යාපනයේ වාසුළිය අතරට යාපනයේ සුළිපුරම් ගම්මානයේ වැසියන්ගේ විලාප වලින් නැගුණු මහා හඩද එක් වූයේ තවත් බරක් වායු ගෝලයට එක් කරමිනි.
''මහ පොළොව නුහුලන අපරාධයක්''
පුවත් පත්වලින් පවා මේ සිද්ධිය දුටු පිරිස් කිසිදු ජාතිභේදයකින් හෝ ආගම් භේදයකින් තොරව කියණු ඇසුණි.
පුංචි රෙජිනා යාන්තමට හයවෙනි අවුරුද්දට පා තැබුවා පමණි.පාසලේ පළමුවෙනි වසරට ඇය ඇතුළත් කළේ මේ වසරේ ජනවාරී මාසයේදීය.ජූනි මාසයේ විසිපස් වෙනිදා රෙජිනාගේ නිවසට හිරු උදා වූයේ වෙනදා මෙන්ම කාර්ය බහුලකමද සමගිනි. ගෙදරට තරමක් ආසන්නයේ පිහිටි පාසල කරා පුංචි රෙජිනා සුපුරුදු පරිදි අකුරු කරන්නට ගියත් වෙනදා ඇය නිවසට එන කාල හෝරාවේදී ඇය නිවසට නොපැමිණීම ගැන සියල්ලෝම කලබල වූහ.
රෙජිනා සොයමින් සියලු දෙනාම ඒ මේ අත දුවද්දී අවසානයේදී රෙජිනා හමුවූයේ පවුලේ ඔවුන් සියලු දෙනාම වතුර බොන ඔවුන්ටම අයත් ළිද තුළදීය. ඒත් ඒ ජීවමාන රෙජිනා නොව රෙජිනාගේ මළ සිරුරය.
යාපනයේ වඩුක්කෝඩෙයි පොලීසිය පැමිණ රෙජිනාගේ මළ සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශීක්ෂණ රෝහල වෙත යවනු ලැබීය. ඒ වන විටත් පුංචි රෙජිනාගේ මළ සිරුරේ ගෙල වටා තුවාල තිබෙනු පොලීසියද දුටුවේය. මිනීමැරුම් ගැන ඉතා පළපුරුදු පොලිස් සැරයන් වරයා රෙජිනාගේ දේහය රැගෙන රෝහල කරා යන අතර තුර සෙසු පොලිස් නිලධාරීන්ට කණට කොට කියා ගියේ''මෙතන මොකක් හරි වෙලා තියනවා... උඹලා ගෙදර උන්ගේ කතාවලට ටිකක් කන්දීගෙන විපරමෙන් හිටපල්ලා '' යන්නයි.
ජූනි මස විසිහය වෙනිදා දහවල් වනවිට සියල්ල හෙළිවුණි.පුංචි රෙජිනා මිය ගියා නොව ගෙල මිරිකා මරා දමන ලද බවට යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.මයුරදන් මහතා නිගමනය කොට තිබුණි.
සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සියලුම දෙනා පොලීසියට රැගෙන ගියේය. එකිනෙකාගෙන් ප්‍රශ්න කරද්දී මියගිය පුංචි රෙජිනාගේ බාප්පා කෙනෙකුගෙන් යම් යම් දේ කියවෙන්නට විණි. පොලීසියේ ප්‍රශ්නකිරීම හමුවේ බියට පත් වූ ඔහු සියල්ලම වැමෑරුවේය.
මේ කතාව නිල වශයෙන් අධිකරණ වෛද්‍යවරයා ප්‍රකාශයට පත් කර නැත. තවම සිද්ධිය සම්බන්ධපර්යේෂණ වාර්තා ලැබී නොමැති බැවිනි. වයස විසි දෙකක් වූ රෙජිනාගේම බාප්පා රෙජිනාට සිදුකොට ඇති අපරාධය මේ රටේ අම්මාලා තාත්තාලාට බොහෝ දේ කියා දෙන්නේය.
පොලිස් නිලධාරියෙක් සිද්ධිය විස්තර කළේ මෙසේය.
