
“ඔක්කොම හාමුදුරුවරු ලක අදහන්නේ බුද්ධාගමද හා! හරි පැනයකි එන්නේ‘ඔව් - නෑ’ දෙකෙන් එකකුයි කිව යුතු වන්නේමම ගල් වුණෙමි, කොහොමද පිළිතුරු දෙන්නේ”
බඹරකොටුවේ සුධර්ම (සෙනෙවිරත්න) කවියා, කුඩා දරුවකුගේ මුවට එවදන් නඟා ලංකාවේ ඔක්කොම හාමුදුරුවරුන් අදහන්නේ බුද්ධාගමදැයි ඇසුවේ මීට හැත්තෑ වසකට පෙර, 1948 අවුරුද්දේදී ය. කවියා ලියූ ‘ගැටලු තුනක්’ නමැති පැදි පෙළ අවසන් කළේ ඉහත දැක්වුණු කවියෙනි. අපගේ ප්‍රස්තුතයට පැමිණෙන්ට පෙර, මේ පද්‍ය රචනයත්, එය ලියූ කවියාත් පිළිබඳ කෙටියෙන් නමුත් පරිකතාවක් ලියන්ට ඇත. ‘බඹරකොටුවේ සුධර්ම’ නමින් කවි ලියුවේ ‘බඹරකොටුවේ සුධම්මාලංකාර’ නමින් කලක් පැවිදිව සිටි ‘සුධර්ම සෙනෙවිරත්න’ කවියාය. මෙතැනට අදාළ වන වැදගත්ම කාරණය වන්නේ, මේ අපූරු කවිපෙළ ලියන අවධිය වන විට, කවියා පැවිදි බිමේම සිටි වගයි; තවත් වචනවලින් පැහැදිලි කොට කිව හොත්, සිරිලක සිටින ඔක්කොම හාමුදුරුවරුන් අදහන්නේ, බුද්ධාගමද යන විමතිය, මේ කවියාට ඇති වී තිබෙන්නේ ස්වකීය ප්‍රව්‍රජ්‍යා භූමියේදී හෙවත් පැවිද්ද තිබුණු කාලය තුළදීම බවයි. එසේ නම්, මීට අවුරුදු හැත්තෑවකට පෙර, අපේ හාමුදුරුවරුන් ගැන කළ ඒ බරපතළ විවේචනය ගිහියකුගේ මුවින් නොව පැවිද්දකුගේ මුවින් ම පිට වූවකි.
අද අහන්ට සිදුව ඇත්තේත්, එදා බඹරකොටුවේ සුධම්මාලංකාර හිමියන් ඇසූ ප්‍රශ්නයම නොවේද? ඉකුත් දිනෙක අස්ගිරි පාර්ශ්ව අනුනායක වේඬරුවේ උපාලි හිමි විසින් කරන ලද ප්‍රකාශය බරපතළ ලෙස සැලකිය යුතු වෙයි.
උන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ “ජර්මනියේ ඒකාධිපති පාලක ඇඩොල්ෆ් හිට්ලර් මෙන් මිලිටරි පාලනයක් ආරම්භ කර, ශ්‍රී ලංකාව පුනර්ජීවනය කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරමුණ ගත යුතු” බවයි.
එකී ප්‍රකාශය කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ 69 වැනි උපන් දිනයේදී, ඔහු විසින් පිරිනමන ලද දානමය පුණ්‍ය කර්මයේදී කරන ලද අනුශාසනයක් හෙවත් ‘අනුමෝදනා බණක්’ හැටියටය.
වෛවාරන්න දේශපාලකයන් හමුවේදීත්, අනාගත දේශපාලන හීන දකිමින් සිටින බලලෝභි මිනිසුන් ඉදිරියේදීත් අනුමෝදනා බණක් හැටියට තමන්ට රිසි රිසි දේ කියන්ට, අපේ හාමුදුරුවරුන්ට තහනමක් ඇත්තේ නැත. එහෙත් ඒ බණ කියන පුද්ගලයාත්, එයට අරමුණු වන පුද්ගලයාත්, ඒ බණේ විෂයය කාරණාත් ගැන මෙනෙහි කරන විට වේඬරුවේ උපාලි හාමුදුරුවන්ගේ ප්‍රකාශය හුදු ප්රලාපයක් හැටියට ඉවත දමන්ට බැරිය.
