වේද­නා­වක් නැති මර­ණ­යක් දෙවි­ය­න්ගෙන් ඉල්ලුවා | සිළුමිණ

වේද­නා­වක් නැති මර­ණ­යක් දෙවි­ය­න්ගෙන් ඉල්ලුවා

එය 1960 වර්ෂයේ රට කැලඹූ කතාවකි. 1968 දී එම සත්‍ය සිදුවීම පදනම් කරගෙන ගුණදාස ලියනගේ සූරීන් “ගුවනින් ගිය ගොඩයා“ කෘතිය රචනා කළේය. මුහුදු ගිය ධීවරයන් සිවු දෙනකු මුහුණ දුන් ත්‍රාසජනක අත්දැකීමක් එයට පදනම් විය. අද ඔවුන් අතුරින් ජීවතුන් අතරේ සිටින්නේ රාජසූරියගේ රූපින් මහතා පමණි.

 

රූපින් මහත්තයා මා ඉදිරිපිට ය. මේ හමුවීම ගැන මට ඇත්තේ විස්මයකි. ඔහු මට මේ මුණ ගැහෙන්නේ ජීවිතයේ දෙවැනි වතාවට ය. පළමු වතාවට ඔහු මුණ ගැහෙන විට මා කුඩා දැරියකි. ත්‍රාසජනක මුහුදු ගමනකින් අනතුරුව දිවි බේරාගෙන ඔහු මා ඉදිරියට ආවේ ආසාවෙන් කියැවූ පොතක පිටු අතරිනි. එන්ජිම නතර වූ බෝට්ටුවක පාවෙමින් පුරා දින හතක් ඔහු මරු සමඟ සටන් කළ විස්තරයක් සිහිපත් වන විට අදත් එද‍ා මෙන් මගේ හිතට දැනෙන්නේ තිගැස්මකි.

රාජසූරියගේ රූපින් නම් මේ ධීවරයාගේ සැබෑ ජීවන අත්දැකීම පසු බිම් කරගත් ඒ කතාව ඇතුළත් වුණේ 1968 අවුරුද්දේ ගුණදාස ලියනගේ සූරීන් ලියූ “ගුවනින් ගිය ගොඩයා” පොතේය. එය නුගේගොඩ සිංහ ප්‍රකාශනයකි. දොළොස් හැවිරිදි දැරියකව සිටියදී ඒ පොත කියවා රූපින් මහත්තයාගේ ඉරණම ගැන බිය වූ මට, මේ අයුරින් ඔහු හැබැහින් මුණ ගැහෙන්නට වාසනාව පෑදුණේ අහම්බෙනි. එක්දහස් නවසිය හැට ගණන්වලදී රත්මලාන පැත්තේ වැඩකාර කිමිදුම්කරුවකු වූ රූපින් මහත්තයා අදටත් රත්මලාන ශාන්ත රීටා පාරේ නිවෙසක පදිංචිව සිටින බව තහවුරු කර ගැනීමෙන් ඉක්බිති අපි ඔහු සොයා ගියෙමු.

“මං උපන්නේ 1933 අවුරුද්දෙ පෙබරවාරි 09 වැනිදා. අපේ මහගෙදර තිබුණේ ගල්කිස්ස මහ හෝටලේට අල්ලපු වැටේ. කුඩා කාලෙම අපට මුහුද ගැන බය නැතුව ගියේ දවසට හතර පස් වතාවක් මුහුදට පැනලා පීනලා සෙල්ලම් කරන්න පුරුදු වෙලා උන්නු නිසයි. ඉස්කෝලෙ ලොකු පන්තිවලට යනකොට පොතපතට වඩා මුහුද ගැන හිත වැටුණා. ඒ කාලේ ගල්කිස්ස මහ හෝටලේට හරි සරුයි. එතැනට යන එන සුද්දෝ එක්ක මගේ හුඟක් හිතවත්කම් තිබුණා. කොටින්ම ගල්කිස්ස මහ හෝටලේ පළමුවැනිම ජීවිතාරක්ෂක කිමිදුම්කාරයා වුණෙත් මම. පීනන්නත්, කිමිදෙන්නත් වගේම කතා කරන්නත් රූපින් මහත්තයා හරි සමතෙකි. අතරමැද අපෙන් බාධා කිරීම් නැතිවූයේ ඒ තරමටම ඒ කතාව රසවත් නිසාය.