'' ඇයගේ බාප්පා කියන සැකකරු ඇයව රැගෙන ගිහින් තිබෙන්නෙ කුරුල්ලො පෙන්වන්න කියලා. එතැනදි දැරියව අපහරණය කරලා. එතැනදි දැරියට සිහිසුන් සිහිසුන් වෙලා තියනවා. සැකකරු මේ අවස්ථාවේදී බියට පත් වී තිබෙන්නේ දැරිය මියගියයි කියලයි. අවසානයේදී දැරිය ඔසවාගෙන පැමිණි ඔහු දැරියව මේ ළිදට දාලා තියනවා. ඔහුගේ පාපොච්චාරණයේ මෙහෙම සදහන් වුණත් මේ කිසිම සාක්ෂියක් නෑ. සිද්ධිය පිළිබඳ තවමත් අධිකරණ වෛද්‍යවාර්තාවක් නෑ. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශයක් කරන්නේ අධිකරණයෙදි.''
යාපනයේ පුංගුඩුතීව් ප්‍රදේශයේදී සමූහ දූෂණයකට ලක් වී මියගියේ ශිවලෝගනාදන් විද්‍යා දැරිය ගැන වරෙක ලෝකයම කතා කළේය.ඔවුන් බොහෝ දෙනා කියා සිටියේ විද්‍යා දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන්ට මරණීය දණ්ඩනය ලබා දෙන ලෙසයි.
මේ සැකකරුවෝ පොලීසිය විසින් අත් අඩංගුවට ගත් අවස්ථාවේදී පොලු මුගුරු රැගෙන පොලීසිය ඉදිරියට පැමිණි සාමාන්‍ය ජනතාව ඉල්ලා සිටියේ ඒ සැකකරුවන්ව ඔවුන්ට බාරදෙන ලෙසයි. ඒ තරමට ජනතාව අතරින් මේ සැකකරුවන්ට එරෙහිව මහා වෛරයක් ගොඩ නැගිණි.
පුංචි රෙජිනා සම්බන්ධයෙන්ද එසේමය. දැන් යාපනයේ මේ ව්‍යසනය සම්බන්ධව බොහෝ දේ සිදුවෙමින් පවතී.
යාපනයේ විශ්ව විද්‍යාලයේ සිසුන් ඉල්ලා සිටින්නේ යාපනයේ කිසිම නීතිඥයෙකු මේ පුංචි රෙජිනාව ඝාතනය කළ අපරාධකරු වෙනුවෙන් පෙනී නොසිටින ලෙසය.
යාපනයේ සියලු පාසල් වල සිසුන් හා ගුරුවරුන්ද පාසල් සංවර්ධන සමිති වල සාමාජිකයෝද වීථි බැස සිටිති. ඔවුන් කියා සිටින්නේ රෙජිනාගෙන් පසුව හෝ මේ පාපතර ක්‍රියාවන් අවසන් විය යුතුව ඇති බවයි. විද්‍යා දැරිය ඝාතනය කළ අවස්ථාවේදීත් මිනිසුන් පාරට බැස්සේ යළිත් මෙවැනි දේ සිදු නොවිය යුතු බව කියමිනි. එහෙත් එකම බිහිසුණු කම යළි යළිත් සිදුවෙමින් ඇත්තේය.
විරෝධතාවයන්ට දෙමළ දේශපාලනඥයෝ කිසිදු පක්ෂ භේදයකින් තොරව ඉදිරිපත් වී සිටිති.ජනතාව කියා සිටින්නේ මේ සිදුවන අපරාධ සම්බන්ධයෙන් දේශපාලනඥයන් කුමක් හෝ සිදු කළ යුතු බවය.
වීථි බස සිටින පිරිස කියා සිටින්නේ විද්‍යා දැරියත් රෙජිනා දැරියත් මරා දමන කාලය අතර කාලයේදී යාපනයේදී පමණක් පාසල් ශිෂ්‍යාවන් පස් දෙනෙකුම විවිධ ලිංගික හිරිහැර වලට ගොදුරු වී සිටින බවය. මේ සිද්ධීන්ට සම්බන්ධ සැකකරුවෝ නිදැල්ලේ සිටින බවද විරෝධතාකරුවෝ කියා සිටිති.
මේ සෑම සිදුවීමකින්ම ඉස්මතුවී පෙනෙන්නේ උතුරේ සාමාන්‍යකරණය වෙමින් ඇතිඅතෘප්තිකර විකෘති මනෝභාවයන්ය. මනුෂ්‍යයන්ට පමණක් නොව සතා සිව්පාවාට පවා කරුණාව දයාව අනුකම්පාව නොදක්වන පිරිසක් උතුරු ප්‍රදේශය තුළ බිහි වී සිටිති.