ප්‍රකාශකයා අන් කවුරුවත් නොව, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිය.
අස්ගිරිය යනු, සියලු ජාතික ශාසනික කාර්යයන්හිදී “ඒ වගත් මෙසේම” කියා අස්සන් කරන පාර්ශ්ව දෙකෙන් එකකි. දේශපාලන නායකකාරකාදීන් අටපිරිකරද අරගෙන අවවාද අනුශාසනා උදෙසා යන තැන් දෙකෙන් එකකි, අස්ගිරිය දැන් දැන් දේශපාලන පොඩියන්ලාත් මේ දෙපාර්ශ්වයේ මහානායක හිමිවරුන් බැහැ දකින්ට යන දර්ශනද නිතර දැකගන්ට ලැබෙයි. ඔවුන් යන්නේත් ආණ්ඩුවේ ගිණුමට වැටෙන කැමරාද අටවාගෙනය). එවන් පසුබිමක් යටතේ ඒ ප්‍රකාශය අස්ගිරි නායකත්වයෙන් එන විට බරපතළ කාරණයකි.
දෙවැනි කාරණය, එය අරමුණු කරගත් පුද්ගලයාය. හේතෙමේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම, වැලිකඩ සිරගෙදර ඝාතන, කුප්‍රකට මිග් යානා ගනුදෙනුව, ඇවන්ගාඩ් අවි ගබඩා ජාවාරම, සුදුවෑන්වලින් පැමිණ කප්පම් ගැනීම හා එමඟින් කෙරුණු මිනිස් ඝාතන, ජනමාධ්‍යවේදීන් ඝාතනය සහ අතුරුදන් කරවීම ආදි කී-නොකී බොහෝ අපරාධ ගැන ඇඟිල්ල දිගු වන චෝදනා බරපතළය. අපේ රටේ නීතිය, කරන කරවන අය පමණක් දන්නා හේතු මත, නිරුපද්‍රැතව සිටින්නේ වී නමුත්, ගෝඨාභය රාජපක්ෂ දෙසට ඇඟිල්ල දිගු වන්නේ බරපතළ ගණයේ අපරාධ සම්බන්ධයෙනි. විශේෂ බලතල ඇති අමාත්‍යාංශ ලේකම්වරයකු හැටියට, ඔහු රාජපක්ෂ රෙජීම සමයේ කටයුතු කළේ අත්තනෝමතිකව, තම නිල ක්ෂේත්රය තුළ ඒකාධිපතියකු හැටියටය.
තුන් වැනියට, ඒ අනුමෙවෙනි බණේ විෂය කාරණයට එමු. අනුනායක හාමුදුරුවන්ගේ ප්‍රකාශයෙන් ගම්‍යමාන වන මූලික කාරණ තුනක් ඇත්තේය.
පළමුව: ගෝඨාභය රාජපක්ෂ රටේ රාජ්‍ය නායකයා විය යුතුය. ඉන් අදහස් වන්නේ ඔහු ඊළඟ ජනාධිපති විය යුතු බවයි.
ජනාධිපතිවරණයට තව අවුරුදු එක හමාරක කාලයක් ඉතිරිව ඇත්තේය. ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා, මේ වන විටත් ඇඳුම් සූදානම් කරගෙන ඇති බව නම්, ඔහු කරන ප්‍රකාශවලිනුත්, පවත්වන සාකච්ඡා සම්මන්ත්රණ ආදියෙනුත් හොඳ හැටි ප්‍රකාශ වෙයි. එය වෙනම කාරණයකි.
එහෙත් ජනාධිපතිවරණයට තවත් දීර්ඝ කාලයක් ඉතිරිව තිබියදීත්, රටේ ප්‍රධාන සංඝ පාර්ශ්වයක නායක තත්ත්වයේ සිටින හිමිනමක් එවන් ප්‍රකාශයක් කිරීම, කෙළින්ම දේශපාලනයට මැදිහත් වීමකි. මේ නම් ජනතාව විසින් 2015 ජනවාරි 08 වැනිදා ප්‍රතික්ෂේප කළ රාජපක්ෂ රෙජීමයට කඩේ යෑමක් නොවේද? අස්ගිරිය සම්බන්ධයෙන් ඒ විවේචනය කරන්ට මේ රටේ මැදහත් පොදු බෞද්ධ ජනතාවට අයිතියක් නැද්ද?