“ඊළඟට එක්දහස් නවසිය හැටේ අවුරුද්දේ මුල මම මොරටුවේ රස්කින් ප්‍රනාන්දු මහත්තයාගේ වෙලෝනා කොම්පැනියේ රස්සාවකට ගියා හරියටම එතකොට මම අවුරුදු විසිහතක ඉලන්දාරියෙක්. ඔය ‘ගුවනින් ගිය ගොඩයා’ පොතේ තියෙන ඉරණම්කාර සිද්ධිය වුණේ ඒ අවුරුද්දේ නොවැම්බර් මාසයේදී. ඒක මහ පුදුමාකාර සිද්ධියක්” කියමින් ඔහු අපගේ කුතුහලය අවධි කරන්නට විය.

“‍අපේ කොම්පැනියේ මැනේජර් මහත්තයෙක් වෙලා

හිටපු ගොඩ්ප්‍රි මැන්කියුලැම්බර්ග් මහත්තයාට මූදෙන් අලුත් මාළු ටිකක් අල්ලගෙන කන්න ආසාවක් ඇවිත් තිබුණා. ඒ ආසාව මුදුන් පමුණුවා ගන්න හොඳම කෙනා

මම නිසා ගොඩ්ප්‍රි මහත්තයා මට මුහුදු යන්න යෝජනාවක් කළා.

ගොඩ්ප්‍රි මහත්තයාටත් මටත් අමතරව අපි තවත් පුරුදු කාරයෝ දෙන්නෙක් මේ මුහුදු ගමනට හවුල් කරගත්තා. ඊළඟට කොම්පැනිය අයිති රස්කින් ප්‍රනාන්දු මහත්තයාගේ අවසර පිට “වෙලෝනා” බෝට්ටුව වැල්ලවත්තෙන් දියත් කරලා අපි අලුත් මාළු අල්ලන්න දියඹට ගියා.

අපි වැල්ලවත්තෙන් පිටත් ව‍ුණේ කළුවර වැටුණට පස්සෙයි. රෑ තිස්සේ දියඹට ගිහින් එළිවුණාට පස්සේ අපි ගෙනිච්ච ඉඳිආප්ප එහෙම කාලා මරුවැල අදින්න සූදානම් වුණා. මේ අතරේ ගොඩ්ප්‍රි මහත්තයා බෝට්ටු ඇන්ජිමේ මොකක්දෝ අමුතු බොත්තමක් එබුවා. මිනිහා නුපුරුදු කාරයනේ. ඇන්ජිමේ ඇණයක් කැඩිලා අතට ආවා. මම දැනගත්තා වැඩේ වැරදුණු වග. ඇන්ජිම හදන්න ඕන කරන කිසිම ආයුධයක් අපි ගෙනිහින් තිබුණේ නෑ. දන්න සෙල්ලම් දාලා ඇන්ජිම ස්ටාට් කරන්න හැදුවත් මොන! ගල්ගෙඩියක් වගේ බෝට්ටුව කිසිම හැලහොල්මනක් නෑ. හැමෝටම ඉහෙන් කටින් දාඩිය දැම්මා.”

රූපින් මහතා විස්තර කරන මේ සිදුවීම වූයේ ගොඩබිමේ සිට සැතපුම් සියයක් දුරිනි.

මුහුද මැද මේ සිදුවූ කරදරය ගැන කියා පිහිටක් ඉල්ලන්නට කිසිම මිනිස් ප්‍රාණියකු සිටියේ නැත. ඒ නිසා ඔවුන්ගේ එකම පාර්ථනාව වූයේ දෙවියන්ගේ පිහිටය.

“එදා ඉර මුදුන් වෙනකොටම වගේ අපි ළඟ තිබුණු වතුර බෝතල් දෙක ඉවර වුණා. එක රැයින් ගොඩබිමට එන්න පුළුවන් වේවි කියන විශ්වාසය තිබුණු නිසා උදේ කෑමට අමතරව කිසිම කෑමක් අපි ගෙනිච්චෙත් නෑ. වෙලාව පැයෙන් පැය ගෙවෙද්දී හිතේ බයක්, අැෙඟ් අමාරුකමුත්, තිබහත්, බඩගින්නත් වැඩි වුණා. හතරදෙනාම ළඟපාත බෝට්ටුවක් හරි නැවක් හරි, ගොඩබිමක් පෙනේවි කියන අන්තිම බලාපොරොත්තුව ඇතුව ඇස්ගෙඩි එළියට දාගෙන බලා උන්නා. ඒත් අහලක මිනිස් පු‍ලුටක් නෑ....”