පසුගිය දිනක කිළිනොච්චියේ අම්බාල්කුලම් ගම්මානයේදී දිවියෙකු මරා දමන ලද ආකාරයත් ඉන් පසුව අහිංසක දිවියාව මරා දැමූ පිරිස හැසිරුණු ආකාරයත් දෙස බලන විට ඔවුන්ගේ මානසිකත්වය මනාව පිළිබිඹු කළේය. දිවියා මරාදැමූ තරුණයින්ගේ මුහුණු වල ඉරියව් දෙස හොදින් බලා සිටින විට අපට හැගී ගියේ ඒ අවස්ථාවේදී දිවියා මරා දැමීමට එපා යැයි යමෙක් කියා සිටියේනම් ඔහුටද දිවියාට අයත් වූ ඉරණමම අයත් වන බවය.
දිවියා මරාදැමීමට වසරකට පමණ පෙර කිළිනොච්චියට ''ජල්ලි කට්ටු'' ක්‍රීඩාව පැමිණියේය.''ජල්ලි කට්ටු'' ක්‍රීඩාව යනු ගවයින් පසුපස හඹා යමින් කරණ ක්‍රීඩාවකි. මෙහිදී ශක්තිය මැනීමක් සිදුවෙයි. ඒ ශක්තිය මැනීම මිනිසාගේ පැත්තෙන් මෙන්ම ගවයාගේ පැත්තෙන්ද උරගා බැලීමක් සිදුවේ. බොහෝ අවස්ථාවලදී ''ජල්ලි කට්ටු'' ක්‍රීඩාව අවසානයේ සිදුවන්නේ ගවයා මිය යෑමය.
එදා කිළිනොච්චියේදී අමානුෂික මිනිසුන් විසින් අහිංසක ගවයන්ට ලබාදුන් වධ හිංසා දෙස බැලූ ජනතාව වහාම පොලීසියේ පිහිට ඉල්ලා සිටියේ ''ජල්ලි කට්ටු'' ක්‍රීඩාව කිළිනොච්චියෙන් තුරන් කරගැනීමටය. දින දෙකක් තිස්සේම කිළිනොච්චියේ ගවයින්ට නිවනක් නොවීය.
මේ සටහන ලියමින් සිටින අතරවාරයේ ලැබෙන ආරංචියකින් කියැවෙන්නේ යාපනයේ මනිපායි සංගරපිල්ලේ මාවතේදී වයස අවුරුදු හැත්තෑවක වයෝවෘද්ධ කාන්තාවක් අමානුෂික අන්දමට කපා කොටා මරා දමා ඇති බවය. ලේ විලක් මැද වැටී සිටි කාන්තාව පොලීසිය විසින් යාපනය රෝහල වෙත රැගෙන ගිය බවද කියැවිනි. හේතුව වශයෙන් කියා සිටියේ ඉඩම් ආරවුලකි. මේ වියපත් මාතාව මරා දමා තිබුණේ සියලු වද හිංසා පැමිණවීමෙන් පසු කපා කොටා දැමීමෙනි.
යාපනයේ ක්‍රියාත්මක වන ''ආවා ගෲප්'' කල්ලිය මහදවල් පුද්ගලයෝ කඩුවලින් කපා කොටා දමති. ඒ කෙසෙල් ගසක් කපනවාටත් වඩා පහසුවෙනි. යාපනයේ සෙසු කල්ලිද එසේමය. මිනිසුන් පසු පස හඹා යමින් ඔවුහු මිනිසුන්ව කපා දමති. ඔවුන් මිනිසුන්ව කොට දමන්නේ කොස් කොටන්නා සේය.
කිළිනොච්චියේ වයෝවෘද්ධ සීයා කෙනෙකුව මරා දමා තිබුණේ පොල්ලකින් හිසට පහර දීමෙනි. මුලතිව් ළදු කැළෑවක තිබී පසුගිය මාසයේදී හමු වූ තරුණයාගේ මළ සිරුරේ කැපුම් තුවාල දහතුනක්ම තිබුණි. උතුරේ පොලිසිය කියන්නේ පුද්ගලයින්ව මරා දමා තිබෙන්නේ ඉතාම නිහීන අන්දමට බවය. මේ වෛරය කුමක්දැයි කිසිවෙකුට වටහාගත හැකි නොවේ. උතුරේ වෙසෙන බොහෝ දෙනෙකු තවමත් ජීවත් වන්නේ යුද සමයේදී දුටු ලේ විල් වලය. මේ තත්වයෙන් මේ මනුෂ්‍යයින් බේරා ගැනීමට යම් වැඩපිළිවෙළක් අවශ්‍ය වී ඇත.