අනුනායක හාමුදුරුවන් දෙවනුවට කියන කාරණය ඊටත් වඩා බරපතළය; අතිශයින් භයානකය. මේ රටේ දේශපාලන ඉදිරිගමන ගැන හිතන විට ඉතා අදූරදර්ශීය. ඒ සියල්ලටත් වඩා බුදුදහමට - බුදුසසුනට - බුදුමඟට, මේ රටේ මෙතෙක් පැවති බුදු සංස්කෘතියට පටහැනි ප්‍රකාශයකි; නායක හාමුදුරුනමකගෙන් තබා සාමණේර හිමිනමකගෙන් වත් බලාපොරොත්තු නොවිය යුතු ආකාරයේ පසුගාමි, අගතිගාමි, අබෞද්ධ ප්‍රකාශයකි; ලෝක ඉතිහාසයේ ගමන්මඟ ගැන මෙලෝ නිච්චියක් නිනව්වක් නැතිව කරන ලද ප්‍රකාශයකි.
දැන් සෑහෙන කලක සිට, අස්ගිරි පාර්ශ්වය හැසිරෙන්නේ සියම් නිකායට අයිති කොටසක් හැටියට නොව, රාජපක්ෂ නිකායට අයිති පාර්ශ්වයක් හැටියටය. තමන් වහන්සේ තවදුරටත් සියම් නිකායේ නොව, රාජපක්ෂ නිකායේ බැව් ඉතා ඕලාරික ආකාරයෙන් රටටම ප්‍රකාශ කළ අවස්ථාවක් හැටියටය, ඉකුත් දිනෙක එහි අනුනායක වේඬරුවේ උපාලි හිමි විසින් කරන ලද බරපතළ ප්‍රකාශය සැලකිය යුතු වන්නේ. උන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ “ජර්මනියේ ඒකාධිපති පාලක ඇඩොල්ෆ් හිට්ලර් මෙන් මිලිටරි පාලනයක් ආරම්භ කර, ශ්‍රී ලංකාව පුනර්ජීවනය කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරමුණ ගත යුතු” බවයි. |
උන් වහන්සේ කියා සිටින්නේ, ගෝඨාභය රාජපක්ෂ ඊළඟ රාජ්‍ය නායකයා වී, ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් මෙන් ඒකාධිපති පාලනයක් ගෙන යා යුතු බවයි. ඒ කියන්නේ, කොතරම් අඩු-පාඩු ඇතිව වුව, මේ රටේ පවතින ප්රජාතන්ත්රවාදි පාලනක්රමය, ඊට හාත්පසින් විරුද්ධ ඒකාධිපති පාලන ක්‍රමයකට මාරු කළ යුතු බවයි.
ප්රජාතන්ත්රය වෙනුවට ඒකාධිපතිවාදයක්. එද, ඇඩොල්ෆ් හිට්ලර් පන්නයේ ඒකාධිපතිවාදයක්. මේ නම් මේ රටේ සියලු පුරවැසියන්ගේ ඇඟ හිරිවට්ටන ප්‍රකාශයක් නොවන්නේද? පසුගිය ආණ්ඩු කාලයේ අතිශයින්ම අත්තනෝමතික ආකාරයෙන් බිහි වුණු පාලනයක් ගෙන ගිය රාජපක්ෂලාට උඩගෙඩිදීමක් නොවන්නේද?
ඉහළ පන්තිවල ශිෂ්‍යයන් පවා හොඳාකාර දන්නා අස්ගිරි පාර්ශ්වයට අයත් පිරිවෙන්වල ඉගෙනගන්නා සාමණේර හාමුදුරුවන් පවා කවරකුදැයි හඳුනන ලෝක මට්ටමේ මිනීමරු ‘හිට්ලර්’ ගැන උන් වහන්සේ බිඳක් වත් දැන සිටියේද? තමන් වහන්සේ කළ අදූරදර්ශි ප්‍රකාශයෙන් පසු වේඬරුවේ උපාලි අනුනායක හිමි විසින්, තමන්ගේ ස්ථාවරය තවත් පහදමින් තමන්ගේ නිදහසට දැක්වූ කාරණා කිහිපයක් ගිය සතියේ සති අන්ත පත්තරයක මුල් පිටුවේ පළ වී තිබිණි.
