පැන්නේ නොහි­තපු වෙලා­වක නොහි­තපු විදි­ය­ටය. නමුත් එයින් වුණේ මලින්ද‍ගේ කෝපය මෙල­වීම පම­ණකි.

“කතා... හහ්.. අප්පච්චී..! මං කියන්නෙ නෑ.. අප්ප­ච්චි­ලාගෙ මහ­ලොකු කෙරු­ම්කා­ර­කම් ගැන.. මිනිස්සු යස අගේට ඔය අතන මෙතන කතා වෙන්නෙ.. හහ්..!”

සුදු­මැ­ණිකෙ මැදි­හත්වී පුත්‍ර­යාව පසෙ­කට නොඅ­දි­න්නට එතැන මහාම විල­ම්බෑ­සි­යක්ය.

අඩි පොෙළාවේ ගැසූ මලින්ද පිටවී ගියේ කාගේ දිහා­වත් නොබ­ල­මිනි.

“හහ්.. ටික ටික මාත් දන්නව දැන් මේ හාමු‍ලගෙ කැරැට්ටු ගැන!” දත්කූරු හප­මින් අන්ති­මට ඔහු කියූ දෙය ගොඩ­ලි­යද්ද හාමුට සේම සුදු මැණි­කේ­ටද නෑසුණා වෙන්ට බැරිය...

*******

කරු­ණා­දාස ජය­මාල් බේබි එන­තුරු පාසල අසල වාහ­නය නව­තාෙ­ගන හිටියේ හිතේ කර­ද­ර­යෙනි. මේ වල­ව්වල හාමුලා ගැන එක එක කතා ඕනෑ­ත­රම්ය. ඒ අතරේ මේ මෑතක ඉඳන් අලුත් ‘ඉත්තෙක්’ වැඩ පටන් අරන්ය. ඔහු නමින් ­සෝ­ම­සි­රිය. වැඩ කළේ රත්න­පුර වලව්වෙ හාමු­ලාගේ කළු­තර තේ කම්හ­ලේය. හදිසි ආර­වු­ලක් ඇතිවී වැඩ තහ­නම් කරන ලද සෝම­සිරි දැන් පිස්සු බල්ලෙකු ගානය.

වල­ව්වල හාමු­ලට විරු­ද්ධව එක එක කතා ගොත ගොතා ඇවි­දියි. රස්සා­ව­කුත් නැති නිසා ඔහේ ඉබා­ගාතේ ඇවි­දියි.

“හා... කරු­ණා­දාස ගොඩාක් වෙලාද ඇවිල්ලා...” කරු­ණා­දාස හොරැ­හින් බලා හිනාවී වාහ­නය පණ ගන්වයි. ජය­මාල්ගේ මුව­ගට හිනා­වක් නැගෙයි. එක්කො මං මේක අයි­යා­ටත් කියලා ඉව­ර­වෙ­ලාම මෙයා­ලා­ගෙන් අහන එක හොඳයි. ජය­මාල්ට එහෙම හිතෙ­ද්දිම කරු­ණා­දා­සට විම­ති­යක් ඇති­වුණේ බේබි­හාමු නිහ­ඬව කල්පනා කළ නිසාය.

“මං දැක්කා... හහ්... කරු­ණා­දාස හොඳ ඕප­යක් දැම්මා මං එන්න කලින් නේද?”

“කාත්.. කාත් එක්කද බේබි...?”

“ඇයි අර කහ ෂර්ට්කා­රයා එක්ක... මිනිහා මාවත් හම්බ­වෙලා තමා ගේට්ටුව ළඟට ඇවිත් හිටියෙ...!”

කරු­ණා­දා­සගේ ඇස් උඩගි‍යේ එවි­ටය. ඇත්ත­ටම ජය­මාල් බේබි නම් පුදු­මා­කාර මොළ­යක් ඇති කෙනෙකි.

“ආ... මිනි­හද... මිනිහා... මේ වත්ත­කින් පිටමං කරපු වෘත්තීය සමිති කාර­යෙක්. රස්සා­වක් නැතිව පිස්සු­වෙන් වගේ දොඩ­ව­නවා!”

ජය­මාල් කට වසා ගත්තේ උප­හාස සිනා­වක් ද සම­ඟින්ය. දුප්පත් මිනි­හෙ­කුගෙ අස­හ­න­යක් වේද­නා­වක් හඳු­නා­ගන්න බැරිව පිස්සෙක් විදි­යට හඳු­න්ව­න්නෙත් ඒ පෙළැ­න්තියෙ අයම තමයි. ඒ සිතු­විල්ල ඔහු මුදා හැරියේ නැත.

*******

“ඔන්න දැන් අපේ බෝඩි­මට තව කලා­කා­ර­යෙක් බෝවෙලා. කලින් හිටි‍ෙය නාට්‍යකාර­යෙක් විත­රයි.”

උදාර කිය­ව­න්නට පට­න්ගත්තේ හවස තේවේල සප්පා­යම් වෙලා එන­ග­මන්ය. ඒ සප්පා­යම් විය­දම් සිය­ල්ලම ශ්‍රීමා­ල්ගෙන්ය.

“කවුද බං ඒ කලා­කා­රයා...” සිරි­නාත අසයි.

“මිනිහා කවි­කා­ර­යෙක්.. ළඟ­දිම හොඳ කවි පොත­කුත් කරාවි... හහ්හා... වෙනින් කවු­රු­වත් නෙමේ.. මේං... ශ්‍රීමාල්...!”

“ඔය මොන මොන පොත් කළත් කමක් නෑ ඕං.. අපි මේකට ආපු රාජ­කා­රිය එහෙම අම­තක කර­නවා නෙමෙයි..” ‍‍

එහෙම කියැ­වුණේ කාගේ මුවි­න්දැයි හිතා­ග­න්නට බැරිව තිබි­යදී ශ්‍රීමාල්ගේ දුර­ක­ථ­නය නාද­වෙයි.

ජංග­මයා කනේ තබා­ගන්නා ශ්‍රීමාල්ගේ මුහුණේ ආලෝක දහ­රා­වක් එක­ව­රම නිවී ගියාක් බඳු විය. සිරි­නා­තට බය හිතුණි.

“ඇ... ඇයි... මොකෝ බං... ශ්‍රීමාල්... අවු­ලක්ද...?”

ලබන සතියට‍...

Comments