
“බේරේ ගද නෑරේ” කිව්වා මතකය. “සේරම කොළඹ කුණු බේරේට” කිව්වාත් මතකය. ඒත් බේරේ අවට සිදුවෙන වත්මන් සංවර්ධන වැඩකටයුතු අනුව අපට පැවසිය හැක්කේ “බේරේ අවට දැන්” “හැමටම සුව පහසු තැන්” යනුවෙනි.
එදා ගද ගැසූ බේරේ වෙනුවට දැන් ඇත්තේ ලස්සන අලංකාර බේරේ වැවකි. නීල හරිත සුව පහසු මං තීරු, ළමා උද්‍යාන හා නගරයේ සැබෑ සුන්දරත්වය විදීමේ ඉඩකඩ සදන ලස්සන මං පෙත් දැන් බේරේ වටා ඉදිවී ඇත. එදා තිබූ ගඳත් අද නැත. නිල්වන් හා අලංකාර ජල තිරයක හංස බෝට්ටුවෙන් යන එතෙර මෙතෙර සංචාරකයන් සිටින බේරේ ජල තීරය ඉදිරි අනාගතයේ මේ රටේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයේ පාරිසරික සංචාරක කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට රජය දැන් කටයුතු කරමින් සිටී.
බේරේ වැවට මේ සංචාරක ආකර්ෂණය හා මේ ලස්සන ආවේ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මෙහෙයවන කොළඹ නගරයේ ජල මූණත් සංවර්ධනය කිරීම සඳහා වූ කොළඹ අගනගර ආශ්රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ ක්‍රියාවට නංවන බේරේ වැව සංරක්ෂණ හා රේඛීය උද්‍යාන ඉදිකිරීමේ වැඩපිළිවෙළ නිසා ය.
මේ වැඩපිළිවෙළ යටතේ ඉදිවූ බේරේ වැව නැගෙනහිර ඉවුර සංරක්ෂණ ව්‍යාපෘතියේ හා රේඛීය උද්‍යානය (නැගෙනහිර බේරේ නැගෙනහිර ඉවුර) ජනතා අයිතියට පත් කිරීම පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ලේක්හවුස් ආයතනය ඉදිරිපිට සිට කිලෝමීටර් 2.5 ක් දුරට වොක්ෂෝල් වීදිය දක්වා ඉදිවූ මං තීරුවක් ළමා උද්‍යාන, විවේක ගැනීමේ ස්ථාන හා සුන්දර හරිත මං තීරු හා ගහකොළ මෙයට අයත් වෙයි. මුළු ව්‍යාපෘතියට රුපියල් මිලියන 640 ක් වැයවී ඇති අතර වැඩසටහන මෙහෙයවීම සිදු කෙළේ මෙට්‍රෝ කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මගිනි.
මේ ව්‍යාපෘතිය ඉදිකිරීමට වොක්ෂෝල් වීදියේ සිටි දුප්පත් පවුල් 350 ක් ඉන් ඉවත්කර දෙමටගොඩ ප්‍රදේශයේ මහල් නිවාස ලබාදී තිබේ. එම ජනතාව කිසිම විරෝධයකින් තොරව ඒ නිවාසවලින් ඉවත්වීම විශේෂත්වයකි.
මේ කටයුතුවල පෙරමුණ ගත් ඇමැති පාඨලී චම්පික මහතා පවසන්නේ මේ අලුත් මං තීරුව ඊළඟට මහජන බැංකු මූලස්ථානය දෙසටත් පසුව ගංගාරාමය පැත්තෙන් හිල්ටන් හෝටලය දෙසටත් දිගු කරන බවයි.
ඒ සියලු කටයුතු නිමවීමෙන් පසු ඉස්සර පැල්පත්වාසීන් විසූ දුගද හමන කොළඹ නගරයේ කුණු කන්දල් ඇදගෙන යන මේ බේරේ අවට ප්‍රදේශය රටේ ආර්ථික සංචාරක ප්‍රධාන මර්මස්ථානය බවට පත් කරන බව ද ඇමැතිවරයා පවසන්නේ ‘බේරේ’ අගය ඉහළට නංවමිනි.