ඒ නම්, තමන් වහන්සේ වාරියපොළ සුමංගල පරපුරෙන් පැවතෙන කෙනකු බවයි; එසේම ගෝඨාභය රාජපක්ෂ යනු, ‘පපුවේ තුනුරුවන තියෙන මිනිහකු’ බවයි.
ඒ තුනුරුවනේ හරි මැදට එන්නේ බුදුන් වදාළ ධර්මයයයි. ඒ දහමෙහි මුල්ම සික පදය වන්නේ ‘පානාතිපාතා වේරමණී’ය. ඒ කියන්නේ, ප්‍රාණඝාතයෙන් වැළකී සිටීමය. දේශපාලන මිනීමැරුම් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනතාව ඇඟිල්ල දිගු කරන කාරණය මොහොතකට පසෙකින් තබමු. තුනුරුවන් පපුවේ තිබෙතැයි කියන අයට, අනාගතයේදි රට පාලනය කරන්ට කියන්නේ ලෝකයේ නොම්මර එකේම මිනීමරුවා වන ඇඩොල්ෆ්ගේ හිට්ලර් කටයුතු කළ ආකාරයටය. ඒ කියන්නේ, මිනීමරමිනි. අර බඹරකොටුවේ සුධම්මාලංකාර හාමුදුරුවන් පොඩි කොලුවාගේ මුවින් ඇසූ ප්රශ්නය අදාළ වන්නේ මෙතැනටය.
“ඔක්කොම හාමුදුරුවො ලක අදහන්නේ, බුද්ධාගමද?”
මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය විසින්, මේ ලෝකයට බිහි කළ මහම ප්රජාතන්ත්රවාදියා, තමන්ගේම ශාස්තෘවරයා වන බුදුන් වහන්සේ බැව් දැනගන්ට අවශ්‍ය නම්, කියවා උගත යුතු කුඩා පොතක් ඇත. ඒ, වල්පොල රාහුල මහාචාර්ය හාමුදුරුවන් ලියූ ‘What the Buddha Taught’ යන ඉංගිරිසි පොතේ පරිවර්තනය වන ‘බුදුන් වදාළ ධර්මය’ නමැති කුඩා පොතයි. බුදුහිමියන් අනුදැන වදාළ දාන, සීල, පරිච්චාග, අජ්ජිබ, මජ්ජිව, තප, අක්කෝධ, අහිංසා, ඛන්ති, අවිරෝධන යන දසරාජ ධර්මයෙහි ඒකාධිපතිවාදය එන්නේ කොතැනකදැයි උපාලි අනුනායක හිමි රටටත්, ජනතාවටත්, විශේෂයෙන් ම මේ රටේ බෞද්ධ ජනතාවටත් පහදා දිය යුතු නොවේද?
වල්පොල රාහුල හාමුදුරුවන්ගේ රටක් වටින ඒ පොතේ 122 වැනි පිටුවෙ එන එක් ඡේදයක් පමණක් උපුටා දක්වමි:
“බුද්ධධර්මය ලෝකයට දෙන පණිවිඩය නම් අහිංසාව හා සාමය බවද, ජීවිතයකට හිංසා කිරීම හෝ ඒ විනාශ කිරීම ධර්මයට පටහැනි බවද කවුරුත් දනිති. ‘ධාර්මික යුද්ධයකැ’යි කිව හැකි කිසිවක් ඇතැයි බුද්ධ ධර්මය නොපිළිගනී.