එදා මුහුණ දුන් ඉරණම්කාර සිදුවීමෙන් හටගත් ත්‍රාසය රූපින් මහත්තයාගේ හිතෙන් තවම තුරන් වී නැති සැටියකි. දෑස් ලොකු කරගත් වනම ඔහු ඒ සිදුවීම අපට මනා කොට විස්තර කරයි.

“ඉවසන්නම බැරි වුණේ වතුර තිබහ. ටිකකින් අපි තිබහට මුහුදු වතුර බීව්වා. ලුණු වතුර බොන්න බොන්න තිබහෙන් පිච්චෙනවා. සමහරු තමන්ගෙම මුත්‍රා කෝප්පයකට එකතු කරලා බිව්වා. මේ ජාති දෙකම බීලා අනික් අතට වමනේ කළා. වමනෙකට අත් බෙහෙතක්වත් අපි අරන් ගිහින් තිබුණේ නෑ. ඒක නං කියාගන්න බැරි අසරණකමක්. සමහරු අපේ ජීවිත බේරා දෙන්න කියලා දෙයියන්ට කන්නලව් කළා. ඇඬුවා. ගොඩ්ප්‍රි මහත්තයා ඇඟ පණ නැතුව බෝට්ටු තට්ටුවේ වැටිලා හිටියා. චන්ද්‍රදාස වමනෙ කරලාම සිහි නැතුව වැටුණා. ඔහොම දවස් හතරක් ගතවුණා.”

“දරු පවුල මතක්වෙලා විලාප දිදී ඉඳපු විජේදාස පස් වැනි දවසේ උදේ බෝට්ටුව ළඟට ආපු මාළු තුන් හතර දෙනෙක් අල්ලලා, කෑලි කපලා ඩෙක් එක උඩ දාලා අවුවේ වේළුවා. අපි කවුරුවත් අමු මාළු කන්න කැමති වුණේ නෑ. ඒත් විජේදාස කෑව. එදා හවස මම කලන්ත වෙන්න එනකොට ඩෙක් එක උඩ වේළපු මාළු පෙත්තක් කන්න ගත්තා. ඒවා පැය හය හතක් තුළ කරවල වෙලා. ඒ තරම් රස්නයක්. අමු මාළු කන්නම බෑ කියපු ගොඩ්ප්‍රි මහත්තයාටයි, චන්ද්‍රදාසටයි බලහත්කාරෙන්ම ඒවා කැව්වා. නමුත් කාල කට ගන්න කොටම වතුර තිබහ හතර පස් ගුණයකින් වැඩිවුණා. අර මොකද, මාළු හෝදලා තිබුණේ ලුණු වතුරෙන් නිසා...”

“පස්වැනි දවසෙ ගොඩ්ප්‍රි මහත්තයා මරණාසන්න වුණා. කවුද මුලින්ම මැරෙන්නේ කියලා සිතුවිල්ල තිබු‍ණා. වේදනාවක් නැතුව ඉක්මනින් පහසුවට මරණය සිද්ධ වෙන්න කියලා අපි හැමෝම දෙවියන්ගෙන් ඉල්ලුවා.” වේදනා බර ජීවිතය වෙනුවට වේදනාවක් නැති මරණය දෙවියන්ගෙන් ඉල්ලූ බව ඔහු කියන්නේ අප පුදුමයට පත් කරමිනි.

“එදා රෑ මහා ආශ්චර්යයක් වුණා. හුළං තද වෙලා මුහුදට හයියෙන් වැස්සක් වැටුණා. වැස්සේ සද්දෙට මම හිතට දහිරිය අරගෙන නැගිටලා වැනි වැනී ගිහින් වැස්සට කට ඇරගෙන හිටියා. වතුර ටිකක් පෙවුණාම මට පියවි සිහිය ලැබුණා. ඒ පාර මම හනිකට ඉටි කොළයක් හොයාගෙන වැහි වතුර ටිකක් එකතු කළා. ලුණු රහ නැති වැහි වතුර කාගෙත් කටට වත්කළාම හැමෝම පණගහලා ආවා. එදා දවසත් නොමැරී අල්ලගෙන හිටියේ ඒ වතුර ටිකට පින් සිද්ධ වෙන්නයි...”