මේ අනුව බේරේ අවටත් කොළඹ නාගරික ප්‍රදේශයත්, පිටතින් පමණක් නොව අභ්‍යන්තර ලෙස ද මලප්රවාහන ජලාප්‍රවාහන පද්ධති අලුත් ආකාරයෙන් සකස්කර කොළඹ නගරය ඇතුළතින් පිරිසිදු කිරීමටත් දැන් ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. ඉදිරියේදී බේරේ වැවේ පතුලේ තැන්පත්ව ඇති ඉතාමත් අපිරිසුදු පස් තට්ටුව ද ඉවත් කෙරේ. ඒ අනුව යළි බේරේ ගද අවට දැනෙන්නට ඉඩ නැත.
ඉදිරි වසර 10 ඇතුළත මේ ගොඩනගන ජල තීරුව එනම් බේරේ වැව ආශ්රිත ප්‍රදේශ රටේ ආර්ථිකයේ ප්‍රධාන මර්මස්ථානය ගොඩනගන ජල තීරය බවට පත් කිරීමට කටයුතු කෙරේ. කොටුව දුම්රිය ස්ථානයේ සිට මහ රෝහලට ජනතාව ගෙන යාමට මේ නව ජල තීරුව බේරේ වැව යොදා ගැනීමට කටයුතු කරන බව ද පාඨලී චම්පික ඇමැතිවරයා පවසයි.
ඊට අමතරව මේ සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඩී.ආර්. විජයවර්ධන මාවත පැත්තේ ඇති දුම්රිය ස්ථානය ආශ්රිත ප්‍රදේශ කොටුවේ ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානය බවට පත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
බේරේ අවට ඇති වරාය අධිකාරියට සතොස ආයතනයට ප්‍රවාහන අමාත්‍යාංශයට ආදී රාජ්‍ය පෞද්ගලික ආයතනවලට අයිති ඉඩම් අක්කර 200 අධික ප්‍රමාණය ප්‍රධාන ව්‍යාපාරික මධ්‍යස්ථානය ලෙස දියුණු කිරීමට ද කටයුතු කරගෙන යනු ලැබේ.
බේරේ වැව ආශ්රිත තවත් මහා පරිමාණ ව්‍යාපෘති ගණනාවක් බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබේ. ඒ අනුව ප්‍රදේශ ගණනාවක හරිත කලාප හා පාරිසරික මං තීරු ඉදි කෙරේ.
ඒවා සියල්ල පවුලේ සෑම සියලු දෙනාටම විවේක සුවය ගැනීමට ව්‍යායාම කිරීමට හැකි ස්ථාන ලෙස පරිසර හිතකාමී නීල හරිත සැලසුම් අනුව සංවර්ධනය කෙරේ. මේ යටතේ ළමා උද්‍යාන හා තවත් ව්‍යායාම මං තීරු ඉදිකෙරේ.
මේ සියලු සංවර්ධන කටයුතු ඉදි කෙරෙන්නේ බේරේ වැවේ සුන්දරත්වයට හා එහි පාරම්පරික ජල රටාවට කිසිම හානියක් සිදු නොවන පරිදි ය. වැව වටේ ඇති සියලු තාප්ප, අනවසර ඉදිකිරීම් ඉවත් කරන අතර මායිම් සියල්ල එක දිගට එකම අයුරකින් රේඛීය උද්‍යාන ලෙස අලංකාර කරනු ලැබේ.
බේරේ වැවේ සංරක්ෂණ හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් දස ලක්ෂ 1000 ක් පමණ දැනට වැය කර ඇත. ඉන් රුපියල් දස ලක්ෂ 700 ක් මගින් මේ වනවිට නැගෙනහිර හා බටහිර බේරේ ඉවුරු ප්‍රතිසංස්කරණය කිරීම අවසන් කර තිබේ.
ඒ සමඟම පසුගියදා ජනතා අයිතියට පත්වූ නැගෙනහිර බේරේ ව්‍යාපෘතිය යටතේ නැගෙනහිර බේරේ වැව අසල සිට මැකලම් පිවිසුම් උද්‍යානය හරහා යූනියන් පෙදෙසට බෝට්ටු සේවයක් ක්‍රියාත්මක කිරීමට ද යෝජිතය.
ඡායාරූප - විපුල අමරසිංහ