ඒ වනාහි වෛර වධ හිංසා ඝාතන ආදිය වසා ලීම පිණිස පාවිච්චි කරන බොරු නමකි. ‘කවරක් ධාර්මිකද, කවරක් අධාර්මිකදැ?’ යි තීරණය කරන්නේ කවරෙක්ද? බලවත්හු ජයග්‍රාහකයෝ ‘ධාර්මිකයහ’, දුර්වලයෝද පරාජිතයෝද ‘අධාර්මිකයහ.’ ‘අපේ යුද්ධය හැම විටම ධාර්මිකයි’, ‘ඔබේ යුද්ධය හැම විටම අධාර්මිකයි.’ මේ පිළිවෙළ බුදු දහම විසින් නොපිළිගනු ලැබේ.”
අපේ හාමුදුරුවන් බෝධිපූජා පවත්වා පිරිත් නූල් බැඳ උත්කර්ෂයට ගන්වන, අදත් වටාර පිටාරා හොඳ හැටි වලඳන, යුද්ධය ගැන, ලෝක පූජිත ශ්‍රී ලාංකික යතිවරයකු වන අපේ වල්පොල රාහුල හාමුදුරුවන් කරන ඒ විවරණය හොඳටම ඇතිය.
වේඬරුවේ උපාලි - අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හාමුදුරුවන් - ගෝඨාභයට අනුශාසනා කළ යුතුව තිබුණේ හිට්ලර් වන්නට නොව, ධර්මාශෝක කෙනකු වන්නටය. වල්පොල හාමුදුරුවන් ස්වකීය උතුම් ගත අවසන් කරන්නේ ධර්මාශෝක අධිරාජයාණන් ගැන කරන සඳහනකිනි. ඒ පොතේ 127-128 වැනි පිටුවල ධර්මාශෝකයන් ගැන වල්පොල රාහුල හිමියන් තබන ඒ සටහනින් බිඳක් මේ බැලුව මැනවි:
“එක්තරා ආඥා ලිපියක (xiii වැනි ගිරි ලිපිය) මේ දරුණු යුද්ධය ගැන සඳහන් කළ රජතුමා ඒ ගැන මතක් වන විට තමාගේ සිතට දුකක්, පසුතැවිල්ලක් ඇති වන බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය. ඉන් පසු කිසි කලෙක රටක් ජය ගැනීමට තමාගේ කඩුව නොඅදින්නට තීරණය කරගත් එතුමා සියලු දෙනාටම මෛත්‍රිය, අහිංසාව, ආත්මදමනය, ශාන්තිය ප්‍රාර්ථනා කරන බවත්, තමා පමණක් නොව තමාගේ දරුමුනුපුරන් වත් යුද්ධ නොකරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත්, මෙලෝ පරලෝ දෙකේ ම වැඩ පිණිස වන සැබෑ ජයග්‍රහණය නම් ධර්මයෙන් ජය ගැනීම (ධර්මවිජය) බවත් ප්‍රකාශ කළේය.”
අනුනායක හාමුදුරුවන් ස්වකීය ප්‍රකාශයෙන් කියා පාන තුන්වැනි කරුණද අතිශයින් භයානකය. උන් වහන්සේ ගෝඨාභය රාජපක්ෂට අනුශාසනා කරන්නේ මිලිටරි පාලනයක් ගෙන-යන්නටය. මොකක්ද, මේ මිලිටරි පාලනය?
ඉතා සැකැවින් කිව හොත්, මිලිටරි පාලනය කියන්නේ රාජ්‍ය නිලධාරින්ද නැති, රාජ්‍ය සේවකයන්ද නැති හමුදා නිලධාරීන්ගේ සහ හමුදා සොල්දාදුවන්ගේ පාලනයකි. එද හිට්ලර්ගේ පන්නයේ මිලිටර් පාලනයක්ම විය යුතුයැයිද මේ අනුනායක හිමි අවධාරණය කරයි.
සම්බුද්ධශාසනයේ, ඉහළ පන්තියේ බුදුසව්වකු අනාගත ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු හැටියට පුංචි හිට්ලර් කෙනෙක් බිහි විය යුතුයැයි අනුශාසනා කරන විට, එතැන ඇති බුද්ධාගම කුමක්දැ?’ යි මේ රටේ සිහි-කල්පනාව ඇති බෞද්ධයන් විමසා දැනගත යුතු කාරණයකි.