“ඒත් හැමෝම හාමත් වෙලා. මුහුද මැද පාවෙමින් හිටපු හයවැනි දවසත් ගෙවිලා ගියා. ඒ හිටපු තත්ත්වය අනුව ගොඩ්ප්‍රි මහත්තයා හරි චන්ද්‍රදාස හරි බෝට්ටුව ඇතුළෙ මැරෙන බව මට තේරුණා. ඒ දෙන්නා ජීවත්වන බවට තිබුණු එකම ලකුණ ඉඳහිට පැයකට වතාවක් වගේ හීනියට කෙඳිරිගාපු එක විතරයි. ගොඩ්ප්‍රි මහත්තයා හරි චන්ද්‍රදාස හරි මැරෙන්න කලින් ඒවා නොදැක මං මැරෙනවා නම් හොඳයි කියලා ඇත්තටම මට හිතුණා.

මෙසේ දවස් ගෙවුණු විට හත්වැනි දවස ද උදාවිය.

“ඔන්න මුහුද මැද ගෙවපු හත්වැනි දවසට එළිවෙනකොට මගේ තත්ත්වෙත් බොහෝම දුර්වල වුණා. මම විසිවෙවී ගිහින් අමාරුවෙන් මාළුවෙක් අල්ලලා උගේ බඩ පළලා ලේ බිව්වා. ඒ කිවුල පිළී රහ මතක් වෙද්දි මේ දැනුත් වමනෙට එනවා....” රූපින් මහත්තයාගේ මුහුණ අපුල වී දෑස් කුඩා වී යන හැටි මගේ නෙත ගැටේ. අමුලේ ? මාළු ලේ? මේ නම් හැබෑ ජීවන පුවතකට වඩා කාගේ හෝ ප්‍රබන්ධයක් දැයි හිතෙන තරම් විස්මයකි. මේ කතාව පළමුවර පොතෙන් කිය වද්දීත් මට හි‍තුණේම එවැන්නකි. ඒත් එය එසේ නොවේ. මා ඉදිරිපිට මේ ඉන්නේ මාළු ලේ බිව් රූපින් මහත්තයායි.

“හත්වැනි දවසේ මගේ ඇස් පෙනෙන නොපෙනෙන ගානේ තිබුණේ. ඒත් මං බලාගෙන හිටියා. උන්නුගමන් මට ඇස් අදහාගන්න බැරි දෙයක් පෙණුනා. නැවක්! දෙයියනේ නැවක් පේනෝ නැගිටපල්ලා කියලා මම හැමෝටම කෑහැහුවා. කවුරුවත් නැගිටගන්න පුළුවන් තත්ත්වයක හිටියෙ නෑ. අන්තිමේ මම අපේ සරම් තුනක් එකට බැඳලා ලොකු කොඩියක් වගේ හදාගෙන උපරිම වීරියෙන් ඒක වැනුවා. මිනින්තු දහයක් පහළොවක් විතර සරම වන වනා ඉදිද්දී මට තේරුණා නැව ටික ටික අපි ඉන්න දිහාට කිට්ටුවෙන බව.... නැව අපේ කිට්ටුවටම ඇවිල්ලා ඉණිමඟක් වගේ එකක් බෝට්ටුවට දැම්මා. වතුර බෝතල් දෙකක් අරගෙන න‍ැවේ කප්පිත්තා අපි ළඟට ආවා. මොනවද ඕනෙ? තෙල් ඉවරද කියලා කප්පිත්තා මගෙන් ඉංග්‍රීසියෙන් ඇහුවා. “we have had engine failure. Please save us” කියලා මාත් උත්තර දුන්නා. ගල්කිස්සේ සුද්දො එක්ක තිබුණු ගනුදෙනුව නිසා මට ඉංග්‍රීසි පුළු වන්. නැවේ කප්පිත්තා මට ෆෝම් ක‍ඩදාසියක් අත්සන් කරන්න කිව්වා. ඇඳිවතවත් නැතුව මිනිස්සු හතර දෙනාට විතරක් නැවට ගොඩවෙන්න කිව්වා. අපිට විළි වහගන්න උන්ගේ ඇඳුම් දුන්නා. ඒවා ඇඳගෙන බෝට්ටුව දිහා බලද්දී උන් පෙට්‍රෝල් දාලා බෝට්ටුව ගිනි තියලා. ඒ කියන්නේ උන් හිතන්නේ බෝට්ටුව අපිව බිලිගන්න හැදුවා කියලයි. ඒ බෝට්ටුවෙන් යම් යම් දේවල් නැවට අරගෙන ආවොත් නැවටත් අනතුරක් වේවි කියලයි උන් විශ්වාස කළේ....