අලි මදිවාට හරක් කීවාක් මෙන්, දැන් අපේ හාමුදුරුවන් කතා කරන්නේ හිට්ලර්ලා ගැනය. අපේ රාජ්‍ය පාලනයට වැඩම කරවන්ට තනන්නේ හිට්ලර්ලාය.
කවුරුද, මේ හිට්ලර්?
පත්තරයක ලියන ලිපියකින් ඇඩොල්ෆ් හිට්ලර් ගැන ලියන්ට බැරිය. විවිධ භාෂාවලින් හිට්ලර් ගැන ලියන ලද එවැනි ග්රන්ථ මහ රාශියක් ඇත්තේය. හිට්ලර් ගැන ඉඟි බිඳක් පමණක් දෙන්ට උචිත ඉතා නිරවද්‍ය සංඛ්‍යා ලේඛන කිහිපයක් දක්වා මේ ලේඛනයට කුණ්ඩලිය තබන්ට අදහස් කරමි. ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් විසින් අවුළුවන ලද දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙහිදී මිය ගිය කෝටි සංඛ්‍යාත මිලිටර් සහ සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව මෙපරිදි දත යුතුය.
සෝවියට් රුසියානු සමූහාණ්ඩුවේ සෙබළු 13,000,000ක් හා සිවිල් වැසියෝ 7,000,000කි. චීනයේ සෙබළු 3,500,000ක් සහ සිවිල් වැසියෝ 3,800,000කි. පෝලන්තයේ සෙබළු 120,000ක් සහ සිවිල් වැසියෝ 5,300,000කි. යුගෝස්ලාවියාවේ සෙබළු 300,000ක් සහ සිවිල් වැසියන් 1, 300,000 කි. රුමේනියාවේ සෙබළු 200,000ක් සහ සිවිල් වැසියෝ 465,000කි. ප්‍රංසයේ සෙබළු 250,000ක් සහ සිවිල් වැසියෝ 360,000කි.
බ්‍රිතාන්‍ය සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල සෙබළු 452,000ක් හා සිවිල් වැසියෝ 60,000කි. ඉතාලියේ සෙබළු 330,000ක් සහ සිවිල් වැසියෝ 80,000කි. හංගේරියේ සෙබළු 120,000ක් හා සිවිල් වැසියෝ 280,000කි.
චෙකෝස්ලෝවැකියාවේ සෙබළු 10,000ක් සහ සිවිල් වැසියෝ 330,000කි. අමෙරිකාවේ සිවිල් වැසියන් සැලකිය යුතු සංඛ්‍යාවක් මිය නොගියද, 292,131ක් වූ සෙබළ සංඛ්‍යාවක් දෙවැනි ලෝක යුද්ධයට දිවි දුන්හ.
ඒ, යුද්ධයෙන් නැති වුණු මිනිස් ජීවිතයි. ඒ ඒ රටවල ආර්ථික විනාශය ගණන් බලා ඇත්තේ බිලියනවලින් දැක්වෙන ඩොලර් කෝටි-ප්‍රකෝටි ගණනකිනි. මනුෂ්‍ය සංහතියට විරුද්ධව හිට්ලර් කළ අපරාධ සංඛ්‍යාව, ගණනය කොට දක්වනු ඉතා අසීරුය.
මනුෂ්‍ය වර්ගයාට එරෙහිව හිට්ලර් විසින් කරන ලද අනෙක් බලවත්ම අපරාධය වූයේ මිලියන සංඛ්‍යාත යුදෙව් ජනතාව ගෑස් කාමරවල දමා මැරවීමය. මේ මිනිසුන් කළ එකම වරද වූයේ යුදෙව්වරුන් හැටියට මෙලොව උපත ලැබීම පමණකි.
බෞද්ධ ප්‍රතිපත්ති අනුව යනවා නම්, අපේ නායක හිමිවරුන් රාජ්‍ය පාලකයන්ට අනුශාසනා කළ යුතුව ඇත්තේ හිට්ලර් කෙනකු වන්නට නොව, ධර්මාශෝක කෙනකු වන්නටය. එකරුණු වටහාගැනීමේ හොඳ සිහිය හෙවත් යෝනිසෝමනසිකාරය අපේ සඟරුවනට ලැබෙන්නේ කෙදිනකද?