“කන්න ‍මුකුත්ම දුන්නේ නෑ. මොකද සතියක් හාමත්ව ඉඳලා බර ආහාරයක් ගත්තා නම් බඩවැල් ගැට ගැහෙනවා. නැවේ කප්පිත්තා අපිව මාලදිවයින් දූපතකට ගොඩ බැස්සුවා. ඒ රටේ හමුදාවේ අය අපිව මාලදිවයිනේ ඉස්පිරිතාලෙකට ඇතුළු කළා. එතැනින් ලංකාවට රේඩියෝ පණිවිඩ දීලා කිව්වා ලංකාවේ අතුරුදන් වෙච්ච ධීවර‍යෝ මාලදිවයිනට ගොඩ බෑවා කියලා... ඉතින් අපට ගෙදර ගියා වගේ තමයි. සතියක් මාලදිවයිනේ ඉස්පිරිතාලේ නවත්තලා, බෙහෙත් කරලා අපිව ලංකාවට එව්වා. අපේ කොම්පැනිය අයිතිකාර රස්කින් ප්‍රනාන්දු මහත්තයා මාලදිවයිනට එවපු අහස් යාත්‍රාවෙන් තමයි අපි රත්මලාන එයාර් පෝට් එකට ගොඩ බැස්සේ”

ඒ රූපින් මහත්තයාගේ ඇත්තම කතාවය. අවුරුදු අසූ හයක් වූ මේ කාලයේ වෙච්ච දේවල් අද මතක නැතිවෙන බවට රූපින් මහත්තයා මැසිවිලි නැගුවත් අවුරුදු පනස් අටකට එපිට අතීතයේ මුහුණ දුන් ඒ ත්‍රාසජනක සිද්ධිය රූපින් මහත්තයාට අකුරක් නෑර මතකය. රූපින් මහත්තයා අහසින් ගිය පළමු හා එකම ගුවන් ගමන ගැන විස්තරයක් ඔහු මෙහෙම අපට කියයි.

“මාලදිවයිනේ ඉඳන් එන ගමනට අපට ඇඳගෙන එන්න ලැබුණේ උස මහත සුද්දන්ගෙ ඇඳුම්. ඒ උස කලිසම් අපි කිහිල්ල හරියට උස්සලා ඇදලා පටිවලින් බැඳගත්තා. උඩට බාච්චු වගේ ෂර්ට්. ඉතිං නියම ගොඩයෝ තමයි. නියමම ගුවනින් ආ‍ ‍ගොඩයො......” හිනා කටින් ඔහු පවසයි.

“අපි හතරදෙනාගේ පවුල්වල ළමයි, ගෑනු නෑදෑයෝ සිය ගානක් අපි එනකොට රත්මලාන ගුවන් තොටුපොළට රැස්වෙලා හිටියා. විලාප තිය‍ාගෙන ඇවිත් අපිව බදාගෙන ඇඬුවා. ඒ වෙලාවේ දැනිච්ච දේ කියන්න වචන නෑ. ලස්සන වැ‍ඩේ කියන්නේ ඒ ගොල්ලෝ අපි ගැන කිසි තොරතුරක් නැති දවස්වල අපට පාංශුකූල දීලා, හත්දවසින් දානෙත් පුජා කරලා.”

“එද‍ා ඒ මුහුදු ගමන ගියපු හතර දෙනාගෙන් දැන් ජීවතුන් අතර ඉන්නෙ මම විතරයි. අපේ කතාව “ගුවනින් ගිය ගොඩයා” පොතට ලියපු ගුණදාස ලියනගේ මහත්තයත් දැන් ඉතිං නෑනේ. අපි රත්මලාන ගුවන්තොටට බහින වෙලාවේ ගුණදාස ලියනගේ මහත්තයා එතැනට ඇවිල්ලා ඉඳලා අපි එක්ක කතා කළා. ඒ කාලේ ගුණදාස ලියනගේ කිව්වම ඉතිං රටම දන්න මිනිහෙක්. ඒ මහත්තයා ලංකා ගුවන් විදුලියට අපි ගැන වාර්තා වැඩසටහනක් කළා. 1960 අවුරුද්දේ දී එනම් මීට අවුරුදු පනස් අටකට එපිට දවසක ඔවුන් මුහුණ දුන් ඒ භයංකාර අත්දැකීම ගැන විවිධ පුවත්පත්වල පළවූ විවිධ ප්‍රවෘත්ති සහ පින්තූර රැසක එකතුවක් රූපින් මහත්තයාගේ අල්මාරියේ තිබේ. ඒවා එලොව ගිහින් මෙලොව ආ මිනිහෙක් ගැන සත්‍ය සාක්ෂි සටහන්ය.

Comments